ඇන්ටිබයොටික්

හරි.. චාරු… ලබන සතියේ මම එනවා. ඔව්.. ඔව්.. ලන්ඩන් එන වැඩේ විසිපස් වෙනිදට කෙරෙනවා. 

නෑ නෑ.. ශුවර්..

මං ඔක්කොම දසනායක ට බාර දුන්නා.

ඔව් මිනිස්ට්‍රියෙන් කිව්වා ඉක්මනින් කෙනෙක් එවනවා කියලා . 

ඔව්.. අද මගේ ඔන්ලයින් ඩේ.. හ්ම්..

හදිසියේ කෝල් එකක් ආවා මේ යන  ගමන්..


හරි ..ඕකේ ..බායි.. ලව් යු.. බායි..

මට තනියම හිනා ගියා.චාරු පව්.. මං වගේ මනුස්සයෙකුගේ
විකාර වැඩ ගෑනියෙකුට මෙච්චර ඉවසන්න පුළුවන්ද කියලා මට හිතුණා.අපේ වෙඩින් එක දාගෙන තිබුණේ ලංඩන් වල.දැන් ඒක මේ වෙනස් කරපු දෙවනිපාර.ඒ හැම අවස්ථාවකම මට මේ  ලෙඩ්ඩුංව දාලා යන්න  බැරුව ගියා. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට කොළඹ මහ රෝහලට පත්වීම හම්බවෙන කොට මම මගේ කැමැත්තෙන්ම අම්පාර මහ රෝහලට පත්වීම මාරු කරගන්න කොට චාරු ඉවසුවා. අහිංසකයො වෙනුවෙන් අවුරුදු දෙකක් මට වැඩ කරන්න දෙන්න කියලා ඉල්ලනකොට අපේ නවත්තන්න බැරි වයසට යාම චාරු ආයාසයෙන් අමතක කළා. දවස දෙකේ ලුණු කැද බීලා ලමයි හම්බවෙන්න ඉස්පිරිතාලෙට එන අම්මලා ගැන විස්තර අහගෙන ඉඳලා සෙනෙහස ආදරය රැකවරණය අහිමි වෙච්ච ගෑනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා මම විස්තර කියනකොට මනුස්සයෙක්ගේ ආදරේ නැතුව තට්ට තනියම දත කාගෙන හම්බවෙච්ච දරුවාව ඔතාගෙන බස් එකේ අත් ටැක්ටරේ ගෙදර යන අම්මලා ගැන විස්තර කියනකොට සාලිත තෙන්නකෝන් ව අයිති තමන්ට විතරක් නෙමෙයි කියන එක චාරු  අමාරුවෙන් තේරුම් ගත්තා .
සාමාන්‍ය දරුප්‍රසූතිය කියන්නෙ ආගමක් කියලා හිතං ඉන්න දුශ්කර ගෑනුන්ට.. සිසේරියන් සැත්කමක් කියන්නෙ හම්බෙන දරුවන්ට  සුවයක්  කියලා තේරුම් කරන්න ඕනේ කියන තිත්ත ඇත්ත ගොඩාක් දොස්තර ලා තමන්ගෙ පහසුවට හංගනකොට…
” සාලිත ඔයා උඩුගං බලලා පීනන්නෙ ” කියලා කදුලු එක්ක හිනා වෙන්න තරං චාරු පරාර්තකාමි උනා..

සර් ඉක්මනට ආපු එක හොඳයි .
පේශන්ට්ට ටිකක් අමාරුයි වගේ..
ලොකු පේන් එකක් තියෙනවා ..
බ්ලීඩින් අල්සො හෑව්..

මමයි ශාන්ති මිසුයි වෝඩ් එකට දුවන ගමන් කතා කළා.

සර්.. පීරියඩ්ස් පරක්කුයි.ඒ උනාට පේශන්ට්  දන්නෙ නැහැ හැදුනෙ කවද්ද ආයිත් හැදෙන්න තියෙන්නේ කවද්ද කියලවත් කියන්න.

හැව් එනි බර්ත් කන්ට්‍රෝල්…

මම දුවන ගමන්ම ඇහුවා.

නෝ..සර්.. නතිං.. දේ ආ මුස්ලිම් ස්..
අන් එඩියුකේටඩ්.. ඇට් ලීස්ට් කාන්ට් රයිට් නේම්…

හරි අප් ..රෙඩි ද තියටර්…
හරි අප්…

වයි සර්…

මිස් ශාන්ති හරි අප්…

මම කෑ ගැහුවෙ පිස්සුවෙන් වගේ..
මම තියටර් එක පැත්තට වේගයෙන් දිව්වා. ශාන්ති මිස් වෝර්ඩ් එකේ පොඩි දොස්තරත් එක්ක වේගයෙන් ලෙඩාව තල්ලුකරගෙන තියටර් එකට අරගෙන ආවා…

අ..නේ.. අමාරුයි පුතේ…….
සුදු පුතා…

මට හීනෙන් වගේ මීට අවුරුදු ගානකට කලින් මගේ අම්මා මේ ස්පිරිතාලෙම දොර ගාවදි කෑ ගහනවා ඇහුනා. ආපහු ආපහු එකම දේ සිද්ධ වෙන චක්‍රයක් සිද්ධ වෙනවානම් අදත් ඒ වගේ දවසක් කියලා මට හිතුණා.මගේ මුළු ජීවිතේම වෙනස් වෙච්ච එදා..ඉස්පිරිතාලෙ  දොර ගාවදි මගේ මූන අත ගාපු අම්මගෙ සීතල අත් දෙක..
පැය ගානක් ගෙදර වේදනාව ඉවසගෙන හිටපු අම්මා..
තාත්තගෙ වෙරි  හිදෙනකං  උනු අලු පොට්ටනියෙන් බඩ තවපු   අම්මා….
අන්තිම මොහොතේ මාමා ගේ අත් ටැක්ටරයෙන් උස්සං ආපු අම්මා …
අදාල දොස්තර කෙනෙක් නැතුව පැයක් බලාගෙන හිටපු අම්මා…
අවසානයේ සීතල වුණු අම්මා..

ඩොක්ටර් .. ශාන්ති මිස් සැනසිලි හිනාවක් පෑවා.

පුදුමයි.. ඩොක්ටර් ට කොහොමද තේරුනේ එක්ටොපික් එකක් කියලා ..

තප්පර දහයක් පහු උනා නං ..ම්ම්ම් කවුද මෙ.. ආ… සරීටා..  සරීට ඉවරයි … මං කිව්වා .

ශී හෑස් සික්ස් කිඩ්ස්..

ඩොක්ටර් උපුල් කිව්වේ  තාමත් බය වෙලා තිබිච්ච මූනෙන්මයි.

දැන් මෙයාගේ හස්බන්ඩ් ඉන්නවද වෝඩ් එකේ..

සර්.. දැන් වෙලාව රෑ එකොළහ මාරයි . පේශන්ට් රිකවර් වෙලා  වෝඩ් එකට දාන්න තව පැයක්වත් යයි. මම හිතන්නේ එළියෙ හස්බන් ඇති.සර් වෝර්ඩ්  එකට දැන් යනවා නම් මම කතා කරන්නම්..

සරීටා මලානික ඇස් වලින් හිනා උනා.

මෙයාට හරියටම හිරි වැටුනද දන්නෙත් නෑ.. අපි සර්ජරි එකත් කලා.
එහෙම කියපු නිර්වින්දන ඩොක්ටර් අසේල හිනාඋනා .

මට පෙනුනෙම අපෙ අම්මගෙ ගිලිච්ච ඇස් දෙක. පැලෝපීය නාලෙ බබෙක් පිහිටන්න පුලුවන් කියන එක.. ඒක ඉවසන්න ඕනෙ වේදනාවක් නෙමෙයි කියන එක.. බොහොම ඉක්මනින්ම ලෙඩාගෙ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියන එක කොළඹ හතේ නෝනලාටත් අමතක වෙනකොට
පොල් කිරි කැදට කැකුළු හාල් මිටක් හොයාගන්න බැරුව හූල්ලන අම්මලාට කොහොම මතක් වෙන්න ද.. කොහොම ඒ වගේ දෙයක් දැනගෙන ඉන්න ද..

මම සරීටගෙ ඔලුව අත ගෑවා. සරීට ස්තුතියි කියන්න හදනව වගේ ඇස් දෙක වහලා ඇරියා.

සිංහල තේරෙනවද අම්මා..

ආ..මා… ශර්..

අම්මගේ පැලෝපීය නාලයේ බබෙක් හිටල.තව තප්පර ගානක් පරක්කු වුණා නම් අම්මා නැති වෙන්න තිබුණා..අම්මට බබාලා හයදෙනෙක් ඉන්නව නේද..

ආ..මා..

පොඩි ලමයගෙ වයස කීයද.

මාශ අට තමා ශර්…

මං ඔයාගෙ මහත්තයාට කතා කරන්නම්..අම්මා දැන් ටිකක් විවේක ගන්න..

මම ඒ වාට්ටුවට යනකොට රෑ දොලහ මාරයි.මිසීලා තේ හදලා බොනවා.

සර් නං දෙවිකෙනෙක්..
ඔය විදිහට ඇවිල්ලා ලෙඩ්ඩු බේරන දොස්තරලා හරි අඩුයි..

දයා මිස් හිනාවෙලා කියන ගමං ඔන්න සර්ට මං වැඩි සීනි ස්ට්‍රෝං ටී එකක් හැදුවා කිව්වේ චාරු උපන්දිනේට එවපු  නිල් පාට මග් එකට දාන ගමං..

අම්පාර ඕකන්ද කියන ගමේ ඉපදිච්ච මට අම්මා නැති වෙනකොට හරියටම අවුරුදු පහයි. තාත්තා කොයිම වෙලාවකවත් සිහියෙන් හිටපු නැති හින්දා මාව අම්මගේ නංගි සිරියා පුංචි අරගෙන ගියා.
රත්නෙ බාප්පා මට කැමති නැති බව තේරුනාට පුංචිට වත් මට වත් කරන්න දෙයක් තිබුනෙ නෑ.. බාප්පා හැන්දෑවට ගෙදර එනකොට පුංචි මාව  බූරු ඇඳ අස්සෙ හංගනවා හොදට මතකයි .

මවු මරා උපං කුමරා …කෙහෙල්මල.. තුහ් නොදකිං…

තාත්තට දෙවෙනි නැති වෙන්න බාප්පත් ගොඩක් වෙලාවට ගෙදර ආවේ හතරගාතෙන්.

මේ නොදරුවාට අරවා මේවා කියන්නේ මොකටද. අනික ඌ අම්මා මරා ගත්තෙ නෑ..මහා එකයි මරාගත්තේ..

ඕ..ං..ඕ..ං 
වඳ පුංචි අම්මා පෝං උනා..

මට මතක විදිහට ඊට පස්සේ හැමදාම ඒ ගෙදර වළං මුට්ටි පොඩි උනා. දරුවෙක් නැති ඒ ගෙදරට අනුන්ගේ දරුවෝ ඕනේ නැහැයි කියලා බාප්පා හැමතිස්සේම මට අරියාදු කරන්න පටන් ගත්තට පස්සේ පුංචි මාව පන්සලට බාර දුන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා.
ලොකු හාමුදුරුවෝ අකරුණාවන්ත නොවුනට විශේෂ කරුණාවන්ත කමක් තිබුනෙත් නෑ.මට මතක විදිහට එතකොට මට අවුරුදු හයයි.පන්සල් වත්තේ හරක් විසි දෙකක් හිටියා.ඒ හරක් විසි දෙකම බැන්දේ වතුර දුන්නේ මම. හාමුදුරුවෝ පන්සිල් දෙනවා ඇහිච්ච මට ඒවා කට පාඩම් හිටියා.මිනිස්සුන්ගෙ ඉරණම තීරණය වෙන්නේ මෙන්න මෙතනින් කියලා කියන්න බැරි හේතුව මම මගේ ජීවිතෙන්ම අත්දැක්කා.
මහාචාර්ය සමරසේකර මහත්තයා එයාගේ පවුලේ අයත් එක්ක අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බැහැ දකින්න ආවේ ආධාර වගයක් දෙන්න හිතාගෙන. පුන්චි මං හරක් බානක් තනියම දක්කගෙන ගිහිල්ලා ගස් වල බඳින හැටි මහාචාර්යතුමා හුග වෙලාවක් බලාගෙන හිටියා.

සාලිත කැමති නැද්ද කොළඹ යන්න..

මං හිනා උනා.කොළඹ කොල පාටයි කියලයි මම හිතාගෙන හිටියේ.ඒ කොළපාට බලන්න මට ආසා හිතුනා.දවසක් ඇර දවසක් දානෙ හම්බෙන පන්සලේ  හුඟක් වෙලාවට බඩ ඉරිඟු තම්බාන කාපු හාමුදුරුවෝ තුන්දෙනයි ඇබිත්තයයි මායි වෙනකොට එක කටක් හරි අඩු වෙනවා නම් ඒක සැනසීමක් හැටියට ලොකු හාමුදුරුවොත් දකින්න ඇති.එදා හවස මම මහාචාර්යතුමාගේ පවුලේ අයත් එක්ක මට තිබුණු කලිසම් දෙකයි ෂර්ට් එකයි අරගෙන කොළඹ යන්න පිටත් වුණා. මගේ ජීවිතය මේ විදිහට වෙනස් වෙන බව කවුරුවත් හිතන්න නැතුව ඇති.කොළඹට යනකම්ම මට මතකයි මහාචාර්යතුමා මගෙන් එක එක ප්‍රශ්න අහ අහා ගියා.
පහුවෙනිදා උදේ මහාචාර්යතුමා නෝනත් එක්ක උදේ කෑම මේසෙදි

ඒක මැනිකක්..මෙච්චර කල් අන්ධයින් ගෙ කකුල්වල හැප්පි හැප්පි තිබිලා තියෙන්නේ..
කියලා කියනවා මට හොඳට මතකයි. ඊට සතියකට විතර පස්සේ කොළඹ ප්‍රධාන  පෙළේ පිරිමි ඉස්කෝලෙකට මහාචාර්යතුමා මාව ඇතුළත් කළා. මගේ උප්පැන්න සහතික පන්සලේ  හාමුදුරුවෝ ලව්වා තැපෑලෙන් ගෙන්න ගත්තා.
මහාචාර්යතුමාව දෛවයේ හාස්කම ක ට වගේ මට එදා හම්බවුණා.හැමෝගෙම ඇනුම් බැනුම් වලට අහුවෙවී හරක් පට්ටියේ වැඩ කරපු හරක් හුජ්ජ ගද කොල්ලා උත්සාහය උනන්දුව මගපෙන්වීම හින්දම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට ආපහු එළියට ආවා.මට චාරුව හම්බ උනේ වෛද්‍ය විද්‍යාලයේදීමයි.චාරු උපාධිය ඉවර කරපු ගමන් එංගලන්තයට ගියේ එයාගෙ අම්ම තාත්තත් එහේ හිටපු හින්දා.අපේ සම්බන්ධය පටන් ගන්න කලින්ම මම මගේ හැම ඇත්ත විස්තරයක් චාරුට කියලා තිබුණා. මගේ ජීවිත කතාව අහපු දා  මගේ අත් දෙක අල්ලගෙන වරුවක් විතර චාරු ඇඩුවා. විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා කවද හරි මගේ ගමට අවුරුදු දෙකක් හරි සේවය කරන්න ඕනේ කියන එක මම චාරු ට කලින්ම කියලා තිබුණා. ඒක මගේ අම්මට මගේ පුංචි අම්මට කරන ගෞරවයක් හැටියට මට කරන්නම ඕන වෙලා තිබුණා. මට අවුරුදු පහළොවේදී විතර පුංචි අම්මා නැති උනා.මගේ ජීවිතයේ  හම්බවෙච්ච මහ පුදුමාකාර චරිත අතර චාරු කියන්නෙත් මහ පුදුමාකාර චරිතයක්.

සර්.. දිස් ඊස් සරීටාස් හස්බන්..
කියලා ශාන්ති මිස් කිව්වෙ අහින්සක පාට කොටු කොටු සරමක් ඇදං උන්නු මනුස්සයෙක් ට..

සිංහල තේරෙනවා ද..

යේමයි ශර්…

ඔයාගේ නෝනට ඇතිවෙලා තියෙන්නේ බොහොම බරපතල තත්ත්වයක් ..

අල්ලා….

බයවෙන්න එපා..අපි එයාව බේර ගත්තා..සෑහෙන්න පරිස්සම් කරන්න වෙයි. දරුවෝ හය දෙනෙක් ඉන්නව නේද..
ඇයි උපත් පාලනයකට යන්නේ නැත්තේ..

ශර්..යේක කරන්ඩ අමාරුයි තමා.
අප්පිලගෙ ආකම ඒකට ආශ නෑ..

හොඳයි .. ඒක තම තම නැණ පමණින් විසඳ ගන්න ඕනේ කාරනයක්.. සරීටා දැන් ඉන්න තත්ත්වයත් එක්ක එයාව ටිකක් පරිස්සම් කරනවා නම් තමයි හොඳ … මොකද .. ඔය ළමයි හයදෙනාව බලාගන්න අල්ලා ඔයාට දීලා තියන නියොජිතයා තමයි සරීටා .. තේරුණා ද..

එහෙම කිව්වහම ඒ අහිංසකයාගේ ඇස් ගෙඩි දෙක උඩ ගියා..ඒ ගැන මම චාරුට කිව්වහම චාරු වරුවක් හිනා උනා..

අපේ විවාහය ඉක්මණ් කරන්න කියලා මහාචාර්යතුමාත් මට නිතරම කිව්වා. මම චාරු එක්ක එදා කතා කරනකොටත් කිව්වේ මම චාරු ට වගේම මේ අහිංසක මිනිස්සුන්ටත් ආදරෙයි කියන එකයි.

ලන්ඩන් යන්න තිබුණේ  මට දවස් තුනයි . ඉස්පිරිතාලේ මුලු ස්ටාෆ් එකම මගේ  යාම ගැන හඬා වැටුණා. මම ගිහාම ඇතිවන පුරප්පාඩුව මාසයක් ඇතුළත පුරවනවා කියලා අමාත්‍යාංශය දැනුම් දුන්නත් ඒ මාසය පුරාවටම මේ අහිංසක ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ කියන එකට උත්තරයක් තිබුණෙ නෑ.මම එදා රෑත් වරුවක් විතර චාරු එක්ක මේ ගැන කතා කළා.කවදාවත් නැතුව මගේ කටහඬ පුංචි ඇඩුමකින් වෙව්ලුම් කනවා කියන එක ගව් ගානක් මුහුදු හතක් එහා උන්නු ඒ අරුම පුදුම ගැහැණියගෙන් හංගන්න බැරුව ගියා..
කවදාවත් නැතුව චාරු පුදුම විදිහට නිහඬ වුණා.එදා රෑ අවසන් වුණු ඒ දුරකථන සංවාදය සුපුරුදු විදිහට මට ඊළඟ දවසේ උදේ පටන් ගන්න බැරුව ගියා.කොයිම වෙලාවකවත් දුරකථනය හරහා චාරු ව සම්බන්ධ කරගන්න බැරුව ගියා.
ඕනවට වඩා මිනිස්සු ගැන සංවේදී වෙන්න ගිහිල්ලා සප්ත මහා සාගරයක් වගේ මාව තේරුම් ගත්ත මට ආදරය කරන මාව බලාපොරොත්තු වෙන ඒ අරුම පුදුම ස්‍ත්‍රී ආදරයට මං හිතාමතාම මදිපුංචිකමක් කලා කියලා මගේ හිත ඇතුලෙන් කෑ ගහන්න පටන් ගත්තා.පහුවදා දවසමත් චාරුගේ කිසිම කතාවක් නැතුව ගියා.එයාව සම්බන්ධ කරගන්න බැරුව ගියා.අපි දෙන්නගෙ සම්බන්ධය පටන් ගත්තු දා ඉදන් කවදාවත් එයා මේ විදිහට හිත රිද්ද ගෙන මාත් එක්ක කතා නොකර ඉඳලා තිබුණේ නැහැ.ඇත්තටම මට චාරු  ගැනත් හරිම දුක හිතුනා.
කදාවත් නැතුව දෙලොවක් මැද අතරමං වෙච්ච මම  එදා ඉස්පිරිතාලෙට යන්න පිටත් වුනේ ඒ මගේ අන්තිම දවස හින්දා  අන්තිම වතාවට ලෙඩ්ඩු ටික බලලා එන්න තිබිච්ච උවමනාවටයි.
මගේ අතින් එලියට ගත්තු පුංචි පැටව් උදේ පාන්දර බඩ පැලෙන්න අම්මගෙන් කිරි බීල හීනෙන් හිනා වෙවී නිදාගෙන ඉන්නවා දකින එක තරම් සතුටක් මට මේ ලෝකේ  වෙන කොහෙන්ද කියලා හිතුනා.
අන්තිම වතාවට වෝර්ඩ් රවුන්ඩ් ගිය මට මගේ කකුල් හරි බරයි කියලා හිතුනා .
හිත කියන්නෙ අමාරුවෙන් හදාගන්න ඕන දෙයක් කියන එක මහාචාර්යතුමා මට කියලා දීලා තිබුණා.

වෝර්ඩ් රවුන්ඩ් එකෙන් පස්සෙ හරි නම් මගේ සේවා කාලය ඉවර කරන්න යෙදිලා තිබුණා.
අමාරු වෙලා හිටපු අම්මලා තුන්දෙනෙකුට සාමාන්‍ය දරුප්‍රසූතිය සිද්ධ කරන්නත් අසාමාන්‍ය විදිහට දරු ප්‍රසූතිය පරක්කු වෙලා හිටපු අම්මල පස්දෙනෙකුගේ සිසේරියන් සැත්කම් කරන එකත් ත්‍රිකුණාමලය ඉස්පිරිතාලයට නොයවා මම කලා.

මේ හැම රාජකාරියක් ම ඉවර වෙනකොට හැන්දෑවේ හයත් පහුවෙලා තිබුණා. තියටර් එකෙන් එලියට ආපු ගමනුත් මට ඉක්මනටම ඕනේ උනේ චාරුව සම්බන්ධ කරගන්න.මේ අවුරුදු ගානටම චාරු මේ තරම් මගේ හිතේ පැළපදියම් වෙලා ඉන්නවා කියන එක මට තේරුනේ නැහැ.ඒත් පුදුම විදිහට එයා එයාගෙ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කරගෙන තිබුණා.හෙට රෑට  මගේ ගුවන් ගමන යෙදිලා තිබුණා.ලන්ඩන් වලට ගිහිල්ලා කොහොමහරි චාරුව යාලු කරගන්නවා කියලා මම හිතා ගත්තා. අද රෑට අම්පාරෙන් මහාචාර්යතුමාගේ ගෙදරට යන්න මම හිතාගෙන හිටියා . මගේ මගුල් ගෙදරට මෙහෙන් යන්න හිටියේ මමයි මහාචාර්යතුමායි එයාගෙ නෝනයි විතරයි ..
අන්තිම වතාවට වෝර්ඩ් රවුන්ඩ් එකක් ගියේ පිරිමි හිතක් මේ තරං සසල වෙනවා කියලා හිතෙන අරුම පුදුම අත්දැකීමත් එක්ක.. හැම අම්මෙක්ම හැම පැටියෙක්ම සුවෙන් ඉන්නවා දැකපු මට සැනසීමක් දැනුනා.අන්තිම මොහොතේත්  අන්තිම තත්පරයෙත් හිපොක්‍රටීස්ට අනුකූලවම…
බුදුන්ට දෙවියන්ට අනුවම..
අසරණයින්ට පිහිට වුණා..

හැබැයි අදින් පස්සෙ …
මම නොදැනීම මගේ ඇස්වලට කඳුළු පිරිලා තිබුණා..
මම ගල් රූපයක් වගේ වාට්ටුව දිහා බලාගෙන හිටියා.

සුපුරුදු සුවදක්…
සුපුරුදු උනුහුමක් …
මගේ පිටිපස්සෙන් දැනුනා..
මං ගැස්සිලා පිටිපස්ස බැලුවා.

චාරු හිනාවෙවී මං දිහා බලාගෙන හිටියා..

ඔව්.. මිනිස්සුන්ට ජීවිතේ දිනන්න පුළුවන් සල්ලි වලින් විතරක් නෙමෙයි. තමන්ටත් වඩා තමන්ව අඳුරන… තමන්ටත් වඩා තමන්ට ආදරය කරන අරුම පුදුම මිනිස්සුන්ට ලෝකය සරසන්න පුළුවන් …

සාලි… මට වටින්නෙ ඔයාගෙ සතුටයි.. මගේ පත්වීම මෙහාට හදාගන්නම්…

හීනෙකින්වත් නොහිතපු විදිහට චාරු මාව හොයාගෙන ලංකාවට ඇවිල්ලා තිබුණා.හොස්පිට්ල් එකේ වෝර්ඩ්  එකටම..

ශාන්ති මිස් ටික් ටික් ටික් ගාලා මුළු වෝර්ඩ් එකේම ටියුබ්ලයිට් දැම්මා ..

මං කදුලු එක්ක හිනා උනා…

********************************

කමෙන්ට් කරන ඔබ  සැමට ගොඩක් ස්තුතියි..

ඒ කමෙන්ට් තමයි මාව  ජීවත් කරවන්නෙ..
ජීවත් වෙන්න  කෑමයි වතුරයි විතරක් මදි..
සමහර විට පිළිතුරු ලියන්න බැරි වෙයි.. එයට කමන්න…

More Stories

Don't Miss


Latest Articles