ළපෙති මල් -27

“මට ඔයාලා දෙන්නට කියන්න වැදගත් කාරණාවක් තියනව..”

දෛනික වැඩ අවසන් වන්නට ස්වල්ප මොහොතකට පෙර මෙවන් – තේජන දෙමස්සිනාවරුන් කාර්යාලයට කැඳ වූ රහල් පැවසී ය.රහල්ට ඉතා පිළිවෙළ රාජකාරි අවශ්‍ය බව දන්නා තේජන කැළඹී ගියේ ය.මෙවන් බලා සිටියේ කුහුලෙනි.

“මන්දාරාත් හිමංගිත් මට වඩා ඔයාලට බොහොම කිට්ටු නිසා මේ කියන්නේ. මට හිතෙනව හිමංගි එයාගෙ අම්ම ගැන හොයන වැඩේට උදව් නොකර ඉන්න එක හොඳ වැඩක් කියලා..”

රහල් පවසද්දී තරුණයන් මුහුණට මුහුණ බලා ගත්තේ ය.යුවතියන් දෙදෙනාට ඒ කාරණාව සොයා ගන්නට දැඩි උවමනාවක් ඇති බව දැනේ.එය වළක්වන අන්දමක් සිතීම පවා පහසු නොවේ.

“ඒක හිමා අක්කගෙ අයිතියක් නැති කිරීමක් නෙවෙයිද තාත්තා?”

මෙවන්, බොහෝ දෑ දෙස බර ඇසකින් බලන යෞවනයා තාත්තාව ප්‍රශ්න කළේ ය.රහල් මාමණ්ඩියට වඩා තමන්ගේ ගුරුවරයා බව සිහි වන තේජන ඔහු සමඟ තර්ක නොකරන තරම් ය.

“හිමංගිට දැන් අවුරුදු විසි පහක්.එයා මේ විසි පහම උස්මහත් වුණේ අම්මා තාත්තා ගැන නාමයක් නොදැනනම් ඒ ගැන දැන් එකපාරටම හොයන්න යන එක එයා හිටියටත් වඩා අවුල් වීමක් පුතා..”

රහල් පවසන දෙය සත්‍යයකි.නමුත් එහි තවත් කාරණාවක් ඇති බව තේජන දනියි.ඔහු හඬ අවදි කළේ එනිසා ය.

“හිමාට ප්‍රශ්නයක් ඇති කරන්න හිතාගෙන ලංකා ආන්ටි දැනටමත් එයාගෙ අම්මා තාත්ත ගැන හොයනව සර්.මම හිතන්නේ හිමා ඊට කලින් ඉස්සර වෙන්න හදන්නේ.”

රහල් එබස් අසා උස් හඬින් හිනැහී ය.ඔහු අනතුරුව කාමරයේ ඔබමොබ සක්මනේ යෙදුණේ ය.

“හිමා දැනටමත් ලංකාට වඩා ඉස්සරහින් කියලා හිමා මුලින්ම තේරුම් ගන්න ඕන.අනිත් කාරණාව එයාගෙ අම්මා තාත්තා ගැන හෙවීම ලංකාට ඔච්චර ආස හිතෙන දෙයක් නම් එයා ඒක කරපුවාවේ.තමන්ම හොයා ගන්න සමහර දේවල් නිසා මිනිස්සුන්ට දරන්න බැරි ෂොක් ඇති වෙනවා.ඒක ලංකාටත් අත් විඳින්න වෙයි..”

රහල්ගේ ඒ කතාව ඇසූ තරුණයන් දෙදෙනාගේ මුහුණේ සැකය ද බියක ද සේයාවක් ඇඳෙන්නට විය.රහල් එය මකා දැමුවේ ද සිනාවකිනි.

“බය වෙන්න එපා.අපේ ජීවිත බොලිවුඩ් ෆිල්ම් එකක් නෙවේ.ඉතින් හිමංගිගෙ අම්මා ලංකා නම් නෙවෙයි.මම ඔයාලගෙ අක්ක කෙනෙක් මැරි කරලා නෑ..”


සැබෑවටම තම දෙමාපියන් ගැන සොයන්නට හිමංගිට ළමා වියේ පවා උවමනාවක් වූයේ නැත.ඇය කිරියම්මාගෙන් ඉඳහිට ඒ ගැන විමසුවා ය.

“කාලකන්නින්ට අම්මල තාත්තලා නෑ.”

කිරියම්මා එසේ පිළිතුරු දුන්නා ය.කිරියම්මා දිනක් කොරටුවට කඩා වැදුණු වළි කුකුලන් රංචුවකට කාලකන්නින්‍ යැයි බැන වැදෙන අන්දම අසා හුන් හිමංගි ඊළඟ දවසේ ඇගෙන් වෙනත් ප්‍රශ්නයක් නැගුවා ය.

“මම ඉපදුණෙත් බිත්තරේකින්ද? කුකුලෝ වගේ..”

එවැනි ප්‍රශ්නවලට ඇයට ලැබුණේ ගුටිබැට ද අපහාස ද පමණි.

“මගේ තාත්තා මා කුඩා කාලයේදී මිය ගියේ ය.අම්මා මට ඉගැන්වීම වෙනුවෙන් විදේශයක දුක් විඳින්නී ය.”

පාසල් රචනාවල එසේ ලියා තැබූ හිමංගි ගුරුවරුන්ගේ වඩා ආදරය දිනා ගත්තා ය. ඒ කුමන කාලයකදීවත් දෙමාපියන් ගැන සොයන්නට ඇගේ හදවත පෙළඹවී නැත.

“මට දැන් මේක හොයන්න හිතෙන්නෙ ලංකා මැඩම්ට බයේ ද නැත්නම් සර්ගෙ කන්ටැක්ස් වලින් මට මේක ලේසි වෙයි කියල හිතිලද කියල මට තේරෙන් නෑ..”

නිවසට පැමිණ රාත්‍රී ආහාර පිළියෙළ කරමින් හිඳින අතර හිමංගි මන්දාරාට පැවසී ය.

“හිමා…”

මන්දාරා හිමංගි ඇමතූයේ හදිසි මතක් වීමකිනි.

“අපිට බැරි ඇයි තාත්තව හොයන්න ඔයාගෙ?”

හිමංගි හිනැහුණේ මිතුරියගේ බොළඳ කල්පනාව වෙනුවෙනි.

“ළමයො, මම තාත්තෙක් නැතුව ඉපදුණු නිසා අම්මා අතෑරල දාපු ළමයෙක්.එහෙව් ළමයෙක්ගෙ තාත්තා ගැන සමහරවිට අම්මටත් අදහසක් නැතුව ඇති.කිරියම්මත් කියල තියනව උඹේ අප්ප ගැන අම්මවත් දන් නෑ කියල.එයා රේප් කරපු මිනිහා මං දුව කියල බාර ගනී ද?”

මන්දාරා තමන්ගේ අදහස ගැන ලැජ්ජා වූවා ය.නමුත් ඊළඟ අදහස ගැන ඇයට නොකියා හිඳින්නට නොහැකි විණ.

“ඔයාගෙ අම්මා ඔයාව කිරියම්මට දාලා ගමෙන් ගිහින් ඔක්කොම අමතක කරල ඉන්නවනම් අපි එයාව හොයාගෙන දැන් එයාගේ ලෝකෙට හානියක් කරනව නේද? ඔයාටත් දැන් ෆැමිලි එකක් තියනවනෙ.තාත්තා ඔයාට ආදරෙයි. මායි මල්ලයි තේජනයිත් ඉන්නව.ආච්චම්මා ඔයාට අම්මෙක් වෙයි.මං ආසයි ඔයා අම්මා කෙනෙකුත් වෙනවට..”

මන්දාරා එසේ කියද්දී හිමංගි ඈ වෙත හෙළුවේ ආදර බැල්මකි.තමන්ගේ විවාහය සම්බන්ධයෙන් දැඩි කම්පනයකින් හුන් මන්දාරා දැන් බොහෝ සිහින දකින්නියකි.

“මං අම්මා කෙනෙක් වෙන එක ගැන නම් හිතන්න ඕන මන්දි.මං ඔයාගෙ යාලුවා උනාට ඒ උපදින්නෙ ඔයාගෙ තාත්තගෙ දරුවෙක්.ඔයාටයි මෙවන්ටයි ඒ තරම් පුංචි සහෝදරයෝ ඕනද? ඒක ඔයාලට ලැජ්ජාවක් වෙන දවසක් එයි..”

මන්දාරා හිමංගි තදින් අල්ලා ගත්තා ය.

“මං ඔයා එක්ක හරි තරහකින් හිටියේ හිමා.ඒත් මට තේරෙන දේ,අපි දැන් ඇත්තටම ආදරෙන් ඉන්න පවුලක්.ඒ පවුලට තව සාමාජිකයො ආවොත් ඒක මටවත් මල්ලාටවත් ලැජ්ජාවක් නම් නෙවේ..”

මිතුරියන්ගේ සුන්දර කතාබහ නැවතියේ වාහන හඬකිනි.නිවසේ එළිමහන් රාජකාරි වල නිරත සෝමදාස නිවස තුළට පිවිසෙන්නට ඉඩ දෙන්නට ඇත්තේ දන්නා හඳුනන කෙනෙකුට ය.ලංකාට හෝ නොදන්නා අයට පැමිණෙන්නට ඉඩ නොදෙන්නැයි මෙවන් ඔහු දැනුවත් කර තිබිණ.

“මං බලන්නං.”

හිමංගි ඒප්‍රණය ගලවා දැම්මේ එසේ කියමිනි.ඈ පිටතට විත් එබිකම් කරද්දී රහල්ගේ වයසට කිට්ටු වයසක මිනිසෙකු බරාඳයේ රැඳී හිඳින අන්දම දුටුවා ය.

“රහල් ඉන්නවද දූ..මේ මන්දාරා නේද? දූට මාව දැන් මතක නැතුව ඇති.මං සුනෙත් අංකල්..”

මේ කාලයකින් නිවසට නොපැමිණි අමුත්තෙකු බව හිමංගිට වැටහුණේ එවදන් නිසා ය.පෙනෙනා අන්දමට මේ රහල්ගේ මිතුරෙකි.ඔහු තමන්ට දූ යැයි පැවසීම ගැන හිමංගිට උපන්නේ ලැජ්ජාවකි.

“මං මන්දාරාගෙ යාලුවෙක්.සර්.කාමරේ ඇති.මං කතා කරන්නං.වාඩි වෙන්න.”

සුනෙත් යුවතියට එකඟ වූයේ හිස සැලීමෙනි.හුරුපුරුදු හැඟීමක් දැනුණු හන්දාම ඔහු සිතුවේ මේ මන්දාරා බව ය.නමුත් මේ ඈ නොවේ.රහල් ළාබාල යුවතියක හා විවාහ වූ ඕපාදූපය මිතුරෙකු පවසද්දී විශ්වාස නොකළ අන්දම සුනෙත් සිහි කළේ ය.නමුත් පෙනෙන අන්දමට කතාවේ අසත්‍යයක් නොමැත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content