ඉඩෝරයක මල් වැස්සක් – 09

0
3730

නිවාඩු දවස පුරාම ඉසුරි නිවසත් මිදුලත් පිරිසිදු කර දැමුවාය. මේ කිරි අම්මාට නිවසේ වැඩ කටයුතු කළ හැකි වයසක් නොවේ. ඕ තනි නොතනියට හෝ රැඳී සිටීම මහමෙරක් තරම්ය. 

“කෙල්ලේ නැන්දලාගේ  ගෙවල් පැත්තට ගිහිල්ලා වරෙන්. ඊයේ කඩේ යන ගමන් කියලා මේ පැත්තට හැරුණා. අන්තිමට කියයි රස්සාවට ගියපු ගමන් උඹේ ලොකු කම කියලා. ආඩපාලි කියන්න බලන් ඉන්න අම්මණ්ඩිනේ”

ඉසුරි හිස වැනුවේ නිහඩවය. නැන්දා කුමක් හෝ කියා තිබේ. කිරි අම්මා ආවාට ගියාට වචන පිට කරන අයෙකු නොවේ. ඇය වේලාසනින්ම දහවලට උයන්නට ගත්තේ එනිසාය. පොළොස් ව්‍යාජනය යහමින් සෑදුවේත් නැන්දාගේ නිවසට ගෙනියන්නටත් එක්කය. අල හොද්ද ඒදමින් සිටියදීත් ඇයට බිනර සිහි වූයේ හදිසියේය. තවමත් ඔහු කා සමඟ වාසය කරනවාදැයි පැහැදිලිව පවසා නැත. මේ නිවාඩු දවසේත් ඔහුගේ ආහාර වේල පිරිමැහෙන්නේ අවන්හලකින් විය යුතුය. 

“එහෙනම් කිරි අම්මා  මැල්ලුම හදනවද මම නැන්දලයි  ගෙවල් පැත්තට ගිහිල්ලා එන්නම්.” 

ඉසුරි පැවසූයේ සිහින්වට ලියූ මුකුණුවැන්න මිටිය අසලින්ම පොල්  අඩලයක්  තබමින්ය. ඇය මැල්ලුම අනන්නේ පොල්තෙල් ස්වල්පයක් සිය දකුණතෙහි තවරා ගෙනය. එවිට එහි කොළ පැහැය වෙනස් නොවේ. 

සොයුරාත් සොයුරියත්  දෙදෙනාම උපකාරක පන්ති ගොසින්ය. රාත්‍රී වැඩ කර පාන්දර නිවසට පැමිණි අම්මා තවමත් නින්දේය.

දිය නා  අලුත් ගවුමකින් සැරසුණු යුවතිය අම්මාගේ කාමරයට එබුණේ නිවසින් පිටව යාමට ප්‍රථමය. 

සිහින් ඉකිබිඳුමක් ඇයට ඇසුණේ තිර පට සිය දකුණතින් මෑත් කරද්දීය. අම්මා  උන්නේ ඇඳ මත මුනින්තලාවීගෙනය. ඒ දෙවුර හිස් ගැස්සෙන තාලයෙන් ඈ හඬා වැටෙනා බව ඉසුරි හොඳින්ම හැඳින්නාය. සිය දෙපා පොළවට බර කරමින් හඬක් නොනැඟෙන ලෙස ඕ අම්මා වෙත ඇවිද ගියේ මහා බරක් සිය පපුව මත තබාගෙනය. මේ දසුන ඇයට අමුත්තක් නොවේ. කවුරුන් කුමක් කීවත් වදනකින්වත් අම්මාට දොසක් නොකියන්නට ඈ වගබලා ගන්නේත් එනිසාය. 

“අම්මේ…..ඇයි මේ..

ඇගේ හිසට අත තබමින් යුවතිය ඇඳ පාමුල දණ  බිම තබා ගත්තේ එසේ අසමින්ය. 

“මොකුත් නෑ. මට ටිකක් හෙම්බිරිස්සාව වගේ.”

මින් පෙරත් සෑම වතාවකම ඇය දුන්නේ ඒ පිළිතුරමය. එහෙත් මෙවේලෙහි පසු බා යාමට තරම් සිතක් යුවතියට නොවූවාය.

“ඇයි අම්මේ. ජොබ් එක අමාරුනම් අම්ම නතර වෙන්න. දැන් මටත් ජොබ් එකක් තියෙනවනේ. අපි කොහොම හරි පිරිමහ ගමු.”

“ඉසුරි යන්නකෝ. මම තව ටිකක් මෙහෙම ඉඳලා එන්නම්.”

“අම්මා නැගිටින්න ඕනෙ නෑ නිදාගන්න. දවල්ටත් උයලා තියෙන්නේ. මං නැන්දලගේ ගෙවල් පැත්තට ගිහිල්ලා එන්න කියලා හැදුවේ.”

“ඒක හොඳයි. ඉසුරි පුලුවන්නම් නැද්දත් එක්ක කතා කරලා මේ කටයුතු ඉක්මන් කරගන්න බලන්න.” 

“මට මැරි කරන්න හදිසියක් නෑ අම්මේ. කොහොමත් නංගියි මල්ලියි ඉගෙනගෙන ඉවර වෙනකල් මං මැරි කරන්නෙ නෑ කියන තීරණයක ඉන්නේ.”

“පරක්කු වෙච්ච හැම දේකටම මට පසුතැවෙන්න වුණා ලොකූ. හදිසියේ ගන්න තීරණ වලටත් එහෙමයි පසුතැවීම විතරයි ඉතුරු වෙන්නේ. ලොකූ ඔයා  තාත්තත් එක්ක නිතර කතා කරන්න. ඔයාගේ ජීවිත කතාවත් මගේ ජීවිත කතාව වගේ වෙයි කියලා මට බයයි. රස්සාව කොච්චර අමාරු උනත්  නංගියි මල්ලියි වෙනුවෙන් මටත් මේ රස්සාව කරන්න වෙනවා. මොනම ගෑනියෙක්වත් මේ ජීවිතය ඇතුලේ තනිවෙන්න නරකයි. ඇත්ත…දික්කසාදෙන් පස්සේ ගෑනියෙක් අවලංගු කාසියක්.”

ඕ ඒ වදන් පැවසූයේ හුස්මක් ඉහළට ඇද ගනිමින්ය. 

“ලොකූ මං ගාව සල්ලි ටිකක් තියෙනවා.  පොඩියට හරි මංගල්ලයක් ගන්න බැරි කමක් නෑ. දැන් ඔයාට රස්සාවක් තියෙන එකේ ඔයා ඔයාගේ ජීවිතය ගැන බලාගන්න.”

යළිත් ඕ පැවසූයේ දෑස් දෙපසින් ගලා ගිය කඳුළු බිඳු දෙකක් කොට්ටය මත වැටෙද්දීය. අම්මා ඉසුරිට ලොකූ යැයි ඇමතූයේ බොහෝ කලකට පසුවය. පෙර දිනවල මෙන් ඇයට තුරුළුව ඒ පපුවෙහි උණුසුම විඳගැනීමට වුවමනා වුවත් ඉසුරි එසේ නොකළාය. ඒ වෙනුවට ඒ මුවින් ගිලිහුනේ දිගු සුසුමකි. ඒ බැඳීම ගිලිහී ගොස් අවසන්ය. දැන් ඔවුන් අතර වූයේ වෙනදාට වඩා දුරස්ථ සබඳතාවයකි. 

“ලෑස්ති වෙච්ච ගමන ගිහිල්ලා එන්නකෝ. මෙතනට වෙලා කාලේ නාස්ති කරන්නෙ නැතුව.”

බිඳී ගිය හඬකින් වුවද ඈ පැවසූයේ කෝපයෙන්ය. මෑතක සිට ඈ කෝප ගන්නා වේලාවක් අවේලාවක් නොවේ. විටෙක ඕ සුළඟටත් කෝප ගත්තාය. කිසිවක් නොකියූ ඉසුරි නැගී  සිටියේ අම්මාට අවනතවය. එසේ නොකළහොත් දිගින් දිගටම ඇගේ කෝපයට තමා ලක් වන බව නොඅනුමානය. 

නැන්දාගේ නිවසට යන කෙටි දුර ඈ පයින්ම ගියේ අම්මා ගැන සිතමින්ය. තාත්තාගේ නික්ම යාමත් සමඟ ඈ සම්පූර්ණයෙන්ම වෙනස් ගැහැණියක බවට පත් වූවාය. ඈ බොහෝ කාලයක් යනතුරුම හැඬූ කඳුළින් කාලය ගත කළ බව ඉසුරි දැන සිටියාය. එහෙත් ඒ බවක් ලෝකයට පෙන්වන්නට අම්මා කැමති වූයේ නැත. ඇය නිරතුරුවම ලෝකයා හා පැවසූයේ තාත්තා නැති අඩුව ඇගේ ජීවිතයට මහ මෙරක් තරමට නොදැනෙන බවය. එදවස නංගීටත් මල්ලිටත් නොතේරුම් වූ අම්මාගේ වෙනස තේරුම් ගන්නට තරම් ඉසුරි මේරූ සිත් ඇත්තියක වූවාය. අදටත් ඇයට පුදුමයක් වන්නේ තාත්තා නොමැතිව මේ තරම් ලතැවුණු ඇය ඔහුව නවතා ගන්නට එකම එක් වතාවක්වත් උත්සාහ නොදැරීමයි. 

“ආ උඹට  මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් රස්සාවල් කරන ලොකු නෝනලානේ. මං හිතුවා අපිව අමතකම වෙලා ගිහිල්ලා කියලා.”

නැන්දා ඉසුරිව පිළිගත්තේම නොක්කාඩුවකින්ය. ඒ කිසිවක් නොදැණුනා සේ  මුලින්ම ඈ කලේ නැන්දාගේත් මදක් එහාට වන්නට වූ හාන්සි පුටුවේ සිටි මාමාගේත් දෙපා වැඳීමය. 

“කෝ නැන්දේ පාරින්ද අයියා”

“ඒකා නිවාඩු දවසක ගෙදර ඉන්න එකෙක්ද පුතේ. ඇති පිට්ටනිය ළඟ. ඇයි එනවා කියල කෝල් කරලා කිව්වේ නැද්ද?” 

“නෑ නැන්දේ . මම ආවේ නැන්දවයි මාමවයි බලලා යන්න.”

“ඒක කොච්චර දෙයක්ද..මේ දරුවට තේ ටිකක් හැදුවනම්.”

මාමා පැවසුවේ පුටුවෙන් නැගී සිටිමින්ය. ඒ අවසරය නැන්දාටත් ලේලියටත් රිසි සේ කතා කරන්නටය.

“තේනම් ඉතින් එයා හදාගෙන බොයිනේ. මේක අමුතු තැනක් නෙමෙයි නේ. ඒක නෙමෙයි දුවේ රස්සාව කරන තැන හොඳයිද?”

“වරදක් නෑ නැන්දේ. නිදහසේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්.” 

“තාත්තා හොයලා දීපු එකක් හින්දා ඉතින් වරදක් වෙන්න විදිහකුත් නෑනේ. තාත්තා කතා කරේ නැද්ද ළඟදි?”

“මං වැඩිය තාත්තට කතා කරන්න යන්නේ නෑ නැන්දේ. විසඳගන්නම බැරි ප්‍රශ්නෙකදී කතා කරනවා මිසක්. එහෙම කතා කරන එක වරදක් වෙන්නත් පුළුවන්නේ.”

“උඹේ  ඔය ඉවසීම අම්මට නැති එකනේ ප්‍රශ්නේ.”

“ඇයි නැන්දේ…”

ඉසුරි ඇසුවේ අලුත් ප්‍රශ්නයක්දැයි සිතමින්ය.

“නෑ ඉතින් ඔය ඔක්කොම ප්‍රශ්න වලට මුල වුනේ ඕකනේ.”

ඉසුරි මද සිනහවක් පෑවේ ඉවත බලාගෙනය. නැන්දා පවසන්නේ අසත්‍යක් නොවේ. අම්මා ඉවසීම අවමයෙන් වූ ගැහැණියකි.”

“ඉදහං මං  උඹට තේ ටිකක් හදන් එන්න. අද ඉතින් මට මේකත් එක්ක බඩ පිරෙන්න බත් කන්න පුළුවන්.”

ඇය පැවසූයේ පොළොස් ව්‍යාංජනය සහිත කුඩා පෙට්ටිය අතට ගනිමින්ය.

නැන්දා ස්වභාවයෙන්ම නපුරු ගැහැණියක වූවාට විටෙක ඉසුරිට සලකන්නේ දියණියකට සේය. එහෙත් ඒ සිතුවිලි වෙනස් වන්නේ කවදා කොයි වේලේදැයි අනුමානයෙන්වත් සිතාගත හැකිකමක් නොවේ. ඉස්සර තාත්තා නැන්දාව හඳුන්වන්නේ අහසක් ලෙසය. ඒ හිටි හැටියේම වෙනස් වන නිසාය. 

අම්මා විවාහය ගැන නැන්දා සමග කතා කරන්නයැයි පැවසුවත් ඉසුරිට ඊට වුවමනාවක් වූයේ නැත. කොහොමටත් ඒවා කතා කරමින් පිළිවෙලක් කළ යුත්තේ වැඩිහිටියන්ය. ඇය පැය දෙකකට වඩා පාරින්දගේ නිවසේ රැඳී සිටියත් ඔහු නිවසට පැමිණියේ නැත. කොහොමටත් ඔහුගේ නිවාඩු දවස් ගෙවී යන්නේ  මිතුරන් සමඟය. ඒ දිනවල ඔහු මත්පැන් පානය කරන බව ඉසුරි දැන සිටියාය. එහෙත් නැන්දා ඒ බවක් පිළිගැනීමට කැමති නැත. ඇය නිරතුරුවම පවසන්නේ රජයේ රැකියාවක් හිමි සුරා සූදුවෙන් තොර තම පුතණුවන් ඉසුරිට වාසනාවක් බවය. 

                                        **********

“බිනර උන්නේ නයනාගේ උකුලේ හාන්සි වී ගෙනය. ඇගේ අතැඟිලි ඔහුගේ හිස කේ අතර ඇවිද යමින් තිබිණි. ඇය ඇගේ රෝගී බව කිසිවෙකුට පෙන්වීමට කැමති වූ අයෙකු නොවේ. ඕ ශක්තිමත්ව මනස දියුණු කරගෙන සිටියාය. අදටත් ජයවර්ධන නිවසේ සියලු පාලනය සිදුවන්නේ ඈ අතින්ය. රෝගී තත්ත්වය පවා පරදමින්  සිටියේ ඇගේ මානසික ශක්තියය.

“දැන් ඇති ඉලංදාරිය මෙහෙම හුරතල් උනා.  මට කියන්නකෝ ඔයාගේ ඔෆිස් එක ගැන විස්තර. අක්කනං කිව්වා ඔයා දැන් වෙනදට වඩා උනන්දුවෙන් වැඩ කරනවා කියලා. මේවා අපේ දේවල් පුතා. අපි මේවායින් ජීවත් වෙනවා වගේම සිය ගණනක් ළමයි අපි යටතේ වැඩ කරලා ජීවත් වෙනවා. අපිට ඒගොල්ලෝ ගැන යුතුකමක් වගකීමක් තියෙනවා. පුතේ ඔයා ඒක කොහොම හිතුවත් ජයවර්ධන පරම්පරාව ඉස්සරහට ගෙනියන්න, මේ දේවල් රැක ගන්න, වැඩිදියුණු කරන්න ඔයාට යුතුකමක් තියෙනවා. ඒ වෙනුවෙන් ඔයා බැඳිලා ඉන්නවා. ඔයා ඉක්මනින්ම ඒ දේවල් අවබෝධ කරගන්න ඕනේ. අපිට යුතුකම් වගකීම් වලින් පැනල දුවන්න බෑ පුතා. කවද හරි මේ හැම දෙයක්ම ඔයාගේ.”

“නෑ මට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. වෙලාවකට සීය තාත්තගෙයි අපේ තාත්තගෙයි  සමහර තීරණ මට දිරවන්නේ නෑ. ඒක නෙමෙයි අම්මා, තාත්තා මේ ෆැමිලි එකේ පුතා කියල දැන ගනිද්දි ඔයාලගේ එෆෙයාර් එකට කොච්චර කල්ද”

“අවුරුද්දක් විතර..ආපස්සට හිතද්දි ඒ කාලෙ හරි ලස්සනයි පුතා. සමහර වෙලාවට තාත්තට මගේ ළඟදි ඇත්ත කියාගන්න බැරුව අසරණ වුණා කියලා මට හිතුනෙ මේ දේවල් දැනගත්තට පස්සේ. ඉස්සර තාත්තා හරි අහිංසකයි පුතා. ඇත්තටම එයා ඒ රඟපෑමනම් හොඳටම කළා. ඔයා වගේ නෙමෙයි සීයා තාත්තා ඔයාගේ තාත්තව ඩිලිවරි පවා යැව්වා. හැබැයි ඉතින් ඒ පුහුණුව තාත්තව මේ තරම් දුරක් ගෙනාවා. තාත්තා ඔයාට එච්චර වද දෙයි කියලානම් හිතන්න අමාරුයි. තාත්තට ඕනේ ඔයාට මිනිස්සු අතර ගැවසෙන්න ඉඩ දෙන්න”

“ප්‍රශ්නයක් නෑ මං කැමතියි.”

බිනර එසේ පැවසූයේ හිතාමතා නොවේ.ඔහුගේ මුවේ  මන්දස්මිතයක් සටහන්ව තිබූ අයුරු නයනා හොඳටම දුටුවාය. ඒ දෑස් විමතියෙන් විසල් වූයේත් එනිසාය. මේ ඊයේ පෙරේදා වනතුරුත් කාර්යාලයට යාමට අකමැත්ත ප්‍රකාශ කරමින් නිවස තුළ පෙරළි කල තරුණයාය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here