Coconut cookies හදමුද?

අලුත් අලුත් කෑම වර්ග රසවිඳින්න කවුද අකමැති නේද?

අලුත් කෑම වර්ග රසවිඳින්න වගේම අත්හදා බලන්නත් කැමති ඔබ වෙනුවෙන් අපිට බොහොම හුරුපුරුදු රසයකින් පිරුණු තේ වෙලාවට වගේම කෙටි කෑමක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන් coconut cookies එහෙමත් නැත්නම් පොල් බිස්කට් හදන විදිහ කොහොමද බලන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ.

මුලින්ම බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල

Coconut cookies / පොල් බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කාමර උෂ්ණත්වයේ ඇති බටර් 216 g ක්
  • සීනි 300 g ක් (හැකි නම් රතු සීනි 200 g ක් සහ සුදු සීනි 100 g ක්)
  • බිත්තර 02 ක්
  • වැනිල තේ හැඳි 1 ½ ක් 
  • පොල් කිරි / පොල් වතුර / පොල් තෙල් තේ හැඳි ½ ක්
  • පිටි 280 g ක්
  • කෝන් පිටි තේ හැඳි 02 ක්
  • බේකින් සෝඩා තේ හැඳි 01 ක්
  • ලුණු තේ හැඳි ¾ ක් 
  • ගාගත් පොල් කෝප්ප 3 ½ ක් 
  • චොකලට් 280 g ක් (අත්‍යාවශ්‍ය නැත)

දැන් අපි බලමු අපි කොහොමද පොල් බිස්කට් හදාගන්නෙ කියල.

සාදාගන්නා ආකාරය 

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට බටර් සහ සීනි එකතු කර සීනි දියවී මෘ දු මිශ්‍රණයක් සෑදෙන තෙක් බීට් කරගන්න / හැන්ඳක් ආධාරයෙන් මිශ්‍රකර ගන්නත් පුළුවන්. 

දැන් මේ මිශ්‍රණයට බිත්තර 02 එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

ඉන්පසු, වැනිලා සමඟ පොල්කිරි / පොල්වතුර / පොල්තෙල් එක්කර හොඳින් නැවත හොඳින් කලවම් කර මේ මිශ්‍රණය පසෙකින් තබන්න.

දැන් වෙනත් භාජනයක් ගෙන එයට පිටි, කෝන් පිටි, ලුණු සහ බේකින් සෝඩා එක්කර හොඳින් කලවම් කරගන්න.

දැන් කලින් සූදානම් කරගත් බටර් මිශ්‍රණයට මේ පිටි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරගන්න.

ගාගත් පොල් වලින් කෝප්ප ½  ක් පමණ වෙන්කර පසෙකින් තබන්න.

වෙන්කර ගත් පොල් හැර ඉතිරි පොල් කෝප්ප 3 පිටි මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.

දැන් මේ මිශ්‍රණය හොඳින් ආවරණය කර පැය භාගයක් පමණ ශීතකරණයේ තබන්න.

ඔබේ අවන් එක සෙල්සියස් අංශක 190 / ෆැරන්හයිට් 375 ට රත්වීමට තබන්න.

බේකින් තැටියක් මත තෙල් කඩදාසියක් අතුරා සූදානම් කරගන්න.

ශීතකරණයෙන් ඉවතට ගත් පොල් මිශ්‍රණයෙන් මේස හැන්ඳක් හෝ වෙනත් හැන්ඳක් භාවිතයෙන් එකම ප්‍රමාණයේ කොටස් වෙන්කර ගන්න.

වෙන් කරගත් කොටස් බෝල හැඩයට අතින් සකසා එකිනෙක අතර අවම වශයෙන් අඟල් 2 ක පරතරයක්වත් සිටින සේ බේකින් තැටිය මත අතුරාගන්න.

විනාඩි 10 ක් 15 ක් පමණ බේක් කරගන්න.

බිස්කට් වටා ළා දුඹුරු පැහැයෙන්ද බිස්කට් වල මැද කොටස ක්‍රීම් පාටින්ද තිබිය යුතුයි.

වෙන් කරගත් පොල් බේකින් තැටියේ දමා විනාඩි 05 ක් පමණ රන්වන් පාට වනතුරු බේක් කරගන්න.

චොකලට් ඩබල් බොයිල් ක්‍රමයට දියකර නිමුණු පොල් බිස්කට් චොකලට් වල පොඟවා ඒ මතට බේක් කරගත් ගාගත් පොල් රැළි දමා සරසාගන්නත් පුළුවන්.

එහෙනම් තේ වෙලාවට වෙනසක් කරන්න පොල් බිස්කට් හදල බලමුද?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles