සන්තාන සුසුම් සර – 46

0
3182

වෙහෙරගොඩ මුදලාලි හිඳිනුයේ ඒ තරම් සුවයකින් නොවේ යයි සාවිත්‍රි යසස්වී ට කතා කොට කීවා ය. සිය ව්‍යාපාර කටයුතු වලට එල්ල වී ඇති තර්ජන සමගින්, ඔහු ගේ නරක කාලය උදා වී ඇතැයි හෙතෙම ශෝකයට පත්ව හිඳී. දියණිය ඔහු ට අකීකරු වීම ද ඇගේ හිතුවක්කාර චර්යාව ද ඔහු ගේ හිත කොනිති ගසා තිබේ. ඔහු බලාපොරොත්තු වූයේ ඇය සෑම අතින් ම යටහත් පහත් කීකරු දියණියක සේ ඔහු ට අවනත වනු ඇත කියා ය. දැන් ඇති වී තිබෙන තත්වයත් එක්ක ඔහු ගේ ව්‍යාපාරයට කණකොකා හඬලන්නට නියමිත බව ඔහු ට ඉවෙන් වාගේ දැනේ. මේ සියල්ල සිදු වූයේ යසස්වි නිසා ය. ඇය මේ තරමට පවුල ගැන නො සිතා ආත්මාර්ථකාමී වූ හෙයිනැයි ඔහු ගේ සිත දැඩිව පිළිගෙන ඇත. යසස්වි ගේ පැත්තෙන් සිතා ඇය සාධාරණීකරණය කරන්නට තරම් ඔහු ගේ දැඩි සිත නම්‍යශීලී නොවේ.

නමුත් ඔහු නිතර ම සිටින්නේ කල්පනාවේ ය. මුහුණේ පෙනුම ද අමුතුයි කියා සාවිත්‍රි ට සිතේ. හිතේ තියෙන දෙයක් කියා හිත සැහැල්ලු කරගන්නේ ද නැත. කියනා දේ වලට වැඩියෙන් වන්නේ නො කියන දේවල් නිසා, හිතේ මොනවා තිබෙනවා දැයි දෙවියන්වත් දන්නවා ඇත කියා සාවිත්‍රි නො සිතයි.

‘මට බය මෙහෙම ගිහිං මේ මනුස්සය නිකං අපරාදෙ ලෙඩෙක් වෙයිද කියලයි’

සාවිත්‍රි වැඩිදුරටත් කීවා ය. තාත්තා ගේ අලුත් තත්වය දැනගැනීමෙන් පස්සේ යසස්වි ට තුසිතයට වී වෙන දෙයක් බලාගෙන ඉන්නට හිතෙන්නේ නැත. පසුගිය කාලයෙහි කවරක් සිදු වී ද ඒ ඇය ගේ පියා බව අමතක කරන්නට තරම් දැඩි හිතක් ඇය ට නැත.

‘ඔයාගෙ තාත්ත දකිනකොට මට මගෙ තාත්තව මතක් වෙනව. එයා ඔයාගෙ තාත්ත වගේ ආදරණීය කෙනෙක් නෙවෙයි තමයි. එයා ඔයාගෙ තාත්ත හිතන විදිහට දරුවො ගැන හිතන්නෙත් නෑ තමයි. ඒත් එයා මගෙ තාත්තනෙ. සතුට කියන දේ ගැන දන්නැති වුණත්… සැප සම්පත් වලින් අපිට කිසි අඩුවක් කළේ නැති තාත්තනෙ. එයා ලෙඩ වෙලා වගෙයි කියල දැනගත්ත එක… මට හරි අමාරුයි අයිය’

මඳ අඳුරේ සඳැල්ලට වී සන්තාප සුසුම් හෙළමින් සිටියදී එතැනට පැමිණි අස්විද සමගින් යසස්වි දුක කියවූවා ය. ඇගේ පපුවෙහි බරක් ද දෑස් වල දැවීමක් ද වූයේ ය. ඒ දැවීම නිසා ම ඇස් වලට උණනා කඳුළු පිටමං වීමට පෙර ම වාෂ්ප වන්නට ඇත. අස්විද ඇගේ බඳ වටා වමත යවා ඈ ඔහු ට ලං කොටගත්තේ ය.

‘ඊටත් වැඩිය මේ හදිස්සියෙ තාත්ත අසනීප වෙන්න හේතුව මං ද කියල හිතෙද්දි…’

‘අපි මැරි කළා කියල තාත්ත දන්නෑනෙ යසස්වි’

‘ඒක දන්නැති වුණත්… මං හිතුවක්කාර වුණ නිසා එහෙම වුණා වෙන්න ඇතිනෙ…’

‘අසනීප කියන ඒව ඕන වෙලාවක එන්න පුළුවං. ඔයා ඔය විදිහට හිතල අවුල් යන්නෙපා’

‘තාත්තට කරදරයක් වුණොත්නං…’

‘රත්තරං… පැටියො… මැණික… අඬන්නෙපා ඉතිං’

කඳුළක් ඉහිරෙනා එක නතර කරගන්නට යසස්වි සමත් වූයේ නැත. අස්විද තවත් ඇයව සිය සිරුරට සමීප කොටගත්තේ ය. කඳුළක සීතල ඔහු ගේ පපුවට දැනිණ.

‘මට හෙට ගෙදර යන්න හිතෙනව’

‘හෙට…’

අස්විද ට එසේ විමසුණේ කම්පනයකින් යුතුවයි. ඔහු ගේ අතේ ග්‍රහණය ලිහිල් වනු දැනීදෝ යසස්වි සඳැල්ලේ බැම්මට බර වී ඔහු ගේ මුහුණ බලාගත්තා ය. ඇගේ දෑස්, කඳුළු හින්දා තාරකා වලටත් වැඩියෙන් දිළිසිණි. අස්විද ගේ පපුවෙහි පිළිස්සීමේ සංවේදනයක් විය.

‘හෙට මට කෝට් කේස් එකක් තියනව යසස්වි’

‘ඔයා එන්න ඕනෙ නෑ. මට යන්න පුළුවං’

ඇයට එහෙම යන්නට දෙන්නේ කෙසේ ද? ගියොත් එන්නට වෙන්නේ පසු දාට ය. නැතහොත් දවස් දෙක තුනක් නතර වෙන්නට සිදු වනු ඇත. වෙහෙරගොඩ මුදලාලි එන්නට නොදී ඇය නතර කරගනු ඇතැයි අදිසි බියකින් ඔහු හිරිවැටී ගියේ ය.

‘එහෙ එච්චර ප්‍රශ්නයක් තියාගෙන මට ඔයාව තනියම යවන්න බෑනෙ. එහෙනං අපි හවස යං. මං ඔයාව එක්කං යන්නං’

‘අනේ හවස් වෙනකල් ඉන්නෙ කොහොමද… මට මහ මොකද්දෝ දැනෙනව. අම්ම කවදාවත් තාත්ත ගැන එහෙම බයකින් කතාකරල නෑ. ඊටත් වැඩිය… ඔයා එන්නෙපා අයිය. මට ඔයාව එක්කං යන්න බෑ රිස්ක් එකක් අරං’

‘ඔයා හිතන්නෙ මට ඔයාව තනියම යවන්න පුළුවන් කියලද…’

‘බය වෙන්නෙපා. මොනා වුණත් දැං මං මැරිකරල ඉවරනෙ. ඒගොල්ලොන්ට මට මොන බලපෑමක්වත් කරන්න බෑනෙ’

‘ඒත්…’

‘අනේ යන්නෙපා කියන්නෙපා. මට මේ දැංම තාත්ත බලන්න දුවල යන්න පුළුවන්නං ඒත් මං යනව’

ඈ සනසනු වස් කුමක් කිව යුතු දැයි අස්විද ට තේරුණේ ම නැත. සඳැල්ලට පෙනුණ තරු පිරි අහස පවා සාක්ෂි දැරුවා සහතික ය. ඈ හිස සිය පපුවෙහි හොවාගෙන හිඳිනු මිස මේ මොහොතේ ඔහු අන්ත අසරණ ව සිටියේ ය.

යසස්වි අළුයම අවදි වී අනුරාධපුරය බලා පිටත් වීමට සූදානම් වූවා ය. වජිරා ගේ ද විජිත ගේ ද හිත් වල වූයේ බරකි. දැන් ඇය වූ කලී ඔවුන් ට ද අයිති වස්තුවකි. කොළඹ හා අනුරාධපුරය අතරේ ගමනට  ඇය පුුරුදු වී ද, ඒ ගෙදරට දැන් ඇය තනිව යාම කුමන තත්වයක් උද්ගත කරනු ඇතැයි සිතන්න ද?

‘තනියම යන්නැතුව සනුක එක්ක ගියොත් මොකද දුව…’

තේ සූදානම් කරන ගමන් වජිරා විමසුවා ය. සක්මනෙහි යෙදී සිටි විජිත පවා නතර වී යසස්වි දෙස බැලුවේ ඒ අදහස අනුමත කරන්නා මෙනි.

‘අනේ ඕන නෑ අම්ම. අස්විදයිය එනවටත් මං කැමති නැත්තෙ… ඒක රිස්ක් එකක් නිසා. අපේ තාත්ත නෙවෙයි… කොච්චර වුණත් මට අර උදාරය ගැන බයයි. මං ආව කියල නිකමට හරි දැනගත්තොත් ඔය මිනිහ අපේ ගෙදරට දුවං එනව. මේ කොල්ලොංව ප්‍රශ්න වලට පටලන්න බෑ අම්ම’

‘එහෙනං තාත්තව එක්කං යන්න’

‘ඔව් ඒක හොඳයි. මං ලෑස්ති වෙන්නං’

‘අනේ එපා එපා එපා තාත්ත. කියන දේ අහන්නකො. අපි කවුරුත් අනවශ්‍ය රිස්ක් එකක් ගන්න ඕන නෑනෙ. මට කරන්න තිබුණ ලොකුම අනතුර මාව උදාරට බන්දන එක. දැන් ඒක කරන්න බෑනෙ. තාත්ත මට ගෙදර එන්නෙපා කියල තියන නිසා මාව දැක්කහම එයා කොහොම හැසිරෙයිද කියලත්  දන්නෑ. මං ගිහිං පරිස්සමෙන් එන්නං. මුකුත් ප්‍රශ්නයක් එහෙමනං අස්විදයියට එහෙට එන්න දෙන්නෙත් නෑ මං. අම්මල බය නොවී ඉන්නකො’

මේ වෙලාවේ යසස්වි ට තීරණ ගන්නට ඕනෑ වූයේ බාල බොළඳ දියාරු කෙල්ලක සේ නොවේ. තුන්කල් දකිනා පරිනත ගැහැනු ආත්මයක් විලසිනි. ඇගේ දෑස් මත ඒ අධිෂ්ඨානය විය.

ඈ තේ එක ගෙන කාමරයට යත්දී අස්විද යහන මත හිඳ දෑතින් නළල අල්වාගෙන කල්පනා කරමින් සිටියේ ය. ඈ ඔහු ගේ හිස මතින් අතක් තැබුවා ය. අස්විද තේ එක ගත්තේ සුසුමක් එක්කයි. යසස්වි ඔහු ට ලංව යහන පසෙකින් හිඳගත්තා ය.

‘කල්පනා කරන්නෙපා ඉතිං. ඔළුව අවුල් කරගන්නැතුව ඉන්න. මේ කෝට් කේස් එක ඔයාට වටින එකක්නෙ’

‘ඊට වැඩිය මට ඔයා වටිනව’

‘හරි ඉතිං. ඒ වුණාට නඩුවට යන්න ඕනනෙ. ඒක හරියට ඉවරකරල ඉමු. මං හෙට එනවනෙ’

‘දවසක්ම ඔයා නෑ කියල හිතනකොට…’

‘මං යන්නෙ මගෙ හිත මෙහෙ තියල. තාත්ත මට ගහල පන්නගත්තත් මේ වෙලාවෙ මට එයාව බලන්න නොයා ඉන්න බෑ’

‘පරිස්සමෙන් ගිහින් එන්නෝනෙ හොඳද… පුළුවන්කමකට ඔයාව යවනව නෙවෙයි’

‘මං දන්නව’

ඈ යන්තමින් ඔහු ගේ අත් බාහුවක කම්මුල ස්පර්ශ කළා ය. අස්විද ඇගේ හිස් මුදුන සිපගත්තේ ය.

‘එහෙම වුණොත් මං හෙට උදේ මෙහෙං පිටත් වෙන්නං. ඔයා මං එනකල් ඉන්න’

‘හ්ම්. ඒකට මං ආසයි. ඔයත් එක්ක ගොඩක් වෙලා ගොඩක් දුර තනියම එන්න. තාත්ත මට ගැහුව වුණත්… ඒ ගමන ජීවිතේ මං ආසම ගමන වෙයි’

‘ලෑස්තියි නේද… දැං යමු එහෙනං’

හිස් කෝප්පය මේසය මතින් තබා අස්විද නැගී සිටියේ ය. යසස්වි ඔහු ට ලංව සුසුවඳ පපුතුර දෙතොල් තැබුවා ය. ඔහු තදින් ඈ වැළඳගත්තේ ය. තත්පර කිහිපයක්, එක වචනයක් හෝ නොමැතිව ඔවුහු උනුන් වැළඳගෙන එසේ සිටියහ.

‘මං අම්මලට කියල එන්නං’

අකමැත්තෙන් මුත් ඒ උණුහුමෙන් මිදී ඇය කෝප්පය ද රැගෙන පිට වී ගියා ය.

වෙනදා ගෙදර යන්නට පිටත්   වෙත්දී නො දැනුණු විදිහේ හිත් බරක් යසස්වි ට දැනිණ. මේ වෙන්ව යාමේ වේදනාව ඇයට නුහුරු තරමි. උදාරගෙන් ගැලවීමේ චේතනාව මත ඇය අනුරාධපුරයෙන් සමුගත්තේ දුකකින් නොවේ. අම්මා තනි කොට පැමිණීමට සිදු වීම පමණක් ඇයට තිබූ කණගාටුව විය.

යසස්වි විජිතගේත් වජිරාගේත් පාද නමස්කාර කොට සිප වැලඳ ආශිර්වාද ලබාගත්තා ය. මේ වෙලාවේ ඇය සිටියේ සිනහවක් මුහුණෙහි සිත්තම් කරගෙනයි.

‘බොරුවට බය වෙන්නෙපා ඔය දෙන්න හොඳේ’

ඇය විහිළුවක් ද කළා ය.

‘ගිහිං කෝල් එකක් දෙනව හරිද… කොහොමත් ෆෝන් එක ඔන් එකේම තියාගන්නව’

සනුක පසුගමන් යමින් කීවේ ය. යසස්වි ගේ ඇස් මත එකඟතාවයෙහි සලකුණු විය. චේතිය පමණකුදු නොව නිලූකා ද පසුගමන් ආවා ය. යසස්වි ඇගේ අතකින් අල්වා කම්මුලක් සිප සමුගත්තා ය. වෙන කිසි දාක යසස්වි ගැන නො දැනුණ විදිහේ හැඟීමක් මේ මොහොතේ නිලූකා ට දැනී නො දැනී ගියේ ය.

‘කෙල්ල බස් එකට නැග්ගගමන් යන්නෙපා. බස් එක පිටත් වෙනකල් පොඩ්ඩක් එතන ඉන්න ඕන’

විජිත අස්විද ට උපදෙසක් දුන්නේ ය.

‘වැදගත් මනුස්සයෙක් ඉන්න සීට් එකක ඉඳගන්න දුව’

‘හරි අම්ම’

යසස්වී ඔවුන් සමග තර්ක කරන්නට හෝ එකඟ නොවන්නට නො ගියා ය. සනුක රිය දොර හැර, ඇය නැගුණු පසු එය වැසුවේ ය. ඈ වෙනත් රටකට කාලයකට යන්නා බඳු සංකා හැඟීමකින් සියල්ලෝ බලා සිටියහ. යසස්වි මන්දස්මිතයකින් අතැඟිලි සෙලවූවා ය. රිය හෙමිහිට පෙරට ඇදිණි.

ආදරය කියන්නේ මේ දැනෙනා බරැති හැඟීමට විය යුතු ය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here