ආදර සැලසුම් – 66

0
2284

දේවපුර නිවසෙහි වූයේ විශාල කලබලයකි. ආදිත්‍ය කිසිවෙකුටත් නොකියා නිවසින් අතුරුදහන් වීමත් අශිකා කිසිවකුටත් පිළිතුරු නොදී ඔහේ බලා හිඳීමත් අභිමන්ව තව තවත් වේදනාවට පත් කරන්නට සමත් විය. අභිමන් හට තිබූ විශාලම ගැටලුව වූයේ ඇති වී තිබෙන  ප්‍රශ්නයට පිළිතුරක් සොයන්නට ප්‍රශ්නය නොදැන සිටීමය.

” අම්මා ඔහොම සද්ද නොකර හිටියම වෙච්ච දෙයක් වත් නොදැන මං කොහොමද මේක විසඳන්නේ ? ” 

අභිමන් පහත මාලයට පැමිණ අශිකා ගෙන් විමසා සිටියේ බැරිම තැනය.ආදිත්‍යගේ නිවසට ගොස් නැවත පැමිණි මොහොතේ සිටම අභිමන් ආදිත්‍යය ලඟින් ඇසුරු කළ බොහෝ මිතුරු මිතුරියන්ට දුරකථන ඇමතුම් දී ඔහු පිළිබඳව හෝඩුවාවක් හෝ සොයා ගැනීමට උත්සාහ කලද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. නිවසේ ප්‍රධාන ගේට්ටුවේ සවිකර ඇති ආරක්ෂිත කැමරා වල ආදිත්‍ය පාන්දර දෙකයි තිහට පමණ පිටව යන දර්ශන සටහන් වී තිබුණද ඔහු එසේ පිටව ගියේ කුලී රථයකින් ද නැත්නම් කිසිවෙකුගේ සහාය ඇතිවද කියා සොයා ගැනීමට නොහැකි වන ලෙස පිටව යාමට ඔහු ප්‍රවේසම් වී තිබුණේය. අභිමන් තවත් අසරණභාවයට පත් වී බලා උන්නේ ඒ නිසාය. 

පෙර දින රාත්‍රියේ සිදු වූයේ කුමක් දැයි දැන ගැනීමට මෞර්යා විසින් ආදිත්‍යය හට වට්සැප් පණිවිඩයක් තබා තිබුණද එය ආදිත්‍ය වෙත ලැබුණු සලකුණු සටහන් වී තිබුණේ නැත. මෞර්යා උදෑසන අවදි වී කාර්යාලයට යාමට සූදානම් වන අතරතුර පවා වරින් වර ආදිත්‍යය ගේ දුරකථනයට ඇමතුම් ගත්තද එය ක්‍රියා විරහිත වී තිබුණි. සාමාන්‍යයෙන් ආදිත්‍යය ඒ ආකාරයට දුරකථනය ක්‍රියා විරහිත කර ගෙන නොසිටින නිසා තරමක බියක් දැනුනද කාර්යාලයට ගොස් ඔහු මුණ ගැසී පෙර දිනයේ දී අශිකා කලබල වී සිටීමට හේතුව දැන ගැනීමට මෞර්යා සිතා ගත්තාය.

අශිකා සාලයේ වාඩි වී දුරකථනය අතේ තබා ගෙන වරින් වර ආදිත්‍යය ගේ දුරකථනයට ඇමතුම් ගෙන ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළාය.එහෙත් උදෑසන නමය වනතුරුත් ආදිත්‍යය පිළිබඳව කිසිදු පණිවිඩයක් දැන ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය.

” මේක තාත්තට කියන්න වෙයි අම්මා. අනිත් එක අපි තවත් බලාගෙන ඉන්නෙ නැතුව පොලිසියට කම්ප්ලේන් කරන්න ඕනේ. ඔයාවත් හරි විස්තරයක් කියන්නේ නැත්නම් අයියට වෙච්ච දෙයක් හොයා ගන්න ඕන නේ.මේ අතුරුදහන් වෙලා තියෙන්නේ ගෙදර හුරතලයට ඇති කරපු සතෙක් නෙමෙයිනේ ” 

අශිකා කිසිදු විස්තරයක් නොපැවසීම හේතුවෙන් අභිමන් උන්නේ තරමක කෝපයකිනි. තම එකම සහෝදරයා නොමැති ගෙදර වගකීම් සියල්ල වසරක් පුරා දරා හිඳියද මෙවැනි අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදුවීම අභිමන්ට ගෙනවිත් තිබුණේ විශාල පීඩනයකි.

” මම තාත්තාට එන්න කියන්නද ? ” 

අශිකා තවදුරටත් නිහඬව සිටීම බලා හිඳිය නොහැකි තැන අභිමන් නැවතත් ඇසුවේය.අශිකා තැති ගත්තේ අනතුරුව සිදුවිය හැකි දේවල් පිළිබඳව සිතමිනි.

” අනේ අපි තව ටිකක් බලමු. ආදිත්‍යයට පුළුවන්ද එහෙම අපි නැතුව ඉන්න ? ” 

” අම්මා මෙතන තියෙන ප්‍රශ්නෙ අයියට අපි නැතුව ඉන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි.මේ මනුස්සයාට මොකක්ද උනේ කියලා හොයා ගන්න එක.අද කාලේ රටේ ලෝකෙ වෙන දේවල් හැටියට මෙහෙම බලා ගෙන ඉන්න එක පුදුම මෝඩ කමක් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද ? ” 

අභිමන් කෝපය යටපත් කරගෙන මිදුලට බැස්සේ දේවක ගේ අංකය අමතන අතරේය. 

” අද මිස්ටර් අභිමනුයි මිස්ටර් ආදිත්‍යයි  දෙන්නම office එන්නේ නැහැ කියලා ඉන්ෆෝම් කළා. මොන හරි තිබුණොත් මට කියන්න ” 

නෙහාරා කාර්යාලයේ සියලු දෙනාව දැනුවත් කළ අතර එම පණිවිඩය ඇසුණු විගසම මෞර්යා කළේ දුරකථනය අතට ගෙන නැවත නැවතත් ආදිත්‍යය ගේ අංකය ඇමතීමය.එහෙත් ඒ වන විටත් ආදිත්‍යය ගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම මෞර්යා ගේ සිතට එකතු කළේ විශාල බියකි.උදෑසන අවදි වූ විට පවා කෙටි පණිවිඩයක් හෝ තබන ආදිත්‍යය, නිවසට ගිය විට නිවසේ තත්ත්වය කෙසේ දැයි බලා දුරකථන ඇමතුමක් දෙනවා යයි පෙර දිනයේ පවසා ගිය ආදිත්‍යය පැය ගණනාවක් පුරාවටම ඇමතුමක් හෝ නොදීම සාමාන්‍ය දෙයක් නොවන බව මෞර්යා සිත සිතා උන්නාය.

දේවපුර නිවසේ කුමක් හෝ විශාල ගැටළුවක් ඇති වී ඇති බව පැහැදිලිය.එහෙත් ඒ කුමක් නිසා දැයි සිතා ගත නොහැකිය.සමහර විට පෙර දිනයේ දී ෂෙහාරා විසින් තමා හා ආදිත්‍යය පිළිබඳව අශිකා ට පවසන්නට ඇත. එහෙත් තමා හා ආදිත්‍ය අතර ඇත්තේ විශාල ගැටලුවක් මතු කරන්නට තරම් සමත් වන බැඳීමක් නොවේ.තරුණ කාලයේ දී ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීම අතිශයින්ම සාමාන්‍යය කාරණාවකි. 

” ගෙදර හිටිය ළමයා එකපාරටම කාට වත් නොකියා අතුරුදහන් වෙලා තියෙද්දිත් පොලිසියට නොකියා ඕගොල්ලෝ මොකක්ද මෙච්චර වෙලා කලේ ? ” 

දේවක නිවසට පැමිණියේ අතිශයින්ම කෝපයෙනි.අශිකා මලානිකව සාලයේ වාඩි වී හිඳිනු දුටු ඔහු අශිකාට මුහුණලා වාඩි වූයේය.

” මොකක්ද උනේ අශිකා ? ” 

දේවක ඇසුවේ හඬ බාල කරය. තමා පිළිබඳව කෙසේ වුවත් අශිකා දරුවන් දෙදෙනා පිළිබඳව බොහෝ සෙයින් වද වන නිසාත් , ප්‍රාණ සමව දරුවන් දෙදෙනාට ආදරය කරන නිසාත් මේ මොහොතෙහි ඇගේ මානසිකත්වය පිළිබඳව වටහා ගැනීමට දේවකට අපහසු වූයේ නැත.

” මම දන්නෙ නෑ දේවක.මගේ දරුවා ආගිය අතක් නැහැ ” 

අශිකා නැවතත් හඬන්නට පටන් ගත් අතර ඒ මොහොතේ දී ඇයව වැළඳ ගන්නට අවැසි වුවද දේවක ඒ සිතුවිල්ල ආයාසයෙන් යටපත් කර ගත්තේය.

” අයියට මෙහෙම කාටවත් නොකියා යන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ තාත්තා. අඩුම ගානේ ඊයෙ රෑ හරි මොකක් හරි උනා නම් ඒ උන දේ වත් අම්මා කියන්නේ නැහැ නේ . ඉතිං අපි කොහොමද අයියට වෙච්ච දෙයක් හොයා ගන්නේ ” 

අභිමන් තරප්පු පේළියෙහි පලවන පඩියෙන් වාඩි වූයේය. දේවක මොහොතක් කල්පනා කර අශිකා වෙත නැඹුරු වූයේය.

” මොකක් හරි ප්‍රශ්නයක් වුණාද අශිකා ඔයයි ආදිත්‍යය යි අතරේ  ? මං අහන්නේ පොඩි හරි ආගියුමන්ට් එකක් වත් ? එහෙම නැත්නම් ඒ ළමයා මොකකට හරි හිතේ අමාරුවෙන් හිටියද ඊයේ ? ” 

අශිකා කඳුළු පිසලමින් දේවක දෙස හොඳින් බැලූවාය. තමා හා දේවක අතර ඇති වූ ගැටලුවක දී හෝ දේවක මේ තරම් ඉවසීමෙන් තමා ගෙන් කිසිවක් විමසා නැත. මෙය ඔහු තුළින් දකින්නට ලැබෙන පැහැදිලි වෙනසකි.

” මුකුත් වුනේ නෑ දේවක ” 

අශිකා ආයාසයෙන් වචන පිට කළාය. තමා ආදිත්‍ය හට කරන්නට සූදානම් වූයේ වරදක් නොවේ.උත්සාහ කළේ සිදුවන්නට යන වරදින් ඔහුව බේරා ගැනීමය. එහෙත් තමා ඉක්මන් වූවා දැයි සිතමින් අශිකා තව තවත් හදවතින් කම්පා වූ අතර අතීතයේ කාරණා පිළිබඳව නිගමන වලට එළඹෙන්නට පෙර මීට වඩා ඉවසීමට කටයුතු නොකිරීම පිළිබඳව අශිකා පසුතැවෙමින් උන්නාය.

” එහෙනම් මේ ළමයා මේ වගේ දෙයක් කරන්න හේතුව මොකද්ද අශිකා ? වෙන මොකක් හරි ප්‍රශ්නයක් වත් ආදිත්‍යයට තිබුනද ? ” 

දේවක නැවතත් ඇසුවේය.මේවාට පිළිතුරු දීම පවා වෙහෙසකාරීය. එහෙත් ආදිත්‍යගේ පියා වශයෙන් දේවක උත්සාහ කරන්නේ ඔහු පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට බව සිතමින් අශිකා තව දුරටත් ඉවසුවාය.

අභිමන් වාඩි වී හුන් තැනින් නැගිට නැවතත් මිදුලට පැමිණියේ මෞර්යාගෙන් දුරකථන ඇමතුමක් පැමිණෙමින් තිබුණු නිසාය. තමා සහ තම සහෝදරයා කාර්යාලයට නොපැමිණෙන බව දන්වා යැවීමත් තම සහෝදරයාගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබීමත් නිසා මෞර්යා කලබලයෙන් පසු වනවා යයි අභිමන් ගේ සිතට සිතුවිල්ලක් පැමිණියේ මේ මොහොතේ දිය.

” good morning මෞර්යා.කියන්න ” 

අභිමන් කිසිදු වෙනසක් නොපෙන්වා කතා කළේය.මෞර්යා උන්නේ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකය. පෙරදින රාත්‍රියේ සිට බලා හිඳ ආදිත්‍ය ගැන තොරතුරක් නොමැති තැන ඔහු පිළිබඳව විස්තරයක් දැන ගත හැකි එකම පුද්ගලයා අභිමන් නිසා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී ආදිත්‍ය පිළිබඳව විස්තරයක් දැන ගැනීමට මෞර්යා හිත හදා ගත්තේ ද අසීරුවෙනි.

” සොරි මිස්ටර් අභිමන්.මං.. මේ වෙලාවේ ඩිස්ටර්බ් කරාද දන්නෙ නැහැ. ඒත් මං කතා කලේ… ” 

මෞර්යා නැවතුනාය. ආදිත්‍ය පිළිබඳව අභිමන්ට කතා කර විමසීම කෙතරම් දුරට සාධාරණ දැයි ඇය නැවත වතාවක් සිතුවාය.

” අයියා කෝ කියලා අහන්න නේද?  ” 

මෞර්යා ගේ සිතැඟි වටහා ගෙන අභිමන් ඇසුවේය.

” ඔ.. ඔව් ” 

මෞර්යා පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනි.මේ තරම් දෙයක් සිදුවී තිබියදීත් අභිමන් කිසිවක් නොවූවා සේ කතා කිරීමම පුදුමයකි.

” අද පාන්දර ඉඳලා අයියා ආ ගිය අතක් නැහැ මෞර්යා “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here