ඉඩෝරයක මල් වැස්සක් – 07

0
3010

රොටිය මත තවරා තිබූ ලුණු මිරිස අම්මා සාදන ලුණු මිරිසට වඩා සැරය. එහි උම්බල කඩ කෑල්ලක් ගෑවී තිබුණේවත් නැත. තවදුරටත් කුස තුළ ඉඩ නොමැති බව මොළය සංඥා කරද්දිත් බිනර සම්පූර්ණ රොටියම කා නිම කළේය. ඒ අසීරුවෙන්ය.

“අනිත් දවසේ මං උදේට ඔයාටත් එක්ක කෑම එකක් අරගෙන එන්නද..?”

ඉසුරි ඇසුවේ ඔහු වෙත වතුර බෝතලය දිගු කරමින්ය. තම දරුවන්ගේ කුස පුරවා සතුටුවන අම්මා කෙනෙකුගේ සතුට ඒ දෑස් වල වූවායැයි බිනරට සිතිණ. ඔහු හිස වැනුවේ එපා යැයි පවසන්නටය. 

“ඔයා ගෙදරින් කාලා එන්න. උදේටනම් මොනවා කෑවත් කමක් නැහැනේ. මං වෙනදට ඔෆිස් එකට එන්නේ මගින් කාලා.”

“කඩ කෑම කන්න ගිහිල්ලා ගෑස්ට්‍රික් හදාගන්න එපා. ඇත්තටම ගෙදර උයලා දෙන්න කවුරුවත් නැද්ද?”

බිනර හිස වැනුවේ නැතැයි කියන්නටය. ඔහු ඉඩ දෙමින් සිටියේ හිතුවක්කාර කොලු සිතටය. තවදුරටත් මේ බොරුව ඉදිරියට ගෙන යාම මොන විකාරයක්දැයි මින් විනාඩි කිහිපයකට පෙර සිතූ තරුණයා කිසිවෙකුගේ බලකිරීමකින් තොරවම ඊට එකඟ වෙමින් සිටියේය. 

“ඔයාට තනියම මොකුත් හදාගන්නත් බැරිද.”

“සමහර දවසට හදා ගන්නවා.”

“අපි හෙමිහිට ඒ ගැන කතා කරමු. එහෙම තමයි තමන්ගේ වටේ ගොඩක් අය ඉදිද්දිත්  සමහර වෙලාවට තනි වෙන මිනිස්සු ඉන්නවා. අපි ඔෆිස් රූම් එකට යමු. ජොබ් එක නැති කරගන්න එපා. සමහර දේවල් අද නොවටිනවා කියලා තේරුනාට කවද හරි දවසක අපේ ජීවිතවලට ගොඩක් වටින්න ගන්නවා. ගොඩක් අයගේ අත්දැකීම් දිහා බැලුවහම මේක හරි නිදහස් තැනක්.”

එසේ පවසමින් මුලින්ම නැගී සිටියේ ඉසුරිය. වතුර උගුරු කිහිපයක් පානය කළ තරුණයා කාර්යාල කාමරය වෙත ඇවිද ගියේ ඇගේ පසු පසින්ය. වෙනදා සේ ඇගේ උදව් නොමැතිවම ඔහු සමහර කාර්‍යයන් නිම කළේය. ඒ අමුතු ජවයකි. දහවල් කෑම සඳහා කාර්යාලයෙන් පිටතට යාමට සැරසුණත් එය වළකාලූයේ ඇයය. 

“මං අද බත් එක ගෙනාවේ දෙන්නෙකුට ඇතිවෙන්න. හෙටත් එහෙම කරන්නම්. එළියෙන් කන්න එපා.සැලරි එක මදි වෙයි.”

බිනර දෙපා ආපස්සට ඇද ගත්තේ ඒ වදන් වලටය. අණ කිරීමක්ද ඉල්ලීමක්ද යන්න වටහා ගත නොහැකි වුවත් ඔහුට ඒ වදන්වලට පිටුපෑමේ හැකියාවක් වූයේ නැත. සොහොයුරියගේ අංකය සටහන් කරමින් දුරකථනය නාද වද්දී ඔහු එය විසන්ධිකර දැමුවේත් කෑම කාමරය වෙත ඇවිද යන ගමන්ය. 

                                        ************

සොහොයුරාට කැමැත්තක් කරන්නට ඉඩ දී තාත්තාත් සීයා තාත්තාත් නිහඬ විය යුතුයැයි පැවසූයේ ඔස්ට්‍රේලියාවේ සිටින සොහොයුරිය ය. අක්කාට සම්පූර්ණයෙන්ම එකඟ නොවූවත් බිනර පිළිබඳව මීට වඩා සොයා බැලිය යුතුයැයි හංසිකා සිතුවාය.

“හිතන්නකො නංගි මල්ලි කියන්නේ ඔයයි මමයි දෙන්නටම වඩා වෙනස් කෙනෙක්. එයා කොල්ලෙක්. යම් දවසක මේ බිස්නස් ගැන යමක් තේරුම් අරගෙන හරි එහෙම නැත්නම් මේවට ආස වෙලා හරි එයා බිස්නස් බාර ගන්නවනම් ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ කරල තියෙන්නේ එයාට කොහෙත්ම ගැලපෙන්නේ නැති එයා කැමතිම නැති පුටුවක එයා බලෙන් ඉන්දවපු එක. අනිත් එක එකවුන්ටන් කෙනෙක් විදිහට ඔතනට එන්න…අනේ මන්දා. ඒවා මොන තීරණද කියලා.”

ඇය  තමන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කළේ ඒ අයුරින්ය.

“එහෙමනම් එයාව කෙලින්ම තාත්තා ළඟට ගන්න තිබුණා. එහෙම නැත්තං එයාට එක ඩිවිෂන් එකක් බාර දෙන්න තිබුණා. අඩු ගානේ කොළඹට ළඟ තියෙන ශොප් එකක් හරි. මේවා වෙලාවකට හිනා යන වැඩ නංගී.”

හංසිකා තම සොහොයුරියට පක්ෂව හෝ විපක්ෂව කිසිවක් නොකීවත් ඈ පවසන සියල්ලම අසා සිටියාය. ඒ හංසිකාගේ පුරුද්දය. ඈ කොහොමටත් සවන් දෙනවාට වඩා අඩුවෙන් කතා කළ අයෙකි. 

“මමනම් කියන්නේ තාත්තා එයා වෙනුවෙන් යමක් දෙන්න හිතාගෙන ඉන්නවනං ඒක ඇතිකරගත්තත් නැති කරගත්තත් එයා කැමති දේකට යොදවන්න දෙන්න ඕනේ. අයිය උනත් අපි තාත්තලගේ වැඩ අනුමත කරන්නෙ නෑ නංගී. අනිත් එක දැන් ඔයා ඔය බිස්නස් එකට ඉන්වෝල්  වෙලා ඉන්න එකේ ඒක ඉස්සරහට ගෙනියන්න ඔයා හිටියහම මැදෑ. බිනර කියන්නේ පොඩි කාලේ ඉඳලම වෙනස් විදිහකට හැදුණු කෙනෙක්. අනේ මන්දා මෙච්චර තාක්ෂණය දියුණු කාලෙකත් සීය තාත්තයි අපේ තාත්තයි දෙන්නම තමන්ගේ හීන දරු මුණුපුරන්ගෙන් දකින්න බලාපොරොත්තු වෙන්නේ ඇයි කියන්න මට තේරෙන්නේ නෑ.”

සොහොයුරිය පැවසුවාට වඩා යමක් තාත්තාගේත් සීයා තාත්තාගේත් සිත්වල වන බව ඇයට පැහැදිලි කරන්නට හංසිකා උත්සාහ නොකළාය. ඔවුන් පොත්පත් සමග ජීවත් වූ සංවේදී මිනිසුන්ය. ජයවර්ධනලා වර්තමානයේ කුමන තත්ත්වයක සිටියත් සීයා තාත්තා අදටත් තමා පදික වේදිකාවේ සිට මහා පොත් මැදුරකට පැමිණි ආකාරය පවසන්නේ මහත් වූ ආඩම්බරයකින්ය. තමාත් සොහොයුරියත් දෙදෙනාම කිසිවක් ගැන දැනුම් තේරුම් නොතිබූ වයසකදී ඒ පිළිබඳව ලැජ්ජාවෙන් පසු වූ බව හංසිකාට සිහි වූයේත් ඒ හදිසියේමය. එහෙත් ඒ අතීතය පිළිබඳව කතා කිරීම සීයා තාත්තාට අභිමානයක් මිස ලැජ්ජාවක් වූයේ නැත.

ඔහු තවදුරටත් උත්සාහ කරන්නේ ඒ සා අභිමානයකින් ගොඩනගා ගත් දේ රැක ගන්නටය. තමාගේ අභිමානය මතු පරපුරට බෙදා දෙන්නටය.

හංසිකා යළිත් සොහොයුරාගේ දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. එහෙත් ඔහු ඒ සැණින්ම ඇමතුම විසන්ධි කළේය. 

“අංකල් අපේ මල්ලි ශීට් එකේ ඉන්නවද?”

අවසන ඈ කුලසේකරට කතා කර ඇසුවාය. 

“මං හිතන්නේ කට්ටියත් එක්ක ලන්ච් වලට ගියා දුව. ඇයි?”

“මමත් මේ බැලුවේ එයා ලන්ච් වලට යනවද කියලා අහන්න.”

“දවස් කීපයක්ම මං දැක්කා අලුතින් ගත්තු අනිත් ළමයි තුන් දෙනත් එක්ක එකතු වෙලා ලන්ච් ගන්නවා. අදත් මං හිතන්නේ එහෙම තමයි.”

“හරි අංකල් එයා එහෙම හිටපුවාවේ  කතා කරන්න ඕන නෑ.”

එපමණක් පවසා හංසිකා දුරකථනය විසන්ධි කළාය. උදෑසන ඔහුත් ඇයත් කතා  වී  පැමිණියේ දිවා ආහාරය සඳහා අසල වන ප්‍රසිද්ධ අවන්හලක් වෙත යාමටය. සොහොයුරා මේ සියල්ල කරන්නේ තාත්තාගෙන් පළිගැනීමට බව විශ්වාසය.

අම්මා පිළිකා රෝගියෙකු බව දැන ගත්තේ මින් වසරකට පමණ ඉහතදීය. අධ්‍යාපන කටයුතු නිමා කර තවදුරටත් ඇමරිකාවේ රැඳී සිටි බිනර ලංකාවට පැමිණියේ ඉන් පසුවය. කොහොමත් තමාටත් සොයුරියටත් වඩා අම්මාට සමීප වූයේ ඔහුය. පසුගියදා කළ සැත්කමක් මගින් ඇගේ එක් පියයුරක් ඉවත් කළේය. සොහොයුරිය ලංකාවට පැමිණ ගියේත් ඇගේ ඒ සැත්කම සිදුකළ දිනවලදීය. අදටත් අක්කා කුමන වැඩක නිරත වී සිටියත් නියමිත වේලාවට කතා කරමින් අම්මාගේ බෙහෙත් වේල ගැන සිහි කරන්නීය. තාත්තා වෙනදාට වඩා ඇය සමඟ කාලය ගත කරමින් සිටියේය. අම්මා  ජයවර්ධන පවුලේ කොඳු නාරටිය හා සමානය. සොහොයුරා යළි ඇමරිකාවට නොගියේත් අම්මා තනිකර යාමට නොහැකි බව පවසමින්ය. ඔහු අකමැත්තෙන් වුවද මේ රැකියාවට පැමිණෙන්නේත් අම්මාගේ වචනයට පිටු පා සිටිය නොහැකි නිසා බව විශ්වාසය. 

ව්‍යාපාර වලදීත් දරුවන් ගැන  තීරණ වලදීත් තාත්තාගේ සීය තාත්තාගේත් වචන දැඩි ඒවාය. එනිසාම සොහොයුරා හා නිදහසේ යමක් කතා කළ යුතු යැයි හංසිකා තීරණය කළාය. ඔහු යම් හදිසි තීරණයක් ගතහොත් ඉන් දුකට පත්වන්නේ අම්මාය. 

                                    ****************

සවස ඉසුරිව කැඳවාගෙන යාමට කාර්යාලය අසලට පැමිණෙනවා යැයි පාරින්ද කෙටි පණිවිඩයක් එවා තිබිණ. එනිසාම ඈ විනාඩියක් වත් පමා නොවී කාර්යාලයෙන් පිටවූවාය. එසේ නොමැති වුවහොත් ඒ පමාවට දහසක් හේතු පැවසීමට සිදුවේ. 

විනාඩි කිහිපයක සිට පාරින්ද හංසිකාගේ කාර්යාලය අසලට වී සිටියේය. මුල්ම දිනයේ ඇය සම්මුඛ පරීක්ෂණයට පැමිණියේත් ඔහු සමඟය. හංසිකා රැකියාවක් කරනවාට ඒ සිතෙහි කැමැත්තක් නොවූවත් ඔහුට කරන්නට දෙයක් වූයේ නැත. ඊට විරුද්ධ වූ මුල් කාලයේදී අම්මා පවා ඇසූයේ “ඇයි උඹට හතර මහා නිදානේ පහළ වෙලාද ගෑනියෙක් නිකං තියන් කන්න අඳින්න දෙන්න” යනුවෙන්ය. 

“ඒකිට කියහං ගෙදර කට්ටියට වියදම් කරන්නේ නැතුව ගන්න පඩිය ඉතුරු කරගන්න කියලා. තමන්ගෙ තැනකට ආවත් හිස් අතින් එන්න බෑනේ ලී බඩු නැති උනත් කනකර බඩු ටිකක්වත් හදාගන්න කියලා කියපන්..”

අම්මා ඊයේ පෙරේදා ඒ අයුරින් පැවසුවාය. අද පාරින්ද පැමිණියේත් ඒ බව ඇයට සිහිපත් කරන්නටය. ඉසුරි  ඕනෑවටත් වඩා සොහොයුරාත්, සොයුරියත් ගැන සිතද්දී පාරින්දගේ  සිතෙහි හට ගත්තේ කෝපයකි. නානා විධ මෝස්තරයේ ඇඳුම් ඇඳගත් යුවතියන් කිහිප දෙනෙක්ම පිටව ගියාට පසු ඉසුරි කාර්යාලයෙන් පිටතට පැමිණියාය. පාරින්ද ඇය වෙත හිස් වැසුම දිගු කළේ කිසිවක් නොපවසමින්ය. 

කිලෝමීටර් තුනක් විතර ඉදිරියට පැමිණි පසුව ඔහු යතුරුපැදිය නතර කළේ නිදහස් අවන්හලක් අසලය. එතනට ගොස් කෙටි කෑම වර්ගයකුත් දොඩම් යුෂ  වීදුරු දෙකකුත් ඇනවුම් කරන තුරුම ඔහු ඇය හා කිසිවක්ම කතා කලේ නැත. 

“ඔය බ්ලවුස් එක කොට වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද. බස් එකේදි වැරදිලවත් අත ඉස්සුවොත් බඩෙන් බාගයක් එළියේ.”

අවසන ඔහු ඇසුවේ ඇගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාම බැල්මක් හෙලමින්ය.

“නෑ කොට වැඩි නෑ නේද..?”

“ඒක පේන්නෙ තමන්ට නෙමෙයි. බලන් ඉන්න අයට. මං හිතුවා නංගිගේ බ්ලවුස් එකක් කියලා. මං දැක්කනේ එතන ඉන්න අම්මණ්ඩිලා කොට කෑලි ඇඳගෙන යන හැටි. රස්සාවට ගියාට කමක් නෑ තමන්ගේ තත්ත්වේ අවබෝධ කරගෙන ඉන්නවා. නොදන්නව නෙමෙයිනේ මිනිස්සු අම්මට කියන කතා.”

ඉසුරේ කිසිවක් නොකියා දොඩම් යුෂ උගුරු කිහිපයක් පානය කළාය. කුමක් කතා කළත් ඒ අවසානයට අම්මාගේ නම ඈඳා ගැනීම දැන් පාරින්දට පුරුද්දක් වී ඇත. 

( යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here