දෑත දරා – 10

0
108

මනුජ නිවෙසට පැමිණෙන විට රාත්‍රී දහය පසු විණි. දිනයේ වෙහෙස නිසාත්, සිතෙහි වූ කලබලය නිසාත් මනුජ මෝටර් රිය ධාවනය කලේද අඩු වේගයෙනි. දියණිය නින්දට වැටුනේ මනුජ පැමිනෙන තෙක් බලා හිඳීමෙන් වෙහෙසට පත් වී බව සාරතී පවසද්දී මනුජගේ සිතෙහි කලබලය තවත් වැඩි විය. ඔහු ගත දොවාගෙන දියණිය වෙත ගියේ ඉතා ඉක්මනිනි.

”  මම කාලා අස් කරන්නම් .. සාරතී නැන්දා නිදාගන්න ..”

ඔහු ඒ යමින් ගමනේ එහෙමද කීවේය. සාරතී ඇගේ කාමරය තුළට ගොස් දොර වසා ගන්නා හඬ මනුජට ඇසුනේ ඔහු දියණිය අස්ලින් වැතිරෙද්දීය.

දියණිය උන්නේ ටෙඩියෙකුට ගුලිවීගෙනය. ඒ පසුගියදා තමා හා සාප්පු සවාරියේ යෙදෙද්දී  මිලදී ගත් රෝස පැහැති ටෙඩියා බව මනුජට සිහිපත් විය. වෙනදාට මනුජට මෙවන්  කාරනා සිහියේ රැඳෙන්නේ නැත.  එහෙත් තම මනස තුළ යම්  විපර්‍යාසයක් ව ඇති බව ඔහුට දැනේ.

මනුජ ටෙඩියා පසෙකට කර දියණිය නිදහසේ තැබුවේය. ඔ සිහින් කෙඳිරියක් සමඟින් ඉරියව්  සකසා ගත්තාය. මේ ගෙවෙන්නේ ඇය අම්මාට ගුලි වී නින්දේ සිටිය යුතු කාලයය. එහෙත් ඇයට අම්මා සහ තාත්තා දෙදෙනාගේම උණුහුම අහිමිය. මනුජ දියණියගේ හිස පිරිමැද්දේය. සිනිඳු හිසකේ ඔහුට නිර්දා සිහි ගන්වන්නේය. එහෙත්, ඒ තවදුරටත් ජීවිතය තුළ තබා ගත යුතු යමක් නොවන බව මනුජ අවධාරනය කරගත්තේය.

රාත්‍රී ආහාරය සඳහාවත් දියණිය තනි කර යන්නට මනුජට සිතුනේ නැත. ඔහු එහෙමම ඇය අසලින් වැතිරුනේය.

” මං බබා ළඟින් ඩිංගක් ඉන්නම් .. මහත්තයා කාලා එන්න …”

සිහින් හඬින් සාරතී එලෙසින් පවසනු ඇසුනේ මද වේලාවකිනි. මනුජ විනාඩි කිහිපයකින් ආහාර ගෙන නිම කලේය. සාරති කුස්සියේ වූ සියල්ල සෝදා පිරිසිදු කර තිබුණි. මනුජ සාරතීට ස්තූතිවන්ත වෙමින්ම කාමරය තුළට ආවේය.

” උදේට කාරණා කිහිපයක් කතා කරගන්නෝනි සාරතී නැන්දේ ..”

ඔහු ඉන් පසුව එලෙසද කීවේය. සාරතී එයට එකඟව පිටත් වූයේය.

මනුජ දියණියගේ හිස පිරිමදිමින් යහනේ උඩු බැලි අතට වැතිරුනේය. සාරතී දියණිය රැක බලා ගැනීමේ කාර්‍යෙයෙහි යෙදීම සිතට පහසුවක් බව මනුජ දනී. ඒ වෙනුවෙන් වෙන් කල යුතු මුදල මනුජට සීමාවකින් දක්වා ගන්නටද නොහැකිය. දිවා කාලය දියණියගේ දඟකාරකම් සමඟ ඔට්ටු වෙමින් සිටීම පහසු නැත. ඇය වෙනුවෙන් දිනකට වෙන් කර ඇත්තේ රුපියල් එක්දහස් අටසීයකි. ඇය ඉල්ලා සිටියේ එක් දහස් දෙසීයකි. ඇයට දිනකට  දෙදහස් පන්සීයක්වත් දෙන්නට මනුජ තීරණය කලේය. ඇය රාත්‍රී කාලයේ නිවසට නොගොසින්  සිටින්නට එකඟ නම්, මාසික වැටුපක් පිළිබඳවම කතා බහ කරගන්නට හැක.

රාත්‍රී කාලයේ ඇය වෙනත් රැකියාවකටයොමු වීම එලෙසින් නවතා ගන්නට මනුජ සැලසුම් කලේය. මිනිසුන්ගේ ජීවිත වල මුදල් කිනම් ආකාරයේ බාධාවක් වනවාදැයි මනුජ දනී. එනිසා සාරතී නම් තනි ගැහැණියටද එය එලෙසින්ම බව මනුජට වටහා ගන්නට හැක. ඒ සඳහා වන සිසඳුම් ලබා දී ඇය දියණිය වෙනුවෙන්ම තබා ගත යුතුයැයි මනුජ තීරනය කලේ නින්ද අහලකටවත් නොවෙද්දීය.

දියණිය නින්දෙන්ම තම ගතට උඩින් පාදයක් දමාගෙන බව මනුජට දැනුණි. ඔහු ඇයවෙත හැරී ඇය තම ගත මතට වන සේ ගත්තේය. පසුගිය දිනෙක දියණිය නිසා නින්දට බාධාවක් සේ දැනුණු කාරණා දැන් දැනෙන්නේ හදවත පිරී යන ඇලීම් ලෙසය.

” අප්පච්චී ඉන්නවා මගේ පුතේ ඔයාට .. අප්පච්චි ඔයාට හැමදාම ඉන්නවා…”

මනුජ දියණියව ගතට තුරුලු කරගෙන එලෙසින් තමාටම කියාගත්තේය. දියණියකගේ වගකීමෙන් පපුව පිරුණු පියෙකුගේ හදවත වෙනදාට වෙනස් නුහුරු තාලයෙන් ගැහෙමින් තිබුණි. මඟ හැරුණු වගකීම් වෙනුවෙන්දැයි සිතෙන පසුතැවීමක හඬ ඔහු රිදවමින් ඇසෙමින්ද තිබුණි.

මනුජ දියතලාවේ සිටින වෛද්‍ය මිතුරාට හඬ පණිවිඩයක් යැව්වේය.

” විශ්ව … උඹ හරි … සමහරවිට මම නිර්ධා බලාපොරොත්තු වෙච්ච මිනිහා නෙවෙයි වෙන්න ඇති…. නිර්ධාට යන්න හේතු අනේක මගේ අතින් හැදෙන්නත් ඇති….  ඉන්න ඕනිමයි හිතුනත්, යන්න හේතුවක් කොහෙන් හරි තියෙන්නත් ඇති …

ඒත් උඹ කිව්වා වගේම දෝණි බලාපොරොත්තු වෙන අප්පච්චි නොවී ඉන්න මට බෑ… දෝණිගේ ජීවිතේ ජීවත් වෙන්න තියෙන එකම හේතුවක් වත් නැති වෙන වෙලාවක වුනත්, ජීවිතේ අල්ලන් ඉන්න හේතුව මම නොවී තියෙන්න බෑ….. තව ලොකු වෙනකොට අප්පච්චි ඉන්නවානේ මට කියලා නොහිතී තියෙන්න බෑ …. කොටින්ම මට දෝණිව මඟ ඇරුනා කියලා ආයේ දෝණිට හිතෙන්න බෑ මචං … කවදාවත් අප්පච්චි එන්නේ නෑනේ කියලා හිතෙනන් ඕනි නෑ .. මගේ ජීවිතේ තිබුන හීන හරි පොඩ්ඩයි බං …

ඒත් දැන් දෝණිගේ හීනත් මගේ උරපත්තේ කියලා දැනෙනවා… මට මේක තව කතා කරන්නෝනි බං ..උඹ පුලුවන් වෙලාවක නයිටක් අදින්න බලාගෙන මෙහෙ වරෙං.. නංගිවත් එක්ක වරෙං අවුලක් නෑ .. ඉඩ තියෙනවා… මට කියහං මං ලෑස්ති කරන්නම් ඔක්කොම ..

මට මේක හරි බරයි බං.. අම්මලා, අපේ නංගි, ඒකිගෙ මිනිහා, දෝණි , … මට නිර්ධාවත් හරියටම අතෑරලා දාගන්න බෑ බං .. ඒකිත් බරක් වෙලා මගේ පපුවේ එල්ලෙනවා… මට තේරෙන්නේ නෑ, මට ඉඩක් නොදී මාව දාලා ගිය ගෑණියෙක් ගැන මට වොරි වෙන්න හේතුවක් තියෙන්න ඕනිද කියලා… ඒත් මම දන්නවානේ බං, නිර්ධා බලාපොරොත්තු වෙච්ච ජීවිතේ ඒකිට ලැබුන් නෑ මා එක්ක ආවා කියලා කියලා.. ඒ බරද කොහෙදෝ බං මේ…

ඒකෙන් කමක් නෑ… උඹ දවසක් කියහං… වරෙං මගේ නහරයක් යන්න කලින් මේ ජීවිතේ මොන පැත්තටද යන්නොනි කියලා මට තේරුම් ගන්න …”

මනුජ ජංගම දුරකතනය පසෙක තැබුවේය. දියණියගේ සේද හිසකේ අතරින් හිස පිරිමැද්දේය.  ඕ සිහිනයෙන් මන් තමා සොයමින් ගුලි වන බව මනුජට දැනෙන්නේය.

මනුජ දියණිය වෙනුවෙන් සුව යහන සකසමින් ඔහු අපහසු නින්දකට පිවිසියේය.

පසුදා සාරතී මනුජව ඇහැරවන විටත් දියණිය උන්නේ මනුජගේ ළය මත සුව නින්දකය. සාරතීද ඒ බව දැක්කාය.

” බබාව එහෙම නිදාගන්න හුරු කරන්නෙපා මහත්තයා…. ඒකෙන් වෙන්නේ මහත්තයාගේ රස්නේ නැතුව බබාට නින්ද යන්නේ නැති එක …”

සාරතී එවෙලෙහි නොකියා මඟ නොහැරම එලෙසින් කීවාය. මනුජ එයට හිස සැලුවා පමණි.

දියණිය  වට වනසේ කොට්ට කිහිපයක් ද තබා සාරතී මනුජ පසුපසින්ම ආවාය

” කිරි උණු කරලා කුස්සියේ මහත්තයා…”

” හරි සාරතී නැන්දේ .. නැන්දා බීලද ?..”

” මං උදේට කහට එකක් බොන්නේ.. ඒ බීලා නාලා, පහන තියලත් අහවර කරා…”

” මට උදේට ලොකුවට කෑමක් ඕනි නෑ …. සාරතී ණැන්දාට පහසු දෙයක් පහු වෙලා හදාගන්න ..”

” මං ආප්ප ඩිංගක් තැම්බුවා.. සුටුස් ගාලා කට්ට සම්බෝලයක් කොටලා දෙන්නන් මහත්තයා ලෑස්ති වෙනකොට ..”

මනුජ ඇය වෙත ස්තූතිපූර්වක බැල්මක් හෙලුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here