ව්‍යාජ දරුවා සහ සැබෑ දරුවා

1928 අවුරුද්දේ මාර්තු මාසෙ සීතල හැන්දෑවක, අම්මා කෙනෙක් තමන්ගේ අවුරුදු 9ක පුතාට සල්ලි දීලා චිත්‍රපටයක් බලන්න යවනවා.

 ගෙවල් ළඟ තිබ්බ ෆිල්ම් හෝල් එකට තමන්ගෙ පුතා ෆිල්ම් එකක් බලන්න යන එක ගැන කිසි බයක් මේ අම්මට තිබ්බෙ නෑ. ඒත් තමන් බයවෙන්න ඕන බව මේ අම්මට තේරුණේ එයාගෙ පුතා ෆිල්ම් එක බලලා එන්න ඕන වෙලාව පහුවෙලත් ආපහු ආවේ නැති උනාම. ඊට පස්සේ සිද්ධ වුණේ අතුරුදහන් වුණු දරුවෙක් හොයන මෙහෙයුමක් විතරක් නෙවෙයි ඇමරිකානු ඉතිහාසයේ තිබුණු, අදටත් විසඳගන්න බැරිවෙච්ච අමුතුම සහ කරදරකාරම කතා වලින් එකක්.

මේ කතන්දරේ අස්සෙ අපිට බොරු බලාපොරොත්තු, පොලිස් දූෂණ, වංචනිකයන් සහ මිනීමැරුම් වලින් පිරිච්ච සිදුවීම් ගොඩක් අහන්න වෙනවා. ඒ හැමදේකට උඩින් තමන්ගෙ දරුවා වෙනුවෙන් මුළු ජීවිතේම කැපකරපු අම්මා කෙනෙක්ගෙ වේදනාබර කතාවත් අහන්න අපිට ඉඩ ලැබෙනවා.

 ඒ තමයි Walter Collins කියන අතුරුදහන් වුණු පොඩි පිරිමි දරුවගෙ සහ එයාව හොයන්න ජීවිත කාලෙම කැප කරපු එයාගේ අම්මා Christine ගේ කතාව.

අතුරුදහන් වීම

1928 මාර්තු 10 වැනිදා, Walter Collins තමන්ගේ ලොස් ඇන්ජලීස් ගෙදරින් පිටත් වුණේ අම්මා Christine Collins චිත්‍රපටයක් බලන්න දුන්න සල්ලිත් අරගෙන. ඒ වෙද්දී Walter ගේ තාත්තා, Walter J. Collins, කොල්ලකෑමකට හිරේ ගිහින් හිටියේ. ගෙදර Walterව තනියම ඇති දැඩි කළේ Christine.

Walter ඒ හැන්දෑවෙ ෆිල්ම් එක බලලා ආපහු නොආපු නිසා Christine ඒ ගැන පොලිසියට පැමිණිලි කරනවා. මොකද ගේ ළඟම තියෙන ෆිල්ම් හෝල් එකේ ඉඳල ගෙදර නෑවිත් ඉන්න කිසිම හේතුවක් එයාට නැති බව අම්මා දැනගෙන උන්න හන්දා. Walter ගෙ අතුරුදහන් වීම ඉක්මනින්ම රටපුරා ප්‍රසිද්ධ වෙන්නෙ මීට මාස කීපයකට කලින් Marion Parker කියන 12 හැවිරිදි දරුවා අතුරුදහන් වෙලා ඉඳලා පස්සෙ ඒ දරුවා දරුණු වද හිංසා දී මරා දමා තිබුනා කියන එකත් ඇමරිකාවෙ ප්‍රසිද්ධ වෙලා තිබ්බ නිසා. ඒ වෙද්දීත් දූෂණයට හා අකාර්යක්ෂමතාවට චෝදනා ලබමින් උන්න ලොස් ඇන්ජලීස් පොලිසියට (LAPD), මේ සිද්ධිය විසඳන්න තිබ්බ මහජන පීඩනය වැඩි වෙන්නත් මේ දරුවො අතුරුදහන් වෙන සිදුවීම් ලොකුවටම බලපානවා. පොලිසිය සෑහෙන තොරතුරු හොයාගෙන ගියත්, සති මාස බවට හැරුණත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.

හැබැයි Christine ඉන්නෙ තමන්ගෙ පුතාව ආයෙ හම්බවෙයි කියන බලාපොරොත්තුව එක තප්පරේකටවත් හිතෙන් අත ඇර ගන්නෙ නැතුව.

කවුද එතකොට මේ දරුවා?

ඒ බලාපොරොත්තුවලින් පිරිලා ඉන්න Christine එක හොඳ ආරංචියක් හම්බෙන්නෙ මාස ගානකට පස්සෙ. මාස පහකට පස්සේ, 1928 අගෝස්තු මාසෙදි, ඉලිනොයිස් වලින් පොලිසියට ආරංචියක් එනවා. ඒ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඩීකැල්බ් කියන පළාතේදී තමන් වෝල්ටර් කොලින්ස් කියලා කියපු පිරිමි ළමයෙක් පොලිසියට භාර වෙලා ඉන්න නිසා. ඒ ළමයා ඉන්නේ හරිම දුර පළාතක වුණත්, පොලිසිය ඒ ළමයා කියන කතාව විශ්වාස කරලා ඒ දරුවාව ඉක්මනින්ම ලොස් ඇන්ජලීස්වලට ගෙන්වා ගන්නවා.

ඒ වෙනකොටත් මහජනතාවගේ දෝෂාරෝපණයට ලක්වෙලා ඉන්න පොලිසියට මේක ලොකු සහනයක් වෙනවා. ඒ නිසාම එයාලා Christineට දරුවාව භාර දෙන්න ලොකු උත්සවයකුත් සංවිධානය කරනවා. හැබැයි මේ දරුවාව දැක්ක ගමන් Christine කියන්නේ මේ ඇගේ පුතා වන වෝල්ටර් කොලින්ස් නෙවෙයි කියලා.

“මේ මගේ පුතා නෙවෙයි.”

මේක පොලිසිය කිසිසේත්ම බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. මේ ප්‍රකාශය නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මිනිස්සුන්ට පොලිසිය ගැන තිබුණු විශ්වාසය තවත් නැති වෙන්න පටන් ගන්නවා.

තවත් අපහසුතාවයට පත් නොවෙන්න ඕන නිසා, පොලිසිය ඇයට දරුවව බාරගන්න කියලා බල කරනවා. කේස් එක භාරව හිටපු නිලධාරියෙක් වුණු J.J. Jones කියන කෙනා Christine ට කියනවා

“කොල්ලව ටික කාලයක් තියාගෙන බලන්න” කියලා. Christine අකමැත්තෙන් වුණත් ඒකට එකඟ වුණා, සමහරවිට තමන්ට වැරදිලා ඇති කියලා හිතාගෙන. අනික් අතට තමන් කොච්චර “මේ මගේ පුතා නෙවෙයි.” කියලා කිව්වත් පොලිසිය ඒක විශ්වාස කරන්නෙ නැති බව ඒ වෙද්දි එයාටත් තේරිච්ච හන්දා.

හැබැයි සති තුනකට පස්සෙ Christine ආයෙ පොලිසියට එනවා. ඒ ඇවිත් එයා කියන්නෙ කලින් කිව්ව කතාවමයි.

“මේ ළමයා Walter නෙවෙයි.මේ ළමයා වෝල්ටර්ට වඩා අවුරුදු පහකින් වැඩිමල්. එයාගෙ පෙනුම වයසට වඩා අඩු වුණාට, එයාගේ හැසිරීම  වැඩිහිටියෙක් වගේ. ඒ වගේම ඇඟත් හොඳටම වැඩුණු පිරිමි ළමයෙක්ගේ වගේ. මම හරිම බය වුණා. මම මගේ පුතාගේ ඇඳුම් මේ ළමයට අඳින්න දුන්නත්, ඒ ඇඳුම් පොඩ්ඩක්වත් එයාට ගැළපුණේ නැහැ.”

Christine Walter ගේ දන්ත වාර්තා සහ ඔහුගේ යාළුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලියපු ප්‍රකාශ පවා අරගෙන එනවා තමන් කියන්නෙ ඇත්ත කියලා තේරුම් කරවන්න. හැබැයි ඒකට ඇහුම්කන් දෙනවා වෙනුවට, J.J. Jones කරන්නෙ Christine ට නරක අම්මා කෙනෙක් කියලා චෝදනා කරලා පොලිසිය අපහසුතාවයට පත් කරන්න හදනවා කියලා කියන එක.

හිතාගන්නත් බැරි විදිහට, Christine Collins “මානසිකව අසමතුලිත” කෙනෙක් විදිහට නම් කරලා, ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත රෝහලේ මානසික වාට්ටුවක “Code 12” නියෝගය යටතේ හිර කරන්නත් J.J. Jones කටයුතු කරනවා . මේ නියෝගය පාවිච්චි කළේ පොලිසියට කරදරයක් වෙච්ච Christine ව කේස් එකෙන්  අයින් කරන්න කියන එක හැබැයි මිනිස්සු හැමෝටම තේරෙනවා.

Christine දවස් දහයක් රෝහලේ හිර වෙලා ඉන්නෙ ලැජ්ජාවෙන්. ඒ අතරේ අර ළමයා එයාගෙ ගෙදර හිටියේ Walter විදිහට.

අන්තිමට, වෙන කරන්න දෙයක් නැතිම තැන ඒ ළමයා තමන් ගැන ඇත්ත කියනවා. තමන් අවුරුදු 12ක් වයස Arthur Hutchens Jr. කියන අයෝවා වලින් පැනලා ආපු කොල්ලෙක් බවත් එයා පාපොච්චාරණය කරනවා. Hollywood ගිහින් තමන්ගේ ආසම නළුවා වුණු Tom Mixව හම්බ වෙන්න ඕන වුණ නිසා තමන් බොරු කිව්වා කියලාත් එයා කියනවා. මේ පාපොච්චාරණය උඩ අන්තිමේ  Christineව රෝහලෙන් නිදහස් කරන්න සිද්ද වෙනවා, හැබැයි ඒකෙන් එයාගෙ නපුරු හීනය එතනින් ඉවර වුණේ නෑ.

Wineville Chicken Coop මිනීමැරුම්

1929 අවුරුද්දේදී, කැලිෆෝනියා ඉතිහාසයේ තිබුණු බිහිසුණුම අපරාධ වලින් එකක් පොලිසිය හොයාගන්නවා. Gordon Stewart Northcott කියන මිනිහෙක්, එයාගේ අම්මා Sarah Louise Northcott එක්ක එකතු වෙලා, Wineville වල තිබුණු කුකුල් ගොවිපළකදි පොඩි පිරිමි දරුවො ගණනාවක් පැහැරගෙන, අපචාර කරලා, මරා දමලා තිබ්බා කියලා හොයාගන්න පුලුවන් වෙනවා

මේ සොයාගැනීම එක්ක Sarah Northcott පාපොච්චාරණය කරනවා, එයාලගේ ගොදුරු වලින් එක්කෙනෙක් තමයි Walter Collins කියලා. එයාගෙ ප්‍රකාශය සහ Gordon ගේ බෑනා වුණු Sanford Clark ගේ සාක්ෂිය මත, පොලිසිය නිගමනය කරනවා මෙයාලා  Walterව මරලා දාලා කියලා.

Gordon Northcott මිනීමැරුම් තුනකට වරදකරු වෙලා මරණ දඬුවම නියම වෙනවා. ඒ අනුව එයාව 1930දී මරලා දානවා. Sarah Northcottට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා.

හැබැයි පුදුම දේ තමයි, Gordon හැම වෙලාවෙම Walter Collinsව මැරුවා කියලා ප්‍රතික්ෂේප කරපු එක සහ, Sarah පස්සේ තමන්ගේ පාපොච්චාරණය වෙනස් කරන්නත් හදපු එක. Walterට මොකද වුණේ කියන ඇත්ත කතාව කවදාවත් සම්පූර්ණයෙන් පැහැදිලි කරගන්න ඒ හන්දා ලේසි වෙන්නෙ නෑ.

ඒත් කවුරු මොනවා කිව්වත් අම්මා කෙනෙක්ට පුළුවන්ද තමන්ගෙ දරුවා ගැන දැක්ක හීන, බලාපොරොත්තු නැති කරගන්න?

පාපොච්චාරණ, චෝදනා සහ මරණ දඬුවම් මොනවා තිබුණත්, Christine Collins තමන්ගේ පුතා මැරුණා කියලා කවදාවත් විශ්වාස කළේ නෑ. එයා Walter ජීවත් වෙනවා කියන බලාපොරොත්තුවේ දිගටම එල්ලිලා හිටියා. එයාට Gordon Northcottව මරලා දාන්න කලින් හමුවෙන්න පවා අවසර ලැබුණා. Northcott එයාට ඇත්ත කියනවා කියලා පොරොන්දු වුණත්, ආයෙත් තමන්ගෙ කතාව වෙනස් කරා මිසක් එයා කිසිම දෙයක් කිව්වේ නෑ.

Christine මැරෙන දවස වෙනකම්ම තමන්ගේ පුතාව හොයන්න දිගටම උත්සාහ කළා. අවුරුදු ගාණක් පුරා එයා පොලිසියට විරුද්ධව නඩුත් දැම්මා. එයාව මානසික රෝහලට යවපු J.J. Jones කපිතාන්වරයට විරුද්ධව නඩුවක් දිනලා, ඩොලර් 10,800ක් (අද කාලේ ඩොලර් 200,000ක් විතර) වන්දි විදිහට ලැබුණා. හැබැයි Jones කවදාවත් ඒ සල්ලි එයාට ගෙව්වේ නෑ. Christine  1941දී ආයෙත් නඩු දාලා වන්දි ගන්න හැදුවත්, එයාට කවදාවත් සාධාරණයක් වුණේ නෑ.

මේ සිද්ධියේ මතකය

Christine Collins 1964දී අවුරුදු 75 ක් වෙලා මැරෙනවා. එයා කවදාවත් Walterට ඇත්තටම මොකද වුණේ කියලා මැරෙන තුරුම දැනගත්තේ නෑ. ඒවගේම Walter ගෙ මල සිරුරක් හම්බ වෙන්නෙත් නෑ.

Walter Collins ගේ සිද්ධිය ඇමරිකානු පොලිස් ඉතිහාසයේ අඳුරුම සිද්ධි වලින් එකක් කියලා කියන්නේ අන්න ඒ හන්දා. දරුවෙක්ගෙ අතුරුදහන් වීමකට එහා ගිය දූෂණය, අසරණකම සහ කුරිරුකම එකතු වුණු සිද්ධියක් විදියට මිනිස්සු මේක හඳුන්වනවා. ඒ වගේම ඒක අම්මා කෙනෙක්ගේ නොනවතින ආදරය සහ කැපවීම ගැන කතාවක් බවත් මිනිස්සු විශ්වාස කරනවා.

Walter අතුරුදහන් වෙනකොට අවුරුදු 9ක් වයසයි. හැබැයි එයාගේ කතාව අදටත් මිනිස්සුන්ව හොල්මන් කරනවා. ඒ Wineville Chicken Coop මිනීමැරුම්වල බිහිසුණුකම නිසා විතරක් නෙවෙයි, අම්මා කෙනෙක්ගෙ සදාතනික ආදරයෙන් ඒ කතාව පෝෂණය වෙච්ච නිසා.

Walter ආයෙ ඒවිද නැද්ද කියලා කොච්චර unsure උනත් Christine මැරෙන තුරුම ආයෙ තමන්ගෙ දරුවව දකින්න ලැබේවි කියලා හිතේ තියාගත්ත බලාපොරොත්තු අතෑරියෙත් නෑ.

මේ කතාවෙ දුකම හිතෙන කොටස අන්න ඒක.

Related Articles

Don't Miss


Latest Articles