චන්දික දේවපුර නිවසට පැමිණියේ දේවක ගේ ඉල්ලීමකට අනුවය. අශිකා ගෙන් වෙන් වූ පසුව මිතුරෙකු ගේ මාර්ගයෙන් දුටු අශිකා ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප වලින් හැරුණු කොට චන්දික කිසිම දිනක වත් දේවකව හැබැහින් මුණගැසී හෝ දැක තිබුණේ නැත. දේවපුර නිවසට පැමිණෙන්නැයි දේවක විසින් චන්දික ගෙන් ඉල්ලීමක් සිදු කළේ ඇති වී තිබෙන ගැටලුව වැඩිහිටියන් වශයෙන් විසඳා ගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කරමිනි.
දේවක විසින් එවන ලද මං සලකුණු ඔස්සේ චන්දික දේවපුර නිවසට ගොඩ වැදුණේ ජීවිතයේ කිසිම දාක නොදැනුණු තරමේ චකිතයකිනි. ඒ මොහොතේ දී දැනුණු හැඟීම චන්දික හට වචනයෙන් විස්තර කර ගැනීමට පවා නොහැකි වුනු අතර චන්දික පැමිණෙන විට නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට දේවකද ඊට පිටුපසින් අශිකාද බලා උන්නෝය.
” වාඩි වෙන්න චන්දික “
දේවක ඉතා සුහදශීලී ලෙස චන්දිකව පිළිගත් නමුත් අශිකා උන්නේ වරදකාරී හැඟීමෙනි. අනාගතයේ දිනයක මෙවැනි දිනයක් උදා වේවි යයි අශිකා සිහිනෙන් වත් සිතා තිබුණේ නැත.එහෙත් අවසානයේ දී තම අතීතයේ පෙම්වතා සහ වර්තමාන සැමියාව එකට හමුවන දිනයක් තමාට උදා වී ඇත. එහෙත් මේ ගැටළුවේ ආරම්භයේ සිටම දේවක හැසිරුණු ආකාරය නිසා අශිකා ගේ සිතට දැනෙමින් තිබුණේ මද අස්වැසිල්ලකි.
” මෙහෙම ගමනක් චන්දිකට එන්න කියන්න වෙච්ච එක ගැන මට මුලින්ම චන්දික සමාවෙන්න ඕනේ ”
දේවක කීවේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ කතාවකි.
” මමයි දේවක ගෙන් සමාව ඉල්ලන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයකට දේවකව පැටලුවට. මේ කිසිම දේකට දේවක වග කියන්න ඕන නැහැ ”
අශිකා දෑස් වලට කඳුළු පුරවා ගත්තේ මේ කතා බහ ආරම්භ වූ ආකාරයම සිතා ගත නොහැකිවය. නමුත් චන්දික හොරැහින් වත් අශිකා දෙස නොබලා ඉන්නට ප්‍රවේසම් වූ අතර ඉතා ඉවසීමෙන් මේ ගැටළුව විසඳා ගෙන දේවපුර නිවසින් පිට වන්නට අරමුණු කොටගෙන සිටියේය.
” මේවා අපි කවුරුත් හිතා මතා කරපු දේවල් නෙමෙයි නෙ චන්දික.මේවා සිද්ධ වෙන්න ලියවිලා තිබ්බ දේවල්. මං චන්දිකට එන්න කිව්වේ මේ ප්‍රශ්නෙට අපි මොකද කරන්නේ කියලා කතාබහ කරලා විසඳුමක් කර ගන්න.ආදිත්‍ය ආපහු ගෙදර එනවා කිව්වට කවදා කොහොම එයිද කියලා හරියටම දන්නේ නැති එකේ අපි මේ විදිහට තැන් තැන් වලට වෙලා බලා ගෙන ඉන්න එකේ තේරුමක් නැහැ ”
දේවක කීවේ සන්සුන්වය.
” අපිට ඉන්නේ පිරිමි දරුවෙක් කියලා අපිට හිත හදා ගන්න පුළුවන්. ඒත් චන්දිකට ඉන්න ගෑණු දරුවෙක්.එ දරුවා ගැනයි ඒ දරුවා ගේ අනාගතය ගැනයි අපි හැමෝම හිතන්න ඕනේ.මට ගෑණු දරුවෙක් නැති උනාට අපි හැමෝම දෙමව්පියෝ නෙ චන්දික ”
දේවක පිළිබඳව අසා තිබූ කරුණු වලට අනුව ඔහු ඉතා කලබලකාරී සහ ප්‍රශ්න වලින් පලා යන සංවේදී හිතක් නැති අයෙකි. එහෙත් මේ ගැටලුව ඔහුව සංවේදී මිනිසකු බවට සහ දුර දිග සිතා බලා කටයුතු කරන පියෙකු බවට පත් කර ඇති බව චන්දික නිහඬව සිතුවේය.
” අනිත් එක චන්දික… ”
දේවක තවත් යමක් කියන්නට ගොස් නතර කර ගත්තේය. වෙනතක් බලා ගෙන ඔහු ගේ කතාවට සවන් දීගෙන හුන් චන්දික හිස හරවා ඔහු දෙස බැලුවේ ඒ මොහොතේදීය.
” ඔයයි අශිකයි අතරේ තිබ්බෙ මොන වගේ බැඳීමක්ද කියලා දැන ගෙනයි මම අශිකාව කසාද බැන්දේ.බැන්දට පස්සේ අපි දෙන්නා අතර මොන වගේ ප්‍රශ්න තිබුනත් මම කවදාවත් ඒ අතීතය ගැන කියලා අශිකා එක්ක ප්‍රශ්න ඇති කර ගෙන නැහැ.අනිත් එක තමයි අශිකා ගේ අම්මටයි තාත්තටයි ඕන උනේ සැප සම්පත් තියෙන තැනකට තමන් ගේ දුවව දෙන්න මිසක් දුව ගේ සතුට ගැන හිතන්න නෙමෙයි කියලා මම තේරුම් ගත්තේ බොහොම මෑතක දී. සමහරවිට මම මැදිහත් වෙලා හරි ඒ කාලෙදි ඔය දෙන්නට එකතු වෙන්න උදව් කරා නං අද අපි කාටවත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නෑ කියලා මට හිතෙනවා.ඒකත් පැත්තකින් තියමුකෝ.අඩුම ගානෙ මට තිබුණා ඔයා ගෙන් බලෙන් අයින් කරවලා මට කසාද බන්දලා දීපු ඒ අහිංසක ගෑනිව සතුටෙන් තියන්න වත්. එහෙම නොකර මං මේ ගෙදරිනුත් ගිහින් ජීවත් වුණා කියලා හිතෙද්දී මට මං ගැනම දැනෙන්නේ ලොකු කලකිරීමක්. පහුවෙලා හරි ඒ වැරැද්ද හදා ගන්නයි මං මේ උත්සාහ කරන්නේ ”
දේවක ගේ හඬ බිඳී ගිය අතර අශිකා ගලා යන කඳුළු අතරින් දේවක දෙස බලා උන්නේ ජීවිතයේ කිසිදාක ඔහු පිළිබඳව නොදැනුණු හැඟීමකින් යුතුවය.
” දැන් මේ දේවල් ගැන කතා කරලා තේරුමක් නැති වුනත් මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්න මමත් හේතුවක් කියලා මට මහ පසුතැවීමක් දැනෙනවා චන්දික. ආදිත්‍යය කියන්නේ මගේ ලේ වලින් ඉපදුණු දරුවෙක් උනත් නොවුනත් මට එයාව පිළිගන්න පුළුවන් හිතේ කිසිම කහටක් නැතුව. ඒත් ඊට පස්සේ ඔයා ගේ දරුවා පත් වෙන්නෙ මොන වගේ තත්වෙකටද කියලා මට හිතා ගන්න බෑ චන්දික ”
ඉන් පසුව බොහෝ වේලාවක් යන තුරු තිදෙනා අතර පැවතියේ විශාල නිහඬතාවයකි.ඒ නිහඬතාවය බොහෝ දේ කියා පෑ අතර වරින් වර අශිකා ගේ ඉකි බිඳුම් හඬ පමණක් අසන්නට ලැබිණි.මෙතෙක් වේලා නිහඬව උන් චන්දික මුව විවර කළේ ඉන් පසුවය.
” මගේ දුව ලේසියෙන් ප්‍රශ්නයක් ඉස්සරහ අඬන දොඬන ළමයෙක් නෙමෙයි දේවක.අපි එයාව මලක් වගේ හැදුවට එයා පුදුමාකාර විදිහට හයිය හිතක් තියෙන ළමයෙක්.වැඩිහිටියෝ වෙච්ච අපිට වත් නැති හිතේ හයියක් එයාට තියෙනවා. ඒත් මේ ප්‍රශ්නෙ ඉස්සරහ කවදාවත් නැති විදිහට මගේ දරුවා කඩා ගෙන වැටිලා ඉන්න හැටි මං අද දකිනවා දේවක. ආදිත්‍යය මගේ දරුවෙක් උනානං හොඳයි කියලා වෙලාවකට හිතුනත් මගේ දුව ගැන හිතල බලද්දි ඒක එහෙම වෙන්න එපා කියලා මං තවත් වෙලාවකට ප්‍රාර්ථනා කරනවා. අනිත් එක ඔයා උනත් මේ ප්‍රශ්නෙ දිහා බලන විදිහට තාත්තෙක් විදිහට මට ඔයා ගැන දැනෙන්නේ ආඩම්බරයක් දේවක. මං හැමදාම හිතුවේ අශිකාට හොඳ ජීවිතයක් ලැබෙන්න ඕනේ කියලා.අපි දෙන්නා අතර තිබ්බ පරතරය නිසා අපිට වෙන් වෙන්න උනා මිසක් අපි දෙන්නා කවදාවත් වෛර කරලා වෙන් වුණේ නැහැ.අඩුම ගානේ මගෙන් අයින් වෙලා හරිම පොඩි කාලෙකින් අශිකා ඔයාව කසාද බැන්දා කියලා දැන ගත්තහම වත් මට අශික ගැන තරහක් දැනුනෙ නැහැ. එහෙම තරහක් මට අදට වත් එයා ගැන නැහැ ”
අශිකා ඔහේ බලා උන්නාය.තමා ඉදිරිපිට සිටින මේ පිරිමින් දෙදෙනාම තමාට ආදරය කල , කරන අයවලුන්ය. මේ ඇත්තේ තමා ගේ අතීතයත් වර්තමානයත්ය. එහෙත් එහි විසඳා ගත යුතු තැනක් මේ වන විට ඉතිරිව තිබේ.
” අපි හැමෝම එකතු වෙලා හොඳින් මේ ප්‍රශ්නෙ විසඳ ගමු දේවක. වැරදිලා හරි ආදිත්‍යය කියන්නේ මගේ දරුවෙක් නම් ඔයා එදාටත් මේ වගේම ඉදියි කියලා මං විශ්වාස කරනවා. මගේ දරුවා ටික කාලයක් යනකොට හිත හදා ගනියි. හැබැයි එයා ඒක කොහොම කරයි ද කියලා තමයි මට හිතා ගන්න බැරි ”
චන්දික ගේ දෑස් අගිස්සේද කඳුලක් විය.ඒවා නැගෙන්නේ තම දියණිය වෙනුවෙන්ද එසේත් නැතිනම් තමා ගේ දැයි හරි හැටි නොදන්නා ආදිත්‍ය වෙනුවෙන් දැයි තෝරා බේරා ගැනීමට චන්දික හට නොහැකි විය. නොබෝ දිනයකින් මේ ගැටලුවට නිසි පිළිතුරක් ලැබෙන වුවද මේ මොහොතේ දී සියලු දෙනාම බලාපොරොත්තු වන පිළිතුරු නොලැබුණ හොත් මෞර්යා ගේ හදවත තුළ සදාකාලික කැළලක් ඉතිරිව තිබෙනු ඇතැයි චන්දික , දේවක මෙන්ම අශිකාද සිතුවේ සංවේගයෙනි.
අභිමන් උන්නේ ඉහළ මාලයේය.අද දිනයේ දී මෙවැනි කතා බහක් වැඩිහිටියන් අතර සිදු වනවා යැයි කල් තියාම දැන හුන් නිසා අභිමන් ඒ කතාව සිදුවන්නට හැර කාමරයට වී බලා හුන් නමුත් හදිසියේම ලැබුණු දුරකථන ඇමතුමකට පසුව අභිමන් වේගයෙන් තරප්පු පේළිය බැස පහත මාලයට පැමිණියේය.
” අම්මා ”
අශිකා තිගැස්සී තරප්පු පේළිය පාමුල හුන් අභිමන් දෙස බැලුවාය.
” අයියා දැන් කෝල් කරා ”