ඉඩෝරයක මල් වැස්සක් – 02

0
184

පිළියන්දලින්  බැස ගත් ඉසුරි මීටර් පන්සීයක් තරම් වූ කෙටි  දුර ඇවිද ගියේ පයින්මය. ඇඟට අපහසුවක් හෝ වෙහෙසක් වූයේ නැත. කොහොමටත් මේ දුර ඇගේ දෙපයට හුරු පුරුදු එකකි. කළු පැහැති ගේට්ටුව ඇරි යුවතිය කලකින් හුණු පිරියම් නොකළ නිවසට එබුනේ අඩි උස සපත්තු යුගල ගලවා ගෙනමය. සපත්තු කන අයාලේ යන බැල්ලක ඊයේ පෙරේදා සිට සපත්තු සෙරෙප්පු රැගෙන යනබව පැවසූයේ නැන්දාය. නිවස තුළ කිසිදු හැළ හොල්මනක් නොවීම ඇයව පුදුමයට පත්කර තිබිණ.

ඕ  මුලින්ම තම කාමරයට එබුණාය. කාමරය දෙපස වූ ඇඳවල් දෙක බෙදාගෙන උන්නේ ඇයත් නැගණිය ඉනුකිත් ය. ඕ සිටියේ තද  නින්දකය. එනිසාම අපූර්වා සොහොයුරාගේ කාමරයට එබුණේය. ඉසුරු තවමත් නිවසට පැමිණි බවක සලකුණක් වූයේ නැත. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ඔහු දිගටම පාසල් ගියේ ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වන නිසාය. කෑම කාමරය පසුකරගෙන ගොස් කිරි අම්මාගේ කාමරයට එබුණු ඉසුරි දුටුවේ  ඇයත් තද නින්දක සිටි ආකාරයයි.

“කිරි අම්මේ….”

ඉසුරිගේ හඬත් සමඟ ඕ නැගී සිටියේ කලබලයෙන්ය. 

“කිරි අම්මෙ තවම මල්ලි ගෙදර ආවේ නැද්ද…”

“අනේ මන්ද බං මට නින්ද ගියා. ඇවිත් නැද්ද තවම”

අසෝකා ආලින්දයට පැමිණියේ ඉසුරි පසුපසින්ය. යුවතියගේ සිතට දැනුනේ කෝපයක් වුවත් ඕ එය සඟවා ගත්තාය. මෑතක සිට සොහොයුරාගේ ගති පැවතුම් වෙනස්ව ඇත. ඔහු මඳක් හෝ මෙල්ල වී සිටියේ නම් ඒ ඉසුරිටය. එහෙත් මෑතක සිට තමා වදනක් පැවසුවහොත් ඔහුට කියන්නට වදන් දහසකි. 

“අම්ම කෝල් කලාද…”

ඉසුරි එසේ ඇසුවේ පසෙක වන ස්ථාවර දුරකථනය දෙස බලාගෙනය. නගරයේ කර්මාන්තශාලාවක සේවය කරන ඇයට නිවසට පැමිණීමට නියමිත වේලාවක් නොවේ. සමහර දිනක සවසත් සමහර දිනෙක මධ්‍යම රාත්‍රියේත් නිවසට පැමිණෙන ඈ තවත් සමහර දිනක පැමිණෙන්නේ උදෑසනය.

“හ්ම්… අදත් රෑ වැඩ කියලා කිව්වේ. අනේ මං දන් නෑ ඒකි විඳින දුකක්.”

කිරිඅම්මා එසේ පැවසූයේ කොපුළකට අතක් තබාගෙනය.

තාත්තා තමනුත් නැගණියත් සොහොයුරාත් අම්මාත් තනිකර ගියේ මින් වසර කිහිපයකට ඉහතදීය. ඔහු අලුත් කැදැල්ලක් සාදා ගනිද්දී අම්මා තම දරුවන් තිදෙනාව අතහැර නොගිය බව සැබෑය. එහෙත් ඇයට තම දරු තිදෙනා පිළිබඳව සොයා බලන්නට වෙලාවක් නොවූ තරම්ය. ඉසුරි ඒ පිළිබඳව අම්මාට මැසිවිලි නගන්නට පටන් ගත්තේ ඊයේ පෙරේදාය. ඇගේ සිතෙහි වන්නේ මල්ලීත් නංගීත් පිළිබඳව බියකි.

“උඹට දැන් මගේ වැරදි පේන්නත් පටන් අරගෙනද. මං මේ ගෙදර ගෑනියෙක්ගේ විතරක් නෙමෙයි මිනිහෙක්ගේ සුමේත් කරනවා. උඹලයි තාත්තා අපිට දීලා ගියේ මේ බිත්ති හතර විතරයි. මට උඹල නලවන්නයි රස්සාවල් කරන්නයි සල්ලි හම්බ කරන්නයි වෙලාවක් නෑ. කන්න බොන්න දෙනවනං උඹලට උගන්නන්න සල්ලි වියදම් කරනවනම් උඹල දැනගන්න ඕනේ ජීවිතේ හදාගන්න.”

ඒ බොහෝවර ඈ කෑ ගසන්නේ පරල වීගෙනය. මෑතක සිට කිසිවෙකුගේ වැරදි අඩුපාඩු  ගැන කිසිවක්ම ඉසුරි ඈ හා කතා නොකළාය. වේලාසන නිවසට පැමිණියත් ඈ සිටින්නේ ජංගම දුරකථනයෙහි එල්ලී ගෙනය. අම්මාගේ ටික්ටොක්  ගිණුම මෑතකදී ඉසුරිට පෙන්වූයේ  මිතුරියකි. ෆලෝවර්ස්ලා  සිය ගණනක් ඇයට ලයික් කමෙන්ට් තබා තිබිණ. එහෙත් ඉසුරිට දැනුනේ දුකකට වේදනාවකට වඩා ලැජ්ජාවකි. 

ඕ සොහොයුරාගේ ක්‍රිකට් පුහුණුකරුවාට ඇමතුමක් ලබාගත්තාය. මේ දුරකථන අංකය ඈ ඔහුගෙන් පසුගිය දිනක ඉල්ලා ගත්තේ බලෙන්ය. 

“ප්‍රැක්ට්‍රිස් ඉවර  වෙලානම් දැන් පැය දෙකක් විතර වෙනවා. කොහෙද ඉසුරු ඉන්නේ පිළියන්දල නේද. දැන් ගෙදරට එන්න වෙලා.”

“සර් ප්‍රැක්ට්‍රිස් ඉවර වෙන ටයිම් එකක් තියෙනවද. මං කියන්නේ හැමදාම”

“ඔව් ගොඩක් දුරට හවස හතර වෙද්දී අපි ඉවර කරනවා. සමහර පැතිවලට යන්න බස් අඩුයිනේ.”

එහා පස උන් පුහුණුකරුවා එසේ පැවසූයේ ඉසුරිගේ සිතට බියක් එක් කරමින්ය. 

ඒ සෑම දිනකම සොහොයුරා නිවසට පැමිණෙද්දී සවස හත පමණ වී තිබිණ. 

“උඹට තේ ටිකක් හදන්නද කෙල්ලේ…”

කිරි අම්මා එසේ ඇසුවේ පහන තබන්නට වට්ටියක් පුරා මල් කඩාගෙන ආපසු නිවස දෙසට එන ගමනේදීය. ලොකු මාමාගේ නිවසේ සිට ඈ මෙම නිවසෙහි පදිංචියට පැමිණියේ තාත්තා නික්ම ගොස් මාස දෙකක් පමණ ගෙවී ගියාට පසුවය. ඒ අම්මාගේ බලකිරීමටය. 

“ළමයි තුන් දෙනෙක්  මෙතන දාලා මං කොහොමද රස්සාවකටවත් යන්නේ. අයියලාගේ ළමයි බලාගන්න රේණුකාගේ අම්මටවත් එන්න කියලා කියන්න. අසරණ වෙලා ඉන්නේ මං මිසක් ඒ  ගොල්ලෝ නෙමෙයිනේ. මේ වෙලාවේ සහෝදරියගේ පැත්තේ හිටගන්න ඕන එකේ ඕගොල්ලෝ හැමෝම තම තමන්ගේ වැඩ හරියට කරගන්නවා. අන්තිමට  මට වෙන්නේ මේ ළමයි තුන් දෙනත් එක්ක ගඟක මුහුදක පනින්න”

ඒ කිහිප වතාවක්ම අම්මා තම සොහොයුරා සමග රණ්ඩු කරගත්තාට පසුවය. ලොකු මාමාගේ නිවසෙහි දියණියන්ම තිදෙනෙකි. ලොකු මාමාත් නැන්දාත් දෙදෙනාම රජයේ සේවකයන් වූ නිසා දරුවන් තිදෙනා පාසලේ සිට නිවසට පැමිණියාට පසුව බලා ගන්නේ කිරි අම්මාය. එක් උදෑසනක කිරිඅම්මා නිවසට පැමිණියේ කළු පැහැති ගමන් බෑගයකුත් රැගෙනය. එදා සිට අද දක්වාම විටෙක අම්මාගේ ඇනුම් බැණුම් මල්ලිගේ දඟකාරකම් සේම සොයුරියගේ හිතුවක්කාරකම් ද  ඉවසාගෙන ඈ මෙහි රැඳී සිටියාය. 

“ඕනේ නෑ කිරි අම්මේ මං හදාගන්නම්. නංගිත් නැගිට්ටවන්නකෝ . එතකොට කට්ටියටම තේ හදන්න පුළුවන්නේ.”

දුක් සුසුමක් මුදාහළ ඉසුරි මුළුතැන් ගෙය  දෙසට ඇවිද ගියේ එසේ පවසමින්ය. බොහෝවිට දැන් නිවසේ ඉවුම් පිහුම්  කටයුතු සිදු කෙරෙන්නේ ඈ අතින්ය. කිරි අම්මා තමාට හැකි අයුරින් ඒවාට සහය දුන්නත් මෑතක සිට ඇගේ මතකය අඩුය. සමහර ව්‍යාංජන ඈ අතින් සැකසෙන්නේ කහ, මිරිස්,  ලුණු නැතුවය. සමහර ව්‍යාංජන වලට දෙපාරක් තුන් පාරක් ලුණු දමා කටේ තියන්නට නොහැකි තරමට ලුණු රසය. අම්මා කොහොමටත් මුළුතැන් ගේ පැත්තට එන්නේ ඇගේ උවමනාවකට පමණි. ඉසුරිටත් වඩා ඇය රූපය ගැන සිතමින් උන්නාය. නිවසේ සිටියදී කැරට් ජූස්  එකක්. පිපිඤ්ඤා ජූස්  එකක් හෝ යූ ටියුබ් එකෙන් බලා ගන්නා සමහර ෆේස් පැක්  එකක් සාදා ගන්නට ඈ මුළුතැන්  ගෙයට පැමිණෙන්නේ කිරි අම්මා හෝ තමා එහි නැති වේලාවකය. නිරතුරු පාසල් වැඩයැයි පවසන නංගී ආසාවටවත් පොල් ටිකක් ගාන්නට පැමිණෙන්නේ නැත. 

ඉසුරි අම්මාට දුරකථන ඇමතුමක් ලබාගත්තේ කේතලය  ලිප තැබුවාට පසුවය. 

“ඇයි මොකද ඉසුරි කියන්න?..”

ඒ හඬ කලබලය. 

“මල්ලි තවම ගෙදර  ආවේ නෑ අම්මේ. කෝච් කියනවා හැමදාම හතර වෙද්දි පැට්‍රිස් ඉවර කරනවලු. ඒත් මෙයා හැමදාම ගෙදර එන්නෙ හතට විතරනේ.”

“කොල්ලෙක්නේ ඉසුරි ඔච්චර පස්සෙන් ගිහිල්ලා හොයන්න දෙයක් නෑ. පැට්‍රිස් ඉවර වෙලා යාළුවොත් එක්ක ටිකක් වෙලාව ගත කරලා ගෙදර එනවා ඇති. ඔයා දැන්ද ගෙදර ආවෙ. කොහොමද අලුත් රස්සාව.”

“වරදක් නෑ අම්මේ එතන හොඳයි කියලා හිතෙනවා. අම්ම අද රෑ වැඩද.”

“ඔව් හදිසි ඕඩර්ස් වගයක් ඇවිල්ලා. මල්ලි ගෙදර ආවට පස්සේ කෑ ගහන්න එහෙම යනවා නෙමෙයි. ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව හොඳට දොරවල් වහගෙන නිදාගන්න.” 

එපමණක් පවසා ඈ දුරකථනය විසන්ධි කලේ සමුගන්නවවත් නොකියමින්ය. යළිත් දිගු සුසුමක් මුදා හළ යුවතිය තේ සෑදීමට ගන්නා අඩුම කුඩුම ළං කරගත්තේ කිරි අම්මා නැගණියට අවදිවන්නයැයි ඇවිටිලි කරනා හඬ ඇසෙද්දීය.

                               **********

“කොහොමද ඔෆිස් එකේ වැඩ.”

“හෙන බෝරි බං..අපේ තාත්තට ඕන මාව බිංදුවෙ ඉඳලා උඩට ගන්න. මට පිස්සු හැදලා ඉන්නේ. එක්ස්පීරියන්ස් නැති අය අසාර්ථකයි කියන්නේ”

මිතුරන් සමඟ මුහුදු වෙරළ අසල  අවන්හලකට වී සිටි බිනර රාත්‍රී ආහාරය ඇණවුම් කළේ මිතුරන්ගේද කැමැත්ත විමසමින්ය. උසස් අධ්‍යාපන කටයුතු සඳහා වසර තුනක කාලයක් ඇමරිකාවේ සිට ලංකාවට පැමිණි තරුණයා පසුගිය මාස හයක කාලය ගෙවා දැමුවේ ලංකාව පුරා ඇවිදිමින්ය. වැඩිමහල් සොයුරිය විවාහ වී ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අතර පොඩි අක්කා තාත්තා සමග ප්‍රකාශන ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටියාය. කොහොමටත් කුඩා කලවත් බිනර මෙම ක්ෂේත්‍රයට ආසාවක් කැමැත්තක් දැක්වූ අයෙකු නොවේ. පොඩි අක්කා නිදාගත්තේත්  කෑම බීම ගත්තේත් විවේක කාලය ගත කළේත් පොත් සමගමය. පාඩම් පොතක් හැරෙන්නට බිනර පොතටපතට ප්‍රියකල අයෙකු නොවේ. සීයා තාත්තා විසින් පටන් ගත් මෙම ව්‍යාපාරයේ වර්තමාන භාරකරුවා වී සිටියේ තාත්තාය. ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වී සිටියත් අදටත් තාත්තා තීරණ ගන්නේ සීයා තාත්තාගේ කැමැත්ත මතය.

“සීය තාත්තා මේ බිස්නස් බලාගන්න  කාලේ මම ඔතන වැඩට ගියේ සාමාන්‍ය කාර්යාල සේවකයෙක් විදිහට. ව්‍යාපාරයේ හැම අස්සක් මුල්ලක් ගැනම දැනගන්නේ නැතුව කරන්න පුළුවන් ව්‍යාපාරයක් නෙමෙයි මේ. ඒක නිසා බිනර ලෑස්ති වෙන්න හෙට ඉඳලා ඔෆිස් එකට යන්න. අපි හෙට එකවුන්ට්ස් සෙක්ෂන් එකට අලුත් ළමයි  තුන්දෙනෙක් ගන්නවා. ඒ අතරේ හතරවෙනියා විදිහට ඉන්නේ බිනර. කිසි කෙනෙක් දැනගන්න ඕනේ නැහැ බිනර මගේ පුතා කියල. මේක කවද හරි තමන්ගෙ ව්‍යාපාරය. මොකද අක්ක අක්කා වෙනමම පැත්තක් ඩිවලොප්  කරගෙන යනවා. එයා කැමැත්තෙන් යන ඒ ගමන එයා ගියපුවාවේ.” 

බිනර තම පොත් සමාගමෙහි කාර්යාලයට ගියේ තාත්තා  එසේ පැවසුවාට පසුවය. 

“කොහොමද ඔෆිස් එකේ කෙල්ලෝ එහෙම….”

සංජුල එසේ ඇසුවේ වේටර්වරයෙකු විසින් ඉස්සන් බැදුම ගෙනැවිත් මේසය මත තබද්දීය. මත්පැන් වීදුරු කිහිපයක් මේසය මතට පැමිණියේ ඉන් පසුවය.

“කෙල්ලා්  දැකලා නැති උන්ට හොඳයි. උඹ  කියන්නේ එක කෙල්ලෙක් අද දවල් මට උන් එක්ක ලන්ච් එක ගමු කියලා කතා කළා. ඒකිගේ  බත් එකේ තිබුණේ බං කෙහෙල් මුවයි පරිප්පුයි අර මොක්කුද චුටි චූටි කරවල  වගේකුයි විතරයි. එක් කරවලයෙක් කඩාගන්න ගිහිල්ලා මගේ ඇඟිල්ලේ කටුවකුත් ඇණුනා බං.”

මිතුරන් උස් හඬින් සිනහසුනේ බිනර එසේ පවසද්දීය. 

“එක අතකින් බොස්ගේ පුතා නෙමෙයි විදිහට ඔෆිස් එකේ ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. උන් මාව උන්ගේ ගානට දාගෙන ඉන්නේ”

“දැන් උඹව ඔය කවුරුවත්ම අඳුරන්නේ නැද්ද?”

“දෙතන් දෙනෙක් දන්නවා. මං හිතන්නේ තාත්තා එයාලට කියලා තියෙනවා මම කාගේ කවුද කියන එක කාටවත් අඟවන්න එපා කියලා. උඹ  කියන්නේ තාත්තා මාව කලින් සෙට් කරන්න හැදුවේ වෙනමම මරාලෙකට. තාත්තාගේ යාළුවෙක්ගෙ කම්පැනි එකකට. ඊට වඩා මේක හොඳයි බං. එකවුන්ට් එක බාරව ඉන්නේ පරණම පොරක්. අපේ තාත්තා කීයක් හරි ගන්නෙත් මිනිහගෙන් අහලා. තිතට නීතියට වැඩ”

“උඹලයි තාත්තත් කොහොමත් අමුතු ජාතිය ඩයල් එකක්නේ.”

“පිස්සු බං.. මට වෙලාවකට ආපහු ඇමරිකා යන්න හිතෙනවා. අම්ම පව්නෙ බං. අසනීපෙන් ඉන්න එකේ මං අම්මා දාල  යන එක වැරදියි කියල හිතෙනවා. තාත්තගේ වැඩනම් වෙලාවකට මටත් දිරවන්නේ නෑ තමයි. තාත්තටත්  වඩා ඔය යෝජනා ඔක්කොම දාන්නේ සීය තාත්තා. අනේ මන්දා සීය තාත්තා තාමත් දශක ගානක් එහා පැත්තෙ ඉඳගෙන ලෝකෙ දිහා බලන්නේ කියන එක අපේ තාත්තට තේරුම් ගන්න බෑ. මේ මචං උඹල ඉක්මනට කාපල්ලා මට යන්න ඕනේ. සුවච කීකරු පුතෙක් වගේ හෙට උදෙත් හතහමාර වෙද්දි ඔෆිස් එකට යන්න ඕනේ. මම මේ බයේ ඉන්නේ… අර කෙල්ල හෙට මොන ජරාවක් උස්සං ඇවිල්ලා කමු ද කියලා අහයිද දන්නේ නෑ.

යළිත් මිතුරන් පිරිස උස් හඬින් සිනහසුනේ ඔහු එසේ පවසද්දීය. ඉන්පසු ඇසුනේ හැඳි ගෑරුප්පු ගැටෙනා හඬය. බිනර මිතුරන්ගෙන් සමුගත්තේ  තවත් හෝරාවක් පමණ ඉක්ම ගියාට පසුවය.

“අමාරුවෙන් වැඩ ටික කරගෙන පලයං. තමන්ගේ තැන් නේ..”

සමුද්‍ර එසේ කෑ ගැසුවේ බිනර තමාගේ වාහනයට නගිද්දීය.

( යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here