ආදර සැලසුම් – 75

0
182

මෞර්යා රැකියාවෙන් ඉල්ලා අස්වීම සඳහා තීරණය කර තිබුණේ පීඩනය දරා ගත නොහැකි මොහොතකය. ඇගේ එම තීරණයට ගෞරව කර කිසිවක් නොපවසා සිටීමට නිල්මිණී මෙන්ම චන්දික ද ප්‍රවේසම් වූහ. ආයතනයේ නීති රීති වලට අනුව ඉල්ලා අස්වීම මාස තුනකට පෙර දැනුම් දිය යුතු වුවත් මෞර්යා සිටින තත්ත්වය හොඳින්ම වටහා ගෙන සිටි අභිමන් ආයතනයේ නීති රීති පසෙකලා මෞර්යා හට ඒ අවස්ථාව සලසා දුන්නේය. දක්ෂ සහ ඉතාම නීති ගරුක ලෙස රාජකාරී නොපිරිහෙළා ඉටු කළ මෞර්යා හදිසියෙන්ම සේවයෙන් ඉල්ලා අස් වීම ඇගේ සමීපතමයන්ට කනගාටුවක් වුවද ඉල්ලා අස් වීමට හේතුව පෞද්ගලික කාරණාවක් බව දන්වා තිබූ නිසාත් , අභිමන් ඒ ඉල්ලා අස්වීම සඳහා සෘජු අනුමැතිය පළ කර තිබූ නිසාත් කිසිවෙකුත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ නැත. 

අවසන් රාජකාරී කිහිපයත් නිමා කළ මෞර්යා තම කාර්යාල සගයන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සූදානම් කර එයද අවසන් කර කාර්යාලයේ නිමා වන වේලාව කිට්ටු වන විට සිටියේ විස්තර කර ගත නොහැකි තරමේ ශෝකයකිනි. ජීවිතයේ පළමු වතාවට සේවයේ යෙදුණු රැකියාව නොසිතූ කාරණාවක් වෙනුවෙන් හැර යාමට සිදුවීම පිළිබඳව මෞර්යා බොහෝ වාරයක් සිතුවාය. එහෙත් දැඩි මානසික පීඩනයකින් සිටින අවධියක නිර්මාණශීලී රැකියාවක් කෙරෙහි සිත යොමු කිරීමට නොහැකි වීමද ,වැඩ අතපසු වීමද රැකියාවට සහ ආයතනයට කරන විශාල අසාධාරණයක් නිසා ඉල්ලා අස්වීම මිස වෙනත් විසඳුමක් නොවන බව මෞර්යා අවසානයේදී තීරණය කර තිබුණාය. 

රැකියාවට සමු දී හිස් හැඟීමකින් නිවසට පැමිණි මෞර්යා සාලය හරහා මුළුතැන්ගෙය දෙසට පැමිණ මුළුතැන් ගෙයත් සාලයත් අතර  ඇති කෑම මේසයේ පුටුවක් ඇද වාඩි වූවාය. මෞර්යා ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි නිල්මිණි මෞර්යා කැමතිම ආකාරයට සීතල කෝපි පානයක් සකස් කර ගෙනවිත් ඇය ඉදිරියෙන් තබා පුටුවක් ඇද වාඩි වූවාය.

” ට්‍රීට් එක හොඳට දුන්නද මෞර්යා කට්ටියට? ” 

” හ්ම්ම්. ඔව් අම්මා. මට තෑගි වගේකුත් හම්බුනා. ඒ ටික වාහනේ තාම ” 

මෞර්යා කීවේ මලානික හඬකිනි. අතිශය පිළිවෙල ජීවිතයක් ගෙවූ මෞර්යා දින ගණනාවක් තිස්සේ ඇවිදීම සඳහා ඇවිදින මන්තීරුව වෙත ගියේද නැත. කාර්යාලයට යාමට පෙර නිදන කාමරය සම්පූර්ණයෙන් පිළිවලට අස්පස් කර යන මෞර්යා දින ගණනාවකින් නිදන ඇඳේ ඇඳ ඇතිරිල්ල පවා සකස් කර තිබුණේද නැත. දිනයක් දෙකක් පොඩි වී ගිය ඇඳුම් හැඳ කාර්යාලයට ගිය නිසා ඇය කාර්යාලයට අඳින ඇඳුම් පසුගිය සතියේ මැද තැබුවේද නිල්මිණී විසිනි. මෞර්යා ඒ තරමටම ජීවිතය අතහැර උන්නාය.

“ඔයා ඔය රස්සාවට ගියේ නැත්තං හොඳයි කියලා හිතනවා පුතේ ” 

නිල්මිණී සුසුමක් පිට කර අවසානයේ දී කීවාය. මෞර්යා වෙනතක් බලා හිඳ කෝපි උගුරක් පානය කළාය. තමා හට ආදිත්‍යව මුණ ගැසුනේ රැකියාව නිසා නොවේ. එය දෛවය විසින් සැලසුම් කර තිබුණු අතිශය අහම්බකාරක සිදුවීමකි. 

” මට ආදිත්‍යය ව හම්බ වුණේ ඔෆිස් එකේදි නෙමෙයිනේ අම්මා “

මෞර්යා මිමිනුවාය.

” ඒ වුනාට ඉතින් ඔයා ඒ ළමයට ඔය තරම් හිතවත් වුණේ ඊට පස්සේ නේ ” 

පලවන මුණ ගැසීමෙන් පසු ආදිත්‍යයව නැවත නැවත මුණ ගැසුණු ආකාරය මෞර්යා සිහි කළාය. එහෙත් ඒවා තම මවට තේරුම් කර දීම මේ මොහොතේදී වෙහෙසකාරීය. ආදරයක මතක වෙන් වූ පසුවද මොන තරම් සුන්දර වුවත් තමාට අත් වී ඇති ඉරණම වෙනස්ම එකකි. එය කිසිසේත්ම බලාපොරොත්තු වූ එකක් නොවේ. එකී වේදනාව සඟවා ගැනීමට උත්සාහ කරමින් මෞර්යා කෝපි එක පානය කර අවසානයේදී මේසය මත හිස තබා ගත්තාය. 

ආදිත්‍යය අභිමන් අමතා දින කිහිපයක් තුළ නිවසට පැමිණෙන බව දන්වා තිබුණද ඔහු නිවසට පැමිණීමට තවත් දින පහක් පමණ කල් ගත්තේය. ආදිත්‍ය පැමිණෙන බව අභිමන් විසින් මෞර්යා වෙත දන්වා තිබුණද මෞර්යා උන්නේ බලාපොරොත්තු අත්හැරී ඇති මොහොතකය. 

සෙනසුරාදා දිනක සවස් වරුවේ ආදිත්‍යය දේවපුර නිවසට පැමිණියේ ඔහු පැමිණෙන බව පැවසූ වේලාවත් පසු වී පැය ගණනාවක් ගත වූ  පසුවය. දේවක , අශිකා මෙන්ම අභිමන්ද උන්නේ ඔහු පැමිණෙන තුරු නොඉවසිල්ලෙනි. ඔහු පැමිණෙනවා යැයි පවසා තිබූ වේලාව පහුවන විට ගෙවෙන හැම මිනිත්තුවක දීම අශිකා ගේ කඳුළු අලුත් වූ අතර දේවක ගේ සහ අභිමන් ගේ බලාපොරොත්තු බිඳ වැටීමද සිදු විය. ආදිත්‍යගේ දුරකථනයද ක්‍රියා විරහිත කර තිබූ නිසා ඔහුගේ පැමිණීම තවත් දින ගණනාවක් යනතුරු ප්‍රමාද වනු ඇතැයි අවසානයේදී සියල්ලෝම සිතා ගත්තද සවස හතර පමණ වන විට ආදිත්‍ය නිවසට ගොඩ වැදුනේය.

දේවක සහ අභිමන් ඉදිරියට ගොස් ආදිත්‍යව තද කර වැළඳ ගත්තේ නැවතත් ඔහුව අහිමි කර නොගන්නා අටියෙනි. අශිකා ඈතට වී කඳුලු පිරි දෑසින් සහ පසුතැවීම මුසු හැඟීමකින් බලා උන්නාය. අපිළිවෙල රැවුල සහ අවුල් වී ගිය හිස කෙස් ආදිත්‍ය සිටිනා පීඩනය හොඳින්ම කියා පෑ අතර අෂිකා තුළ වූ වේදනාව දෙගුණ තෙගුණ වූයේ ආදිත්‍ය කෙරෙන් දිස් වූ මළානික ස්වභාවය නිසාය. 

කෙමෙන් කෙමෙන් නිවස තුළට පියවර තැබූ ආදිත්‍යය මොහොතක් නතර වී සාලයේ හුන් අශිකා දෙස බලා උන්නේ හැඟීම් විරහිත දෑස් වලිනි. නමුත් කුමන හේතුවක් මත වත් තමාව කුසයේ දරා ගෙන මෙලොවට බිහි කළ මව කෙරෙහි වෛරයෙන් බැලිය නොහැක. ජීවිතය අත් හැරීමට තරම් හේතු දෑස් ඉදිරිපිට මැවෙද්දී තමා සහ තම සහෝදරයා නිසා ජීවිතය අල්ලා ගෙන මේ අහිංසක ගැහැණිය වෙත සමාව දෙන්නට ආදිත්‍යය ආයෙමත් වරක් සිතුවේය.

” අම්මා ” 

ආදිත්‍යය පුරුදු පරිදි ආදරයෙන් මුමුණා අශිකා ඉදිරියට පැමිණ ඇයව වැළඳ ගත්තාය. අශිකා හදවත උතුරා කඩා හැලෙන මව් සෙනෙහසින් ද , පසුතැවීමෙන්ද , වේදනාවෙන්ද හඬා වැටෙමින් තම වැඩිමහල් පුත්‍රයාව තදින් වැළඳ ගෙන බොහෝ වේලාවක් කඳුළු වලට ගලා යන්නට ඉඩ හැරියාය.

” මට සමාවෙන්න මගේ රත්තරන් පුතේ “

බොහෝ වේලාවක් හඬා වැටීමෙන් අනතුරුව අශිකා හඬ අවදි කළාය. නමුත් ආදිත්‍යය වචනයක් හෝ පැවසුවේ නැත.

” ඔයා ඔහොම කතා නොකර ඉන්නේ මාත් එක්ක තරහෙන්ද පුතේ ? ” 

අශිකා හඬා වැටෙමින් ඇසූ අතර දේවක සහ අභිමන්ද ඔවුන් දෙදෙනා අසලට පැමිණියෝය. පවුලේ සිව් දෙනාම මේ ආකාරයෙන් එකම තැනක හිඳින්නේ බොහෝ කාලයකට පසුව වුවත් එය සතුටුදායක එකක් වූයේ නැත. එළඹෙන දිනයන් බොහෝ තීරණාත්මක වන්නට යන නිසා කිසිවෙකුගේ හිතකවත් සතුටක් නොතිබුණද ආදිත්‍යය ගේ පැමිණීම සතුටක් කර ගන්නට සියල්ලෝම උත්සාහ දැරූහ.

” මේ ළමයා ගෙදර ආවේ කොච්චර දවසකට පස්සද අශිකා? එයාට ටිකක් නිදහසේ ඉන්න දෙමු.කොහේ හිටියත් ගෙදර වගේ නැහැනේ ඉතින් ” 

දේවක කීවේ ආදිත්‍යය හට ඉන්නට හැර වාඩි වන අතරේය. තම පියාගෙන් මේ දිස්වන්නේ කිසිදාක නොදුටුව තරමේ සන්සුන් බවකි. ඔහු තුළ දක්නට ලැබෙන වෙනස පිළිබඳව අභිමන් පැවසුවේ පසුගිය දිනක දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේදීය. මේ ගැටලුව නිසා හෝ තම පියා තුළ එවැනි වෙනසක් ඇති වී තිබීම පිළිබඳව ආදිත්‍යය ඇත්තටම හදවතින් සතුටු වූයේය. තමාට කෙසේ වෙතත් අඩුම තරමේ තම මවටවත් ජීවිතයේ අවසාන කාලයේදී සැනසිල්ලෙන් ජීවත් විය හැකි වේ යැයි ඒ නිසාම ආදිත්‍යය ප්‍රාර්ථනා කළේය.

” මං ඔයත් එක්ක තරහ නෑ අම්මා ” 

එපමණක් කියා ආදිත්‍යය තරප්පු පේළිය නැග දින ගණනාවකට පසුව තම නිදන කාමරයට ඇතුළු වූයේය. ඇඳ මතින් වාඩි වූ ආදිත්‍යය කාමරය සිසාරා බැල්මක් හෙළුවේ හිස් හැඟීමෙනි. අභිමන් කාමරයට ඇතුළු වූයේ ඒ මොහොතේදීය.

” ඔයා ආවා කියලා මෞර්යාට කියනවද අයියා ? ” 

අභිමන් අසන්නේ බැරෑරුම් ප්‍රශ්නයකි. සියල්ලටම වඩා මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින්නේ මෞර්යා බව ආදිත්‍ය ඒ වන විට වටහා ගෙන උන්නේය.

” මම තාම ඒ ගැන හිතනවා මල්ලි ” 

” ඔයා දන්නවද මෞර්යා රිසයින් උනා කියලා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here