දින ගණනාවක් හරි හැටි ආහාර නොගැනීම සහ මානසික පීඩනය නිසා ඇති වූ කම්පනයෙන් සිහි විසඥ වූ මෞර්යා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මද වශයෙන් සුවය ලබමින් උන්නාය. එදින රාත්‍රිය සියලු දෙනාටම ඉතා දිගු රාත්‍රියක් වූ අතර මෞර්යාව බැලීම සඳහා අභිමන් ,දේවක මෙන්ම අශිකාද රෝහල වෙත පැමිණියහ. ආදිත්‍ය සහ මෞර්යා පිළිබඳව සියල්ලෝම කම්පා වූ අතර හැකි ඉක්මනින් DNA පරීක්ෂණය සඳහා කටයුතු සූදානම් කරන බව දේවක අශිකාට සහ චන්දිකට පොරොන්දු වූයේය. එය ආදිත්‍යයට ද අස්වැසිල්ලක් වූ අතර නිල්මිණි උන්නේද බලාපොරොත්තු සහගතවය. ආදිත්‍ය සහ මෞර්යා සහෝදරයන් නොවිය යුතු බව ඇය එක සිතින්ම ප්‍රාර්ථනා කලේ ආදිත්‍යය කෙරෙන් මනාව දිස්වන මානුශීය ගුණාංග ඇත්තකු මෞර්යාට නැවත සොයා ගත නොහැකි බව සිතමිනි.
සියල්ලෝම රෝහල් කාමරයෙන් පිටත බලාපොරොත්තු සහගතව බලා සිටිද්දී ආදිත්‍යය පමණක් මෞර්යා අසල නිදි වරමින් උන්නේය. සුව නින්දක් සහ විවේකයක් ලබා ගැනීම උදෙසා මෞර්යා හට වෛද්‍යවරුන් විසින් බෙහෙත් වර්ග කිහිපයක් නියම කර තිබූ අතර මෞර්යා හරිහැටි දෑස් විවර කලේ අළුයම එළඹෙන විටය.
” ආදිත්‍යය ”
මෞර්යා මිමිනුවේ රෝහලේ ඇඳ මත හිස තබාගෙන සිටින ආදිත්යයව අවදි කිරීම පිණිසය. ආදිත්‍යය තිගැස්සී දෑස් හැර බැලූ අතර මෞර්යා අවදි වී සිටින දුටු විට ආදිත්‍යය ගේ මුහුණේ ඇඳුනේ මදහසකි.
” හැමදේම හරි යනවා මෞර්යා.ඔයා බය නොවී ඉන්න ”
ආදිත්‍යය මෞර්යාගේ දෑතින්ම අල්ලා ගෙන පොරොන්දුවක් දුන් නමුත් ඔහු ගේ සිතේ තිබූයේ දැඩි දෙගිඩියාවකි. මෞර්යා වැනි තරුණියක්ව අහිමි කර ගැනීමට දැඩි ලෝභකමක් දැනුනද ඕනෑම මොහොතක ඕනෑම දෙයක් පිළිගැනීමට සූදානම් විය යුතු බව ආදිත්‍ය නැවත සිහි කළේය. තමාට හා මෞර්යා ට වෙන් වීමට සිදුවන කාරණාවක් ඉදිරියේ දී ඇති නොවේවා යැයි සිතමින් ආදිත්‍යය රෝහල් කාමරයෙන් එළියට පැමිණ මෞර්යා අවදි වූ බව සියල්ලන්ටම දැනුම් දුන්නේය.
දේවක රෝහල් කාමරයට ඇතුළු නොවී පිටත නතර වෙමින් ආදිත්යවද නතර කර ගත්තේය.
” පුතා ”
” ඇයි තාත්තා ”
” මම හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. DNA එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. රිසල්ට් එක එන්නත් ටික දවසක් යනවා.එතකං හැමෝටම පිච්චි පිච්චි තමයි ඉන්න වෙන්නේ. ඕනෙම දේකට මූණ දෙන්න හිත හදා ගෙන ඉන්න ඒ නිසා ”
දේවක එසේ පැවසූ විට ආදිත්‍යය රෝහල් කොරිඩෝවේ වූ පුටුවකින් වාඩි වූයේ දිග සුසුමක් මුදා හරින අතරේය. තම පියා මේ ගැටලුව දෙස බලන ආකාරය පුදුම සහගතය. තමා ඔහුගේ දරුවකු වන්නටත් නොවන්නටත් හැකියාව තිබිය දී ඔහු වෙනසක් නොකර තමාට සලකන ආකාරය ඇත්ත වශයෙන්ම අගය කළ යුතු බව ආදිත්‍යය සිතුවේය.
” මේ ළමයා ඉන්න තත්වේ දැක්කහම මට බය හිතෙනවා පුතා ”
දේවක නැවත කීවේය.
” මේ ප්‍රශ්නෙ මෞර්යාට කොච්චර බලපාලද කියලා මට දැන් තමයි තේරෙන්නේ තාත්තා. මොකද මෞර්ය මේ වගේ කෙල්ලෙක් නෙවෙයි. එයාට ඕනෙම දෙයක් දරාගන්න පුලුවන් හයිය හිතක් තියෙන කෙල්ලෙක්. එයා මේ ඉන්න විදිය දැක්කම ඔයාට හිතාගන්න පුළුවන්ද එයා කොච්චර ප්‍රෙශර් එකකින්ද ඉන්නේ කියලා “
” වෙලා තියෙන කිසි දෙයක් අපිට වෙනස් කරන්න දැන් බෑනේ පුතා. අම්ම ඔය කියන දේ ඇත්තක් වෙන්න එපා කියලයි මම හිතන්නේ. ඒක ඇත්තක් උනත් නොවුනත් ඔයා මට හැමදාම මගේ ලොකු පුතාා තමයි ”
දේවක ආදිත්‍යය අසළින් වාඩි වූයේය. තමා කෙදිනකවත් පියා සමග මෙවැනි කතා බහක නිරත වී නැත. එවැනි කතා බහක නිරත වන්නට තරම් පසුගිය අවුරුදු තිස් පහ පුරාවටම ඔහුට කාල වේලාවක් හෝ ඉවසීමක් තිබුණේද නැත. මේ ගැටලුව බොහෝ දෙනා ගේ ජීවිත වෙනස් කර ඇති බව ආදිත්‍යය නැවත සිතුවේ එහෙයිනි.
” මගේ ලෝයර් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. මං නිසා හැමදේම එයා ඉක්මනට ලේසියට කරල දෙයි. මම කිව්වා අපිට ටෙස්ට් එකේ රිසල්ට් ඉක්මනට ඕනේ කියල ”
අෂිකා රෝහල් කාමරයෙන් පිටතට පැමිණියාය. ඇය උන්නේ බොහෝ ශෝකයෙනි. මේ සියලු කාරණා මේ ආකාරයට සිදු වන්නේ තමා සහ චන්දික නිසා බව සිතමින් ඇය ඇයටම දොස් පවරා ගනිමින් උන්නාය. වසර තිස් පහක් පුරාවට තමාගේ වැඩිමහල් පුත්‍රයා ගේ සැබෑ පියා චන්දික බව සිතමින් සිතුවිල්ලක ඇලී උන්නද එය සැබෑ ජීවිතයට බලපාන විට කෙතරම් වේදනාකාරී වූවා දැයි අශිකා සිතුවාය.
” ඔයා ගිහින් මෞර්යා එක්ක කතා කරා නං හොඳයි දේවක “
අශිකා ඇහෙන නෑහෙන ගානට කීවාය. දේවක වාඩිවී හුන් තැනින් නැගිට රෝහල් කාමරයට ඇතුළු වූ අතර අශිකා ඔහු වාඩිවී සිටි තැනින් වාඩි වූවාය.
” මට සමාවෙන්න පුතා.මේ හැම කරදරයක්ම මං හින්දනේ ”
අශිකා කඳුළු සඟවා ගන්නට වෑයම් කළ අතර ආදිත්‍යය ඔහේ බලා උන්නේය.
රෝහල් කාමරයට ඇතුළු වූ දේවක මෞර්යා සිටි ගිලන් ඇඳ වෙත පැමිණියේ යන්තමින් මදහසක් මුවේ රඳවා ගෙනය. මෞර්යාව මුණගැහෙන මොහොත මෙයට වඩා සතුටින් පිරි එකක් වන්නට නියමිතව තිබුණද මේ මොහොතේ එය එසේ වූයේ නැත.
” දැන් ඔයාට කොහොමද දුව ”
දේවක ඇසුවේ කරුණාවෙනි.අභිමන් ,චන්දික මෙන්ම නිල්මිණී ද පසෙකට වී බලා හුන් අතර මෞර්යා ආයාසයෙන් නැගිට ඇඳ මතින් වාඩි වූවාය.
” මට ආදිත්‍යය ව නැති වෙන්නේ නෑ නේද අංකල් ? ”
මෞර්යා ගේ හඬේ තැවරී තිබුණේ බැගෑපත් බවකි. පර්යේෂණයේ ප්‍රතිඵල කුමක් වුවද තමා එය නොතකන බවක් මෞර්යා ගේ වචන වල විය. යම් ආකාරයකින් ආදිත්‍යව අහිමි වුවහොත් මෞර්යා දිවි තොර කර ගනීවි යැයි බියක් දේවක ගේ සිතට දැනුනේ ඒ මොහොතේදීය.
” කියන්න අංකල් මට එයාව නැති වෙන්නෙ නෑ නේද ?”
” න්..නෑ දුව ”
දේවක පිළිතුරු දුන්නේ චන්දික, නිල්මිණි සහ අභිමන් දෙස මාරුවෙන් මාරුවට බලමිනි.
” මං දන්නවා. අශිකා මැඩම්ට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. එයා එහෙම හිතා ගෙන හිටියට ඒක ඇත්ත නෙමෙයි.”
මෞර්යා කියවා ගෙන ගියේ උමතු වූ තැනැත්තියක මෙනි. සියලු දෙනාම මුහුණින් මුහුණ බැලුවේ මෞර්යා ගේ හැසිරීම සාමාන්‍ය පරිදි නොවන නිසාය.
” ඔයා ඉක්මනින් සනීප වෙලා ඉන්න ඕනෙ දුව මොනා කරන්නත් කලින්.ඔයාට තේරෙනවා නේද ? මේ හැමදේටම මුහුණ දෙන්න ආදිත්‍යය ටත් හයියක් වෙන්න ඕනෙ ඔයා. ඔයා මෙහෙම ලෙඩ වුනොත් ආදිත්‍යය ටත් මුකුත් කර ගන්නන බැරි වෙයි. අනිත් එක ඔයා වගේ දරුවෙක්ව ලේලි කර ගන්න කවුද අකමැති. කවුරු මොනවා කිව්වත් මම නම් උඩින්ම කැමතියි ”
දේවක කාරුණිකව මෞර්යා ගේ හිස අත ගෑවේය. පුතුන් දෙදෙනෙකුට පියෙකු වූ තමාට දියණියකට ද ආදරය කළ හැකි බව දැන ගත්තේ මෞර්යා දුටු පසුවය.දේවකගේ වචන හමුවේ මෞර්යා මෙල්ල වූ බවක් දක්නට තිබුණු අතර ඇය දෑස් පියා ගෙන දේවකගේ ස්පර්ශය වෙත අවධානය යොමු කරමින් උන්නාය. නිල්මිණී කඳුළු පිරි දෙනෙතින් බලා සිටියේ තම දියණියව මේ ආකාරයෙන් කෙදිනක වත් දකින්නට බලාපොරොත්තු නොවූ නිසාය.
” හෙට දවල් වෙද්දි ටෙස්ට් එකට මමයි ආදිත්යයයි , එයාගෙ අම්මයි ඔයාගේ තාත්තයි යනවා. ඒකෙන් පස්සේ මේ හැමදේම වෙනස් වෙයි. මට විශ්වාසයි දුව කිසිම නරකක් වෙන්නේ නෑ කියලා. හැබැයි ඉතින් ඔයා මෙහෙම අසනීප වුණොත් මුකුත් කර ගන්න වෙන්නේ නෑ. ආදිත්‍යය වුණත් කොච්චර හිතේ කරදරෙන්ද ඉන්නේ ඔයාව මෙහෙම දැක්කම ? ”
දේවක නැවත කීවේය.ඔහුට උවමනා වූයේ සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට හැකි ආකාරයෙන් මෞර්යා ගේ හිත හදන්නටය.එහෙත් එය පහසු කාරණාවක් නොවනු ඇත. කෙසේ වුවද පියකු වශයෙන් තමා මෞර්යා වෙනුවෙන්ද පෙනී සිටිය යුතු යැයි දේවක කල්පනා කලේ මලානිකව බලා හිඳින මෞර්යා දෙස බලන අතරේය.
” අපි කීයටද දේවක යන්න ඕනේ ටෙස්ට් එකට ? ”