“නංගිට දැන් බබා හම්බුනාම මෙහෙ වැඩට එන්න අමාරු වෙයි නේද?” කියලා උත්තරා අක්කා අහද්දි තමයි මට හොඳටම කල්පනා උනේ ඒ කතාවෙන් උත්තරා අක්කා දැනුම් දුන්නේ එයාලට වෙන ඔප්ශන් එකක් බලන්න වෙනවා කියන එක. හැබැයි දරුවෙක් අත් දෙකේ තියාගත්ත, තමන්ගෙ කියලා කිසිම කෙනෙක් ළඟක නැති ගෑනියෙක්ට රස්සාවක් දෙන්න කවුරුවත් කැමති නැතෙයි කියන කාරණාව මට ඒ වෙලාවත් මතක් උනා.
ප්‍රශ්න එද්දි එන්නෙ හිතන්නෙ නැති තරම් වේගෙන් විත්තිය මට තේරුම් කරලා දුන්නේ දරුවා ලැබෙන්න උන්න ඔන්න ඔය මාස දහයක කාලෙකදි. ඇඟට දැනිච්ච අමාරුව එක්ක, තාත්තෙක් නැති දරුවෙක් හදන හිතට දැනිච්ච අමාරුව එක්ක, “හෙට දවසෙ මම කොහොමද මගේ දරුවා එක්ක සර්වයිව් වෙන්නෙ” කියන අමාරුවත් මට තිබ්බා. ඒත් ඒ ප්‍රශ්නවලට මම මේ දැන් හිතුව ගමන් උත්තර ලැබෙන්නෙ නැති බවත් මම හිමින් සීරුවෙ, හැබැයි ඉක්මනින් මේකට උත්තර හොයන්න ඕන කියන කාරණාවත් මට ඒ අස්සෙම මතක් උනා.
“දරුවා හම්බුනාට පස්සෙ, දරුවා ඔය ඇවිදින කරන කාලෙක නම් මට උනත් දරුවා බලාගන්න පුලුවන් බව ඇත්ත නංගියෙ. හැබැයි පලවෙනි අවුරුද්දක වගේ කාලෙ අම්මා ඉතින් දරුවා ළඟම ඉන්නොන නේද? එහෙම බැලුවම නංගිට ඇත්තටම කමියුනිකේශන් එකේ වැඩට යන එක කරන්න ලේසි වෙන්නෙ නෑ සෑහෙන කාලයක් යනකම්” කියලා කාන්ති අක්කා කිව්වේ රෑ බිත්තර කිරි හොදි හදපුවා එක්ක කංකුල් තෙල් දාලා රතු බත් කන ගමන්. කාන්ති අක්කා මට බෝඩිමක් දුන්නට, මේ ගෙවිච්ච මාස ගාණට කාන්‍ති අක්කයි මමයි සෑහෙන්න ලං වුනා. අපි දෙන්නම අපි දෙන්නව පිළිගත්තා. ඒ හන්දම මට වඩා අවුරුදු දහයකටත් වඩා ඉස්සරහින් ජීවිතේ අත් දැකලා උන්න කාන්ති අක්කා කියන දේවල් පිළිගන්න, අහන්න, කරන්න මට ලේසි වුණා, පුළුවන් උනා.
“දරුවාව අක්කට දීලා රස්සාවකට යන්න කියලා අදහසක් මට ඇත්තටම නෑ අක්කේ. අක්කා මට මේ තමන්ගෙ දරුවෙක්ට වගේ සැලකුවට අක්කේ මං ඇත්තටම බෝඩිමේ ඉන්න කෙනා. එහෙම එකේ අක්කා මගෙ දරුවා වෙනුවෙන්වත් එහෙම කරදර වෙන එක මගෙ හිතට හරි නෑ.
ඒ උනාට කවුද කියන්නකො අක්කේ දරුවෙක් උස්සන් වැඩට එන කෙනෙක්ව රස්සාවකට ගන්න කැමති වෙන්නෙ? එහෙම රස්සා කරන්න පුළුවන් තැන් මොනවද අක්කෙ? එහෙම ඒවා කොහෙන්ද හොයාගන්නේ? ඔය ප්‍රශ්න වලට උත්තර මේ ලෝකේ කොහෙවත් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. ඒ හන්දා ඒකට උත්තර හොයනවට වඩා නොහොය ඉන්න එක ලේසියි කියලා හිතලා මං ඉන්නෙ අක්කෙ. මේ වෙලාවෙ බඩේ එක බරක් දරාගෙන ඉද්දි ඔලුවෙන් තවත් බරක් දරාගන්න මට ඇත්තටම ෆිට් එකක් නෑ අක්කේ” කියලා කිව්වට ඔය ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් දෙන්න දවසක් ඉක්මනට එනවා කියන කතාව මට අමතක වෙලා තිබ්බෙ නෑ.
මගේ පොතේ ඒ වෙද්දිත් මං මොඩ්ලින් කරලා හම්බ කරගත්ත ඒවායින් සැලකිය යුතු ප්‍රමාණය ඉතුරු වෙලා තිබ්බා වගේම ඒ වෙද්දි යන්තං සංතන් පදම් අබිසමෙච්ච ලෙවල් එකකින් ජීවත්වෙන විදිය මම ඉගෙන ගෙන උන්න හන්දා කමියුනිකේශන් එකෙන් ලැබිච්ච ගාන ඇත්තටම මට ඇති කියලා හිතෙන තැනකට මම ඇවිත් උන්නා. අනික් අතට මේ ගෙවිච්ච මාස ගාණ ඇතුලෙදි “මටත් වඩා මට වැදගත් මගෙ දරුවව, සැප විඳින්නෝන මම නෙවෙයි මගෙ දරුවා” කියන ටිපිකල් ශ්‍රී ලංකන් අම්මා මයින්ඩ් සෙට් එක මගෙ ඔලුව ඇතුලෙත් කැරකි කැරකි තිබ්බා.
ඔය කාලෙදිම වගේ තමයි කාන්ති අක්කලගෙ ගෙවල් ළඟ උන්න මංජුල මගෙ පස්සෙන් කැරකෙන්න පටන් ගත්තෙ. මංජුලගෙ වීල් එක තිබ්බේ හන්දියේ. උදේම එතනට ගිහිල්ලා වීල් එක එතන පාක් කරගන්න මංජුල ආය ගෙදර එන්නෙ හැන්දෑ වෙලා. මංජුල ජීවත්වෙච්ච ගේ තිබ්බේ කුණු ඇල අද්දරට වෙන්න තිබ්බ කාන්ති අක්කලගෙ ගෙදෙට්ට ගෙවල් පහලවකට විස්සකට එහා හන්දා, කුණු ඇල අයිනෙ ගෙවල් තිබිච්ච වත්තෙ මිනිස්සු ඒ පැත්තෙ ගෙවල් තියෙන අයව සැලකුවෙ තමන්ට වඩා ඉහල ජන කොට්ටාසයක් විදියට. ඒක හරියට අර මරදානයි කොළඹ හතයි වෙන් කරන බෝඩරේ වගේ වෙනස්කමක්. කුණු ඇලේ ගඳයි, විසබීජයි අපිට තරම් නොදැනෙන, පාරට, හන්දියට ලඟින්, උඩහින් පිහිටලා තිබ්බ ඒ ගෙවල් ඇත්තටම කාන්ති අක්කලගෙ ගෙවල් වගේ වැස්ස කාලෙට ලොකුවටම වතුරට යට උනේ එහෙමත් නෑ.
මංජුලට උන්නේ අම්මා විතරයි. ඒ අම්මා උන්නෙ අංශබාගෙ හැදිලා ගෙදරට වෙලා, අංශභාගෙ කිව්වේ එක අතකුයි එක කකුලකුයි විතරක් පන නැති වුනාට ඉස්සර වැඩ කරා වගේ බාගෙකින් වැඩ කරන්න පුළුවන්කමක් තිබිච්ච හන්දා පුත්‍රයා වීල් පාක් එකේ මහන්සිවෙලා එද්දි ගෙයි අස්පස් කිරිලි, ඉවිලි පෙවිලි එහෙම කරන්න පුලුවන්කමක් ඒ “ආන්ටිට” තිබ්බා.
මංජුල මගෙ පස්සෙන් එන විත්තිය මං තේරුම් ගත්තෙ ඇත්තටම කාන්ති අක්කා තේරුම්ගත්තටත් පස්සෙ.
“අර අක්කලගෙ ගෙදර බෝඩ් වෙලා ඉන්න ළමයා අක්කගෙ නෑයෙක්ද?” කියලා මංජුල තමන්ගෙන් අහපු විත්තියත් “නෑ ඒ අපේ බෝඩ් වෙලා ඉන්න ළමේක්” කියලා තමන් උත්තර දුන්න විත්තියත් කාන්ති අක්කා මට කියද්දිවත් මංජුල එහෙම අහන්නෙ මෙහෙම දේකට කියලා මං ඇත්තටම හිතුවෙ නෑ. ඒක එක පැත්තකින් මගෙ මරි මෝඩකමද එහෙම නැත්තම් බඩක් උස්සගෙන උන්නට මං තාම මේ ලෝකෙ අස්සෙ, සමාජෙ අස්සෙ තෙම්පරාදු වෙලා නෑ කියන එකද කියලා මාත් දහ අතේ කල්පනා කරා.
“මං හිතන්නෙ මංජුල ඉන්නෙ නංගි ගැන කැමැත්තෙන්” කියලා කාන්ති අක්කා කියද්දි මං හිත අස්සෙන් දහස් වතාවක් කල්පනා කරා “දරුවෙක් ලැබෙන්න ඉන්න, මිනිහෙක් තියා කසාදයක්වත් නැති ගෑනියෙක්ව භාරගන්න කැමති මනුස්සයාට මං කියන්න ඕන මෝඩයා කියලද දෙයියෙක් කියලද?” කියලා.
“පිස්සු මනුස්සයෙක්නෙ? මං ඉන්නෙ දරුවෙක් ලැබෙන්න බඩක් උස්සන් කියන එක ඒ මනුස්සයා දැකලා නැද්ද?”
“දැකලා නං ඇති ඉතින්. නංගි වීල් පාක් එක ළඟින්නෙ කමියුනිකේශන් එකට යන්නෙත්. එහෙම එකේ නොදැක ඉන්න හැටියක් නෑනෙ නේද?”
“ඉතින් එහෙම එකේ ඒ මනුස්සයා මොකටද අක්කෙ මං ගැන හිතන්නේ? හරි මෝඩයෙක්නෙ” කියලා මං කිව්වට කාන්ති අක්කා ඒකට උත්තර දුන්නේ නෑ. බාගදා අක්කට උනත් හිතෙන්න ඇති “එහෙම හරි මිනිහෙක් තමන්ව භාරගන්න ලෑස්ති වෙනවා නම් ඒකට කැමති නොවී බක පණ්ඩිතකම් කියවන්නෙ මොන මෝඩ ගෑනියෙක්ද මේ?” කියලා.
ඉන්පස්සෙ වීල් පාක් එක ලඟින් කමියුනිකේශන් එක යද්දිත් මං හරියට වෙනදට වඩා පරිස්සම් උනා මංජුල උන්නොත් නොදැක්කා සේ යන්න කියලා. මොකද ඒ වෙද්දි මගෙ හිත තේරුම්අරගෙන උන්නා “මං ඔයාව භාරගන්නම්” කියාගෙන එන මුලදි දෙයියෙක් වගේ පෙනිච්ච මනුස්සයෙක් උනත් පස්සෙ කාලෙක යකෙක් විදියට හැරවෙන්න විදියක් නැත්තෙම නෑ කියන එක. ඒ පාඩම මං ඉගෙන ගත්තෙ මං හොඳටම ආදරේ කරපු, එහෙම නැත්තම් එහෙමයි කියලා හිතාගෙන ඒ හන්දම නිදාගත්ත, අන්තිමේ මගෙ බඩට දරුවෙක් දීලා අන්තරස්දාන වෙච්ච ගයාන් හන්දා කියන හිත් වේදනාව නිතර නිතර උඩට ඇවිත් ආය ආය කිව්වා “නාද්‍යා මෝඩ ගෑනි, පුළුවන් නං උඹ ආය වලක වැටියන්කො” කියලා.
ඒත් තමන් කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ සමහර කරදර තමන් පතාගෙන ඔතාගෙන ආව ඒව විත්තිය මට තේරුණේ, කවදාවත් නැති විදියට මංජු කමියුනිකේශන් එකේ දොරෙන් ඇතුළට ආව වෙලාවක.