පොල්කිරි වලින් රසම රස අතුරුපස වර්ග 03 ක්

පොල් කිරි කියන්නෙ ශ්‍රී ලාංකීය අපි ඉවුම් පිහුම් වලදී භාවිතා කරන සුලභ අමුද්‍රව්‍යයක්නෙ. 

වෛරස්, බැක්ටීරියා වගේ ආසාදන එක්ක සටන් කරන්න ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදව් කරන්න, සන්ධි වේදනා සමනය කරන්න, රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න වගේම ස්නායු පද්ධතිය සහ මාංශපේෂී සැහැල්ලු කරන්නත් පොල්කිරි වලින් ලැබෙන්න හොඳ සහයෝගයක්.  

ඉතිං අද අපි ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ නම් සාම්ප්‍රදායික ක්‍රම වලින් මිදිල පොල් කිරි වලින් හදන්න පුළුවන් හරිම ලේසි වගේම රසවත් අතුරුපස වර්ග 03 ක් ගැන ඔබට කියල දෙන්නයි.

බලමුද ඒ මොනවද කියල ?

පොල්කිරි පුඩිං / Coconut milk pudding 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උකුපොල් කිරි 400 ml
  • කිරි 250 ml 
  • සීනි 50 g 
  • ජෙලටීන් 7 g
  • කිරි 60 ml 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ගෙන එයට කිරි 400 ml, පොල්කිරි සහ සීනි එකතු කර හොඳින් කලවම් කරන්න.

දැන් එම භාජනය ලිපතබා සාදාගත් මිශ්‍රණය අඩු ගින්දරේ මඳ වේලාවක් රත් කරගන්න. 

වෙනත් කුඩා භාජනයක් ගෙන ජෙලටීන් සහ කිරි 60 ml එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් එම ජෙලටීන් මිශ්‍රණය කලින් සාදාගත් පොල්කිරි මිශ්‍රණයට එක්කර හොඳින් කලවම් කරගන්න.

දැන් මේ මිශ්‍රණය මඳක් ගැඹුරු භාජනයකට දමා නිමුණු පසු පැය 04 ක් ශීතකරණයේ තබන්න. 

ඔන්න දැන් අපි පොල්කිරි පුඩිං හදාගෙන අවසන්. 

චොකලට් පොල්කිරි පුඩිං / Chocolate coconut milk pudding 

අවශ්‍ය ද්‍රව්‍ය

  • චොකලට් කුඩු මේස හැඳි 03 
  • සීනි මේස හැඳි 03
  • කෝන්පිටි මේස හැඳි 2 ½ 
  • පොල් කිරි 500 ml
  • ඔබ කැමති චොකලට් 50 g (අත්‍යාවශ්‍ය නැත) 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ගෙන එයට චොකලට් කුඩු, කෝන්පිටි සහ සීනි එක්කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එම මිශ්‍රණයට පොල් කිරි එකතු කර මඳ ගින්නෙ ලිපතබා හොඳින් හැඳිගාන්න.

මිශ්‍රණය රත්වී ගෙන එන විට තිබෙනවා නම් චොකලට් කුඩා කැබලි වලට කඩා එකතු කරන්න. 

මඳ වේලාවක් හැඳි ගෑමෙන් පසු උකු මිශ්‍රණයක් ඔබට ලබාගන්න පුළුවන්. 

දැන් භාජනයක් ගෙන එහි තෙල් ආලේප කරගන්න. 

සාදාගත් උකු පොල්කිරි මිශ්‍රණය එයට දමා නිමුණු පසු ශීතකරණයේ තබන්න.

පැය 04 කට පමණ පසු චොකලට් පොල්කිරි පුඩිං රස විඳින්න ඔබට පුළුවන්. 

සව් පොල්කිරි පුඩිං / coconut milk sago pudding 

අවශ්‍ය ද්‍රව්‍ය

  • සව් කෝප්ප ¼ 
  • වතුර කෝප්ප 1 ½ 
  • උකු පොල්කිරි කෝප්ප 1 
  • හකුරු කෝප්ප ¼ 
  • කරදමුංගු ඇට 2 
  • මුද්දරප්පලම් හෝ කජු (අත්‍යාවශ්‍ය නැත)

සාදාගන්නා ආකාරය

භාජනයක් ලිපතබා එයට වතුර සහ සව් එකතු කර සව් හොඳින් තම්බා ගන්න. 

භාගයක් පමණ වතුර හිඳුනු පසු එයට උකු පොල්කිරි එක්කර නටන තුරු හැඳි ගාන්න. 

පොල්කිරි මිශ්‍රණයට හකුරු සහ කරදමුංගු එක්කර හොඳින් දියවනතුරු කලවම් කරගන්න.

සාමාන්‍ය උකු මිශ්‍රණයක් සෑදෙන තෙක් හොඳින් හැඳිගා ගන්න. 

මුද්දරප්පලම් හෝ කජු උඩින් දමා සරසා පිළිගන්වන්න. 

ඉතිං පොල්කිරි භාවිතයෙන් මේ ලේසි අතුරුපස සාදාගන්න ඔබටත් පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles