ළපෙති මල් -13

මෙවන් හිඳ ගත්තේ කළකිරීමෙනි.දික්කසාදය ලබා ගන්නට පෙර තාත්තා සමහර දිනවල අම්මා වෙසෙන නිවසට ආ ගිය දවස් ඇත.සෑම දවසකම අම්මා ගැටලුවක් ඇති කරන්නටත් එය සාකච්ඡා කළ යුතු බවට බෑඟිරි ගසන්නටත් පටන් ගත්තේ කෑම මේසයේ දී ය.

“මෙවන්,ඔයා යන්න.ගිහින් තේජනත් එක්ක ටිකක් කතාබහ කරන්න..”

ලංකා ගැන නොතකා රහල් පුතුට පැවසී ය.

“මොනවද? අලුත් කුඩම්මට දූගේ කැමැත්ත අරන් දෙන්න කියලද?රහල් ඔයාට තියන සුපර් පවර්ස් ටිකයි ඔයාගේ ඔය අමුතු ආකර්ෂණෙයි කොල්ලො කෙල්ලො රවට්ටන්න යූස් කරන්න එපා.තේජනත් මෙතන ඉන්නෙ ඔයාට ආදරයක් හින්දා නෙවෙයිනෙ..”

පිටත් වන්නට ගිය මෙවන් නැවත පැමිණ අසුන් ගත්තේ ය.ඔහුගේ මුහුණ කලකිරීමකින් අඳුරු පැහැ වර්ණයට හැරී තිබිණ.

“මොනවද අම්මා මේ ජරා කතා?අම්මා කියන්නෙ තේජන අයියා අපේ බිස්නස් වලට ලෝබකමේ අක්කා එක්ක යාලු වුණා කියලද?”

රහල් හඬ නඟා හිනැහී ය.

“එහෙම ගෑනු මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නව මෙවන්.ඒත් තේජනගෙ එහෙම ගති නෑ.එතන හොඳ පියෝ ලව් එකක් තියනව..”

ඒ ඇනුම්පදය තමන්ට බව තේරුම් ගත් ලංකා වඩා තදින් පරල වූවා ය.

“තේජනට තියෙන්නෙ රහල්ගේ බෑනා වෙන්න ලෝබකම මිසක් මන්දිට ආදරයක් නෙවෙයි.අන්න ඒකනෙ ඔයා මර්ඩර් එකක් කරල ආවත් හරි.දැන් ඔයා හදන්නෙ තේජනගෙ මාර්ගෙන් මන්දාරාගෙ හිත වෙනස් කරන්න.මම නොදන්නවද රහල් ඔයා ගැන..”

රහල් සන්සුන් ලෙස බලා සිටියේ ය.තාත්තා එහෙම සන්සුන්ව බලා හිඳින්නේ කෝපය කළමනාකරණය කරගනිමින් බව මෙවන් හොඳින් දනියි.මිතුරන් සමඟ පාසල් ක්‍රිකට් තරගයක් අහවරව බීමතින් නිවසට ආ දා ඔහුට සිහි විණ.
ජයන්ති හිස අත් බැඳ විලාප තැබුව ද තාත්තා පැමිණ බලා සිටියා පමණි.පසුදා උදෑසන තේ කෝප්පය රැගෙන ආවේ තාත්තා ය.ඔහු මෙවන් දෙස සන්සුන්ව බලා හිඳ වාක්‍ය දෙකක් පැවසී ය.

“කොල්ලන්ට බොන්න එපා කියල නීති දාන තාත්තෙක් නෙවෙයි මං.ඒත් ඩ්‍රින්ක්ස් ගන්න ඕන ඇඟට දුක් දෙන්න නෙවෙයි.”

මෙවන් වර්තමානයේ ද වයින් වීදුරුවකින් මෙපිටට නොයන්නේ ඒ බැල්ම නිසා ය. ඔහු ඒ සිදුවීම සිහි කරමින් තාත්තා වෙත නෙත් අලවා හුන්නේ ය.

“ලංකා, ඔයා මාත් එක්ක ඉන්න කාලෙත් මට ඔයාගෙන් ඕන වුණේ එකම දෙයයි. කතා කරන්න කලින් හිතන එක.ඔයා ඒක කවදාවත් හදා ගත්තේ නෑ.
තමන්ගෙ දුවට එයාගෙ රිලේෂන්ශිප් එක එපා කරන්න කලින් දෙපාරක් හිතන්න.තේජන එයා එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තේ දුවට ආදරෙන් නෙවෙයි කියන එක ඒ ළමයගෙ ඔලුවට දාන එක මොන ජරා වැඩක්ද? ඒ දෙන්නා සෙපරේට් වෙන්න ඕන, මැරි කරලා ඩිවෝස් වෙන්න ඕන එයාලට එයාලගෙ හේතු තිබ්බොත් විතරයි.නැතුව ඔයා මවන හේතු වලට නෙවෙයි. දැන් ඉන්නව වගේම ආදරෙන් ජීවිතේම එකට ඉන්නව නම් ඒකටත් ඔයා මැදිහත් වෙන්න එපා.ඒ ඔයාගෙන් බිහි වුණු ළමයෙක් තමයි.ඒත් ඒ අපිට සින්නකර අයිති ජීවිත නෙවෙයි..”

ලංකාට කෝපයක් උපදියි.දරුවන්ව හදා ගන්නට ඇයට තිබූ ලොකුම බාධාව රහල් බව ඇයට තවමත් විශ්වාස ය.

“අනිත් කාරණාව මගේ මැරේජ් එක මගේ පෞද්ගලික තීරණයක්.ඒකට කාවවත් කැමති කරන්න තෝල්කයො යවන මිනිහෙක් නෙවෙයි මම.මාත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා මගෙ වයිෆ්ට හෙට හිතුණොත් එයාට පුලුවන් අයින් වෙන්න.මම එහෙම මනුස්සයෙක් බව ඔයත් දන්නවා?”

රහල් ‘මගේ වයිෆ්’යැයි පැවසුවේ හිමංගිට ය.මේ මිනිසාගේ පූර්ණ අයිතිය දැන් ඇගේ ය.බමුණුසිංහ මැතිණිය ලෙස ඔහු අසල රැඳෙන්නට අයිතිය ඇත්තේ ඇයට ය.රහල්ගේ පළමු විවාහයේ දරුවන්ගේ මව ලෙස මිසක ඔහුට වෙනත් අයිතියක් තමන් සතුව නැත.

“සත්තු වගේ හිතන මිනිස්සු එක්ක මට කතාවක් නෑ..”

ලංකා නැගී සිටියේ එසේ කියමිනි.ඇය පිටතට ගියේ ද කෝපයෙනි.

“තාත්තා..”

මෙවන් තාත්තාව ඇමතුවේ කළකිරීම පිරුණු කටහඬකිනි.

“ඇයි තාත්තා හැමදෙයක් දිහාම පුළුල්ව බලන්න පුලුවන්, ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න හදන මිනිස්සුන්ට මේ රටේ අය සත්තු වගේ හිතන ජාතියක් ජන්මයක් නැති මිනිස්සු කියන්නේ? ඒක අම්මා විතරක් කියන කතාවක් නෙවෙයිනෙ.බහුතරයක් ඔහොමයි..”

රහල් හිනැහුණේ සෞම්‍ය ලෙසට ය.

“මිනිස්සු ආගම් නෙවෙයි පුතා අදහන්නේ.අමුතුම බහුබූත.බුදු හාමුදුරුවෝ නොකියපු හැමදෙයක්ම බුද්ධාගම කියලා හිතන් ඉන්න මිනිස්සු පිරිච්ච රටක වැඩියෙන්ම ඉන්නෙ ලංකා වගේ හිතන අය තමයි..”

වීදුරු බිත්තියෙන් පෙනෙන කොළඹ අහස දෙස බලමින් මෙවන් තොරක් නැති කල්පනාවකට වැටුණේ ය.තාත්තා ආදරය දන්නා මිනිසෙකි.නමුත් අම්මා කළේ ඔහු හා රණ්ඩු වීමත් කෙළවරක් නැති අපහාස කිරීමත් පමණකි.

“තාත්තා, හිමංගි අක්කට කෝල් කරන්න ගෙදර ඉන්න එපා කියලා.අම්මා එහෙට යන්න පුලුවන්.ඉන්නෙ ජයන්ති විතරක් නිසා එයාලා අක්කට කැත විදියට අපහාස කරොත් ඒක හරි ජරා වැඩක්..”

මානුෂියත්වය ගැන ගෝලයන්ට නිරතුරුව දේශන පවත්වන රහල්ට තම එකම පුතු ගැන දැනෙන්නේ ආදරයකි.ඔහු ඒ දහම නිවැරදිව වටහා ගත්තෙකි.රහල් දුරකථනය අතට ගත්තේ හිමංගිට අමතන්නට ය.

කෝපයෙන් රහල්ගේ කාර්යාල කාමරයෙන් එළියට ආ ලංකා පිටතට ඇවිද ආවා ය.ෆයිල් මිටියක් අතින් ගත් යුවතියක් ඇය පසු කර ගියේ ඒ මොහොතේ ය. ලංකා තිගැස්සුණේ තමා මායාවක් දකින්නට ඇති බව සිතමිනි.නමුත් මේ මහ දවාලේ හොල්මන් පෙනීමේ ඉඩක් නොවේ.

“මේ ළමයො..”

ඇය යුවතිය ඇමතුවා ය.යුවතිය හැරී බැලී ය.ඇය කාර්යාලයේ සමහර සේවකයන් මෙන්ම තමන්ව නොසලකා හිඳිනවාදැයි නැතිනම් තමන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට සමත් වූ කාරණාව එයට හේතුවදැයි සිතා ගත නොහැකිව ලංකා භීතියට පත් විණ.

“මොකක්ද ඔය ළමයගෙ නම?”

යුවතිය ලංකාට නොසැලකිලිමත් බැල්මක් හෙළුවා ය.

“ශාක්‍යා..ශාක්‍යා ඉද්දමල්ගොඩ.”

හිස මත අකුණු දහසක් පුපුරා ගිය හැඟීමකින් ලංකා අන්දමන්ද වූයේ ඒ වාසගම ඇසුණු හන්දා ය.

“බිනරි හේවගේ ඔය ළමයගෙ අම්මද?”

යුවතියගේ මුහුණ හැඟීම් විරහිතව ගිය අතර මේ සැබෑවටම ආත්මයක් මිස කෙල්ලක නොවිය යුතුයැයි සිතා ලංකා හිරි වැටී ගියා ය.

“ඔව්..”

ලංකාට පිට වෙන්නට පෙර එක් කාරණාවක් දැන ගන්නට ඕනෑ විය.

“ඔයා මෙතන වර්ක් කරනව කියල තාත්තා දන්නවද?”

යුවතියගේ මුහුණේ ඇඳුණු සිනාව දුටු ලංකාට පිටව යන්නට සිත් විණ.මේවා රහල්ගේ අනුදැනුම ඇතිව සිදුවන බව ඇයට පැහැදිලි ය.යුවතියට පිළිතුරු දෙන්නට ඉඩක් නොදී එතැනට ආවේ මෙවන් ය.

“හලෝ ශාක්‍යා අක්කි..කොහොමද?”

ඒ හිතවත්කම ගැන ද ලංකාට උපන්නේ භීතියකි.මෙවන් මෙතැනින් රැගෙන යන්නට ඇය සිතී ය.නමුත් ශාක්‍යා සමඟ කතාවට වැටුණු මෙවන් ඇය සමඟ පිටත්ව ගියේ ලංකා අන්දමන්ද කර දමමිනි.ආපසු ගොස් රහල්ට දොස් තබා ලැබෙන දෙයක් නැති බව ලංකා හොඳින් දැන හුන්නා ය.

වළලා දැමූ අතීතයක නටබුන් ඇස් මායිමේ පෙනෙද්දී හුස්ම ගන්නට පවා අසීරු වූ ලංකා වහා මෝටර් රථය වෙත ඇවිද ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles