ආදර සැලසුම් – 64

0
2569

ආදිත්‍ය නිවසට පැමිණෙන විට රාත්‍රී නමයට ආසන්න වූ අතර අශිකා ප්‍රධාන දොර අසලට වී ආදිත්‍ය පැමිණෙන තුරු බලා උන්නාය. තවමත් පහව නොගිය අසනීප ගතිය නිසා වේලාසනින් රාත්‍රී ආහාරය ලබා ගත් අභිමන් ඒ වන විට නින්දට වැටී හුන් අතර දැවෙන හදවතින් යුතුව අශිකා බලා උන්නේ සිදු වන්නට යන විනාශයේ තරම සිතින් මැන බලන්නට උත්සාහ දරමිනි.

මිදුලේ වාහනය නතර කළ ආදිත්‍යය දොර අසලට වී බලා සිටින අශිකා දෙස මොහොතක් බලා සිට වාහනයෙන් බැස පැමිණියේය.

” මෙච්චර වෙලා ගියේ ඇයි ආදිත්‍යය ? ” 

අශිකා ඇසුවේ නොසන්සුන් බවිනි. තම පියා , අභිමන් හෝ තමා ගෙට ගොඩ වන විටම මෙවැනි ප්‍රශ්න අසන්නට අශිකා කෙදිනක වත් පුරුදු වී නොමැතිව සිටි නිසා ආදිත්‍ය ගේ සිතට දැනුනු අමුත්ත දෙගුණ තෙගුණ විය.

” කොහෙද ඉන්නේ කියලා මං ඔයාට කිව්වනේ අම්මා ” 

ආදිත්‍යය මුදල් පසුම්බියත් ජංගම දුරකථනයත් ටීපෝව මතින් තබමින් සෝෆාවෙන් වාඩි වූයේය.අශිකා දොර වසා දමා පැමිණ ආදිත්‍යය ඉදිරියෙන් වාඩි වූයේ නැවත හැරී තරප්පු පේළිය දෙස බලමිනි.වැරදීමකින් හෝ අභිමන් නින්දෙන් අවදි වී පැමිණ තමා ආදිත්‍යය සමඟ සිදු කරන්නට යන කතා බහ අසා සිටියහොත් එය පවුල දෙදරා යන්නට තරම් හේතු වන කාරණාවක් වනු ඇත. ඒ නිසා මේ කතා බහ ආදිත්‍ය සමඟ සිදු කළ යුත්තේ ඉතා ප්‍රවේසමිනි.මේ මොහොතේ දී ආදිත්‍ය සමඟ මේ කතා බහ සිදු නොකළ හොත් සිදු වන්නට යන්නේ ද විශාල විනාශයකි.

” මට චන්දිකට කතා කරන්න ඕනේ. ඔයාට පුළුවන්ද ආදිත්‍යය මට එයා ගේ නම්බර් එකක් හොයලා දෙන්න ? ” 

අශිකා ඇසුවේ හඬ බාල කරය. චන්දික යනු කවුරුන් දැයි අභිමන් හට එක වරම සිහියට ආවේ නැත.ඔහු මොහොතක් කල්පනා කළේ ඒ නිසාය.

” චන්දික කිව්වේ ? “

” මෞර්යා ගේ තාත්තා ” 

ආදිත්‍ය බලා උන්නේය. මෞර්යා ගේ පියා සම්බන්ධ යම් කාරණාවක් නිසා තම මව මෙසේ නොසන්සුන් භාවයට පත්ව සිටිනවා විය හැක. තමා නිවසට පැමිණීමට ප්‍රමාද වීම පිළිබඳවද ඇය විමසන්නට ඇත්තේ ඒ නිසාය.

” පරණ දේවල් දැන් වැඩක් නෑ නේද අම්මා? ඔයා ඒ මනුස්සයට කතා කළා කියලා අලුතෙන් වෙන්න දෙයක් නැහැනේ. අනිත් එක අම්මට ඇයි හදිස්සියේම එයාට කතා කරන්න ඕන වුණේ ? ” 

” පරණ දේවල් වැඩක් නැහැ කියලා තමයි මමත් හිතා ගෙන හිටියේ. ඒ උනාට ඒවා එහෙම ලේසියෙන් අමතක කරලා දාලා ඉන්න පුලුවන් දේවල් නෙමෙයි කියලා මට තේරෙන්නේ දැන් ආදිත්‍යය ” 

” මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ අම්මා. අහම්බෙන් වගේ පාරකදී හම්බ වෙලා ඒ මනුස්සයත් එක්ක කතා කරන එකේ වැරැද්දක් නෑ.ඒ උනාට ඉතින් එයාට කෝල් කරලා කතා කරන්න තරං දෙයක් ඔයාට තියෙනවද ? ” 

ආදිත්‍ය මේ අසනා ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය.එහෙත් එයට පෙර ඔහු සියලු සත්‍ය දැන සිටිය යුතුය. ගැටලුව නම් ඔහුට සත්‍ය පැවසීම නොවේ.ඒ සත්‍යය ඔහු කෙතරම් දුරට පිළිගනීද යන්නය. අතිශයින් කටුක වුවද ඒ සත්‍ය පිළිගැනීම හැර වෙනත් මාර්ගයක් තමාට වත් තම වැඩිමහල් පුතුට වත් නොවන බව අශිකා සිතුවාය.

” ආදිත්‍යය මං ඔයා ගේ අම්මා.ඔයාට මොකක් හරි වැරැද්දක් වෙනවා කියලා මට දැනෙනවා නම් ඒකෙන් ඔයාව බේර ගන්න එක ඔයා ගේ අම්ම විදිහට මම කරන්න ඕනේ ” 

” මාව බේර ගන්න මොකටද අම්මා ඔයාට පිට මනුස්සයෙකු ගේ උදව් ? අනිත් එක එහෙම උදව් ගන්න තරම් මං වැටිලා ඉන්න කරදරේ මොකක්ද ? ” 

තමා ගේ ජීවිතයේ ගැටළු විසඳා ගැනීම පිණිස තමා ගේ මව පිටස්තර මිනිසකු ගේ පිහිට පැතීමට සිතීම පවා ආදිත්‍යය හට ගෙන ආවේ නොරිස්සුමකි. පවුල තුළ මේ තරම් ගැටලු ඇති වී තිබියදී තමා ගේ මව වුවද මෙවැනි පියවරක් ගැනීම කිසි සේත්ම කළ යුතු නොවේ.අනෙක් අතට මේවා තම පියාට වැරදීමකින් හෝ  ආරංචි වුවහොත් සිදු වන්නේ තත්ත්වය තවත් අයහපත් අතට හැරීමකි. 

අශිකා උන්නේ කිසිවක් කර කියා ගත නොහැකිවය. සියලු සත්‍ය ආදිත්‍ය වෙත පවසනවා දැයි නැතහොත් නිහඬව බලා සිටිනවා දැයි සිතමින් අශිකා දෙගිඩියාවෙන් පසු වූවාය. සමහරවිට ආදිත්‍ය මේ කාරණාව කිසිසේත්ම පිළිනොගනු සහ විශ්වාස නොකරනු ඇත.අනෙක් අතට ඔහු අතිශයින්ම කම්පාවට පත් විය ද හැක.කෙසේ වුවත් කළ යුතු හොඳම දේ වන්නේ ඔහුට සත්‍ය පැවසීමය

” ඇයි අම්මා ඔයා කතා කරන්නේ නැත්තේ ? ” 

අශිකා නිහඩව සිටින තැන ආදිත්‍යය නැවත ඇසුවේය. වෙනදා මෙන් නොවන අෂිකා ගේ හැසිරීම ආදිත්‍යගේ සිතට එකතු කර තිබුණේ කුතුහලයකි.

” කියන්නකෝ අම්මා ? ඔයාට දැන් මාව බේරගන්න ඕනේ මොකෙන්ද? ” 

” මෞර්යා ගෙන් ” 

අශිකා පිළිතුරු දුන්නාය. ආදිත්‍ය පුදුම වී බලා උන්නේ කිසිවක් සිතා ගත නොහැකිවය.

” අම්මා.. ” 

ආදිත්‍ය මිමිනුවේය. සමහර විට තමා හා මෞර්යා පිළිබඳව ෂෙහාරා ගෙන් ආරංචි වීමක් හෝ වෙන කුමන ආකාරයක ප්‍රශ්නයක් හෝ ඇති වී තිබෙන හැඩය. ආදිත්‍ය වුණේ ඒ කුමක් දැයි හරි ආකාරව තේරුම් ගත නොහැකි මොහොතකය.

” මම දන්නවා ඔයයි මෞර්යයි අතරේ එෆෙයාර් එකක් තියෙනවා කියලා ” 

” අම්මට ඕක කිව්වේ ෂෙහාරා ද ? ” 

” නෑ. ෂෙහාරා කොහොමද මේකට පැටලෙන්නේ? ” 

අශිකා හට ඇති වූයේ තවත් ගැටළුවකි. 

” මට අද ෂෙහාරාව හම්බ වුණා. ඒකයි “

” ඉතින් ? ” 

“ඉතින් මොකුත් නැහැ.එයා දැන් මගේ කවුරුත් නෙමෙයිනේ.අනිත් එක මං මගේ ජීවිතේ මොනවා කරත් , මොන තීරණයක් ගත්තත් ඒක ෂෙහාරාට කොහෙත්ම අදාල වෙන්නේ නැහැ ” 

අශිකා කිසිවක් නොකීවේ ආදිත්‍යය පැවසූයේ සත්‍යයක් නිසාය. ෂෙහාරා පෙරදී ආදිත්‍ය ගේ  නීත්‍යානුකූල බිරිඳ වුවද දැන් ඔවුන් නීතියෙන් වෙන් වී හමාරය. ආදිත්‍ය ජීවිතය පිළිබඳව කුමන තීරණයක් ගත්තද එය ෂෙහාරාට අදාළ නොවේ.

” හරි ඒක එහෙමයි කියමුකෝ.ඒත් ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔයයි මෞර්යා යි ” 

” අම්මා මොකක්ද කියන්න හදන්නේ ? “

මෙවැනි කාරණාවක් කිසිදු මවකට තම පුතු හට කීමට නොලැබේවා යයි අශිකා ප්‍රාර්ථනා කළාය. එය එතරම්ම සංවේදී සහ බරපතල කාරණාවකි.අනෙක් අතට ජීවිත ගණනාවක් වෙනස් කළ හැකි කාරණාවකි.

” ඔයාට මෞර්යා එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නම් , එයාව කසාද බඳින්න ඔයාට අදහසක් තියෙනවා නම් ඒක අදම ,මේ දැම්ම ඔයා හිතින් අත ඇර ගන්න ඕනේ ආදිත්‍යය ” 

අශිකා ඉතා ආයාසයෙන් ඒ වචන පිට කළ කළාය. මේවා අසා සිටීමට ආදිත්‍ය හට කෙතරම් අසීරු වුවද තමා මේ මොහොතේ ඒ කටුක සත්‍යය තම පුතුට පහදා දිය යුතුය.

” ඒකට මට එක සාධාරණ හේතුවක් කියන්න අම්මා ? ” 

ආදිත්‍යය ඇසුවේ අසරණවය. වංචා සහගත විවාහයකින් ගැලවී යන්තමින් හෝ හදවත සුවපත් කිරීමට සමත් වූ එකම ආදරයද අමතක කළ යුතු බව තම මව තරයේ කියා සිටීම ඉවසිය නොහැක. ඒ ගැන සිතීම පවා ශෝකයකි. 

” එක සාධාරණ හේතුවක් නෙමෙයි.ඒකට ලොකු සාධාරණ හේතුවක් තියෙනවා. ඒක කොච්චර අමාරු වුනත් ඔයාට පිලිගන්න වෙනවා පුතා. මෙතන සම්පූර්ණ වැරැද්ද මගේ. මං ඒක ගැන පසුතැවෙනවා. ඒත් මෙතනදී මං ඔයාව බේර ගන්න ඕනේ.මොකද මං ඔයා ගේ අම්මා ” 

” මොකක්ද අම්මා ප්‍රශ්නේ? මොකක්ද මෞර්යා ගේ තියෙන අවුල ? අම්මා හොඳටම දන්නවානේ මෞර්යා කියන්නේ කොච්චර හොඳ ළමයෙක්ද කියලා ” 

ආදිත්‍ය කීවේ වෙව්ලන කටහඬිනි. අශිකා උන්නේ මේ මොහොතට මුහුණ දීමට නොහැකි අසීරුකමකිනි. දෑසින් කඩා වැටෙන කඳුළු වලට ඔහේ ගලා යන්නට ඉඩ හැර අශිකා තවත් මොහොතක් ආදිත්‍යගේ අසරණ මුහුණ දෙස බලා උන්නාය.

” මෞර්යා කොච්චර හොඳ ළමයෙක් උනත් ,ඔයා කොහොමද ආදිත්‍යය ඔයාගේම නංගිව කසාද බඳින්නේ ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here