පෙඟුණු මල්පෙති 29

චරිත්‍රා කුමනාකාරයේ ගැහැණියකද යන්න මිහිකට සිතාගන්නට නොහැකි විය.

ඇය තමාට පෙම් නොකර බවටත් ඇය පෙම් කරන්නේ ඇය අලුතෙන් බැඳුන නම නොදත් තරුණයාට බවත් මෙතෙක් දිනක් තමා සිතා හුන් අන්දම වැරදි බව මිහිකට තේරුම් ගියේ පෙර දින රැයේ ඇය තමා සමග හැසිරුණ ආකාරය නිසාවෙන්‍ ය. 

තමා මෙහි එන්නට පෙරත් ඇය තමා සමග ප්‍රේමණීය ඇමතුම් වලට ආවේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වාර ප්‍රමාණයකිනි. එහෙව් ඇය ඊයේ රාත්‍රියේ තමා වෙත පැමිණ ඇයගේ සුන්දරත්වයෙන් සහ කාමුකත්වයෙන් තමා වසඟයට ගන්නට තැත් කලේ ඇයිද යන්න මිහිකට සිතාගන්නටවත් නොහැක.

ඇයගේ තුනු සිරුර මත වැතිරී තුරුණු හැඟුම් දෝරේ ගලායන්නට හැරි අවස්තාවන් අනන්තවත් බව මිහිකට අමතක නැත. එහෙත් ඒ ඇය හදවතින් මෙන්ම සිරුරෙන්ද තමන්ගේ බව සිතා හුන් කාලයකයි. එහෙත් ඇය ගැන දැනගන්නට ලැබුණු, දකින්නට ලැබුණු විස්තර සහ ජායාරූප කියන්නේ වෙනස්ම කතාවකි.

ඇය දැන් තමාගේ වන්නේ නීතියෙන් පමණකි. හිතෙන් ඇය අයිති වෙන කෙනෙකුට බව පවසන නිහඬ සාක්කි තමාගේ දුරකතනයේ ගබඩා වී තිබේ. ඇය තමා අත හැර දැමීම, තමාව රැවටීම වරදකි, පවකි. එහෙත් තමාව රවටා වෙනත් තරුණයෙකු හා බැඳුණු ඇය ඔහුවද රවටමින් තමා සමග එකතු වන්නට ඊටත් වඩා පවක් වරදක් නොවේද? තමාත් තවත් තරුණයෙක්වත් රවටන්නට උත්සාහ කිරීමෙන් කවදාහ හෝ රැවටෙන්නේත්, පරදින්නේත්, වරදින්නේත් තමාට බව චරිත්‍රාට තේරුම් ගන්නට නොහැකිද?

මිහිකගේ සිත තුල සිතුවිලි රැසක් කැළඹෙමින් කැළතෙමින් තිබින. ඒ සුනාමියක් බඳු කැළඹීමකි. සිත තුලට වදින කුතුහලයේත්, වේදනාවේත් රල පහර මුලු ඇඟම සීතල කරමින් සහ වෙව්ලුවමින් ගලා යයි. 

 සයනය දෙපසට වී තමා ඉමහත් කැළඹීමකටත්, චරිත්‍රා දිගු නින්දකටත් වැටී හිඳී.

අම්මාගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව අත හැරීම ගැන පාඩම අලුතෙන්ම ඉගෙන ගත් තරුණයෙකු ලෙස මිහිකට චරිත්‍රාව අත හැර දැමීම අපහසු නොවේ.

අනෙක් අතට ඇය ප්‍රේම කරන්නේ වෙන කිසිවෙකුටනම් ඔහුගේත් ඇයගේත් ආදරය මැදට පැමිණ බාධකයක් වන්නට මිහිකට අවශ්‍ය නැත. ඇයව අත හරින්නට හිත හදාගන්නට මිහිකට උදව්වක් වූයේ අම්මාගේ අකාලයේ වෙන්වීමයි. 

“තමන්ට අයිති නැති දේවල් ඕන තරම් තියෙනවනෙ පුතේ. එහෙම දේකට පුතා මොනතරම් ආදරේ කරත් ඒ දේ තමන්ට අයිති දෙයක් නොවේ නම් ඒ දේ අතාරින්ට හිත හදාගන්ට පුතේ. ඒක ලේසියි”

“අතෑරල දාලා සන්තෝසෙන් ඉන්නෙ කොහොමද අම්මේ?”

“පුතා හිතන්නෙ අතෑරල දාලා සන්තෝසෙන් ඉන්ට බෑ කියලනෙ. පුතා හිතනවද බලෙන් අනුන්ට අයිති දෙයක් ළඟ තියාගත්ත කියල පුතාට සන්තෝසෙන් ඉන්ට පුලුවන් කියල. 

බෑ පුතේ.

අනුන්ට අයිති දෙයක් තමන් ලඟ තියාගෙන ලබන්ට පුලුවන් සන්තෝසෙට වඩා වැඩි ඒ දේ හැබෑවටම අයිති මනුස්සය ඇවිල්ලා හොරකම් කරන් යාවි කියන කියන.

මොනතරම් වටින දෙයක් වුණත් පුතාට ළඟ තියාගෙන ඉන්ට වෙන්නෙ ඒ බයත් එක්ක.

ඉතින් එහෙම බයක් හිතේ තියන් ජීවිතේ ගෙවනවට වඩා හොඳයි පුතේ ඒදේ අතෑරල දාන එක”

ඒ ජීවිතය පිළිබඳ මහ බරසාර පාඩම අම්මාගෙන් ඉගෙන ගනිද්දී මිහික උන්නේ හය හත පන්තියකය.

නව නිපැයුම් පිළිබඳ පාසල් වැඩසටහනකින් තේරී කලාප තරඟ වලට යන්නට හුන් කොලු පැටියා සිත රිදවාගත්තේ තමාගේ නම ලැයිස්තුවෙන් කපා දමා ඒ වෙනුවට වෙනත් ගුරුවරියකගේ දරුවෙකුගේ නමක් එකතු කර ඇති බව දැනගත් මොහොතේය.

හඬා ඉඳිමී රත් පැහැ වූ මුහුණකින් නිවස බලා අවුදින් අම්මාගේ උකුලේ හිස රුවාගෙන හඬා වැලපුනු පොඩ්ඩා සනසන්නට අම්මා එදා හවස හැලප හැදුවාය. 

උණු උණුවේ සැකසූ හැලපයක් ලෑටි ගාමින් කුස්සියේ හිරමණය උඩ වාඩි වී හුන් පුංචි කොල්ලාට අම්මා කියා දුන් ඒ පාඩම සැබෑවටම මිහික තේරුම්ගත්තේ චරිත්‍රා නීතියෙන් තමාට බැඳී උන්නද සිතෙන් වෙන තරුණයෙකුට ආදරය කරන බව දැනගත් දිනය.

එදා අම්මා ඒ පාඩම් ඉගැන්වූයේ බාගදා අනාගතයේදී මෙහෙම දවසක් එනු ඇති බව ඇයගේ අත්දැකීම්වලින් තේරුම් ගෙන හුන් නිසා විය හැක.

තමාට මේ දවස් කිහිපයේම රාත්‍රියේ නිදියන පිණිස කාමරයට එන්නට පුලුවන් වූයේ රෑ දෙගොඩහරියේය.

ඒ ගෙදර වැඩ කටයුතු රැසක් තිබුන නිසාවත්, නිදිමතක් නොතිබුන නිසාවත් නොවේ. මරණ පලක් යනු මිනිසුන් අවදි වී හිඳින තැනකි. එවන් තැනක අනෙක් සියල්ලන්ම ඇහැරී හිඳින තැනක තමාට නිදාගන්නට එන්නට නොහැක. මිහික සෑම දිනකම නිදියන්නට කාමරයට ආවේ ගමේ මිනිසුන් තම තමන්ගේ නිවෙස් බලා ගොසින් නෑයන් පමණක් නිවසේ රැඳුණු මොහොතකය. චරිත්‍රා ඒ සෑම දිනකම තමා කාමරයට එද්දී ඉතා දිගු නින්දකට වැටී හුන්නාය. එවන් ඇය අදත් තමා පමා වී එනතුරුම අවදි වී මග බලා උන්නේ මන්දැයි මිහිකට සිතා ගන්නට නොහැක.

සඳ එළිය බැල්කනියේ ඇති ෆ්‍රෙන්ච් වින්ඩෝස් වලින් පෙරී කාමරය තුලට පෙරී ඇවිත් තිබුණි.

 ඒ සුරංගනාමය සුන්දරත්වයකට වඩා මහා ගුප්ත අන්ධකාරයක් කාමරය තුල ඇති කරවමිනි.

දිගු කෙහෙ රැලි සිරුර දිගේ අතුරා ගනිමින් චරිත්‍රා ඒ සඳ එළිය මැද හිඳගෙන තමා දෙස බලා උන්නාය. මිහිකට දෑස් අහකට ගන්නට බැරි බවක් දැනුනි. සුන්දරත්වයකට වඩා මිහික ඇයගෙන් දුටුවේ මහා අමුතු වේදනාවක ගතිගුණය.

ඇය හැඳ සිටි තුනී නිදන ගවුම අස්සෙන් සඳ එලිය පෙරී අවුදින් තිබුනේ ඒ සුන්දර සරාගී සිරුර තම දෑස් ඉදිරියේ නිරාවරණය කරවමිනි. කැරලි ගැසුණු කෙහෙ රැලි මුහුණ මතට වැටී මවා පෑවේ ඉතාම සරාගී දසුනකි. ඒ විසල් දෑසත් බෝපත් මුහුණත්, නිදන ගවුමේ තුනී රෙද්ද අතරින් ඉහලට මතුව හා පියයුරු යුගලත්, වයින් වීදුරුවක හැඩති බඳත්, දෙපා මුල අඳුරත් මිහිකගේ දෑසට හසුවිය. ඒ වෙනත් පිරිමියෙකුට වී නම් තම සියලු ආශාවන් සන්තර්පණය කරගන්නට හේතුවක් වනු ඇති මුත් මිහිකට ඒ කිසිඳු හැඟීමක වගක්වත් නොවීය.

ඇය මායාවකි. 

තමන් රවටන්නට කටයුතු කරන මායාවකි.

ඒ මායාව අයිති තමන්ට නොවේ වෙනත් තරුණයෙකුටයි.

මිහික චරිත්‍රාව මග හැර නාන කාමරය දෙසට ඇවිද යන්නට වුවත් ඒ ගමන අතරමගින් නතර වූයේ තම අතර දැනුන සීතල නිසාවෙනි.

තම අතේ පැටලී ඇති චරිත්‍රාගේ දෑත දෙස බැලූ මිහික එක එල්ලේ චරිත්‍රාගේ දෙනෙත දෙස බැලුවේය. ඒ විසල් දෑස අඩවන්ව තමා වෙත එල්ල වී තිබුනේ සරාගී වය. ඒ දෑස කියන්නට හදන කතාව මිහිකට අලුත් නැත. එහෙත් ඒ කතාව විශ්වාස කරන්නට තම සිත ඉඩ නොදේ. ඇය හිතින් බැඳී ඇත්තේ වෙනත් අයෙකු සමගය. නීතියෙන් අප සැමියා බිරිඳ වූවත් තමාට හදවතින්  නොබැදුණු අයෙකු හා සිරුරෙන් එක්වන්නට තමාට නොහැක. ඒ තමා මෙතෙක් කලක් පුරුදු පුහුණු කරගෙනා ආචාර ධර්ම සහ සිතුවිලිවලට පටහැනි දෙයකි.

චරිත්‍රාගේ ගත සියුම්ව වෙව්ලන බව මිහිකගේ අතට දැනේ.

මදක් ඈතින් හුන් චරිත්‍රා ඒ දෑත් වාරුවේ වෙලී මිහික ළඟටම ආවේ දෑස් තවත් අඩවන් කරමිනි. හිමින් සීරුවේ දෙපා උස් කොට තමාගේ දෙතොලට ලං වන චරිත්‍රා උන්නේ නිවැරදි සිහියකින් නොවේය යන්න මිහිකට ඇයගේ උරහිසින් අල්ලා ඈත් කරන්නට රුකුල් දුන්නේය.

එහෙත් චරිත්‍රා යනු ලේසියෙන් පරාජය භාරගන්නා ගැහැණියක නොවේ. තමන් උරහිසින් අල්ලා ඇයව ඈත් කරද ඇය අඩවන් දෑසින් නැවත තමා වෙත නැඹුරු වූයේ “ඇයි” කියා අසමිනි. ඒ චරිත්‍රා කිසිම දිනයක තමා වෙනුවෙන් තැනූ හඬකින් නොවේ. තමා මෙතෙක් කිසිදු කාන්තා හඬකින් අසා නොතිබුනු අන්දමේ සරාගී හඬක්.

හඬක් නොවේ කෙඳිරියකි.

“මට මහන්සියි”

මිහික කීවේය. ඒ ඇයගේ ප්‍රශ්නයට පිළිතුරක් දිය යුතු නිසාවෙන්ම නොවේ. ඇයගෙන් ගැලවීමේ මගක් සොයා ගත යුතු නිසාවෙනි.

“මෙහෙම ටිකක් ඉඳියම හරියාවි”

චරිත්‍රා පැවසුවේ නැවතත් ඒ කෙඳිරුම් හඬිනි. ඒ කෙඳිරුම් හඬ සීතල හිම කටු මෙන් හදවත මැදට ඇනී වේදනා දෙන බව මිහිකට තේරේ.

කෝපයක සේයාවක්වත් නොවූ හිත මත්තට කලකිරීමේත්, කණස්සල්ලේත්, පුදුමයේත් කලු වලාවන් පාවී එන්නට විය.

“බෑ චරිත්‍රා. මට මහන්සියි. වොශ් එකක් දාගෙන නිදාගන්න ඕන” කියමින් මිහික චරිත්‍රාව පසකට කර ඇඳුම් රාක්කයේ තිබූ තුවාය රැගෙන නාන කාමරය තුලට වැදුණි.

අඳුරේම අත පත ගා නාන කාමරයේ විදුලි පහන් දැල්වූ මිහිකට අවුල් වූ කෙසින්ද, රතු වූ ඇසින්ද යුතු තම මුහුණ කණ්ණාඩියෙන් පෙනේ. දින කිහිපයකින් නොකැපූ රැවුල් කොට අපිලිවෙලට මුහුණ පුරා විසිරීම නිසා තමාට ඇවිත් ඇත්තේ අසරණ, සිඟන පෙනුමකි.

අනෙක් අතට තමා අසරණයෙකු නොවේද?

අම්මා ද මිය ගිය, බිරිඳද රැවටීමට ලක් කළ අසරණ මිනිසෙකු නොවේද?

අම්මා මිය ගිය වේදනාවටත් වඩා සිතට දැනුන ඒ සානුකම්පාව මුසු කර එලියට සුසුමක් ලෙසින් පිට කල මිහික උදෑසන සිට හැඳ උන් ඇඳුම් උනා දමා වතුර මල යටට වූයේ සියලුම සිත් වේදනාවන් සහ සාංකාවන් සෝදා හරිනු පිණිසය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles