හේමන්ත සන්ධ්‍යා -43

ඩෙස්මන් දෙස නෙතු විදා බැලුවා ට නිකිනි ගේ ඇස් වල වූයේ මලානික බවකි. ඇගේ හදවතත්, කාලයකින් දිය පොදක් නො ලද තුරක් සේ හැකිළ ගොස් තිබිණ. අම්මා නැති අඩුව ඇස් පියකිනිදු නො දැනෙන ආදරයක් සපයමින් ඈ දැඩි කළ මේ උත්තම ගැහැනිය හා පිරිමියා ඉක්ම යන්නට ඇය ට කිසි සේත් සවිය එකතු කර ගත නො හැකි බව නිකිනි ඉඳුරා දනී. ඇය ට මේ තරම් දුක ඒක ය. විදත් කියන්නේ මුළු ලෝකය ම එරෙහි වුණත් ඔහු ට ඈ කැටිව යා හැකි බවයි. එසේ ගොස් ඈ තුටින් තබන්නට ඔහු ට හැකි බවයි. එය එසේ ම විය හැකි බව නිකිනි ට සිතත හැක. නමුත් ඇස් දෙකේ තියා ගෙන ඇය ව හැදූ, ඇය ඉල්ලන සියල්ල එසැනෙන් සිය දෙපා මුලින් තැබූ මෙහෙව් මව් පිය දෙදෙනෙකු හට පිටු පාන්නට තරම් දැඩි හිතක් ඇය ට කොයින් ද?

“නිකී ඔහොම දුකෙං ඉන්නෙපා”

ඩෙස්මන් සිය ගැඹුරු හඬ වඩාත් මෘදු කොට කීවේ ය. 

“මං මෙච්චර කාලෙකුත් බලා ගෙනනෙ හිටියෙ. නිකී කියන්නෙ හැම පුංචි දේකින්ම සතුට හොයපු කෙල්ලෙක්නෙ. ඉස්සර මට මතකයි. අර වත්ත පහල කැළේට හැදෙන ගඳපාන මල් පවා කපල අරං ඇවිත් ලස්සන ෆ්ලවර් ඇරෙන්ජ්මන්ට්ස් හදන හැටි. ඒ කාලෙ  මං හිතුවා අනේ මේ කෙල්ලනං ලැබෙන පුංචි දෙයක් වුණත් මහා සතුටක් කර ගෙන ජීවත් වෙයි කියල. මේක නිකීගෙ හිතට මහ බරක් කියල මං දන්නව. අපි ටිකක් සන්සුන් වෙලා ඉමු ඩාලිං. ඔයා හෙමිහිට නිවී සැනසිල්ලෙ හිතන්න. මේ ගන්න යන්නෙ හොඳම තීරණේද කියල හිතන්න. එක සැරයක් වැරදුණ කසාදෙක එක්ස්පීරියන්ස් එක ඔයාට තියෙනව. විදත් කියන්නෙ කසාද දෙකක් වැරදුණ මිනිහෙක්. මං කියන්නෑ එහෙම අයට හැමදාම වැරදෙනව කියල. නමුත් ඔයා දෙපැත්තම හිතන්න. වැරදි අඩු ම පැත්ත තෝර ගන්න පුළුවන් වෙන විදිහට බැලන්ස් එකේ හිතන්න. දෙවියන් වහන්සෙගෙ කැමැත්තෙ විදිහට දේවල් සිද්ද වෙයි කෙල්ලෙ”

නිකිනි ට දැනුණේ ඩෙස්මන් සිය හදවතෙහි ඔසු ගැල්වූවා සේ ය. ඔහු හැන්දෑවේ හෝරා ගණනක් ම මිදුලේ සෙවනැති තුරු ගොමුවේ ඉදි කළ කොංක්‍රීට් බංකුව මතට වී බලා ගත් අත බලා ගෙන සිටියා ය. සතුට හොයන මන්තර දැන උන් ඇගේ සිත මේ විදිහට අකර්මන්‍ය වූයේ කෙසේ ද කියා ඇය ට ම වුව සිතා ගත නො හැකි වූයේ ය.

හැන්දෑව ඉන්මනින් අඳුර ට හැරිණ. අහස් වියන ඈතින් ඈතට යායක් ව පෙනේ. කුඩා කල පටන් ම රාත්‍රියේ දී නිකිනි මෙලෙස අහස දෙස බලා ඉන්නී ය. එක ම විදිහේ අහසක් දෙවතාවක් දැකි ය නො හැකි තරමි. ඒ තරමට ම අහස වෙනස් වෙයි. ඒ වෙනස, නිකිනි ව චමත්කාරයෙන් පුරවයි. 

තරුත්, සඳත්, කණාමැදිරියනුත්, අහසත්, මල් සුවඳත් කියන්නේ ජීවිතයට බද්ධ වී ඇති දේ ය. ඒවා අතරට වී උන් කල ඇය ට එදා දවසේ සියල් ළතැවුල් හා පිරිපත අමතක කොට දමා නැගිට යා හැක. එතකොට උදේට අවදි වන්නේ අලුත් ම දවසකට ය.

අදත් හිතේ තිබෙන මේ කාංසා හැඟීම් අකා මකා දමන්නැයි ඈ සුළඟකට සුසුමක් මුදා හරිමින් ඉල්ලා සිටියා ය.

ඒත් එක්ක ම දුරකතනය ගෙන විදත් ට ඇමතුමක් ගත්තේ ය.

“මං කතා නොකර හිටියෙ කතා කරන එකත් ඔයාට වදයක් වෙන්න පුළුවන් නිසා. එහෙම තමයි. අපි කොච්චර ආදරේ කරන කෙනෙක්ගෙ කතාවක් වුණත් වෙලාවකට කන්දොස්කිරියාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට වැඩියෙංම වටින්නෙ තනිකම. හිතත් එක්ක කතා කර කර ඉන්න එක”

“කොහොම මගෙ හිත කියවනවද මන්දා”

නිකිනි ඉසිහින් සුසුමක තැවරී ගෙන මන්ද්‍ර ස්වරයෙන් කීවා ය.

“අපි ඕන ම කෙනෙක් ඒ තත්වෙට පත් වෙන වෙලාවල් තියෙනවනෙ නිකිනි. ඉතිං…”

“මං මිදුලට වෙලා අහස දිහා බලං ඉන්නව”

“හිත කලබල වුණ වෙලාවට සන්සුන් වෙන්න ඊට වඩා හොඳ බේතක් නෑ. අහසයි මුහුදයි තරං…”

“මට ඔයාව දකින්න ඕනෙ”

කෙලෙස ඒ වචන හතර ඇගේ මුවින් පිට වූවා ද කියා නිකිනි දන්නේ නැත. විදත් එක මොහොතකට ගොළු ව ගියා සේ ය. දෙඅන්තයෙහි වූ නිහැඬියාව පුරවා දැමූවේ සුළං හඬයි. හදවත ගැස්ම පවා ඇහෙමින් තිබුණත්, කියූ දේ ගැන පසු තැවීමක් ඇය ට වූයේ නැත.

“දැං….”

විදත් ගේ ස්වරයෙහි වෙව්ලීමක් විය.

“ම්හු. හෙට. මට ගොඩක් වෙලා ඔයා ළඟට වෙලා ඉන්න ඕනෙ”

“හ්ම්”

පොසොන් වැස්සක් ඉහිර යන්නට වූයේ ය. නිකිනි ඉක්මන් කොට ගෙට දිව ආවා ය. සුමනා වැරැන්ඩාවෙහි හාන්සි පුටුවක වැතිර මිදුල දෙස බලා සිටියා ය.

“පොසොන් වැස්ස…නිකිනි ආසම වැස්ස නේ…”

නිකිනි වැරැන්ඩා පුටුවක ට බර වූයේ හිතේ අමුතු වේදනාත්මක බරකිනි. දුවකට මවක සේ ඇය ට ළඟින් සිටියේ ග්‍රැනී බව අමතක කරන්නට තරම් නිකිනි ට දරුණු විය නො හැකි ය. ඇගේ හැම ආශාවක්, හීනයක් ගැන ම ඇය සුමනා සමගින් කියවා තිබේ. නමුත් ඒ කිසි තැනෙක විදත් ගැන සඳහන් නො වීම අතීතයේ දී සිදු වූ අත් වැරදීමක් වන්නට පුළුවන.

“මට මතක් වෙනව නිකී…ඉස්සර මං පියානො එක ප්ලේ කරනව පොඩි එවුං ටික වට කර ගෙන…නිකීට ඕනෙ ම කේ සෙරා  කියන්න…මාත් එක්ක එකතු වෙලා නිකී ඒක කියනකොට නිකී ගෙ ඇස් දිළිසෙනව. ඒ දුකටද සතුටටද කියල මං අනන්තවත් හිතල තියෙනව. ඒත් මං නිකී ගෙං අහල නෑ. ඒක නිසා ම ඒ ප්‍රශ්නෙට උත්තරේ මං දැනං හිටියෙත් නෑ…”

සුමනා සිටියේ අතීතයේ ය. ඇය පියානෝව වයන රූප රාමුවක් නිකිනි ගේ මනසෙහි සිත්තම් වෙමින් තිබිණි. නිකිනි, බිනුරි, සදිසා සහ සහස් පියානෝව වටේට සිට ගෙන සිටිති. සුමනා ගේ අතැඟිලි යතුරු පුවරුව මත හුරුබුහුටි විලාශයකින් එහෙ මෙහෙ වේ.

“වෙන් අයි වොස් ජස්ට් අ ලිට්ල් ගර්ල්…අයි ආස්ක්ඩ් මයි මදර්..වට් විල් අයි බී…විල් අයි බී ප්‍රිටී…විල් අයි බී රිච්..හියර්ස් වට් ෂී සේඩ් ටු මී…”

සුමනා මේ මොහොතේත් ගයමින් සිටියා ය. 

“කේ සෙරා සෙරා…වට් එවර් විල් බී විල් බී…ද ෆියුචර් ඉස් නොට් අවර්ස් ටු සී…කේ සෙරා සෙරා…වට් විල් බී විල් බී…”

මේ උමතු නිමේෂයේ අතීතයෙන් මිදෙන්නට නිකිනි ට ද ඕනෑ වූයේ නැත.අතීත මතකයක් තුළින් කාලෙකට පස්සේ ඇය කේ සෙරා මුමුණන්නට වූවා ය.

“වෙන් අයි ග්‍රිව් අප් ඇන්ඩ්, ෆෙල් ඉන් ලව්…අයි ආස්ක්ඩ් මයි ස්වීට් හාට්…වට් ලයිස් අහෙඩ්…විල් වී හැව් රේන් බෝස්…ඩේ ආෆ්ටර් ඩේ…හියර්ස් වට් මයි ස්වීට් හාට් සේඩ්… කේ සෙරා සෙරා…වට් එවර් විල් බී විල් බී…ද ෆියුචර් ඉස් නොට් අවර්ස් ටු සී…කේ සෙරා සෙරා…වට් විල් බී විල් බී…”

එදා කේ සෙරා ගයත්දී නිකිනි ගේ ඇස් වල නො දුටු උමතුවක් අද සුමනා ට දකිත හැකි විය. ඇගේ හදවත භීතියෙන් සලිත වූයේ එබැවිනි. මීට මොහොතකට පෙර මෙතැනින් පලා ගිය පොසොන් වැහි කෝඩය, වෙනත් වටයක් ගසා ගෙන යන ගමන් නැවතත් ඔබේසේකර මිදුලේ සිරි සිරියක් ඉහිරවූයේ ය.

“නිකී…මයි ලිට්ල් රෝස්…ඔයාව මන් තරං කවුද දන්නෙ…ඔයා රෝස මලක් වගේ බලා ගන්න ඕන කෙල්ලක්. මංජුලට කරන්න බැරි වුණ ඒ දේ…අච්චර වයස…”

සුමනා ඒ ටික කියා නිම වන්නට පෙර නිකිනි අසුනෙන් නැගිට දිව යන්නට වූවා ය. පියගැට පෙළ දිගට ම ඈ දිව යන පිය හඬ සුමනා ට ඇසිණ. ඇගේ වියපත් හදවත එහඬින් රිදුම් දුන්නේ ය.

කාමරයේ වීදුරු කවුළුවෙන් නිකිනි බෝ රැයක් වන තුරු පිටත බලා සිටියා ය. හාත්පස වූයේ කඳුකරයේ බඳු සෞම්‍ය වූ දේශගුණ තත්වයකි. ඉඳහිට පොසොන් වැහි කෝඩ හමා ගියේ ය. පිනි වැස්සක් නිරන්තර තණ පලස තෙමමින් තිබිණ. විදත් සීතල හීනයක් සේ හිත ළඟ ගුලි වී හිටියේ ය. කේ සෙරා ඇගේ හදවත තුළ යළි යළි ප්‍රතිරාව නැංවෙමින් තිබිණ.

සැබවින් අනාගතය කියන්නේ කෙතරම් නම් අවිනිශ්චිත වූවක් ද? අපට කිසි දා ක එය සැලසුම් කළ නො හැකි ය. මන්ද යත් අප ලෝකයට බිහි වන විටත් එය සැලසුම් ගත ව ඇති බැවිනි. හැකි වන්නේ ඒ සැලසුම් වල මටසිළිටි බවක් හෝ කටුක බවක් ඇති කොට ගන්නට පමණකි.

පාන්දරින් ම ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව කළ නිකිනි, දිය නා ගෙන දිගු ගවොමකින් සැරසුණා ය. පොත් සාප්පුවේ වැඩ නිසාවෙන් ඇගේ ගමන් ගැන කිසිවෙකු විමසන්නේ නැත. මීට පෙර රහසිගත ගමන් ගොස් නැති ඇගේ සිත් හි දෙගිඩියාවක් නො වූවා නොවේ. අඩු තරමින් යෞවනයේ දී හෝ ගෙදරට හොරෙන් පෙම්වතෙකු මුණ ගැසෙන්නට ගොස් නැති නිකිනි ට මෙය සුවිශේෂ අත්දැකීමක් වූයේ ය. ඒ තිගැස්ම මේ වයසේ දී හෝ විඳ ගන්නට ලැබුණ එක ගැන ඇය විශ්වයට ස්තූතිවන්ත වූවා ය. 

කුළී රිය ගොස් නතර වන තැන විදත් රිය නවතා ගෙන සිටියේ ය. යළි විදෙස් ගත වන තෙක් පාවිච්චි කිරීම සඳහා ඔහු කළී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා ගෙන තිබිණි. නිකිනි වහ වහා ඊට නැගුණේ කිසිවෙකු දකිතැයි අදිසි බියකිනි. නමුත් විදත් රිය පණ ගන්වන්නට කිසිදු හදිසියක් නැති ව ඇදෙස බලා ඉන්නට වූයේ ය. දෑස් මල් පෙති විකසිත කොට ඇය කෝළ බැල්මක් හෙළුවා ය.

“ඇයි…”

“ඇයි…”

“ඔහොම බලන්නෙ…”

“නොබලා කොහොමද…”

“ඇයි…”

“මං මහ ගොං වස්සෙක්”

“ඇයි…”

“ඔයා චුට්ට චුට්ට ලොකු වෙලා ලස්සන වයසට එනකොට මං මෙහෙ හිටියෙ නෑ”

“හිටියනං…”

“හිටියනං මෙලහකට අපිට ළමයි දහයක් දොළහක්වත් ඉඳියි”

“මො…නාද මන්ද කියන්නෙ…”

විදත් රිය පණ ගැන්වූයේ බටහිර ගීයක හුරු පුරුදු තනුවක් උරුහම් බාමිනි. වෙයා එවර් යූ ගෝ…වට් එවර් යූ ඩූ….අයි විල් බී රයිට් හියර් වේටිං ෆෝ යූ…

යොවුන් වියේ දී නිකිනි වසඟ කළ ඒ ගීතයත් ගායකයාත් ඇයට සිහි විය. විදත් ද ඒ ගීතයේ රසිකයෙකු වීම එක්තරා ආකාරයක දෛවෝපගත සිද්ධියකි.

“ඉතිං…දැං කොහෙටද මැඩම්ට යන්න ඕනෙ…”

ඔහු රියෙහි ඉදිරි කැඩපත, වඩාත් හොඳින් ඇය පෙනෙන පරිදි සැකසී ය.

“කොහේවත් නො ගියට කමක් නෑ”

විදත් එහෙම ම රියෙහි තිරංග තද කළේ ය. පිටුපස රිය පෙළ නො නවතා නලා හඬවන්නට විය.

“අඩේ මේ ලංකාවනෙ…නේ…”

විදත් යළි වහා රිය පෙර ට ගත්තේ ය. නිකිනි දෝතින් මුව වසා සිනහ වන්නට වූවා ය.

“කොහෙවත් යන්න ඕන නැත්තං මට මේ එන්න කිව්වෙ…”

නිකිනි රිය කවුළුවෙන් පිටත බැලුවා ය. පෙම්වතෙකු සමගින් තනි ව ගමනක් ඇය මේ යනවා ම ය. අද ජීවිතයේ ඓතිහාසික දිනයක් වන්නේ ය. ඇගේ සිත් හි බියත් ආශාවත් තිගැස්මත් යන සියල්ල විය. මන්දස්මිතය ඈ ලවන් සරසා තිබිණ.

“කා එක කොහේ හරි නතර කරං හිටියත් කමක් නෑ…මට ඇතියි කියල හිතෙන තරංම වෙලා….”

ඇස් පෙති බිමට හරවාන ඇය මිමිණුවා ය. ඇගේ උරහිස වටා වමත යැවූ විදත්, දඩබ්බර යෞවනයෙකු ගේ දාංගලයෙන් යුතු ව ඈ ඔහු වෙත ඇද ගෙන හිස සිප ගත්තේ ය. නිකිනි ගල් ගැසී සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles