“ඕක කාලා ඉන්න. දොඩම් එකක් බීලා බඩ පිරුණට පස්සේ කන්න බැරුව යයි. ඔයාලට මොනවා හරි පත්වීම් ලිපියක් දුන්නද..”
“අපි අග්‍රිමන්ට් එකක් සයින් කලා.”
“අග්‍රිමන්ට් එකක්…හොඳට කියවල බලල ද අත්සන් කලේ? ඔයාට තිබුනනේ මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.”
“නෑ එහෙම අපිට හානියක් වෙන දෙයක් තිබුණේ නැහැ. ඒකෙ තිබුණේ අපිට මුලින් ගෙවන සැලරි එක රුපියල් තිස් පන්දාහක් කියලා. ඊට අමතරව ඒ සැලරි එකට අනිත් සේවකයන්ට ලැබෙන හැම දීමනාවක්ම එකතු වෙනවා. අශිකයි මමයි නිකමට ගණන් හදලා බැලුවා. එතකොට හතළිහක් විතර වෙනවා. මාස තුනෙන් පස්සේ රුපියල් පන්දාහකින් පඩි වැඩි කරනවා. ඊට පස්සේ මාස හයෙන් හයට පඩිය වැඩි කිරීමේ රටාවක් එයාලගේ තියෙනවා. මං දන්න තරමට අපේ ඩිපාට්මන්ට් එකේ ඉන්න අපිට කලින් ආපු හැමෝම දැන් පනස් පහක විතර වගේ සැලරි එකක් ගන්නවා.”
“එහෙමනම් කමක් නෑ. මං හිතුවා තුට්ටු දෙකක් ගෙවල වැඩ ගනියි කියලා.”
“එහෙම නෑ. පරණ අය හොඳ සැලරි එකක් ගන්නවා. අනිත් එක නිදහසේ වැඩ කරන්න පුළුවන් තැනක්. හැමෝම සතුටින් වැඩ කරන තැනක්.”
“දැන් ඔය ගන්න සැලරි එකට මොනවද කරන්න හිතන් ඉන්නේ?.”
“ඒ කිව්වේ…
“ඒ කිව්වේ ඔයා ගන්න සැලරි එකට මොනවද කරන්න හිතන් ඉන්නේ?”
“විශේෂ දෙයක් නෑ ඉතින්. අම්මගේ බර ටිකක් හරි සැහැල්ලු කරන්න ඕනෙ අයියේ. සමහර තැන්වලදී මම අම්මා එක්ක කේන්ති ගත්තට එයා අවුරුදු ගාණක්ම අපි වෙනුවෙන් සෑහෙන්න දුක් දුක් වින්දා. මල්ලි ඒ ලෙවල් පාස් වෙන එකක් නැහැ. එයා දැන් ඉගන ගන්න එක අතෑරලා දාලා වගේ. එහෙම වුණොත් එයාට කෝස් එකක් කරන්න සල්ලි ටිකක් ඉතුරු කරගන්නත් වෙනවා. තාත්තා දෙන එක නංගිගේ ක්ලාස් පීස් වලටත් මදි.”
“තමුසෙට කියන්න ඕනෙ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ. ඔය ඔක්කොම ගැන හිතලා අපේ අනාගතය ගැන හිතන්නෙ කවදද? ඇයි ඔච්චර මෝඩ.”
“නෑ අයියේ මං එතනින් කීයක් හරි ඉතුරු කරගන්නත් ඕනේ. මං එහෙම නොහිතා ඉන්නෙ නෑ.”
“කීයක් හරි නෙමෙයි ඔක්කොම ඉතුරු කරගන්න. හොඳ ජීවිතයක් ගෙවන්න ඕනනම් අපි කපටි වෙන්නත් ඕනේ ඉසුරි. ඒවා ඔයාගේ ගෙදර අයට තේරෙනේකක් නෑ. රස්සාවක් කරලා ගෙදරට වියදම් කරනවා කියලා ඔයා බැඳිලා නෑනේ. ඒව මේ කරගෙන යන විදිහටම අම්ම කරපුවාවේ. තාම ඒ හැටි වයසක් නෙමෙයිනේ. මල්ලිට එහෙම කෝස් එකක් කරන්න ඕන නම් ඔයා තාත්තට කතා කරලා සල්ලි ඉල්ලන්න. ක්‍රිකට් ගහන්නත් එයා සල්ලි දෙනවනේ. ඔයාට මේ ජොබ් එක හම්බුනේ නැත්තං ඔයා කොහොමද ඕවා කරන්නේ?. ඔයා දන්නව ඉසුරි මං ඔයාට මේ ජොබ් එකට යන්න දුන්නේ කැමැත්තකින් නෙමෙයි. අපේ අනාගතය හදාගන්න ඕන හින්දා. අපිටත් දරුවෝ ඉන්න කාලෙක ඒ දරුවෝ වෙනුවෙන් අපි යමක් ඉතුරු කරලා තියන්න ඕනේ. අනිත් එක අම්මා මේ කරන දේවල් එක්ක මිනිස්සු එයාට කියන කතන්දර එක්ක ඔයා හොඳට මතක තියාගන්න ඔයාලගේ පවුලට තියෙන්නේ හරි අඩු ලන්සුවක්. අපේ ගෙදරින් උනත් ඔයාට කැමති වෙලා ඉන්නේ නෑකම නිසා නෙමෙයි ඔයාට දීපු පොරොන්දුව ආපස්සට ගන්න බැරුව. මොකද මාමත් එක්කම ඒ නෑකම් ඉවරයි. ඒ නිසා අඩු තරමින් මිල මුදල් රත්තරන් බඩු වලින්වත් තමන්ට වටිනාකමක් තියෙනවා කියල ඒ මිනිස්සුන්ට ඔප්පු කරන්න. එහෙම නැතුව හැමදාම ප්‍රශ්න වලට මැදි වෙවී මටත් ජීවත් වෙන්න බැහැ. ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් සැලරි එක ගතපු ගමන් ඒක අපි දෙන්නගෙම නමට ජොයින්ට් එකවුන්ට් එකකට දාමු. ගෙදර අයට කෙලින්ම කියන්න ලොකු අයියගෙ අතට දුන්නා කියලා. ඔයයි මමයි නාඳුනන මිනිස්සු නෙමෙයිනේ. මොනව හරි කියාගෙන ආවොත් මමත් කන් දෙකේ ඇඟිලි ගහගන්න කතා කරන්නම් එයාලට.”
පාරින්ද කියවාගෙන ගියේ ඉසුරිට එකදු වචනයක්වත් කතා කරන්නට ඉඩ ලබා නොදෙමින්ය. කොහොමටත් ඔහුගේ වූයේ තනි තීරණය. දෑස් මුල කඳුලක් එකතු වූවාට ඒවාට ගලා යන්නට ඉඩ නොදෙමින් ඉසුරි කිහිප වරක්ම ඇසිපිය සැලුවාය. මේ මතගැටුම් හිත් රිදීම් රැසක ආරම්භය බව විශ්වාසය.
“අපි යමුද?”
ඇය ඇසුවේ අඩක් කා නිම කළ ප්‍රේස්ට්‍රිය හිස්ව තිබූ තැටිය මත තබමින්ය. එහෙත් ඕ එක උගුරටම දොඩම් යුෂ වීදුරුව හිස්කර දැමුවාය.
“ඇයි මේක කන්නේ නැද්ද?”
“ඇති. හවස තේත් බිව්වනේ”
“නිකං අපරාදේ සල්ලි..”
එසේ පැවසූ පාරින්ද ඇය ඉතිරි කළ පේස්ට්‍රි කොටස කටේ දමාගන්නා අයුරු ඉසුරි බලා සිටියේ කළකිරීමෙන්ය. මේ වසර කිහිපයකට පෙර ඈ දුටු ලොකු අයියා නොවේ.
“පාරින්ද අයියා හොඳයි. එයා වෙනස් කරන්නෙ නැන්දා. ඒ පරම්පරාවෙන් එන ලෝබකම පාරින්ද අයියා ගාවත් එහෙම් පිටින්ම තියෙනවා.”
නැගණිය කිහිප වතාවක්ම එසේ පැවසූ අයුරු ඉසුරිට සිහි වූයේත් ඒ හදිසියේමය.
**********
බොහෝ දිනවල බිනර සේවය අහවරව මද වේලාවක් කාර්යාලයේ රැඳී සිටින්නේ මිතුරෙකු තමා ගැනීමට එනවායැයි පවසමින්ය. ඒ බොහෝ දිනවල අශිකාත් ඔහු සමග විනාඩි කිහිපයක් රැඳී සිටී. ඒ රජයේ කාර්යාලයක සේවය කරන ඇගේ පියා වැඩ නිමවී පැමිණෙන තුරුය.
“ඔයාට අපේ කාර් එකේ යන්නත් පුළුවන් බිනර.
අශිකා ඒ සෑම දිනකම පැවසුවත් බිනර ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ කාරුණිකවය. ඇය ඕනෑවටත් වඩා තමා සමග ඇගෑළුම්කම් පවත්වන්නට උත්සාහ කරනවායැයි බිනරට හැඟුනේ ඊයේ පෙරේදාය. ඒ බොහෝ තැන්වලදී ඈ හිතාමතාම ඉසුරිගේ අඩුපාඩුවක් ඉස්මතු කරන්නට උත්සාහ දැරුවාය.
“ඔයා යෙලෝ රයිස් ගෙනාවට ඒකට ගැලපෙන විදිහට කරිස් හදල නෑ. මං දවසක් බිනරට අපේ අම්මට කියලා යෙලෝ රයිස් එකක් අරගෙන එන්නම්. බිනරට විතරක් නෙමෙයි ඔයාලටත් එක්කම. තාත්තගේ පැත්තේ රිලේශන්ස්ලා හැමෝම කියනවා අම්මිගේ යෙලෝ රයිස් එකට ගහන්න ෆේමස් රෙස්ටුරන්ට් එකකවත් රයිස් එකක් නෑ කියලා. මං කට්ටියටම ගේන්නම් දවසක”
ඇය දහවල පැවසූයේ ඉසුරි විසින් ගෙන ආ කහ බත ‘රසයි’ කියමින් බිනර ස්තුති කරද්දීය. අශිකා පැවසූයේ අසත්‍යයක් නොවූවත් එය ඉසුරිව හෑල්ලු කිරීමක් යැයි ඔහුට සිතුණි.
“මං ඉව්වේ. අඩුපාඩු ඇති…අපේ අම්මත් උයන කෑම රසයි. ඒ උනාට එයා ජොබ් එකක් කරන නිසා දැන් එයාට උයන්න වෙලාවක් නෑ.”
ඉසුරි පැවසූයේ ඇයට හුරු පුරුදු සිනහව මුව මත තබාගෙනය.
“ඔයාගේ වයසේ ගෑණු ළමයෙක්ගෙන් එහෙම දෙයක් ඇහුවමයි. උදේ නැගිටලා අනිත් අයට උයලා තියලා තමනුත් බත් එකක් බැඳගෙන, එහෙම අය හරි අඩුයි. මගේ නංගි ඔයාගේ වයසේ අක්කා ඔයාට වඩා අවුරුදු හතරක් වැඩිමල්. ඒ උනාට ආසාවටවත් ඒ දෙන්නා පොල් ටිකක් ගාලා දෙන්නවත් කුස්සියට යන්නේ නෑ. අම්මට අසනීප උන දවසකට අපි හැමෝම කන්නේ කඩෙන්.”
සහන් පැවසූයේ ඉසුරි දෙසම බලාගෙනය. කුමක්දෝ හේතුවකට සහන් නිරතුරු ඇ ගැන වදවෙන අයුරු බිනර බලාගෙනය.
“මට පොඩි කාලේ ඉඳලම උයන්න පුළුවන්. ඒක පුරුදු වුනාට පස්සේ එච්චර අමාරු දෙයකුත් නෙමෙයි. උයන එකත් කලාවක් කියලා කියනවනේ. මේනම් හදිසියේ හදිසියේ හදාගෙන එන කෑමනේ. කිරිඅම්මත් මට උදව් කරනවා.
“අපේ අම්මිනම් ඇත්තටම මට කිචන් එක පැත්ත පලාතකටවත් එන්න ඉඩ දෙන්නෙ නෑ.”
ඉසුරිට අනුව ඈ සැප සම්පත් මැද හැදී වැඩුණු යුවතියක් නොවන බව විශ්වාසය. ඇය සියල්ල සිනහවකින් දරා ගැනීමට පුරුදු වී ඇත්තේත් එනිසා විය යුතුය.
හංසිකා දුරකථන ඇමතුමක් ලබා දුන්නාට පසුව බිනර ඇගේ වාහනයට නඟින්නේ කාර්යාලයේ ප්‍රධාන දොරටුව පසුකරගෙන මදක් ඉදිරියට ගොසින්ය. මුල් දින දෙක තුනේදීම ඔහු ඒ පිළිවෙල ප්‍රතික්ෂේප කරමින් කැබ් රථයක් ගෙන්වා ගත්තේය.
“අද තමුසෙගේ සගයෝ ටික බලන්න යන්නෙ නැද්ද?”
හංසිකා එසේ ඇසුවේ බිනර වාහනයට නැඟුනාට පසුවය.
“ඕනේ නෑ.”
“ඇයි ලන්ච් ගන්න ආවෙ නැත්තේ.”
“අද ජීවිතේ කාපු රසම යෙලෝ රයිස් එක කෑවා.”
“අම්මේ….ඒක එච්චර රසයිද. සාමාන්‍යයෙන් හොඳක් අහන්න පුළුවන් කෙනෙක්නම් නෙමෙයිනේ ඔයා. කවුද ගෙනාවේ අර තාත්තත් එක්ක ඇල්ටෝ එකේ එන කෙල්ලද?”
“නෑ මගේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ ඉසුරි. එයාගේ අතින් උයලා මගේ නමින් බෙදලා..”
“ආ එහෙම එකක්ද…ඒ ළමයා සෑහෙන්න උදව් කරනවා නේ.”
හංසිකා සිනහසුනේ ඉදිරිය බලාගෙනය. ඔහු මේ සියල්ල පවසන්නේ තමාවත් රිදවීමේ අරමුණින් බව ඇය දැන සිටියාය.
“හොඳයි හොඳයි ඕක ඔය විදිහටම ගිහිල්ලා තාත්තටත් කියනවකෝ.”
“මං බොරුවට නෙමෙයි කිව්වේ. ඇත්තටම අක්කේ ඒ ළමයා මටත් එක්ක කෑම ගෙනල්ලා. එයා හිතන් ඉන්නේ මම අම්මා තාත්තා නැතුව හැදෙන කොල්ලෙක් කියලා.”
“අප්පා….ඔයා කාගේ කවුද කියලා දැනගත්ත දවසට ඒ ළමයට මොනවා හිතෙයිද මන්දා.”
“අනිවාර්යයෙන් මගේ මූණවත් බලන එකක් නෑ. තව ටික දවසක් ඔහොම ඉවසගෙන ඉන්න මං තාත්තත් එක්ක කතා කරන්නම්.”
“මොකක් ගැනද….”
“ඔයාට ඔයා කැමති දෙයක් කරන්න ඉඩ දෙන්න කියලා. අක්කත් අද පැයක් විතර දවල් මමත් එක්ක ඔයා ගැන කතා කර කර හිටියා. එයා එහේ හිටියට අපි ගැන වද වෙනවා. විශේෂයෙන්ම ඔයා ගැන. මට බයයි අක්ක කේන්ති අරගෙන තාත්තත් එක්ක මේ ගැන කතා කරන්න ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙයි කියලා.”
“කවුරුත් ඒ ගැන කතා කරන්න ඕනේ නෑ. තාත්තගෙ පැත්තෙන් තාත්ත කරපු දේ හරි ඇති. මට මෙතන එපා උන දවසට මංම කතා කරන්නම්”
“මල්ලි…”
“හ්ම්..මං ඒ ගැන ටිකක් දුරදිග හිතුවා. ලංකාවේ බිස්නස් ගැන කිසිම දෙයක් නොදන්න මට එක පාරටම බිස්නස් එකක් බාර දෙන්න එයාගේ හිතට බය ඇති. මට තියෙන්නෙ එක තැන වාඩිවෙලා ඉන්න කම්මැලිකමක් හලෝ. වෙන අවුලක් නෑ. දැන් කට්ටියත් ටික ටික ෆිට් එකේ එන යන එක අවුලකුත් නෑ.”
“තාත්තා ගොඩක් දවස් ඔයාව ඔය ඩිවිෂන් එකේ තියෙන එකක් නැහැ. තාත්තාට ඕනේ ඔයාව සැරින් සැරේ තැන් තැන් වලට මාරු කරකර මේ හැම දෙයක් ගැනම ඔයාට අවබෝධයක් ලබා දෙන්න. සීයා තාත්තා වැඩ කළෙත් ඒ පිළිවෙලටම තමයිලු.”
“ඒකෙත් පොඩි ආතල් එකක් නැත්තෙ නෑ. තව ටික දවසක් මෙහෙම ඉඳලා බලමු. අම්මත් සතුටින් ඉන්නේ මට ඒක තේරෙනවා. කියවන එක නවත්තලා මොනවා හරි කාලයමු හලෝ මාර බඩගිනියි. තමුසෙත් අපේ තාත්තගෙම දුවෙක් තමයි ඈ”
“ඇයි ඔයා කිව්වේ? ඔයා වෙනුවෙන්ම ලස්සන වළලු දාපු අත් දෙකකින් යෙලෝ රයිස් හදාගෙන ආවා කියලා. කෙල්ලත් ලස්සනයි හැබැයි. පොෂ් කෙල්ලෙකුටවත් නැති ෆිගර් එකක් තියෙනවා.”
“අනේ මේ මං එක එක්කෙනාගේ ෆිගර්ස් දිහා බලන්න ගියේ නෑ. ඒ ළමයා හැම තිස්සෙම ඉන්නේ මට ජොබ් එක නැති වෙයි කියලා බයෙන්. එයාගේ වැඩේ කරල ඉවරවෙච්ච ගමන් මගේ දිහාට හැරිලා අහනවා හරිද කියලා. පව් හලෝ.”
“ඒ ළමය හරි අහිංසකයි තමයි. මට ඒක තේරුණ දැකපුු දවසෙම.”
“ඔයාටත් එක්ක මං වැඩිපුර බෙදාගෙන ආව කියපු හින්දා කෑවා. ඒ උනාට තමුසෙ දන්නවනේ මගේ චොයිස් එක.”
හංසිකා ප්‍රසිද්ධ අවන්හලක් වෙත වාහනය හැර වූය හිනැහෙමින්ය. මෙය එක්තරා ආකාරයකින් ඔහු ලද දඬුවමකි. අම්මා අසනීප වනතුරුත් ඔහු සිතා සිටියේ “මුදල් වලට කරන්න බැරි දෙයක් නෑ..” යනුවෙන්ය. එනිසාම සොහොයුරා විවිධ සමාජතලවල මිනිසුන් හා ගැටිය යුතුයැයි හංසිකා පවා විශ්වාස කළාය.
( හමු වෙමු ආදරයෙන්)