පෙඟුණු මල්පෙති 33

චරිත්‍රාගේ මුහුණු පොතේ පලවී තිබුන වීඩියෝව කවුරුන් හෝ ඇයගේ ගිණුම හැක් කල නිසාවෙන් පළ කල එකක්‍ යැයි හිත හදාගන්නට තිබුණා නම් යැයි මීහිකට සියවන වතාවටත් සිතුනි.

එහෙත් එය ගිණුමක් හැක් කල නිසා පල වූවක්ද යන්නට වඩා මිනිසුන්ට වැදගත් වී තිබුනේ එහි පැහැදිලිව පෙනෙන්නට තිබුන චරිත්‍රාගේ මුහුණයි.

කොහේදෝ මන්දා හෝටලයක කාමරයක් යැයි කිව හැකි තැනක සයනයක් මත්තේ හුන් චරිත්‍රා විසින් කවුරුන්දෝ මුහුණ නොපෙනෙන, මිනිසෙකුව සන්තර්පණය කරමින් උන්නාය.

ඒ වනාහී මිහික කිසිදිනක දකින්නට බලාපොරොත්තු වූ අන්දමේ වීඩියෝවක් නොවේ.

තම බිරිඳ ගැන මෙවන් වීඩියෝ පටයක් දුටු විට සැමියෙකුට දැනෙන වේදනාව මිහිකටද එසේම දැනෙමින් තිබුණි.

එපමණක් නම් කම් නැත. ඇය විසින් මුහුණු පොතේ මැසෙන්ජරය ඔස්සේ විවිධාකාර පිරිමින්ට යවනු ලැබූ සරාගී වදන් පිරි මැසේජයන්හි ස්ක්‍රීන් ශොට් ද, නිරුවත් ජායාරූප ගොන්නකද ඒ වීඩියෝව සමගින් විනාඩියෙන් විනාඩියට ඇයගේ මුහුණු පොතට එකතු වී තිබුණි.

අනෙක් අතට චරිත්‍රාගේ ගිණුමේ පල වී තිබුණ එකී වීඩියෝවට චරිත්‍රාගේ මිතුරු කැල කෙතරම් නම් කමෙන්ට් කර තිබුණාද?

ආදරය ගැන සොඳුරුතම වදන්, ජිවිතය ගැන හරවත්ම දෙසුම් ලියා තැබූ අතීතයකින් චරිත්‍රා ඇවිත් තිබුනේ වේදනාවන් පිරුනු වර්තමානයකටයි.

“අක්කේ ඔයාගෙ අකවුන්ට් එක හැක් වෙලාද?”

“අයියෝ චරිත්‍රා”

“තමන්ගෙ අදහසට විරුද්ද දේවල් කිව්ව කියල මේ වගේ දෙයක් වුණාම ගෑණියෙක්ට ඔහොම කියන්න හොඳ නෑ නේද” යනුවෙන් ඇය වෙනුවෙන් කතා කොට තිබුන කමෙන්ටු තිබුනේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවකි.

අනෙක් සියල්ලම පාහේ ඇය ලියා තැබූ දාර්ශනික වදන් ද පලවී තිබුන වීඩියෝ පට ද සංසන්දනය කරමින් මිනිසුන් විසින් ලියා තැබූ ඉතාම පහත් අදහස් ය.

“මේ අර තමන් ආදරේට මොනතරම් අවංකද කියල ලිව්ව එක්කෙනා නේද?’

“සූරියකාන්ත මලේ ලස්සන දැන්නෙ පේන්නෙ”

“දෙන්නෙ නම් දාර්ශනික ටෝක් හැබැයි මේව තමයි කරල තියෙන්නෙ”

“පැයට කීයද?”

“අපිටත් සපෝට් එකක් දෙන්න බැරිද”

යනුවෙන් එහි වැටී තිබූ කමෙන්ටුද, ඒ ජායාරූප සහ වීඩියෝ පටවල කොටස් යොදා පෝස්ට් සාදා පල කරමින් හුන් විවිධාකාරයේ මීම් පිටු වලින් ද මුහුණ පොත කැළඹී තිබුණි.

මිහික උන්නේ කම්පා වීය.

අතීතයේ චරිත්‍රා කුමනාකාරයේ වරදක් කල අයෙක් වුවත් එයට සමාව දී ඇයව ආදරයෙන් පිළිගැනීම තමාට කල නොහැක්කක් නොවන බව මිහික දනී.

එහෙත් ඒ පල වී තිබූ මැසේජ් ස්ක්‍රීන් ශොට් වල වූ දිනයන් දකිද්දී චරිත්‍රා තමාව රැවටීම අරඹා ඇත්තේ සතියකට දෙකකට පෙර තමා දුටු විඩියෝ පටයේ හුන් මුදුව ඇයට දිගු කල තරුණයා සමගින් පමණක් නොවන බව දැන ගැනීම මිහිකගේ මුලු චිත්ත සන්තානමය බිඳ දමන්නට හේතු විය.

තවත් පිරිමින් දහස් ගණනකට සරාගී පණිවිඩ යවමින් ඇය තමා හා ප්‍රේමයෙන් ද නීතියෙන්ද බැඳී හුන් කාලයේ පටන් තමාව රවටා තිබේ.

එහෙත් මේ ඇයට තමාව අවශ්‍යම මොහොතක් බව නොදන්නවා නොවේ. දැන් රාත්‍රී හතට පමණ ඇත. මේ රැයේ ඇයව හමුවන්නට යාම දුශ්කර වුවත් ඒ නොගිහින් බැරි ගමනකි.

ඇය තමා රවටා ඇති බව සැබෑවකි. ඒ රැවටීම ඉතාම නින්දිත බවද ඇත්තකි. එහෙත් ඇය තවමත් තමාගේ බිරිඳයි. අනෙක් අතට අසරණ වී ඇති ගැහැණියකි.

මුහුණු පොතේ ඇය ලියන වදන් වලට තම ආදරය සහ එකඟතාවය කමෙන්ටු ලෙස එවමින් හුන් අය සැබෑ ලොවේදී ඇය වටා නොසිටින බව මිහික හොඳින් දනී.

දෙමව්පියන්ද ඈත දුරක වෙසෙන මොහොතක, කාත් කවුරුවත් ළඟ නැති මොහොතක වේදනාව දරාගනු බැරිව ඇය යමක් කරගනු ඇතිය යන බිය මිහිකව බිය ගන්වයි.

බාගෙට කෑම නතර කල මිහික ආත සෝදා ගත්තේ කලබලයෙනි. වේගයෙන් තරප්පු පේලිය නැග උඩ තට්ටුවේ තම කාමරයට ගිය මිහික හසු වූ සෙරෙප්පු දෙකක් පයේ ලා ගෙන මුදල් පසුම්බියද, දුරකතනයද, වාහනයේ යතුර ද ගෙන වේගයෙන් නැවත පහත මාලයට ආවේ කොලඹ බලා පිටත්වනු පිණිසය.

මිහිකගේ කලබලය නිසා කලබලයට පත් අප්පච්චීත්, සුරංගි නැන්දාත්, මිතුනත් තරප්පු පේලිය පාමුල දෑස් දල්වා ඔහු දෙස බලා හිඳීම ඒ කලබලය මදක් පමා කරන්නට විය.

“කොහෙ යන්නද පුතා”

අප්පච්චි ඇසුවේ සෙමිනි.

“කොළඹ යන්න අප්පච්චි”

“මොකක් හරි හදිසියක්ද පුතා?”

ඒ ප්‍රශ්නයට පිළිතුර ඔව් කියා කිව හැකි මුත් එය පැහැදිළි කල හැකි පිළිතුරක් නොවේ.

“චරිත්‍රට පොඩ්ඩක් සනීප නෑ අප්පච්චි. තනියෙන්නෙ ඉන්නෙ මම ගිහින් බලන්න කියල හිතුවා”

අප්පච්චිගේ දෑසේ තිබුනේ එය පිළිගත් බවක් ද නොපිලිගත් බවක්ද යන්න හෝ සිතන්නට මිහික වෙහෙසුනේ නැත.

මේ මොහොත චරිත්‍රා වෙනුවෙන් වෙන් කල යුතු මොහොතකි. ඇයට කවුරුන් සිටියත් තමාව විශ්වාස නිසා නොවේද හඬමින් තමාව ඇමතුවේ?

“අනේ මිහික”

“ඇයි චරිත්‍රා? කරදරයක්ද?”

“අනේ මිහික කවුරුහරි මගෙ එෆ් බී අකවුන්ට් එක හැක් කරල. අනේ මිහික මම ඉවරයි මිහික. මට මැරෙන්න විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ”

ඒ හඬ තවමත් මිහිකගේ දෙසවනේ රැව් පිලිරැව් දෙනවාක් මෙන් මිහිකට ඇසේ.

මිනිසුන් කෙතරම් දාර්ශනික කතා ලිව්වද තමාට යමක් සිදු වූ වීට ඒ පිලිබඳව තමා ලියූ හෝ කියු පරිද්දෙන් දාර්ශනිකව නොබලති.

බොහෝ විට මුහුණු පොතේ දාර්ශනික අදහස් හුවමාරු කරගන්නන් සැබෑ ජීවිතයේදී ගෙවන්නේ එයට හාත්පසින්ම වෙනස් ජීවිතයකි. ආදරය ගැන සුන්දරම අදහස් ලියා තබන ඇතමුන්ගේ ජීවිතවල ආදරයේ සෙවණැල්ලක් වත් වැටී නොමැත.

චරිත්‍රා ගෙවුවේද එයාකාර ජීවිතයකි.

තමාවද රවටමින්, තමා යන මග යන්නන්ද රවටමින් ඇය මුහුණු පොතේ ගත කල ජීවිතය සහ සැබෑවටම චරිත්‍රා යන දෙදෙනා අතර වූ ජීවිතයේ ඇත්ත පැත්ත දැන හිඳ තිබෙන්නේ ඇයම පමණකි.

ඇයගේ සැමියා වූ තමා ද එය දැන සිට නොමැත.

යමෙකුට කෙනෙකුව යම් කිසි කාලයක් රවටාගෙන හිඳින්නට හැකියාව තිබේ. එහෙත් යම් දිනක ඒ රැවටීම හෙලි වූ පසු තමා වටා සිටි කිසිවෙකුත් තමාව පිළිගන්නේ නැත යන සත්‍යයට මුහුණ දීමට සිදුවන බව චරිත්‍රා දැන සිටියේ නැතුවා වන්නට හැක.

රැවටීමේ ඇති භයානකම දෙය වන්නේ වෙන කෙනෙකු රැවටීම නොවේ.

ඇතැම් විට අප බොරු කියන්නේ තව කෙනෙකුව රැවටීමට වඩා අපේම සිත සනසාගනු පිණිසයි.

ඒ බොරුවට යම් කාලයක් ගතවෙත්ම තමන්ද රැවටේ. අවසානය ඒ බොරුව ඇත්තක් යැයි සිතාගෙන අපි එහිම ජීවත් වන්නට පටන් ගනී. ඒ බොරුව හෙලි වූ දිනක අප එතෙක් ඒ බොරුව වටා ගොඩ නගාගෙන හුන් මුලු මහත් ලෝකයම බිඳ වැටේ.

අද චරිත්‍රාට සිදු වී තිබෙන්නේ එය නොවේද?

ඇය තමාව රැවටීම වරදකි. එහෙත් ඒ රැවටීම ඔස්සේ ඇය ද රැවටී නැතිද?

වීඩියෝවක් හෝ ජායාරූප ලීක් වීම අද සමාජය තුල අලුත් දෙයක් නොවේ. දිනෙන් දින ජනප්‍රිය නලු නිලියන්ගේ වීඩියෝ පට අන්තර්ජාලය ඔස්සේ කොතරම් හුවමාරු වන්නේද?

එහෙත් චරිත්‍රා යනු නිලියක නොවේ. සාමාන්‍ය ගැහැණියකි.

අසාමාන්‍ය පවිත්‍රත්වයක්, පිවිතුරු බවක් මුහුණු පොත ඔස්සේ ලෝකයට පෙන්නුම් කරන්නට උත්සාහ කල සාමාන්‍ය ගැහැණියකි.

මිනිසුන්ට එය මේ තරම් කතා බහ කරන්නට හේතුවක් වී ඇත්තේ එයයි.

මිහික කල්පනා ගඟට ගලන්නට ඉඩ නොදී දුරකතනය ආතට ගත්තේ චරිත්‍රා අමතනු පිණිසය.

ඇයව දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගෙන හිඳීම මොන දේ වුවත් සිතට සැනසුමකි. ඇය යම් මෝඩකමක් කරගන්නට හැකිය යන බියට සිත තුලට එන්නට ඉඩ දෙමින්ම මිහික චරිත්‍රා අමතන්නට විය.

දුරකතන නාද වුවත් ඇමතුම සම්බන්ධ නොවේ.

මිහික නොදැනුවත්වම කාරයේ වේගය වැඩි විය.

එක් අතකින් වාහනයේ සුක්කානම හසුරුවමින් අනෙක් අතින් දුරකතන ගෙන දිගින් දිගටම මිහික චරිත්‍රා අමතන්නට විය.

“දෙවියනේ චරිත්‍රා”

ඇමතුම් දෙක තුනක්ම විසන්ධි වූයේ ඇයව සම්බන්ධ නොකරමය.

මෙවැනි මොහොතක සිතට දැනෙන බිය කොතරම්ද?

මිහික උන්නේ සිත ඇතුලින් ගැහෙමිනි.

ඇය ගැන සොයා බලන්නැයි කියන්න කිසිවෙක්ම නැති හැටි?

ඇයගේ දෙමව්පියන් මේ ගැන දන්නවාදයි නොදන්නා බැවින් ඔවුන්ට ඇමතුමක් දී ඇය ගැන විමසීම ඔවුන් බියපත් කරන්නකි.

නුගේගොඩ නිවසේ තනිවම හිඳින ඇයට ළඟ පාතින් හිතවත් කිසිවෙකුත් නොමැති බව මිහික දනී. අනෙක් අතට මේ වන විට ඒ නිවස ආසන්නයේ මිනිසුන් වුව මේ වීඩියෝ පට දැක තිබෙන්නට හැකි හැකියාව ඉහළය. චරිත්‍රා යනු මුහුණු පොතේ මිනිසුන් අතර අතිශයින් ජනප්‍රිය චරිතයකි. බ්ලොග් සටහන් ලියන්නියකි.

රටේ තොටේ එදිනෙදා වන ප්‍රශ්න ගැන, කාන්තා විමුක්තිය ගැන ලිපි ලියන්නියකි.

ඉතින් මේ වීඩියෝ පට සහ ජායාරූප දැන් බොහෝ දෙනා විසින් දැන තිබෙන්නට ඇති ඉඩකඩ ඉහළය.

දුරකතනය එහා අසුනින් තබා මිහික වේගයෙන් රිය පදවන්නට විය. ඉරිදා දිනයක් බැවින් පාරේ වාහන බොහෝය. ඇතැම් වාහන ඔහේ ඉබි ගමනින් යෑම මිහික කෝප ගන්වන්නට හේතුවකි.

සුක්කානම තදින් බදාගෙන රිය ඉදිරියට මෙහෙයවමින් උන් මිහික දුරකතනයේ හඬට කලබල වූයේ ඒ චරිත්‍රා යයි සිතාය.

නැත.

නයනතාරා යන නම දුරකතන මුහුණතේ ඉංග්‍රීසි අකුරෙන් වැටී තිබේ.

මේ ඇය හා කතා බහ කරන්නට වේලාවක් නොවුනත් ඇතැම් විට ඇය තමා අමතන්නේ මේ සිදුවීම ගැන යමක් පවසන්නටය විය හැක යන සැකය අතැඟිලි කොල පාට දුරකතන සලකුණු වෙත මෙහෙයවන්නට විය.

“හෙලෝ”

“අයියේ මම”

“කියන්න නංගි”

“අයියේ ඔයා කලබලෙන් ඉන්නෙ කියල මං දන්නවා. අක්කගේ ප්‍රශ්නෙත් මම දැක්කා. අයියේ මං කතා කරේ කියන්න අයියා ඔක්කොටම කලින් අක්ක හොඳින්ද බලන්න. මිනිස්සු මේ වගේ වෙලාවලදි දුර දිග හිතන්නෙ නෑනෙ. ඉන්පස්සෙ අයියා මුලින්ම කරන්න ඕන සර්ට් එකට කතා කරන්න”

“මම කොලඹ යන ගමන් නංගි, අක්කා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ”

“බයවෙන් එපා අයියේ. අයිය ගිහින් අක්කා ගැන අප්ඩේට් එකක් අරන් මට කෝල් කරන්න. මම කියන්නම් කරන්න ඕන දේ”

මිහික දිගින් දිගටම චරිත්‍රා අමතන්නට විය.

එහෙත් ඒ ඇමතුම් කිසිවක් එහා පසින් සම්බන්ධ වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles