“අපි දිහා දුර්වලයන් ලෙස බලන්න එපා”

මෙම වසරේ New York Fashion Week හි සියළුදෙනාගේ අවධානය එක් සුවිශේෂී නිරූපිකාවක් වෙත යොමුවුණා පමණක් නොව, ඇය සැමගේ ප්‍රසාදය දිනාගන්නත් සමත්වුණා.

රේෂ්මා කුරේෂි (Reshma Qureshi) පළමු වතාවටයි New York Fashion Weekහි නිරූපිකාවක් ලෙස සහභාගිවූයේ. ඒ FTL Moda හි අනුග්‍රහය මතයි. ඇගේ සුවිශේෂත්වය වන්නේ ඈ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වී ඉන් බේරුණු අයෙකු වීමයි.

දකුණු ආසියාව විශේෂයෙන්ම ඉන්දියාව කාන්තාවන් හා දරුවන් වෙත ඇසිඩ් ප්‍රහාර එල්ලකිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් දරයි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ටැක්සි රථ රියදුරෙකුගේ බාලම දියණියවන රේෂ්මා මීට වසර දෙකකට පමණපෙර ඇසිඩ් ප්‍රහාරයකට ලක්වී එක් ඇසක් අහිමිව මුහුණෙහි දැඩි පිළිස්සුම් තුවාල ලැබුවාය. ඇය 10 වසරේ විභාගයට පෙනීසිට සිය සොයුරිය හා නිවසට පැමිණෙමින් සිටියදී සිය මස්සිනා අතින් මෙම ප්‍රහරයට ගොදුරුවිය. සොයුරියන් දෙදෙනාම පර්දාවන් පැළඳ සිටි හෙයින් සිය බිරිඳයැයි වරදවා වටහාගෙන රේෂ්මාවෙත මෙම ප්‍රහාරය එල්ල කළේය.

එම දරුණු අනතුරින් පසුව එවැනි අනතුරකට මුහුණ දුන් අනෙක් පුද්ගලයන් මෙන්ම ඇයත් ලෝකයෙන් සැගවෙලා ජීවත් වෙන්න උත්සහා කරනවා, පමණක් නොව සියදිවි නසා ගැනීමටත් ඇය උත්සහා කරනවා. නමුත් ඇයගේ ජීවිතයට දේවාශිර්වාදයක් ලෙස හමුවන රියා ෂර්මා මාර්ගයෙන් ඇයට මෙවැනි පුද්ගලයන්ව මානසිකව ශක්තිමත් කරන ස්වේඡ්චා සංවිධානයක් සමග සමිබන්ධ වීමට හැකි වෙනවා.

 ජීවිතය දෙස නැවතත් සුභවාදී මනසින් බලන ඇය පසුව Make Love Not Scars නම් ස්වෙච්ඡා සංවිධානය හා එක්ව ඇසිඩ් ප්‍රහැරයන්ට ලක්වී ඉන් බේරුණු අය දිරිමත් කිරීම ඇරඹුවාය. අනඟි රත් පැහැ දෙතොලක් ලබාගන්නේ කෙසේද යන්න YouTube වීඩියෝවක් හරහා කියාදෙමින් ඈ පැවසූයේ යමෙක්ට ඇසිඩ් මිලදි ගන්නවා තරම්ම පහසුවෙන් රත් පැහැති තොල් ආලේපණයක් ‍වෙළඳපලෙන් මිලදී ගතහැකි බවයි. මෙය දස දහසක් මිනිසුන්ගේ හදවත් ස්පර්ෂ කල වීඩියෝවක් බවට පත්වුණා. මෙම වීඩියෝව ප්‍රංශයේදී මහත් අවධානයට පත්වූ අතර සම්මාන රැසක් දිනාගත්තා.

 ඇග් රූපලාවන්‍ය උපදෙස් වීඩියෝවන් YouTube හි ඉතාමත් ජනප්‍රියයි. YouTube ආයතනය සමාජ සත්කාරයක් ලෙස ඇග් රූපලාවන්‍ය උපදෙස් වීඩියෝවන්ට අනුග්‍රහය දැක්වීම ඇරඹුයේ ඉන්දියාව් ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමටයි.

19හැවිරිදි කටකාර දඟකාර මෙම යෞවනියද අනෙක් ඉන්දියානු යුවතියන් මෙන්ම Katrina Kaifගේ චිත්‍රපට බලන්නටත්, හැඩට ඇඳපැළඳ selfies ගන්නටත් ප්‍රියකරන්නීය. End Acid Sale නම් විලාසිතා දැක්මට පෙනී සිටි ඇයට මෝස්තර නිරූපණයට ඉල්ලීම් ගලාඑන්නට වුණා. ඈ දැන් අතිශයින්ම සාර්ථක ඉන්දීය මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන Archana Kochh ගේ නිත්‍ය නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා.

New York Fashion Week වෙත සහභාගී වීමෙන් අනතුරුව මෙම නිර්භය තරුණිය මාධ්‍ය වෙත ප්‍රකාශකළේ මිනිසුන් අප දෙස බලන්නේ අමුතු විදිහකට, අපි දිහා දුර්වලයන් ලෙස බලන්න එපා යනුවෙනි.

සුළු දේටත් ගැහැනියකට හිංසාකරන මිනිසුන් සිටින ලොවක වැටුණු කාන්තා ජීවිතවෙනුවෙන් දිරිය දෙන්නට හැකියාව මෙම පියකරු යුවතියට ලැබේවායි පතමු.

-කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles