සන්තාන සුසුම් සර – 56 (අවසන් කොටස)

0
2624

ඔවුන් තානායමට පිවිසෙන විටත් රජරට දුහුවිලි පොළොව මත පිනි පොදයක බලාපොරොත්තුව පතිත වෙමින් තිබිණ. ඒ, මාස ගණනාවක නියං සාය නිමා කරනට අහස විසින් දරනු ලැබූ උත්සාහයක පළමු පියවරයි. දුහුවිලි සුවඳ හමමින් තිබිණ. ඒ සුවඳට කුඩා සාවියෙහි පටන් යසස්වී රිසි ය. මාස ගණනක් හිත් පිත් නැති සේ පොළොව පෙළනා රජරට අහස, අනුකම්පාවේ දයා දියෙන් සන්තෘප්ත වීම යනු මංගල කාරණාවකි. සමස්ථ වියළි කලාපය වෙනුවෙන් ඇගේ හද මඬලෙහි නුරාගී පැතුමක් දැල්වෙන්නට ගති.

ඒ නවාතැන වූ කලී අලුතෙන් ඉදිවූවකි. එබැවින් නවීන පහසුකම් වලින් ද පවිත්‍රත්වයෙන් ද අනූන ය. එය ඔවුන් තුළ පහමු හැඟීමක බීජ වපුරන ලදී.

‘ඒත් දැන් ඔයාගෙ අම්මලට මොනාද කියන්නෙ… ඒගොල්ලො බලං ඉඳීනෙ අපි එනකල්’

සුව පහසු කාමරයෙහි දොර වසාගත් ගමන් යසස්වී යොමු කළ ප්‍රශ්නය එයයි. සුදු ම සුදු ඇතිරිලි දැමූ සුමුදු යහනාවේ     හහිඳගත් අස්විද සූරියබණ්ඩාර නිකට පිරිමැද්දේ ය.

‘අපේ වරදක් නෙවෙයිනෙ ඉතිං… වාහනේ බ්‍රේක්ඩවුන් එකක් කියමු’

‘එපා එපා’

යසස්වි ගේ ඇස් මත සනිටුහන් ව තිබූ භීතියේ සේයා වලට හේතුව, අස්විද ට අනුමාන කළ හැකි වූයේ නැත.

‘අම්මගෙ හිත ආයෙමත් අවුල් යයි අයිය. අපිට වුණ තරමක් වුණේ බාධාවල්මනෙ. දැන් ඔක්කොම ඉවර වෙලා ගෙදර එන්න හදද්දි හොඳට තිබුණ වාහනේත් බ්‍රේක්ඩවුන් එකක් කිව්වහම… මාවත් එක්ක එපා වෙයි’

‘පිස්සුද අනේ… වාහන කියන්නෙ ඕන වෙලාවක ලෙඩ දෙන්න පුළුවන් දෙයක්. ඒවට පණ තියනව වගේ අපි හිතං හිටියට වාහන කියන්නෙ යකඩ ගොඩවල්නෙ’

‘ඒත් අපි තනියම හොටේල් එකක රෑ නතර වුණා කිව්වහම… ඒක ඊට වඩා අවුල් වගේ අප්ප. අම්ම මොනා හිතයිද දන්නෑ’

අස්විද තොල පිට පෙරලා හෙලූ අඩවන් සිනහවෙහි වූයේ සරාගය වෑහෙනා පිරිමි පෞරුෂයකි. යසස්වි ඒ එක බැල්ම තුළ වූ මායාවට වසඟ නොවී සිටියේ ඇගේ හද මත පැටවී තිබූ බරැති හැඟීම නිසාවෙනි. අස්විද මොහොතකින් ඈ සිත හැඳින්නේ ය.

‘හරි හරි මං අම්මට කෝල් එකක් දෙන්නංකො ඔක්කොම ශේප් වෙන විදිහට’

යසස්වි ඇස් පිය නො සලා බලා සිටියා ය. අස්විද වෙත ඕනෑ ම ප්‍රශ්නයකට ක්ෂණික විසඳුමක් තිබේ. සාමාන්‍යයෙන් කුඩා වෙනසකින් වුව හිත කලබල කරගන්නා ඈ වාගේ කෙනෙකුට, ඔහු වූ කලී ප්‍රාතිහාර්ය පාන්නෙකු වන්නේ එබැවිනි.

‘අම්ම. යසස්විලගෙ ගෙදරින් එන්න හදද්දි කා එකේ පොඩි අවුලක් දැනුණ. ඒ ගමන මිකෑනික් කෙනෙක් ගෙන්නල බලනකොට හෙට උදේට තමයි හදල දෙන්නං කියල කිව්වෙ. ඒක නිසා අද එහෙ ඉඳල හෙට එන්නං’

යසස්වි ගේ දෑස් වල තාරකාමය දීප්තියක් පිළිසිඳිණි. රතදර අතරේ මල් මන්දහාසයක් පිපුණි.

‘කාරෙකේ ලෙඩ තියාගෙන මෙච්චර දුරක් ආපු නැති එක හොඳයි. කලබලයක් නැතුව හෙට උදේට පරිස්සමට එන්නකො එහෙනං’

වජිරා ගේ කරුණාවත් හඬ, එක වචනයකුදු අපතේ නො හැර යසස්වී ඇහිඳගත්තා ය.

‘දැන් හරිනෙ…’

අස්විද දුරකතනය පසෙක තැබුවේ ඇගේ මුහුණට සිනහවක් ගෙන එන්නට හැකි වීම ගැන ජයග්‍රාහී ලීලාවකිනි. නො වියැකුණු මඳහසින් ම යසස්වි සාවිත්‍රි ට ඇමතුමක් ගත්තා ය.

‘හරි වැඩේනෙ අම්ම. කා එක කැඩුණ මගදි. හෙට උදේට තමයි හදල දෙන්න පුළුවන් කිව්වෙ. ආපහු ගෙදර එන්න විදිහක් නැති නිසා අපි මේ හරියෙ හොටේල් එකක නතර වුණා. අස්විදයියගෙ ගෙදරට කිව්වෙ අපි අපේ ගෙදර ඉඳල එනව කියලයි අම්ම’

යසස්වි හැල්මේ කියවාගෙන ගියා ය.

‘එහෙම කියපු එක හොඳයි’

සාවිත්‍රි එසේ කීවේ සුසුමකිනි.

‘නැත්තං මොනා වුණත් ඒ අම්මල ඔයා ගැන කොහොම හිතයිද කියන්න බෑනෙ. ඔයාල මග නතර වෙලා කියල මං විතරක් දැනගෙන හිටියහම ඇති පුතේ. පරිස්සමෙං ඉඳල උදේට යන්න එහෙනං’

දරුවන් සම්බන්ධයෙන් අම්මලා ගේ මව්වත් හදවත් වෙන කිසිදු තැනකදී ට වැඩියෙන් පුළුල් වේ. විස්ථාරණය වේ. දරා ගැනීමේ ශක්තිය වැඩි වර්ධනය වේ. දරුවන් ගේ මුව මත සිනහවක් නැගෙනවා නම්, ඕනෑ ම දුකක් බියක් ලෝකයෙන් සඟවා හදවතේ සුරකින්නට ඔවුහු සමත් වෙති.

මේ වෙලාවේ යසස්වි ට දැනුණු සැහැල්ලුවට හේතුව ද එයයි. අම්මා විසින් බරැති කොටස ඈ මත පටවාගෙන දියණිය සැහැල්ලු කරවීමයි.

‘ඒව ඔක්කොම හරි කියමුකො. ඔයාටත් බෑග් එකේ ඇඳුං ඇති. දැං මං මොනාද වොශ් දාල ඇඳගන්නෙ කියන්නකො. උදේ ඉඳල ඇඳං ඉන්න ඇඳුංනෙ මේ’

අස්විද එහෙම ම යහනේ උඩුකුරුව වැතිරුණේ ය. මේ මොහොතේ හිත පුරා වාං දමනා මේ අමුතු හැඟීම් සමුදාය ඔහු ට නුහුරු නුපුරුදු වූවකි. නමුත් ඒ ආගන්තුක මිහිරෙන් ඔහු නැහැවෙමින් සිටියේ ය.

යසස්වි සිය ඇඳුම් බෑගය ඇඳ මතට ගෙන එය විවර කළා ය.

‘ඔයාගෙ එකක් මට දෙන්නද යන්නෙ…’

ඔහු හිස හරවා ඇගේ මුහුණ දෙස බැලුවේ මඳහසකිනි. යසස්වි වෙත වූයේ දඟකාර ඉරියව්වකි. මේ ඔහු මුලින් ම තුසිතයේ දී දුටු ඇයයි. ඒ දඟකාර හුරතල් ඇයයි. සිය පියා ගේ ගිලන් වීමත් සමග ඒ ඇය බොහෝ දුරට යටපත් වී ගියේ ය. ඔහු දුටුවේ බලාපොරොත්තු සුන් වීමකට ද අපේක්ෂා භංගත්වයකට ද භීතියකට ද පත් ව හිඳිනා තිගැස්සුණු ඇයයි. පරණ පුරුදු යසස්වී යළිත් පණ ලබමින් සිටීම ඔහු ට සැනසිල්ලකි.

යසස්වි සිය ඇඳුම් මල්ලෙන් ටී බැනියමක් ද බොටම් කලිසමක් ද පිටතට ගත්තේ ය. ඒ එදා යසස්වි රෝහල්ගත කළ අවස්ථාවේ වෙහෙරගොඩ මැදුරේ රාත්‍රිය පහන් කිරීමෙන් පසු අස්විද ට අමතක වී ගිය ඔහුගේ ඇඳුම් කට්ටලයයි. යසස්වි රෝහලෙන් ගෙදර පැමිණි පසු එය සෝදා ඇගේ ඇඳුම් අතරෙහි තබාගත්තා ය.

‘කෝක වෙන්නෙත් හොඳට කියන්නෙ ඒකනෙ’

දිය නා නැවුම් වී නවාතැනෙහි භෝජනාගාරය වෙත ගොස් රාත්‍රී ආහාරයෙන් සප්පායම් වී පැමිණෙන විටත් යසස්වි ගේ මුහුණ මත වූයේ නො වෙනස් මඳහසකි. ඉරණම පුදුමාකාරයි කියා ඇයට සිතෙමින් තිබිණ. පසුගිය දින වල සිදු වූ සිදුවීම් නො වන්නට අද මේ වන විට ඔවුන් මධු සමය සඳහා නික්ම ගොස් සිටින්නට තිබිණ. ඒ සඳහා අස්විද විසින් තෝරාගනු ලැබුණේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙහි මනරම් තානායමකි. ඒ වූ කලී රයන් විසින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් ලබා දෙන තිලිණයකි. ඒ තරම් ලස්සනට සැලසුම් වූ විවාහ උත්සවයකට නපුරක් කරන්නට ඉරණමට වූ ඕනෑකම ගැන ඇයට තවමත් සිතාගත නො හැකි ය.

‘හොටේල් එක වෙනස් වුණාට ඩේට් එක වෙනස් කරන්න ඉරණමට ඕන වෙලා නෑ හරිද…’

යළි කාමරයට විත් දොරගුළු ලන ගමන් අස්විද එසේ කීවේ යසස්වි ගේ බඳ වටා දෑත ම යවමිනි. ආශාවෙන් ද බියෙන් ද රසවත් වෙමින් වුව ඈ උත්සාහ කළේ අස්විද වෙතින් මිදෙන්නටයි.

‘ඒව ඔට්ටු නෑ… කල් ගියානං ඔක්කොම කල් ගිහින් තමයි තියෙන්නෙ. මං නිදියන්නෙ සෝෆා එකේ’

ඇයට මිදී යාමේ ඉඩක් නොදුන් හෙතෙම දෑතින් හරහට ඕ ඔසවාගත්තේ යසස්වි කිසි සේත් බලාපොරොත්තු නොවූ විලසිනි. ඇය ඔහු ගේ ගෙලෙහි දෑතින් ම එල්ලී හුරතලයට කෑගෑවා ය.

‘අනේ බිමින් තියන්න… වැටෙයි මාව…’

නමුත් අස්විද මලක් සේ ඈ තැබුවේ සුසුදු සුවඳවත් යහන් තලාව මතයි. ඇගේ කොපුල් ද නළල් තලාව ද දෑස් පියන් ද රත් ලවන් ද ඔහු ගේ දෙඅදර පහස ලබත්දී යසස්වි සිය ඉරණමට කැමැත්තෙන් ම නතු වූවා ය. පිටත මහ වැසි ඇද හැලෙමින් තිබිණ. වරින් වර අකුණු පුපුරමින් ද මහ හඬින් ගොරවමින් ද අහස සිය ඒකාධිපති අණසක පැතිරෙව්වේ ය. රජරට අහස යටදී යසස්වී වෙහෙරගොඩ මුළුමනින් අස්විද සූරියබණ්ඩාර ගේ පතිණිය වී සිටියා ය.

‘නීතිය ඉස්සරහ විතරක් නෙවෙයි… දෙවියො ඉස්සරහත් දැන් අපි අපේ. ඒක වෙනස් කරන්න ඉරණමට ඕන වුණෙ නෑ… හරිද ගෑනු ළමය… තාත්ත අසනීප වුණා තමයි. හැබැයි ඒක අපි දෙන්නගෙ අලුත් ජීවිතේට බාධාවක් නෙවෙයි කියල ඔප්පු කරල පෙන්නන්නයි ඉරණම මෙහෙම මොහොතක් අපිට දෙන්න ඇත්තෙ’

අස්විද සිය පපුතුර ඈ හොවාගෙන සිය අතැඟිලි ඇගේ හිස කේ අතරේ යවා හිස පිරිමදිමින් කීවේ ය. යසස්වි මුව දෙනක තරම් අවිහිංසක ලෙස ඔහු ට තුරුලු ව සිටියා ය. කතා කරන්නට එක් වදනක් හෝ ඇගේ සිත්හි ගැළපුණේ නැති තරමි. නමුත් අස්විද පරිනත පිරිමියෙකු ගේ තෘප්තිමත් බව තුළ ආත්මීය සංචාරයක යෙදුණේ ය.

‘මං ආසයි මෙහෙම වුණාට… කවුරුත් නොදැන කවුරුවත් නොහිතපු වෙලාවක ඔයාට මෙහෙම මට තුරුල් වෙලා ඉන්න ලැබුණට. දැන් ඉතින් ඉස්සරහට එන්නෙ ජීවිතේ යසස්වි. ඒක ඔයාගෙවත් මගෙවත් නෙවෙයි. අපි දෙන්නගෙම. මොන ප්‍රශ්න ආවත් මොන දේවල් සිද්ද වුණත් අපි ඒවට ෆේස් කරන්න ඕනෙ එකට. මොන හේතුවක් නිසාවත් අපිට අපෙන් එහාට පැනල දුවන්න බෑ. අද තුරුල් කරගත්ත හිතෙන් මැරෙනකල්ම පැත්තකට කරන්නැතුව ළඟින් ඉමු’

‘එතකොට වෙඩින් එක…’

යසස්වී අසීරුවෙන් ඒ වචන තුන ගලපාගත්තා ය. අස්විද ගේ මුහුණට නැගුණු ක්ෂණික සිනහව, ඈ වසඟ කරනා තරම් ලස්සන එකකි.

‘වෙඩින් එක ගමු ඉතිං’

‘බබෙක් ආවොත් එහෙම…’

යසස්වි ගේ දෑස් හි සැබවින් ම බිළිඳු භීතියක් විය. අස්විද ඈ තුරුලු කොටගෙන සිනහ වූයේ ස්නේහයේ අසීමිත සංඛ්‍යාත වලිනි.

‘බබාව ගමු එහෙනං ෆ්ලවර් ගර්ල්ට’

‘ඔයානං හිනාවෙයි. දැං කොහොමද හෙට රෑට මං තනියම රූම් එකේ ඉන්නෙ…’

එහෙම හිතත්දීත් පපුවෙහි දැවුමක් ඇයට දැනිණ.

‘ඉතිං මං එන්නං රූම් එකට’

ඔහු ගේ ඉරියව් දඟකාර ය. යසස්වි අස්විද ගේ කොපුලක් යන්තමින් සැපුවා ය. ඔහු සුසුමකින් ඈ තවත් සමීප කොට ගත්තේ ය.

‘අපි ඉක්මනට ආයෙ ඩේට් එකක් ෆික්ස් කරගමු. ඉක්මනට ම…’

ඊළඟ දවසේ තුසිතය බලා යත්දී යසස්වි ට දෙගිඩියාවක් නො දැනුණා ම නොවේ. නමුත් නො වෙනස් ආදරයෙන් වජිරා ඈ සිප වැළඳ පිළිගත්තා ය.

‘මගෙ කෙල්ල ලස්සන වෙලානෙ’

අස්විද යටැසින් ඇදෙස බැලුවේ ය. යසස්වි ඒ බැල්ම නො දුටුවා සේ විජිත ව බදාගත්තා ය.

‘ගේ ම පාළුවට ගිහින් තිබුණෙ’

ඔහු ඇගේ හිස පිරිමැද්දේ ය. සුළඟට මුහු ව සුළං සීනු වල නද ඇසිණ. ඒ තුසිතයෙහි දිව්‍යමය ආවේණිකත්වයයි. යසස්වි යළි තුසිතයට පැමිණි පුවතට සනුක සේ ම නිලූකා ද එහි දිව ආහ. නැන්දම්මාත් ලොකු ලේලියත් ලහි ලහියේ අලුත් ලේලි වෙනුවෙන් තේ මේසය සූදානම් කරන්නට වූහ. කාලයකට පස්සේ තුසිතය සතුටකට අරෑඳුවේ ය.

‘රෑ කෑම මෙහෙ හදමු. නිලූකා එහෙ උයන්න එපා’

වජිරා තේ සූදානම් කරන අතරේ ම රෑ කෑම ගැන සිතුවා ය. අස්විද රයන් ට ඇමතුමක් ගෙන රාත්‍රී භෝජනයට ඇරයුම් කළේ ය.

‘කාර් එක කැඩුණ කියල බොයන්නක් දාල උඹල හනිමූන් නයිට් එකට සෙට් වුණා නේ…’

‘පයිත්තියන්ද ඕයි…’

අස්විද වට පිට බැලුවේ දුරකතනය ඔස්සේ ඒ හඬ චේතිය ට ඇසුණා ද කියා ය. චේතිය කිසිත් නෑසුන සෙයින් බරාඳයෙන් මිදුලට බැස්සේ ය. නමුත් ඔහු ගේ දෙතොල් මත මඳහසක් නළියමින් තිබිණ.

රාත්‍රිය සතුට ගෙන තුසිතයට වැඩම කොට තිබුණේ ය. මැදියම් රැයක් වනතුරු ම ඔවුන් ගේ සතුටු සාජ්ජය පැවැත්විණ. චේතිය ලා ද රයන් ද නික්ම ගිය පසු විජිත හා වජිරා පහළ මහලෙහි කාමරයකට ගියේ යසස්වි ට නිලූපා සිටි කාමරය සූදානම් කොට ඇති බව පවසමිනි.

‘අපේ බඩු අපි මේ කාමරේට ගෙනාව. වෙඩින් එක ගත්තට පස්සෙ ඔය දෙන්නට නිදහසේ උඩ තට්ටුවෙ ඉන්න පුළුවන්නෙ’

වජිරා ඒ බව කීවේ යසස්වී ට පමණක් ඇසෙන්නටයි. ඇගේ ප්‍රතිචාරයටත් පෙර වජිරා ඔවුන්ගේ කාමරයේ දොර වැසුවා ය.

අස්විද අඩ සිනහවකින් යසස්වි ගේ අලුත් කාමරයේ දොරකඩට වූයේ ය.

‘ඕන්නං…’

ඔහු ට එය කියා නිම කරන්නට ඉඩ ලැබුණේ නැත.

‘නෑ නෑ ඕන්නෑ. යන්න රූම් එකට. නැත්තං මං කතා කරනව අම්මට’

ඇය කාමරයේ දොර වහන්නට පෙර අස්විද බලයෙන් ම ඈ වැළඳ සිපගත්තේ ය. සිතිවිලි වෙනස් වෙන්නට පෙර යසස්වි දොර වැසුවා ය. යළිත් එය යන්තමින් විවර කොට මුහුණ පිටතට දමා ඇස් වලින් සිනහ වූවා ය.

‘මේ සතියෙම ඔය වෙඩින් එක ඉවර කරන්න ඕනෙ හොඳේ’

දොර පියන අල්වාගත් අස්විද තවත් වතාවකට ඇගේ රතදර මත්තෙහි හාදුවක් තබා තෙමේ ම හෙමිහිට දොර වැසුවේ ය.

-සමාප්තයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here