මෞර්යා කාමරයේ මුල්ලක විම වැතිරී දෑස් පියාගෙන උන් ආකාරය දුටු විට ආදිත්‍ය බොහෝ සේ බිය වූ අතර ඔහු අඩියට දෙකට මෞර්යා අසලට දිව ගොස් ඇයව සොලවමින් කෑ ගැසුවේය.
” මෞර්යා ”
ආදිත්‍යගේ හඬට බිය වී චන්දික ද කාමරය තුළට දිව ආ අතර මෞර්යා සෙමෙන් දෑස් විවෘත කළාය. තමා ඉදිරිපිට සිටින ආදිත්‍ය සැබෑවක් දැයි නැතහොත් මායාවක්දැයි හඳුනා ගත නොහැකිව මෞර්යා තප්පර කිහිපයක් බලා උන්නාය.
” ආදිත්‍යය ”
මෞර්යා සෙමෙන් මිමිනූ අතර ආදිත්‍ය ඇයව ඉතා තදින් ළයට තුරුළු කර ගත්තේ ඒ අසල චන්දික සිටින බවත් අමතක කරමිනි. චන්දික නිහඩවම කාමරයෙන් පිටට පැමිණියේ බොහෝ දිනයකට පසුව හමුවූ ඔවුන් දෙදෙනාට කතා කිරීමට බොහෝ දේ ඇති නිසාත් කාලය ගත කිරීමට ඉඩ ලබා දීම අවශ්‍ය වූ නිසාත්ය.
ආදිත්‍යය මෞර්යාව වාඩි වී සිටි තැනින් නැගිට්ටවා ගෙන විත් ඇඳ මතින් වාඩි කරවූයේය. මෞර්යා මලානික දෑසින් ආදිත්‍යය දෙස නිහඬවම බලා සිටි අතර ආදිත්‍ය කොතනින් කතාවක් පටන් ගත යුතු දැයි සිතමින් කල්පනා කරමින් උන්නේය.
” ඔයා එන්න මෙච්චර පරක්කු උනේ ඇයි ආදිත්‍යය ? ”
මෞර්යා ඇසුවේ දෑස් වල කඳුළු පුරවා ගනිමිනි. ඇය මින් පෙර කවරදාක වත් මෙසේ හැසිරී නැත. ඇය මේ ප්‍රශ්නය නිසා සිටින්නේ බොහෝ වෙහෙසට පත් වී බව ඇගේ මලානික වත දුටු විට මනාව පැහැදිලි වේ. එහෙත් තමා ගේත් මෞර්යා ගේත් ප්‍රේමය ඇත්තේ අවිනිශ්චිතවය. ඕනෑම මොහොතක දෙදෙනාටම වෙන් වීමට සිදු වන නිසා ආදිත්‍යය උන්නේද අසරණවය.
” හේතුව ඔයා දන්නව මෞර්යා. ඔයාට වඩා මේ ප්‍රශ්නය නිසා මම විඳවනවා. සමහරවිට ඊටත් වඩා ඔයාගේ තාත්තයි අපේ අම්මයි විඳවනවා ඇති ”
” එයාල මේක විසඳන්න හදන්නේ කොහොමද ආදිත්‍යය ? ”
” අපේ තාත්තා හැමදේම ලෑස්ති කරල තියෙන්නෙ “
මෞර්යා නිහඩවම උන්නාය. ආදිත්‍යද කිසිවක් නොකියා වෙනතක් බලාගෙන කල්පනා කළේය. විවාහයෙන් වෙන් වූ පසුව ටික කාලයක් ගත කර මෞර්යා සමග සුන්දර ජීවිතයක් ආරම්භ කිරීමට මග බලා ගෙන හුන් තමාට සිදු වූයේ අනපේක්ෂිත ගැටලුවකට මුහුණ දීමටය. එයින් ජීවිතය පිළිබඳව වූ බලාපොරොත්තුව සහ ආශාවන්ද මේ වන විට ගිලිහී ගොසින්ය.
” ඊට පස්සේ මොකද වෙන්නේ අපි දෙන්නට ? ”
මෞර්යා අසන්නේ පිළිතුරු දීමට කිසිසේත්ම පහසු නොවන පැනයකි.
” අපි දෙන්නට මොකද වෙන්නේ කියලා බලන්න DNA එකේ result එක එනකම්ම ඉන්න වෙනවා මෞර්යා. මේකට වෙන කිසිම විසඳුමක් නැහැ කියලා ඔයා දන්නවනේ. මං ඉන්නෙත් ඔලුව ගිනි අරගෙන. ඒත් එහෙමයි කියලා මට ඔයාගේ තාත්තාට වත් මගේ අම්මාට වත් දොස් කියන්න බැහැනේ මෞර්යා. මේ වගේ දෙයක් ඕනම මනුස්සයෙක් අතින් වෙන්න පුළුවන්නේ “
ආදිත්‍යය පවසන්නේ ඇත්තය. එහෙත් අසීරුම කාරණාව නම් එය පිළිගැනීමය. ආදිත්‍ය වැන්නෙකු අහිමි කර ගෙන ජීවිත කාලයම විඳවීමට තමාට ඉදිරියේදී සිදු වනු ඇතැයි මෞර්යා සිතුවාය.
” ඔයාට පුළුවන්ද මන් නැතුව ඉන්න ? ”
මෞර්යා නැවත ඇසුවේ බොළඳ පෙම්වතියක පරිද්දෙනි. ආදිත්‍යය අසරණව මෞර්යා දෙස බැලුවේ ඇය කවරදාකවත් මෙවැනි ආකාරයේ ප්‍රශ්නයක් නොඇසූ නිසාය.
” ඔයා මොකුත් කියන්නේ නැත්තේ මං දන්නවා ඔයාට මං නැති උනොත් කමක් නෑ කියලා ”
ආදිත්‍ය නිහඬව බලා සිටි තැන මෞර්යා කීවාය.
” එහෙම දෙයක් නෙමෙයි මෞර්යා මෙතන තියෙන්නේ ”
ආදිත්‍යය මෞර්යා දෙසට හැරෙමින් කීවේ මෞර්යා සිටින්නේ නොසන්සුන් වන ස්වභාවයක නිසාය.ඒ ආකාරයටම මෞර්යා අනපේක්ෂිතව එකවරම ඇඳෙන් බිමට පැන්නාය.
” එහෙම දෙයක් නෙමෙයි නම් කොහොම දෙයක්ද ? ඔයාට පුළුවන්ද මාව දාලා යන්න? ඔයාගේ අම්මා කියන දේ ඇත්ත උනොත් ඔයාට පුළුවන්ද ඒක පිළිගන්න? ”
මෞර්යා කෑ ගසා හැඬුවේ මුදා හැර තිබූ හිස කෙස් දෙපසට ඇද ගන්නා අතරේය. ආදිත්‍ය වහාම ඇඳෙන් නැගිට මෞර්යාව සංසුන් කිරීමට උත්සාහ කළ ද ඇය තව තවත් යටිගිරියෙන් කෑ ගසමින් හඬා වැටුනාය. චන්දික මෙන්ම නිල්මිණීද කාමරයට දිව ආවේ මෞර්යාගේ කෑ ගැසීම නතර නොවූ තැනය.
” මං කොච්චර වේදනාවකින්ද ඉන්නේ කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද ආදිත්‍යය ? මේක එදාම විසඳගන්න තියෙද්දි ඔයා අතුරුදහන් වුණා. දැන් ඇවිල්ලත් කිසිම ගානක් නැතුව ඉන්නවා. ඔයා ඇත්තටම මට ආදරය කරාද ආදිත්‍යය ? ”
මෞර්යා තවදුරටත් කෑ ගසද්දී ආදිත්‍ය ඇගේ දෑතින්ම අල්ලා ගෙන ඇයව සංසුන් කිරීමට වෙර දැරුවේය. එහෙත් මෞර්යා ඔහුව ඉවතට තල්ලු කිරීමට උත්සාහ කරමින් නොසන්සුන් ලෙස හැසිරුනාය. නිල්මිණී කඳුළු පිරි දෙනතින් පසෙකට වී බලා සිටියේ කුමක් කළ යුතු දෑ සිතා ගත නොහැකිවය.චන්දික පියවරක් දෙකක් ඉදිරියට පැමිණියද ආදිත්‍යය අතින් සංඥා කරමින් ඔහුව වැළැක්වූයේය.
” මෞර්යා මං කියන දේ අහන්න ”
” මොනා අහන්නද ආදිත්‍යය ? මොනා අහන්නද ? ඔයා ලඟින් හිටියට ,ඔයාට ආදරය කරාට ඔයා මේකද මට දෙන තෑග්ග ? අඩුම ගානේ මට කතා කරලා හිත හැදෙන්න එක වචනයක් කියන්න ඔයාට පුළුවන් වුනාද ? ඔයා එනකම් මං බලාගෙන හිටියේ කොහොමද කියලවත් ඔයා දන්නවද ? මේ හැමදේම මං තනියෙන් කොහොම ඉවසයි කියලා ඔයා හිතුවද? ඔයා කොහොමද ආදිත්‍යය ඔයා ගේ තාත්තා ඔයා ගේ අම්මට කරපු දේම මට කරන්නේ ? ”
මෞර්යා කෑ ගසා හඬා වැටෙන අතරේ එසේ පවසද්දී ආදිත්‍යය එකවරම මෞර්යාව අත හැරියේය. මෞර්යාගේ වචන කිඳා බැස්සේ ආදිත්‍යගේ හදවතේ සියුම් වූ කොනකටය.
” මෙච්චර මාව දන්න ඔයා කොහොමද මෞර්යා මට ඔහොම කතා කරන්නේ ? “
ආදිත්‍යය පියවරක් පසුපසට ගියේය. ඔහුගේ දෑස් වල සටහන් වූයේ අතිශය ශෝකී වේදනාවකි. මෞර්යා දෙදණ නමා බිම වාඩි වී දෑතින්ම මුහුණ වසා ගෙන හඬා වැටුණේ චන්දික සහ නිල්මිණි පෙනෙන මානයේ සිටින බවද අමතක කරමිනි.
” ඔයා දන්නව ඔයත් එක්ක ලස්සන ජීවිතයක් පටන් ගන්න මට කොච්චර බලාපොරොත්තු තිබුණද කියල. ඔයා දන්නවා ෂෙහාරා නිසා මං කොච්චර විඳෙව්වද කියල. එහෙම ජීවිතේට බලාපොරොත්තුවක් දීපු ඔයා ගැන මට ගානක් නෑ කියලද ඔයා හිතා ගෙන ඉන්නේ? ඔයා ඇත්තටම මං ගැන එහෙම හිතුවද මෞර්යා ? “
ආදිත්‍යගේ හඬ බිඳී ගියේය. දරුවන් දෙදෙනෙකු මේ සා විශාල වේදනාවක් විඳින්නේ තමා සහ අශිකා තරුණ වියේදී දුර දිග නොසිතා කළ ක්‍රියාවන් වල ප්‍රතිඵල නිසා යැයි සිතමින් චන්දික වේදනාවෙන් බලා උන්නේ කරකියා ගන්නට දෙයක් නොමැතිවය.
මෞර්යා ගේ විලාපය මධ්‍යයේ ආදිත්‍යය ඔහේ බලා උන්නේය. තමාත් මෞර්යාත් මේ මොහොතේ හිඳින්නේ කෙළවරක් දැක ගත නොහැකි වේදනාවකය. ඇය වචන පිට කරන්නේද එකී වේදනාවෙන්ය. එහෙත් ඒ වචනවලින් තුවාල වන්නේ දැනටමත් බොහෝ සේ ගිලන් වී ඇති තමා ගේ හදවතය.
” මට කවදාවත් ඔයාට රිද්දන්න ඕන වුණේ නෑ මෞර්යා. මම දන්නවා මං ගෙදරින් ගිය එකෙන් මේ ප්‍රශ්නෙ විසඳෙන එක තව පරක්කු වුණා කියලා. ඒත් මට රිදිච්ච තරම දන්නෙ මං විතරයි මෞර්යා. මේක කොහොම විසඳෙයි ද කියලා ඔයාට වඩා බයෙන් ඉන්නේ මම. මොකද මම එකපාරකුත් ජීවිතෙන් පැරදිච්ච මිනිහෙක්. එහෙම මිනිහෙක් වෙච්ච මම මේ පාරත් පරාද වෙන මට බය නෑ කියලද ඔයා හිතන්නේ ? ”
මෞර්යා ගේ හැඬීම ඉකි බිඳුමක් දක්වා අඩාල වී තවත් තත්පර ගණනාවක් ඇතුළතදී ඒ ඉකි බිඳීමද නෑසි මෞර්යා කපා හෙලූ කඳක් සේ කඩා වැටුණාය. කාමරයේ තැන් තැන් වල සිට ඇය දෙස බලා සිටි ආදිත්‍යයත් , චන්දික මෙන්ම නිල්මිනී ද මෞර්යා වෙත දිව ආවේ විලාප තබමිණි.
” අනේ චන්දික මගේ දරුවා ”
චන්දිකට පෙර ආදිත්‍ය ඉදිරියට පැන මෞර්යාව ඔසවා ගෙන හැකිතාක් වේගයෙන් තරප්පු පේළිය බැස්සේය. චන්දික සහ නිල්මිණී ද ඔහු පසුපසින් පැමිණි අතර ආදිත්‍ය විවෘත කර තිබුණු ගේට්ටුවෙන් පිටත නවතා තිබුණු වාහනයේ පිටුපස දොර හැර මෞර්යාව අසුන මතින් තැබුවේය.
” අනේ මගේ දරුවට මොකක්ද උනේ චන්දික ? ”