සාරතී පැමිණියාට පසු මනුජ යම් තරමකින් සන්සුන් කරවා ගන්නට ඇයට හැකි විය. සාරතී දියණිය හා සමඟ උන්නාය. ඇය වෛද්‍යවරිය සමඟින් ඉතා හිතවත්ව කතා බහ කරනුද මනුජ දුටුවත්, ඔහු ඒ පිළිබඳව එතරම් ගනනකට ගත්තේ නැත.
පැය භාගයක් ඉක්ම ගිය තැන මිතුරා යළි කලබලයෙන් මනුජ වෙත දිව ආයේය
” උඹට මොන යකෙක් වැහිලද බං ? වගකීමක් ඇති මිනිහෙක් විදියට වැඩ කරපංකෝ වෙන මොකක් නැතත්….”
“මොකක්ද කියන්නේ ?”
” තෝ අර අටමඟලක් ෆේස්බුක් දාලා, අන්න අරගේ ද ඩොක්ටර් අඬනවා… ඒ අස්සේ අපේ උන් උඹව පතුරු ගහනවා…”
“ම්ං ඒක අයින් කලා…”
“උඹ අයින් කරාට ඒක කොපි වෙවී ගිහිල්ලා… බලපංකෝ… තෝ හින්දා මෙතන මොකක් හරි නාඩගමක් වුනොත්, මම උඹට නෑ …මතක තියාගනින්…”
?මනුජ යලි මුහුණු පොතට පිවිසියේය. සමාජ මාධ්‍ය අවකාශයට යමක් මුදා හැරීමෙන් පසු, ඒවායේ පෞද්ගලික භාවය යම් තරමකින් ගිලිහෙන්නේය. විශේෂයෙන්ම ආන්දෝලනයක් නංවන ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති යමක් එවන් පෞද්ගලික හැසිරීම් දරන්නේම නැත. මෙය එවෙලෙහි වූ ආවේගය නිසා සිදු වූ අත් වැරදීමක් බව මනුජට දන් වැටහෙන්නේය. එහෙත් දැන් එය නිවැරදි කර ගන්නට නොහැක.
සිදු වන යමකට මුහුණ දෙමියි මනුජ තීරණය කලේය
පසුදා දහවල් වන විට දියණිය සම්පූර්ණයෙන් සුවය ලබා නිවසට කැටුව යන්නට ඉඩ ලැබුණි. මනුජ අදාල වෛද්‍යවරිය සිටීදැයි යන්තමින් විමසුවද ඕ උන්නේ නැත. එනිසාම ඔහු ඇය මුණ ගැසීම පසෙකට කල් දැමුවේය.
මනුජගේ පියාද පැමිණ උන් නිසා දියනිය ඉතා ඉක්මනින් ප්‍රකෘතිමත් තත්වයට පත් වූවාය.
” උඹට පුලුවන් නම් පොඩ්ඩක් හොස්පිට්ල් එක්ට ඇවිල්ලා යමං…”
මිතුරාගේ ඇමතුම එන විට මනුජ උන්නේ කඳවුර බලා පිටත්ව යමිනි.
” මං මේ කෑම්ප් එකට පොඩ්ඩක් යමින් ගම්න බං… ඉමර්ජන්සිද ?”
“ලොක්කා ඩොක්ටර් සින්දූපාට හොඳටම දොස් කියලා… කෙල්ල නොසෑහෙන්න අඬනවා.. ඒ අස්සේ ඩොක්ටර් එක්ක අවුලෙන් උන්න එක්කෙනෙක් සිද්දිය පත්තු කරලා..”
“පිස්සුද බං උඹට .උඹ මොකටද ඔච්චරට නටන්නේ ඒකට ?”
” වැරැද්ද උඹේ බව මම දන්නවා මනුජ … අපේ සිස්ටර් කිව්වා උඹ කුලු හරකෙක් වගේ නටපු නාඩගම …. ඒත් එකෙක් කට අරින්නේ නෑ…. උඹ ඇවිල්ලා ඒ සිද්දිය කිව්වොත් මේක මෙතනින් ඉවර කරගන්න පුලුවන් බං…. සින්දූපා අවංක්න්ම මෙහෙ වැඩ කරන ඩොක්ටර් කෙනෙක් … ළමා වෝර්ඩ් එකට සින්දූපා ඩොක්ටර් මාරම වටිනාකමක් බං… ඒකි කොළඹ හෙනම ෆැමිලි එකක එකම දුව බං… දමලා ගහලා ගියොත් අපට පාඩුයි….”
“අනේ පාඩුවේ ඉඳහං.. අනුන්ගේ සීනි කිරනේ නැතුව… මොකෝ ආයේ එයා විතරද දොස්තරලා ඉන්නේ ?”
මනුජ ඇමතුම විසන්ධි කර දැම්මේය. වෛද්‍යවරිය මුණ ගැසී සමාව ඉල්ලා සිටින්වා යැයි ලෙසින් වූ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම අත හැර දැම්මේය.
” ඒ දොස්තර මගේ දරුවාව ගානකට ගත්තේ නෑ.. ඒකට ඒ පනිශ්මන්ට් එක කමක් නෑ…”
කඳවුරේ පැය හතරක රාජකාරි අවසන් කල මනුජ සවස යලි නිවෙසට යන විට, සාරතී පිටව යන්නට සූදානමින් උන්නාය.
” සාරතී නැන්දා අද ඉන්න ඔහොම …. දැන් අටට කිට්ටුයි නේ…”
“අනේ අපේ මහත්තයො… මම අර රෑට තනිවට ඉන්න යන නෝනා ඩිංගක් අසනිපෙන්ය කියලා හවසම කතා කලා… මට තනියෙන් යන්න ඇහැකි…. “
මනුජ මුවින් නොබැණ දියනියවද නංවාගෙන මෝටර් රිය පණ ගන්වාගත්තේය.
” පාර කියන්න …”
ඔහු සාරතී හා කෝපය පෙන්වමින්ම කීවේය. විනාඩි පහලොවක් ඉක්ම යද්දී සාරතීට අවැසි ගමනාන්තයට ලඟා විය. සාරතී ඔවුන්ට සමු දුන්නාය.
” මං පාරෙන් බැහැලා යන්නම් මහත්තයා.. අඩි දෙකයි නේ…”
” පණ්ඩිතකම් නැතුව පාර කියන්න සාරතී නැන්දේ….”
ඇවිලෙන්නට හැකි මහ ගින්නක සේයාවන් සාරතීට පෙනෙමින් තිබුණි. මිදුලේ නවතන වාහනයේ හඬ ඇසි අනිවාර්‍යෙන්ම දොස්තර නෝනා මිදුලට එන බව ඕ දන්නීය. මනුජ මහත්තයාද තමා සේවය කරන වෛද්‍යවරිය කවුරුන්දැයි දැක ගැනීමට මදක් වේලා ඉවසන බව ඇයට සැක නැත. එවිය ඇවිලෙන්නේ මහ ගින්නක උණුහුම ක්‍රම ක්‍රමයෙන් පැතිරෙන්නට විය.
මෝටර් රිය මිදුලේ නැවතුණි. සැලසුම එපරිද්දෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබුණි. සින්දූපා මිදුලට බැස්සාය. ඉදිරි අසුනේ උන් දියණිය ඕ දුටු වහාම කෑ ගසමින් වාහනයෙන් බහින්නට උත්සාහ කලේ මනුජගේ අවධානයද සම්පූර්ණයෙන්ම ඇය වෙතට හරවමිනි.
මනුජ යළි ඉතා සැලකිලිමටත් ලෙසින් ඇය දෙස බැලුවේය. ඒ ඇය ය දියණිය ඇය හඳුනාගෙනය.
” අප්පච්චී… බබාට බේයි පොවපු ඩොක්ටර් ආන්ටි ඒ… අනේ.. බබාට බහින්න ඕනි…. අනේ….”
මනුජ උන්නේ කුමක් කරන්නටදැයි සිතාගන්නට නොහැකිවය . සාරතී නිහඬවම මෝටර් රියෙන් බැස ගත්තාය.
” සාරතී ආච්චී…. බබාවත් එක්කගෙන යන්නකෝ …..”
දියණිය ඉදිරිපස අසුනේ දොරෙහි අඟුලු හැර ගන්නට උත්සාහ කරන්නීය. මනුජ දියණියට එලෙසින්ම සිටින්නට හැර අසුන් පටි මුදා හැර මෝටර් රියෙන් බැස්සේය.
සින්දූපා මනුජව හරි හැටි හඳුනාගත්තෙ එවෙලෙහිය. ඇය කෝපයෙන් පුපුරාහැලෙන්නට වූවාය. වහා ඉදිරියට ඇවිද ආවාය. සාරති ඕ වෙත විත් අතකින් අල්ලා ගත්තාය
“අනේ දොස්තර නෝනා.. අපි ගෙට යං.. කෝ .. කෝ…”
“ආන්ටි ගෙට යන්න .. මට තියෙනවා මේ මිනිහා එක්ක විසඳගන්න ප්‍රශ්නයක්… මං ඒක විසඳගෙන එන්නම් …”
මනුජගේ මුවෙහි මැවුණේ සරදම් සිනහවකි. එය සින්දූපාද හොඳින්ම දුටුවාය.
” හිනාවෙන්න …. හිනාවෙන්න …. ආත්මාර්තකාමි මිනිහෙක්ට ඔය හිනාව තමා පුලුවන් ….”
ඕ මනුජට අඩි කිහිපයක් දුරින් හිඳ කෑ ගැසුවාය. මනුජ එයටද පෑවේ සරදම් සිනහවක්මය.
කෙටි කලිසමක් සහ ස්කිනරයක් හැඳ සිටින ඇය පොඩි කෙල්ලක මෙනි. ඇගේ කෝපය ඔහුට පෙනෙන්නේ ව්‍යාජ කෝපයක් ලෙසිනි . ඕ යමක් මවා පෙන්වන්නටම උත්සාහ දරන බවක් පෙනෙයි.
” මං දන්නේ නෑ මිස්ටර් තමුන් කවුද කියලා… ඒත් මේක හොඳට මතක තියාගන්න … තමුන්ගේ මී හරක් වැඩ නිසා මේ පළාතේ ඉන්න අහිංසක මිනිස්සුන්ටයි පාඩුව වුනේ… ‘
මනුජ දෙතොල් පෙරලා ඇය වෙත විමතිය පෑවේය. ඇය පවසන්නේ කුමක්දැයි ඇයටම වැටහෙන්නේ නැතිවාවිය යුතුය. එහෙත් ඕ තර්ජනාත්මකව කියවන්නීය. ඇයට අවශ්‍ය තමා බියගන්වා තමා තුළ යම් පසුතැවීමක් ඇති කිරීමට බව සැක නැත.