දියණියගේ විමසීමට පිළිතුරු දීම පසෙකට කෙරූ මනුජ ඇයට අන් කතාවක් කියා දුන්නේය. ඒ අතරේදී දියණිය නිදිමත බව පෙන්වූවාය. ඉන් පසුව මනුජ දියණියව යහනේ සැතපූවේය.
ඉන් පසුව මනුජ ඔහුගේ රාජකාරීමය කාර්‍යයයන් කිහිපයක් නිම කලේය.
දියණිය පහසු නින්දකට සූදානම් නොවන බව පෙනෙද්දී මනුජ සැලකිලිමත් වූයේය. ඕ දෙපසට පෙරලෙමින් දෑත් , දෙපා එකිනෙක පිරිමැදගන්නට උත්සාහ කරමින් උන්නාය. මනුජ සම්පූර්ණ විදුලි පහන දැල්වූයේය. දියණිය උන්නේ අපහසුවෙන් බව පලමු දැක්මෙන්ම මනුජ වටහා ගත්තේය. ඔහු වහා යහනට පැන දියණිය තමා වෙත හරවා ගත්තේය. ඇගේ මුහුණ පුරාම කුඩා පලු වැනි යමක් පැතිරෙමින් තිබුණි. දෑත් සහ දෙපා වලද වූයේ එලෙසින්මය. මනුජගේ ගත ගිණි ගත්තේය. ඔහු වහා ටි ශර්ට් එකක් ගත දමා ගත්තේය. ජංගම දුරකතනය කොට කලිසම් සාක්කුවට ඔබා ගත්තේය.
ඉන් විනාඩි කිහිපයක් යද්දී මනුජ උන්නේ දියතලාව රෝහල වෙත මෝටර් රිය පදවමිනි. කඳවුරේ වෛද්‍යවරයා අමතන්නට සිහි වුවද ඇමතුමක් ගනිද්දී වන වේගය අඩාල වීම මනුජට එවෙලෙහි අවශ්‍ය වූයේනැත. යාබද අසුනේ සිටින දියණිය කෙඳිරි ගාන හඬ් මනුජගේ කලබලය වැඩි කරන්නේය.
‘අප්පච්චී … අප්පච්චී…”
ඕ එලෙසිබන්ද පවසන්නට පටන් ගත් පසු මනුජ ගේ දෙනෙත් තෙත් වන්නට ගෙන තිබුණි. ඔහු එක් අතකින් සුක්කානම අල්ලාගෙන අනෙක් අතින් දියණියගේ හිස පිරිමැද්දේය. දෑත් පිරිමැද්දේය.
” මගේ පැටියා… ඉන්න… අප්පච්චි හොස්පිට්ල් යන ගමන් ඉන්නේ…. අපි බේත් බොමූ…ඩොක්ටර් මාමාට පෙන්නලා…හොඳේ… පුතා දඟලන්නේ නැතුව ඉන්නකෝ….හොඳේ….”
මනුජගේ හඬ වෙවුලන බව ඔහුටම දැනුනේය. මෙවන් සිදුවීම් අනන්ත අප්‍රමාන කළමණාකරණය කර ඇතිවා වුවද, මෙවෙලෙහි දැනෙන බර වෙනස්ම ය. තම හදවත තුළ ඇති යමක් ඉතා දැඩි වේදනාවක සිටින බව මනුජට වැටහේ.
මනුජ වහා දරුවා ඔසවාගෙන රෝහල් පිවිසුම වෙත දිව ගියේය. සාත්තු සේවකයෙකු ට්‍රොලියක්ද රැගෙන ඔහු වෙත දිව ආවේය. එහෙත් මනුජට දරුවා එහි තබන්නට තරම් වත් සිහියක් වූයේ නැත
” කෝ ඩොක්ටර්…කෝ ඩොක්ටර්…?”
“ඔහු එලෙසින් කෑ ගසමින් වාට්ටු වෙත දිව ගියේය. හෙදියක් වහා විත් දියණිය මනුජගේ අතින් ගත්තාය. පිවිසුම අසල වූ යහනක තැබුවාය.
මනුජ කලබලයෙන් වටපිට බලමින් වෛද්‍යවරයා සෙව්වේය. හෙදිය දියණිය පරික්ෂා කලේ සන්සුන්වය.
” කෝ ඩොක්ටර් මිස් ?”
“කලබල වෙන්න එපා සර්.. සර් චුට්ටක් අරහෙන් ඉන්නකෝ… ඩොක්ටර් බබෙක්ව පොඩ්ඩක් බලන ගමන් ඉන්නේ..ඒවි… මේ බබාට පොඩි ඇලර්ජි එකක් ඇවිල්ලා තියෙන්නේ…. අන්නාසි, තක්කාලි, දැල්ලෝ, සැමන් වගෙව් දේදල් ඇලර්ජික් තියෙනවාද බබාට ?..”
මනුජ කෝපයට පත් වූයේ හෙදියගේ සන්සුන් හැසිරීම සමඟය. වාට්ටුවේ උන් බොහෝ දෙනාගේ අවධානට මනුජ වෙත හැරවිණි. ඔහු එතරම් කෝපයෙන් කෑගැසුවේය.
” මගේ දරුවා බලන්න නැද්ද කවුරුවත් ඩොක්ටර් කෙනෙක් එතකොට? .. ඒකද ඕයි කියන්නේ ? දන්නවාද මම කවුද කියලා ??”
“ප්ලීස් සර් … සර් කොරිඩෝ එකෙන් ඉන්නකෝ මේ මම අහන දේවල් වලට මට උත්තර දීලා….. සර් කියන්නකෝ මට බබා රෑට මොනවාද කෑවේ කියලා ම? මීට කලින් මේ විදියට ඇලර්ජි ඇවිල්ලා තියෙනවාද සර් ? ..”
මනුජෙ හෙදිය නොතකමින් වාට්ටුව තුළට ඇවිද ගියේය. කුඩා දරුවන් කිහිප දෙනෙක්ට නින්දෙන් අවදිවී මනුජ දෙස බලා උන්නෝය. මනුජ ඇවිදගියේ දරුවෙකු පරික්ෂා කරමින් උන් වෛද්‍යවරිය වෙතය.
” ඩොක්ටර් … පොඩ්ඩක් මගේ දරුවාව බලන්නකෝ… ප්ලීස් …”
මනුජ කෝපය සඟවාගෙන සන්සුන්ව ඉල්ලා සිටියේය.
” තාත්තා චුට්ටක් එලියෙන් ඉන්නකෝ …අපේ ලොකු මිස් බබාව බලන ගමන් නේ ඉන්නේ … මම එන්නම් ..”
” මොකක්ද ඕයි කියන්නේ ? මම කවුරු කියල හිතාගෙනද ඔය ? දෙය්යන්ගේ නාමෙන් මගේ දරුවාව බලන්න ඩොක්ටර්…. “
“තාත්තේ කරුණාකරලා සන්සුන් වෙන්න .. මේ බබා ඉන්නේ සර්ජරි එකකට පස්සේ… මම මේ බබාව බලලා එනවා…. ප්‍රශ්න ඇතිකරන්න එපා..
මනුජගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. ඔහු වෛද්‍යවරියගේ බාහුවෙන් අල්ලා ඇය ඇදගෙන දියණිය උන් රෝහල් සයනය වෙතට ගියේ වාට්ටුවේ උන් කිහිප දෙනෙක්ම කලබලයෙන් නැගිට ගනිද්දිය. හෙදිය සාත්තු සේවකයෙකු ගේ නමක් පවසමින් කෑ ගසනු ඇසුණි
“මැරුං නොකා මගේ දරුවාව බලපං…”
මනුජ වෛද්‍යවරිය අත් හැරියේ ඇයට රිදෙන්නමය. වෛද්‍යවරිය මනුජ දෙසත්, දරුවා දෙසත් බැලුවේය. යලි මනුජ දෙස බැලුවේය. යළි දරුවා පරික්ෂා කලේ සිතෙහි වූ කෝපය සඟවාගනිමිනි. මෙවන් අවස්ථා වලදී හැසිරීම් වලට ප්‍රතිචාර අවම කිරීම වඩා සුදුසු බව සිතමිණි.
ඉන් පසුව ඕ හෙදිය සමඟ යම් කාරණා කිහිපයක් සාකච්ඡා කලාය.
” බබා රෑය කෑවේ මොනවද ?”
මනුජ පිළිතුරි දුන්නේය.
” සැලඩ් එකේ අන්නාසි වගේ දෙයක් තිබුන්ද ?”
“තියෙන්න ඇති .. එහෙම මතක නෑ..”
“බබාට කලින් ඇලර්ජි වෙලා තියෙනවාද මෙහෙම ?
“එහෙම දන්න්නේ නෑ..”
” එහෙම දන්නේ නැත්නම් , බබාගේ අම්මට කතා කරලා හරි ඒක අහලා කියන්න තාත්තා ….ට්‍රීට්මන්‍ට්ස් කරන්න හිස්ට්‍රි එක ඕනනේ….”
“හරි අහන්නම්..එතකල් දරුවාව බලන්න ..”
මනුජ සන්සුන් වෙමින් කීවේ දියණිය දෙස බලමින් හා ජංගම දුරකතනය ද අතට ගනිමිනි.
වෛද්‍යවරිය ඔහු පිළිබඳව තැකීමක් නොකරමින් දරුවාට ලබා දිය යුතු ඖෂධ පිළිබඳව හෙදිය දැනුවත් කලාය. දරුවා යලි පරික්ෂා කලාය. ඇගේ ශ්වසනයේ අසාමාන්‍යතාවයක් නොමැති වග නිරීක්ෂණය කලාය යලි හෙදිය හා යම් කාරණා කිහිපයක් සාකච්ඡා කලාය. ඉන් පසුව ආපසු යන්නට හැරුනේ මනුජ දෙස හෝ නොබලමිනි.සාත්තු සේවකයාද පැමිණ මනුජ අසලින් හිටගෙන උන්නේය.
“මගේ දරුවාට ට්‍රීට්මන්‍ට්ස් කරලා යන්න…”
“මිස්ටර් .. කරුණාකරලා එලියෙන් ඉන්න…..විස්තර ටික අහගෙන ඉන්න ….”
හෙදිය අවධාරණය කලේ වෛද්‍යවරිය වෙනුවෙන් ඉදිරිපත් වෙමිනි. එහෙත් මනුජ එයට අවනත වූයේ නැත. ඔහු සිතා උන්නේ දියණිය යම් මාරාන්තික අනතුරට පත් ව ඇති බවය.
” උඹලා මහ පුදුම මිනිස්සුනේ… අසනීප වෙලා දරුවෙක් අරගෙන ආවම ඔහොමද සලකන්නේ …”
“සිසිර .. මේ මහත්තයාට පොඩ්ඩක් වෝර්ඩ් එකෙන් එලියට වෙලා ඉන්න පෙන්නන්න…”
වෛද්‍යවරිය එලෙසින් පවසා පිටව යන්නට සූදානම් වූයේ පෙර පරික්ෂා කරමින් උන් දරුවා වෙතය.
මනුජගේ කෝපයේ සීමාව ඉක්මවා ගියේය. ඔහු වෛද්‍යවරිය වෙත උස් හඬින් කෑ ගසමින් බැණ වැදුනේය රෝහල් ආරක්ෂක අංශය ට පවා මනුජ පාලනය කර ගන්නට හැකි වූයේ නැත.