ඔබෙ ආදරෙන් මා දැවේ – 45

0
739

ඒ පින්තූරය මලිත් ගේ වට්සැප් එක වෙත ආවේ මලිත් හිතුවෙවත් නැති වෙලාවකය. මේධාංගනී ගේ අපාට්මන්ට් එකේ බැල්කනියේ හිඳින තරුණයා කවුදැයි කියා හිතාගන්න පින්තූරය ඈත සිට ගත්තක් වුවද අඳුරගන්න මලිත්ට අපහසු උනේ නැත.

“උඹට ගහලා ඇති උනාට පස්සෙ මේධාංගනී අන්තිමේ ප්‍රභාත්ව දාගෙන” කියා පින්තූරය එව්ව මිතුරා කිණ්ඩි හිනාවක් සහිත එමොජි එකක් එක්ක එවද්දී ඒ කතාව තමන් භාරගත යුත්තේ සමච්චලයක් විදියටද ආඩම්බරයක් විදියටද කියා වෙන්කර හඳුනාගන්න පුලුවන්කමක් මලිත්ට තිබ්බේ නැත. හිත තිබුණෙ එතරම්ම අවුල් වියවුල් වීය.

“උඹ ඔය මල සක්කරවට්ටමගෙ රෙද්ද අස්සෙ රිංගන්න යද්දිත් මං උඹට කිව්වා ඔය මගුලෙන් අන්තිමේ වෙන්නෙ උඹට කෙලවෙන එක කියලා. කෝ උඹ ඇහුවද? අන්තිමේ උඹට ඒකිත් නෑ ජාන්විත් නෑ. මහ ලොකුවට පාත් එකක් හදාගන්නවා කිව්ව එකත් නෑ. අන්තිමේ නිකන් පුක කැඩිච්ච කඩියා වගේ ගේ අස්සට වෙලා දඟල දඟල ඉන්නවා” කියා ඊයෙ කිව්වේ අම්මා විසින් දුන් වේදනාව පිරිච්ච දුරකතන ඇමතුමකින් කල ආයාචනයක් මග හරින්නට බැරි තැන තමන්ව බලන්නට ගෙදර ආ මිතුන් ය.

“යකෝ මේධාංගනී වගේ ගෑනු, තමන්ට කියලා හරිහමං පිරිමියෙක් හොයාගන්න බැරි ගෑනු අන්තිමේ තමන්ගෙ ඒ ඕනෑ එපාකම් පිරිමහගන්න උඹලා වගෙ ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එන කොල්ලන්ව අල්ලගන්නවා. ඒක උඹත් දැනගෙන හිටියනෙ. උඹම දැනගෙන හිටියනෙ උඹට කලින් ඒ ගෑනි කොල්ලො කී දෙනෙක් එක්ක ලැග්ගද කියලා? ඒ උන් උඹ වගේ මේ ගූ හැලියම හලාගන්න ගියේ නෑ නිකන් එකම සත්‍ය ප්‍රේමවන්තයා වෙන්න ගිහින්. උන් ගාණට උන්ගෙ ආතල් එක අරගෙන, වැඩෙත් කරගෙන, ගෑනිවත් හොඳින් තියාගෙන ශේප් එකේ ට්‍රැක් එක මාරු කරා.

උඹ තමයි මෙතන මේ පවුල් ජිවීතෙයි, ඔක්කොම උකස් කරලා ඒකි අස්සෙ ලගින්න ගියේ. මං ඒ කාලෙත් උඹට කිව්වනෙ ඕක නම් හරියන වැඩක් නෙවෙයි කියලා. උඹ හිතන් උන්නෙ මේධාංගනීට කවදාවත් උඹව එපා වෙන එකක් නෑ කියලා. මං ඒ කාලෙත් කිව්ව උඹට ඔය මේධාංගනීලා වගේ ගෑනු එකම කෑම එක හැමදාම කන්නෙ නෑ කියලා. උන්ගෙ අතේ තියෙන පිඟාන නාසි තියෙද්දි උන්ට කරවලයි බතුයි කන්න ඕන වෙනවා. කරවලයි බතුයි තියෙද්දි නාසි කන්න ඕන වෙනවා. නාසියට කරවල වෙන්නත් බෑ. කරවලට නාසි වෙන්නත් නෑ. නාසි කන වෙලාවට ළඟට යන්න නාසියි, කරවල කද්දි ළඟට යන්න කරවලයි ලෑස්තිවෙලා ඉන්න ඕන. උඹට කරන්න තිබ්බෙ ඒක. ඒත් උඹ කරගත්තෙ මොකද්ද ඒකිගෙ මිනිහා වෙන්න ගිය එක නෙ.

කොහොමද උඹ ඒ කාලේ අපිට දාපු ලොරි ටෝක්? මේධාංගනීට මං වගේ එකෙක් සෙට් වෙලාම නෑ. අරකද මේකද කියලා. යකෝ උඹ නිකන් පිරිමි ගණිකාවක් වෙච්ච එකයි උනේ. දැන්වත් ඒක පිළිගනින්. උඹට හිතට අමාරු ඒකි උඹට කපන හන්දනම් ඒකිව ශේප් කරගන්න විදිය ආය මං උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි උඹ හිතන්න එපා ප්‍රභාත් කාරයා ඉන්නකම් ඒකි ආය උඹව ඉස්සර වගේ අත උඩ තියන් ඉඳිවි කියලා. එහෙම ගේමක් හරි ගහගන්න බලපං නිකන් මේ පිස්සෙක් වගේ හැසිරෙන්න නැතුව” කියා මිතුන් කියද්දිත් මලිත් කරේ ඔලෙයියෙක් වගේ ඔලුව හොල්ලා හොල්ලා ඉන්න එක විතරය. වෙනදා නම් මලිත් තමන් එක වචනයක් කියද්දී එයට එරෙහිව වචන දාහක් කියන තැනකට ආවද මලිත් අද ඉන්න විලාසයෙන්ම මිනිහා ඉන්නේ එසේ මෙසේ මානසික වියවුලක බව තේරුම්ගන්න මිතුන්ට අපහසු උනේ නැත.

“උඹ මචං හිතේ අවුලෙන් ඉන්නෙ මේකි මේ ප්‍රභාත් කාරයව උස්සල තියන්න උඹට වල කපන්න හදන නිසා නම් මං කියන්නෙ ඒකිව ශේප් කරගනිං. එහෙම කරන්න උඹ ලැජ්ජ වෙන්න ඕන නෑ. අඩුම උඹට උඹේ කරියර් එකවත් ඉතුරු වෙයිනෙ බං” කියා මිතුන් අන්තිමට කියද්දි උනත් මලිත් උන්නේ ඒ කිසිවක් අසාගෙන නොවේ. මලිත්ගේ හිත තිබුනේ වෙන තැනකය. ප්‍රභාත් මේධාංගනීගේ ගෙදර බැල්කනියේ ශර්ට් එකක් නැතුව හිඳින ජායාරූපය දුටු තැනය.

“අනික මලිත් හිතනවනම් මලිත් කරා වගේ ප්‍රභාත් මගෙ පස්සෙ එනවා කියලා අන්න ඒක වැරදියි.මොකෝ ප්‍රභාත් කියන්නේ එහෙම ලේසියෙන් කාගෙවත් පස්සෙ ගිහින් තමන්ගෙ වැඩේ කරගන්න ජාතියෙ මනුස්සයෙක් නෙවෙයි. ප්‍රභාත් ටැලන්ටඩ්. මං ආසයි මිනිහගෙ වයිබ් එකට.” කියා එදා කිව්වාට මේධාංගනී කෙසේ හෝ තමන් දන්නා සියලු මායම් පාවිච්චි කර අවසානයේ ප්‍රභාත්ව දැළට දාගෙන ඇති බව තේරුම්ගන්න මලිත් ට අපහසු උනේ නැත. 

ප්‍රභාත්ව විනාස කරන්න බැරි බව මලිත් දැන උන්නේය. අනික් අතට මලිත්ට ප්‍රශ්නෙ තිබුණේ මේධාංගනී එක්කය. ඇය ඇගෙ රේඩාර් එකෙන් තමන්ව අතු ගා දැම්ම එකය. මලිත්ට ඕන උනේ ඒ නිසාම මේධාංගනීගෙන් පළිගන්න ක්‍රමයක් ය. එහෙත් මේධාංගනීගෙන් පළිගන්න එක තමන්ගේ අවසානය සනිටුහන් කරන්නට හේතුවෙන බවද ඒ එක්කම මලිත්ට මතක් නොවුණා නොවේ.

කරන දෙයක් කළ යුත්තේ තමන්ගේ අවසානයද සිතා බලා බව මලිත් මතක් කරගත්තේ ඒ අනුවය.

ජාන්වි උන්නේ ඒ අතරවාරයේ තුරුණු එක්ක ආදරයේ අලුත්ම පාටවල් ගැණ බලමිනි. තුරුණු එදා මෙන්ම වඩා පරික්ශාකාරිව ආදරය කරද්දි “ඔයාට පරිස්සම් කරන්න දෙයක් දැන් මගේ නෑ” කියා කියන්නට ජාන්වි පෙළඹුණේද ඇස් වල කඳුළු පුරවාගෙනය.

“ඔයා ඔය කියන්නෙ පිසිකලි පරිස්සම් කරන්න ඕන දෙයක් ගැන නෙ. මං හැබැයි මේ පරිස්සම් කරන්න හදන්නෙ පිසිකල් දෙයක්ම නෙවෙයි ජාන්වි. ආදරේදි අපි හිතුවට අපි අපිව පරිස්සම් කරගන්න ඕන ශාරීරිකව වෙන්න පුලුවන් හානියකින් කියලා ඇත්තටම අපි පරිස්සම් කරගන්න ඕන අපේ හිතට වෙන හානිය ජාන්වි. ආදරේ හන්දා ඇඟට වෙන හානියක් කොච්චර ඉක්මනට අමතක කරන්න පුලුවන් උනොත් හිතට වෙන ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් වෙන හානිය අමතක කරන්න හරියට කල් යනවා” කියා තුරුණුගේ වේදනාබර හඬ දුරකතනය ඔස්සේ ඇදී එද්දී ජාන්වි කරේ දිග හුස්මක් හෙලා තමන්ගේ සිතුවිලි වචන කරන එකය.

“ඔයාට ආයෙ කවදාවත් මං හන්දා ඔයාගෙ හිත රිද්දගන්න වෙන්නෙ නෑ තුරුණු. අයි ප්‍රොමිස් යූ. ඔයා මං වගේ කෙනෙක්ව භාර ගෙන කරපු මේ පින මම කවමදාකවත් අමතක කරන්නෙ නෑ.

මං කවදාවත්ආය එහෙම පව් වැඩක් කරන්නෙ නෑ තුරුණු ඔයාට. මං ආය කවදාවත්ම ඔයාට රිද්දන්නෙ නෑ. වෙන කෙනෙක්ට ඔයාට රිද්දන්න ඉඩ තියන්නෙත් නෑ. මට ඔයාගෙ වටිනකම ඇත්තටම තේරුණේ මලිත් මට රිද්දද්දි. ඒ මං වින්ද දුක මං ආයෙ කවදාවත් කාටවත් විඳින්න ඉඩ තියන්නෙ නෑ

අහස් ගැබේ… තරු කැට ගානේ…

පොලෝ තලේ… වැලි කැට ගානේ..

නිල් සයුරේ… රළ පෙළ ගානේ…

ආදරෙයි.. මං ආදරෙයි…” කියා ජාන්වි ඉස්සර වගේම, ඉස්සර කිව්ව “අහස් තලේ තරු කැට ගානේ” සිංදුව කියද්දී තුරුණු කලේ ඒ අහගෙන ඉන්න එකය. 

“ඔයා ඉස්සරත් ඔය විදියටම නේද ජාන්වි ඔය සිංදුවම කිව්වේ? මං ඒ කාලෙත් ඔය වචන දැන් වගේම අහන් හිටියා. විශ්වාස කරා” කියා හිත කිව්වද තුරුණූ ඒ කිසිවක් ජාන්වි එක්ක බෙදාගත්තේ නැත.

“මං දන්නවා” කියා තුරුණු කිව්වේ ජාන්වි සිංදුව කියා අවසන් කරාට පස්සේය.

“මොකද්ද දන්නේ?”

“ඔයා මේ පාර මගේ හිත රිද්දන්නෙ නෑ කියලා” තුරුණු කියද්දි ජාන්වි ඒ වචන භාරගත්තේ වඩා සන්තෝසදායක හැඟීමකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here