මට මගේ දරුවව හොඳටම දැනෙන්න පටන් ගත්තෙ එයා මගේ බඩ ඇතුලෙ ඉඳන් බඩට පයින් ගහලා එක එක දේවල් මාත් එක්ක කියන්න පටන් ගත්තම. මාව බලපු ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ දොස්තර මහත්තයයි, මිඩ් වයිෆ් නෝනයි “දරුවා ඔය අම්මා එක්ක කතාකරන්න තමයි හදන්නෙ” කියලා කිව්වට දරුවා කියන්න හදන්නෙ මොනවද කියන එකවත්, මං දරුවට කියන්නෝන මොනවද කියන එකවත් ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ. ඒ හන්දම මම මට කියන්න හොඳයි කියලා හිතිච්ච දේවල් මේ දරුවා එක්ක කිව්වා.
මුලින් මට ඒක විශ්වාස කරන්න බැරි වෙච්ච බව ඇත්ත. මම තාම පොඩි කෙල්ලෙක්, ජීවිතේ ගැන ඉගෙනගන්න කාලේ උන්න කෙල්ලෙක්. හැබැයි එකපාරටම මම තවත් ජීවිතයක් මගේ ඇඟ ඇතුළේ දරාගෙන ඉන්නවා කියන එක මගෙ හිතට දරාගන්න එච්චර ලේසි උනේ නෑ. මං උන්නෙ බයෙන්. මං මොනවද කරන්න ඕන කියලා දන්නේ නැති වෙයි කියලා බයෙන්. මම තාම මේ කිසි දේකට ලෑස්ති නැහැ කියන බයෙන්. අම්මා කෙනෙක් විදියට මම අසාර්ථක වෙයි කියලා බයෙන්.
මගේ බඩ ඇතුළේ ඉඳන් දරුවා දඟලන්න පටන් ගද්දි, පස්සේ ඒක තදින්, පොඩි පයින් පහරවල් වගේ දැනෙන්න ගද්දි ඒ හැඟීම් මාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. “මම තනිවෙලා නැහැ” කියලා ඒ හැම පාරක්ම මට මතක් කරා. මගේ ඇඟ ඇතුළේ මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන කෙනෙක්ව දරාගෙන ඉන්නවා කියලා මම තේරුං ගත්තා.
තරුණ වැඩියි, දුර්වලයි, ලෑස්ති නැහැ කියලා මං මුලින් හිතුවට හැබැයි හෙමින් හෙමින් මට තේරුම් ගියා, අම්මා කෙනෙක් වෙන්න පරිපූර්ණ වෙන්න ඕන නෑ. උත්සාහ කරන්න විතරයි ඕන කියන එක. හැම මොහොතකම ළඟින් ඉන්න, ආදරය කරන්න, මම හිතුවට වඩා ශක්තිමත් කෙනෙක් වෙන්නයි ඕන කියලා මට තේරුම් ගියේ චුට්ට චුට්ට.
මගේ ඇඟ වෙනස් වෙන්න ගත්තා. මුලින් ඒක බරක් වගේ දැනිච්ච බව ඇත්තක් උනත් ඒ බය, බර මැද්දේ හරිම ලස්සන දෙයක් වුණා.ඒ මම මාව අම්මා කෙනෙක් විදියට පිළිගත්ත එක. මම මගේ බඩේ ඉන්න දරුවව මගේ දරුවා කියලා පිළිගත්ත එක. මගේ ජීවිතේ කවදාවත් කලින් තිබුණ විදියටම නොවෙන බව මම පිළිගත්තා. ඒත් වෙනදා වගේ මං ඒ හැඟීම දුකකින් භාරගත්තෙ නෑ. මොකද මම ඒ වෙද්දිත් මගෙ ඇඟ ඇතුළෙන්ම, මුළු හදවතින්ම දරුවට ආදරය කරන්න පටන් අරන් තිබුණ හන්දා.ඒක “මම සිංගල් මම්” කෙනෙක් කියන බයට වඩා ලොකු “මං මගේ දරුවට මහමෙරක් ආදරෙයි” කියන අන්දමේ ආදරයක්. ඒ ආදරය මාව නිවැරදි මාර්ගයට ගෙන යාවි, මට සමාජෙට දෙන්න උත්තර නැති වෙලාවටත් ඒ ආදරය මාව, මගෙ ආදරේ පරිස්සම් කරාවි කියන විශ්වාසෙ මගෙ හිතේ තිබ්බා.
“ඔයාට තාත්තා කෙනෙක් නැති බව ඔයා මේ ලෝකෙට ආවම ඉගෙන ගනීවි. ඒක මුලින් ඔයාට ප්‍රශ්නයක් නොවුනට සමහර වෙලාවට ඔයා පස්සෙ කාලෙක මා එක්ක ඒකට අමනාප වෙයිද කියන්න මම දන්නෙ නෑ. ඔයා එහෙම අමනාප උනත් මං කවදාවත් ඔයා එක්ක අමනාප වෙන්නෙ නෑ. මොකෝ මම දන්නවා ඔයා උනත් හිතන්න පුලුවන් බව, කසාද නොබැඳපු අම්මා, තාත්තා කෙනෙකුත් නැතුව මාව හැදුවට වඩා හොඳයි මරලා දැම්මා නම් කියලා මිනිස්සු අහන ප්‍රශ්න ඉස්සරහා අසරණ උනාම.
ඒත් එහෙම අනාගතයක් එන්න කලින් මේ වර්තමානෙදි මං කියන්න කැමති. පුතේ කවුරු නැතත් ඔයාට මං ඉන්නවා. ඔයාව මේ ලෝකෙට අරන් එන්නෝන කියලා තීරණය ගත්තෙ මං වෙච්ච එකේ ඔයාට ජීවිතේ ඉස්සරහට මූණ දෙන්න වෙන හැම ප්‍රශ්නෙකදිම ඔයා එක්කම, ඔයා ලඟින්ම මං ඉන්නවා කියන එක පොරොන්දු වෙනවා. ඔයා මං ගැන මොන විදියට හිතුවත් මං හැමදාම ඔයා ගැන හිතන්නෙ ආදරෙන්ම විතරයි”
හැමදාම රෑට බෝඩිමේ උඩ ස්ලැබ් එකේ වාඩිවෙලා හඳ දිහාව, එහෙම නැත්තම් තරු පිරිච්ච අහස දිහාව බලාගෙන මං කල්පනා කරේ ඔන්න ඕවා. ඒ වෙද්දි මං උන්නේ මම දැනටම අම්මා කෙනෙක් වෙලා කියලා හිතාගෙන.
“මේ දරුවට තාත්තා කෙනෙක් උන්නා නම් මේ වෙලාවෙ හරියට සන්තෝස වෙයි, කොච්චර නම් ඕන කරන ජාති ගෙනත් ගේ අස්සෙ ගොඩගහවි නේද?” කියලා මට කල්පනා නොවුනේ නැත්තෙ නෑ. ඒත් ඒ කිසිම තැනක ඒ දරුවාගෙ තාත්තා ගයාන් වෙන්නෝන කියලත් මට හිතුනෙ නෑ.
“ඔයා හම්බුනේ නැත්තම් මගෙ ජීවිතේ තිබ්බෙ ඇත්තටම කාන්තාරයක් වෙලා” කියලා ගයාන් කිව්වේ මං එයා එක්ක නිදාගත්ත කීවෙනි වතාවෙද කියන එක ඇත්තටම මට මතක තිබ්බෙ නෑ. මොකද ඒ වෙද්දි අපි දෙන්නා හම්බෙලා ගතවෙච්ච දවස් ගානට වඩා වැඩි ගාණක් අපි දෙන්නා ඇඳවල් උඩ ගෙවලා තිබ්බා. මුලින් ගයාන් කියන්නෙ තනිකඩ කොල්ලෙක් කියලා හිතාගෙන උන්නට ගයාන් කසාද බැඳලා එතකොටත් අවුරුදු පහ හයකට වැඩි කියන එක මම දැනගත්තෙ පස්සෙ.
“ඇයි ගයාන් ඔයා මට මෙහෙම බොරු කිව්වේ?” කියලා මුලින් ඇඬුවට ඒ වෙද්දි ආපස්සට හැරෙන්න බෑ කියලා මං දැනං උන්නා. ඒත් ඒක ආපස්සට හැරිලා බැලුවම ආපස්සට හැරෙන්න බෑ කියලා හිතිච්ච හැඟීමකට වඩා වරදක් කරන්න, රහසෙන් තව ගෑනියෙක්ගෙ මනුස්සයෙක් එක්ක ඉන්න මට තිබ්බ පහත් අදහස් වගේම, “මොන දේ උනත් එයා ආදරේ මට” කියලා හිතිච්ච මෝඩකම විත්තිය මං තේරුම් ගනිද්දි ගයාන්ගෙ නමෙන් දරුවෙක් මගේ බඩට ඇවිත් ඉවරයි.
“ඇයි ඒ කාන්තාරයක් වෙන්නෙ? මොකෝ මං නැතුව උන්න කාලෙට එහෙට වැස්සෙ නැද්ද?” කියලා මං ඇහුවෙ ගයාන්ගෙ පපුව උඩින් ඔලුව තියාගෙන එයාගේ ලාවට අලු පාට වීගෙන එන පපුවෙ රෝම අස්සෙන් ඇඟිලි යවන ගමන්.
ගයාන් උන්නෙ මගෙ පිට උඩින් අත දාගෙන මාව හෙමින් සැරේ අතගාන ගමන්.
“නෑ නාද්‍යා. ඕනම පිරිමියෙක් හරි ආසයි තමන්ගෙ ලෙයින් උපන්න පැටියෙක්ව තමන්ගෙ අත් දෙකේ තියාගෙන නලවන්න. ලෝකෙටම ඇහෙන්න මේ පණ ගැහෙන්නෙ මගේ ලේ කියලා පෙන්නන්නා. ඒත් ඒ වාසනාව මට නෑ. ඇත්තටම මමයි තාරුකයි දෙන්න මේ කසාදෙ පවත්වාගෙන යන්නෙ සමාජෙට පේන්න නේද, ලෝක සම්මතේට එරෙහි වෙන්න බැරි හන්දා නේද කියලා මමම කී පාරක් නම් හිතලා තියෙනවද?
වැරැද්ද, අඩුපාඩුව තියෙන්නෙ මගෙ නෙවෙයි කියලා තේරෙද්දි පවා මං ඉවසගෙන ඉන්නෙ මොනවා උනත් මේ මං කාලයකට කලින් ආදරේ කරපු, මං කසාද බැන්ද ගෑනි කියලා හිතලා මිසක් මගේ දරුවෙක්ව මේ ලෝකෙට අරන් එන්නෝන කියන කාරණාව අමතක කරලා නෙවෙයි.
කසාද බැඳලා ගෙවිච්ච අවුරුදු හයෙන් අවුරුදු කීයක්නම් අපි දොස්තරලා පස්සෙ ගියාද? අරයා මේ දොස්තර හොඳයි කියද්දි ඒ පස්සෙ ගියා. මේ දොස්තර හොඳයි කියලා ඒ පස්සෙ ගියා. සිංහල බෙහෙත් හොඳයි කියද්දි ඒ පස්සෙ ගියා. අන්තිමේ ඒවයින් වැඩක් වෙච්ච නැති තැන අපි දේවාල, කෝවිල් පස්සෙ ගියා. අන්තිමේ කරන්න පුලුවන් අත ඇරලා දාන එක හන්දා ඒක කරා.
ඒත් හිත දරුවෙක්ව දකින්න බලාපොරොත්තු වෙන එක එහෙම ලේසියෙන් අත ඇරලා දාන්න මට පුළුවන් උනේ නෑ නාද්‍යා. මගෙ හිතේ තියෙන වේදනාව කාටවත් පෙන්නන්නෙ නැති උනාට පොඩි දරුවො දකින හැමවෙලාවකම මටත් මෙහෙම දරුවෙක් උන්නා නම් කොච්චර හොඳද කියලා හිතෙන එක අමතක කරන්න, යටපත් කරලා දාන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ. තියෙන එකකුත් නෑ” කියලා ගයාන් එදා වේදනාවෙන් අත ඇරලා දාපු ගැඹුරු හුස්ම අද මට අයිති වෙලා තිබ්බා.
“ගයාන්ගෙ නෝනට දරුවො දෙන්න බැරිවෙච්ච එකේ, ගයාන් එච්චර දරුවන්ට ආදරේ වෙච්ච එකේ එයා අපි දෙන්නගෙ දරුවා නැතිකරමුද කියලා ඇහුවෙ කොහොමද කියන ප්‍රශ්නෙ මට තාම තියෙනවා අක්කේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්න ගයාන් ලඟ විතරමයි කියලත් මං දන්නවා” කියලා මම කාන්ති අක්කට කිව්වෙ ඒ ගැඹුරු හුස්ම හුළඟට එක්කහුවෙලත් සෑහෙන්න වෙලාවක් ගියාට පස්සෙ.
“සමහර වෙලාවට ගෑනු මොන තරම් කැපකිරීම් කරත්, මොන තරම් වටින දේවල් ගෙනත් දුන්නත් පිරිමින්ට ඒවයි වටිනකමක් පේන්නෙ නෑ නංගි අඩුපාඩුවක් මිස.
මොකද ඒ කැපකිරීම් කරේත්, වටින දේවල් ගෙනත් දුන්නේ තමන්ට ඕන වෙච්ච, තමන් බලාපොරොත්තු වෙච්ච ගෑනි නොවෙන හන්දා’