ඇමතුම

“කොහෙද මගෙ පුතේ ඉන්නේ?”

අම්මාගේ කටහඬ දුරකථනයෙන් ගලා එනකොට සඳලිට දැනුණේ තරහක්.ගෙදර එන්න පැය බාගයක් පරක්කු නම් කෙළවරක් නැතුව ඇමතුම් දෙන එක අම්මාගේ පුරුද්ද.ඒක මහ පුදුම හිරිහැරයක් කියලා සඳලිට හිතෙන්න පටන් අරන් දැන් ටික දවසක්.ඒ අභීතව මුණ ගැහුණාට පස්සේ.

“ඔයා ඇයි අභීත ගැන ගෙදරට කියන්නෙ නැත්තේ සඳලි?”

මිතුරිය වුණු ගයනි එහෙම අහනකොට සඳලි හිනාවුණේ කට ඇද කරලා.එහෙම නොකියා ඉන්න හේතු කිහිපයක් තියනවා.ඉන් ලොකුම හේතුව මිතුරියට කියන්න සඳලි හිතුවා.

“අම්මා අභීතට කතා කරලා ඉක්මනින් මැරි කරන්න කියලා වද දෙන්න පටන් ගනී.මං ආස නෑ අනේ මෙච්චර ඉක්මනින් කසාද බඳින්න.”

ඉතින් ඒ හේතුව කතාබහ කරලා විසඳා ගන්න අමාරු හේතුවක් නෙවෙයි නේද කියල අහන්න හිතුණත් ගයනි එහෙම නාහා ඉන්න පරිස්සම් වුණා.සඳලි එක්ක කතා කරලා සමහර වෙලාවට බේරෙන්න බෑ.බොහොම ඉක්මනින් කේන්ති ගන්න මිතුරිය එක්ක අභීත කොහොම ඉන්නවද කියලා ගයනිට සමහර වෙලාවට හිතෙනවා.

“මං ගෙදර එන්න රෑ වෙනවා.”

සඳලි එහෙම කියලා දුරකථනය විසන්ධි කළාට පස්සේ මාලතී ජංගම දුරකථනය අතේ මිටි කරගෙන පඩිය උඩින් වාඩි වුණා.තටු සවිමත් වුණාම කුරුළු පැටව් කූඩුවෙන් ඉගිලෙන බව මාලතී දන්නවා.ඒත් මේ කිරිල්ලි අම්මාගෙන් ඈත් වෙන්නේ හරිම හිත රිදෙන තාලෙට කියල මාලතී හිතන්න ගත්තා.

සඳලි එදා ගෙදර ආවේ කේන්තියෙන්.අම්මා පරක්කු ඇයි කියලා අහන්න පැය බාගෙන් බාගෙට ඇමතුම් දෙන එක මොනතරම් හිරිහැරයක් ද කියලා කියන්න සඳලිට වචන නැති තරම්.ඒ නිසාම සඳලි ගෙට ගොඩ වුණේ අම්මාට ගෝරනාඩු කරගෙන.

“අනේ අම්මේ මම දැන් බබෙක් නෙවෙයිනෙ.ඉන්නෙ කොතනද කරන්නෙ මොනවද කියලා අහන්න විනාඩියෙන් විනාඩියට කෝල් කරන්න එපා.මට කියලා කිසිම නිදහසක් නෑනේ.”

සඳලි එහෙම කෑගහනකොට මාලතී සන්සුන්ව දූ දිහා බලාගෙන හිටියා.ඊටත් පස්සේ නිවුණු කටහඬකින් දූට උත්තර දුන්නා.

“ඔයා වෙනදා එන වෙලාවට වඩා පරක්කු නිසානෙ පුතේ මම කතා කරේ.එන්න පරක්කු වෙනවනම් කෝල් එකක් දීලා කියන්න.එතකොට මට හිතේ ගින්දරෙන් ඔයාට කතා කරන්න ඕන නෑනෙ.”

දරුවන්ට නීති දාන්න නුවුමනා බව මාලතී දන්නවා.ඒත් ගෑනු දරුවෙක් ගෙදර එන්න රෑවෙනකොට හොයා නොබලා ඉන්න බැරි රටක ජීවත් වෙන බවත් මාලතී දන්නවා.රෑ කළුවර එක්ක හොරහතුරෝ සල්ලාලයෝ ඕනෑතරමට ඉන්න පුලුවන්.ඒ නිසාම දූට කරදරයක් වෙයිද කියලා පපුව ගිනි ගන්න නිසා තමයි මාලතීට එහෙම හොයා බලන්න හිතෙන්නේ.

“දුව දැන් ලොකු නිසා එහෙම අහනකොට කේන්ති යනවා ඇති නේද?”

සඳලි නාන කාමරයට ගියාට පස්සේ මාලතී එහෙම ඇහුවේ වසන්තගෙන්.බිත්ති ඡායාරූපයට වෙලා හිනාවෙමින් ඇය දිහා බලන් ඉන්න වසන්තගෙන්.පිළිකාව වසන්තව උදුරගෙන යනකොට සඳලි යන්තම් අට වසරට සමත් වුණා විතරයි.එතැන ඉඳලා අවුරුදු දහයක් දොළහක්ම දූ රැක ගන්න මොනතරම් වෙහෙසක් දරන්න වුණාද කියලා හිතුවොත් දවස් ගාණක් හිතන්න පුලුවන් බව මාලතී දන්නවා.

“එක අතකට බොරුවට දූට කතා කරන්න ඕනත් නෑ.”

වසන්ත එක්ක එහෙම කියලා මාලතී ගියේ සඳලිට තේ හදන්න.”ඕවා වැඩිපුර හිතන්න එපා මැණිකේ” කියලා වසන්ත හිත අත ගානවා වගේ දැනෙනකොට ඇහැට උනන කඳුළු ගවුම් කරින් පිහගෙන මාලතී තේ හදන්න පටන් ගත්තා.

“ඔයා රෑ වෙනවානම් කියන්න පුතේ.ඔන්න අද ඉඳලා මං ඔයාට කෝල් කරලා කරදර කරන්නේ නෑ.රෑ වුණොත් බස් එකෙන් බැහැලා පයින් එන්නේ නැතුව ගාමිණී මාමාගේ ත්‍රීවිල් එකට නගින්න.”

අම්මාගේ උපදෙස් අහලා සඳලි යන්න ගියේ හූමිටි තියන්නෙවත් නැතුව.ඒ වුණත් ආයේ ඒ විදියට ඇමතුම් නොදී ඉන්න ඕනෑ කියලා මාලතී හිතා ගත්තා.

“කොහොමද නංගි? ගුඩ් මෝනිං!”

සඳලි ගෙදරින් එළියට එනකොටම එහා ගෙදරට අලුතින් පදිංචියට ආව අක්කා සඳලිට කතා කළේ හිතවත්කමින්.සඳලිටත් එයාලාගේ වාහනෙන්ම යන්න පුලුවන් බව මාලතීටත් කියපු අසල්වැසි යුවතිය සඳලිව මෝටර් රථයට නංවා ගත්තේ බොහොම සුහදත්වයකින්.

අල්ලපු ගෙදර ඉන්න අලුත් යුවළ බොහොම හිත හොඳ යුවළක් කියලා අම්මා කිහිප වතාවක් කියනවා සඳලිටත් මතකයි.ඒ කතාව බොරුවක් නෙවෙයි කියලා සඳලිට හිතුණේ ගමන අතරමග.අම්මා සහ මේ පියුමි අක්කා නම් බොහොම හොඳ යාලුවෝ වෙලා අහවරයි වගේ.

“අම්මටත් කියවන්න තියනවනම් ඉතින් වෙන මොකුත් ඕන නෑනෙ..”

සඳලි එහෙම හිතුවා.සඳලි වාහනෙන් බහිනකොට පියුමි ඇගේ දුරකථන අංකයත් දෙන්න අමතක කළේ නෑ.

“නංගි හවසට කෝල් එකක් දෙන්න.අපි එතකොට මේ හරියෙ හිටියොත් ඔයාට අපි එක්කම යන්න පුලුවන්.”

පියුමි නම් ඇත්තටම හරි සුහද කෙල්ලක්.ඒත් හවස ඔෆිස් ඉවර වුණු ගමන් ගෙදර යන්න සඳලිට කම්මැලියි.අම්මා එක්ක කියෝ කියෝ ඉන්න ගෙදර යනවට වඩා අභීත එක්ක ඇවිදින්න යන එක හෝ යාළුවෝ එක්ක ෂොපින් කරන එක දාහෙන් සම්පතයි.

පියුමි බොහොම හොඳ බව හිතමින් හිටියට සඳලිගේ ඒ හොඳ හිත කැඩුණේ සතියක් දෙකක් ගියාට පස්සේ. ඒ සඳලි යාළුවෝ එක්ක ෆිල්ම් එකක් බලන්න ගිය හවස් වරුවක්.ගෙදර එන්න රෑ වෙනවා කියලා අම්මට ඉක්මන් ඇමතුමක් දීලා සඳලි චිත්‍රපටිය බලන්න ගියා.

Bored Teenage Girl Being Told Off By Mother

“පුතා ගෙදර එන වෙලාවට පරිස්සමින් එන්න.”කියපු අම්මාට ඒ කතාව අමතක වෙලා වගේ.පැයක් දෙකක් යනකොට නොනවත්වාම අම්මාගෙන් ඇමතුම් එන හැටි සඳලි බලාගෙන හිටියේ කේන්තියෙන්.දුරකථනයේ නාද රටා නිමා දමලා තිබුණත් අම්මාගෙන් ඇමතුම් දොළහක් ආව බව පෙනෙන්න තියෙනවා.සඳලිට පියුමි එක්ක තරහ ගියෙ ඉන් විනාඩි කිහිපයකට පස්සේ.මෙන්න පියුමිගෙන් නොනවත්වාම ඇමතුම් එනවා. 

“මම ෆෝන් එක ආන්සර් නොකරන නිසා අම්මා ගිහින් පියුමි අක්කට කියන්න ඇති කෝල් කරන්න කියලා.ඒත් ඒ වගේ ඒවා අහන්න එයාට පිස්සුද? අනිත් කෙනාගෙ නිදහස ගැන කිසිම වගක් නැති මිනිස්සු.”

සඳලි චිත්‍රපටිය ඉවර වෙනකන්ම හිටියේ තරහින්.ඊටත් පස්සේ ගෙදර එන අතර දුරකථනය දිහාවත් නොබලන්න ඇය ප්‍රවේසම් වුණා.

“අම්මා කියන කියන එක කරන්න එපා කියලා පියුමි අක්කට කියන්න ඕනෑ.”

සඳලි ගෙදර ගේට්ටුව ඇරියේ එහෙම හිතමින්.ඒ කේන්තිය දෙගුණ තෙගුණ වුණේ පියුමි අක්කා ගේ ඇතුළේ ඉඳන් එනවා පේනකොට.

“මෙයා මොකද මෙහෙ කරන්නේ? එයා විතරක් නෙවෙයි එයාගෙ හස්බන්ඩ් පවා ඇවිල්ලා.”

අම්මගෙ බොරු කේලම් අහන්න දෙන්නා එක්ක ඇවිල්ලා ඇති.සඳලි මුහුණට අඳුර පුරවාගෙන පියුමි දිහා බැලුවා.

“අනේ නංගි මම ඔයාට කීප වතාවක්ම කෝල් කරා.පස්සේ හිතුණා ෆෝන් එක සයිලන්ට් වෙලාවත් ඇති කියලා.දැන් කලබල නොවී එන්නකො.”

පියුමි කියන්නේ ආදරණීය ස්වරයකින්.කලබල නොවී එන්න කියන්නේ අම්මා එක්ක රණ්ඩුවක් ඇති නොකර ගන්න කියලා වෙන්න ඇති.”ඒක මගේ වැඩක්නෙ” සඳලි එහෙම හිතුවේ තරහින්.අම්මා පේන්න නෑ.කුස්සියට වෙලා බුම්මාගෙන ඇති.

“නංගි කලබල වෙන්න එපා.ආන්ටි අසනීප වුණා.ආන්ටි ඔයාට කීප පාරක්ම කෝල් කරලා බෙහෙත් ගේන්න යන්න ඔයා කිට්ටුවද බලන්න.ඊටපස්සෙ තමයි මට කතා කරේ.අයියයි මායි ආන්ටිව ඩොක්ට ගාවට ගෙනිච්චා.මම ඒ අතර ඔයාට කෝල් කරේ ආන්ටිගෙ පරණ රිපෝට්ස් එහෙම කොහෙද බලන්න.”

සඳලි ගල් ගැහුණේ වේදනාවෙන්;බයෙන්;දුකින්.

“බයක් වෙන්න දෙයක් නෑ නංගි.පොඩි පපුවේ අමාරුවක්.රෑ හදිසියක් වුණොත් කතා කරන්න හොඳේ.”

පියුමි එහෙම කියලා සමු ගනිද්දී පවා සඳලි හිටියෙ කිසිම වචනයක් කියා ගන්න බැරි තරමටම තමන් එක්කම කේන්තියෙන්.

“බය වෙන්න එපා මැණික.අම්මට මේ පුංචි අසනීපයක්.”

සඳලි ඇවිත් ළඟින් වාඩි වෙනකොට මාලතී එහෙම කිව්වේ ආදරෙන්. සඳලිට වචන හොයා ගන්න අමාරු වුණා.වචන වලට කලින් කඳුළු කතා කරනකොට සඳලි ඉකි ගහ ගහ අඬන්න පටන් ගත්තා.

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...