සින්දූපා කිසිත් නොපවසා උන්නාය.
” කුලු හරකා ඇවිල්ලා ඉන්නේ. ..කෝ සද්දේ ? ..”
අවසානයේ මනුජ එලෙසින් කීවේය. සින්දූපා ගේ හිනාව පුපුරා ගියේය. මනුජ සිනහව දෙතොල් අග්ගිස්සෙන් රඳවාගෙන උන්නේය.
” වෝර්ඩ් එකේ කවුරුහරි ඉන්නවාද?”
මනුජ යලි විමසුවේය.
” ඔව්… බබාලා කිහිපදෙනයි ඉන්නේ.. අපි ගොඩක් අයව ඩිස්චාර්ජ් කලා අද…අලුත් ඇඩ්මිශන් එකක් ආවොට්ජ් බලන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා.. මිස්ලත් ඉන්නවානේ…”
“එහෙනම්, මෙහෙමම මොනවා හරි කාලා යනවාද ?”
මනුජ ඇගේ අවසරය පතමින් විමසුවේය.
” එතකොට බබා ?”
සින්දූපා මනුජගේ අවසරයේ ආපස්සෙන්ම එලෙස විමසමින් එල්ලුණාය. මනුජට එවෙලෙහි දැණුන හැඟීම ඔහුව සම්පුර්ණෙන්ම ගොලු කර දැම්මේය. තමා ගේ ජීවිතයේ වඩා වටිනා කොටස් වෙනුවෙන් වරිනාකමක් දෙන්නට හැකි බව ඇය නොසඟවාම පෙන්වන්නිය.
“සාරතී නැන්දා එක්ක කනවා බබා…. ඒ නැතත් එයාට එලියෙන් කන්න දෙන එක ටිකක් කන්ට්‍රෝල් කරගන්න මම හිතාගෙන ඉන්නේ… මමම චුට්ට චුට්ට කෑම හදාගන්න පුරුදු වෙනවා රෑට…”
“කඩ කෑම නවත්තන එක නම් හොඳයි… ඒත් සාරතී ආන්ටි රෑට කෑම හදන්නේ නැද්ද?”
“හදනවා හදනවා… බබා සමහර දවසට එක එක වෙන ජාති ඉල්ලනවානේ … ඒකයි මම කිව්වේ…”
සින්දූපා අල බොන්ඩා සහ තෝසේ තෝරාගත්තාය. මනුජට එවෙලෙට විශේෂ තොරාගැනීමක් වූයේ නැත. ඔහු, නිරායාසයෙන් ම සින්දූපා ගේ තෝරා ගැනීමටම එකඟ වූයේය.
පැය භාගයක් තුළ සංසාරයේ කොහේක හෝ වූ හුරුවක් මතුවී දෙදෙනා මතම වැතිරී තිබුණි. සින්දූපා උන්නේ තමා මත වූ අප්‍රමාණ සැනසීම විඳිමිනි.
සින්දූපා ට තව වේලා රැඳෙන්නට අවැසි විය. එහෙත්, මනුජ උන්නේ සියල්ල සිහි කල්පනා ඇතිව සැලසුම් කරමිනි.
” විශ්වට කියන්න මම ඇවිල්ලා ගියා කියලා…උදේට ඇනෙක්ස් එකට එක්ක යන්න මම එනවා … ඉන්න ….”
මනුජ සමුදුන්නේ එලෙසින් පවසමිනි. සින්දූපා ආපසු නොහැරීම රථ ගාල අසල ගේට්ටුවෙන් ඇතුල් වූවාය. මද දුරක් ඇවිද ගොස් යළි හැරුණාය. මනුජගේ දෑස් වූයේ ඕ යන මඟය. මනුජ අත ඔසවා ඇයට සමුදුන්නේය. සින්දූපා හිස සැලුවාය. ආපසු හැරී නොබලාම ඇවිද ගියාය.
සවස මනුජ නිවසට පැමිණි පසු දියණියට ඔහු සමඟ මිදුලේ සෙල්ලම් කිරීමට අවැසි විය. අඳුර වැටී තිබුණද ඔහු දියණිය වෙනුවෙන් ආලෝකය තනා ගත්තේය. නිවසේ වූ ෆ්ලෑශ් ආලෝක බල්බයක් මිදුලේ සෑහෙන්න වපසරියක් ආවරණය වන ලෙසින් දල්වන්නට මනුජට හැකි විය.
” යේ යේ.. යේ යේ… අප්පච්චී ලයිට් ගෙනාවා… අප්පච්චී ලයිට් ගෙනාවා…”
දියණිය උඩ පනිමින් කෑ ගැසුවාය.
” සාරතී නැන්දේ .. මට කෝපි එකක් ..බබාට කුක්කු එකක් හදමු කෝ…”
සෙල්ලම් කරන්නට පෙර මනුජ යෝජනා කලේය.
ජීවිතයක් ආලෝකමත් වීම යනු කුමක්දැයි මනුජට දැන් වැටහේ. අඩ අඳුරේ වූ කාමරය කෙතරම් ආලෝකයකින් පිරී ගියාදැයි ඔහුට පෙනේ. හැම අහුමුල්ලක්ම ඒ ආලෝකයෙන් ඉතිරි ගොස් ඇති බව පෙනේ.
ගත යුතුව තිබුණේ ඉතා අංශුමාත්‍රික තීරණයක් පමණි. මුලු මිදුලම ආලෝකමත් විය
තම ජීවිතය කෙරෙහිද, එය එලෙසින්ම බලපාන බව මනුජට වැටහේ. වැටහෙනවාටත් වඩා එය අතිශය සුන්දර සංවේදනයක් ලෙස ඔහුට දැනේ.
සින්දූපා ගේ හමුවේ ප්‍රාමාණික බව ඉක්මවන සුන්දරත්වයකින්, දැන් ඇය තම ජීවිතයට අරක්ගෙන ඇති බව මනුජට දැනේ. ඇය තමා කෙරෙහි දක්වන ප්‍රහර්ෂණීය බව පෙනෙන්නේ ඇගේ දෑස් වෙතින් පමණක් නොවේ. ඇගේ කතාබහ, හැසිරීම් සහ ඇගේ සමුගැනීම පවා ඇය තමා කෙරෙහි වන යම් උත්කර්ශවත් හැඟීමක සෙය්යාව පෙන්වයි.
” අප්පච්චී ..බෝල් දාන්නකෝ…”
දියණියගේ හඬින් මනුජගේ කල්පනාව මොහොතකට බිඳුනේය. එහෙත්, ඉන් සුලු මොහොතකින් ඔහු අලුත් කොනෙකින් කල්පනාවට ඈඳුනේය.
දියණියගේ ජීවිතයට අම්මා කෙනෙකු කෙතරම් වටිනවාදැයි මනුජට වැටහේ. ඒ අම්මා නිර්ධා නොවීමේ වේදනාව තමා තුළ නොවූවා යැයි කියන්නට මනුජට නොහැක. ඇය මවුවත් පෙම්වතියක වූ බව තමා දනී. එහෙව් ඇය තරම් අම්මා කමින් තම දියණිය රකින්නට හැකි අන් ගැහැණියක් නොවන බවද මනුජ දනී. එහෙත්, දෛවය සරදම් කර ඇත්තේ මෙලෙසින් ය. නිර්ධා සියල්ල අත් හැරියේ යලි හැරෙන්නට කිසිඳු ඉඩක් නැති බව අවධාරණය කරමිනි. ඇය යද්දීම අම්මා සහ තාත්තා දියණියගේ බර ඔවුන්ගේ දෑවුරු මතට ගත්තෝය. තමාට එය පීඩාවක් නොවූවායැයි සිතන්නට මනුජ කැමති නැත. එහෙත්, අම්මලා මත වූ වගකීම් නිසාම තමා දියණිය වෙත දැක්වූයේ යම් සීමාසහිත බැඳීමක් බවද මනුජ දනී.
එහෙත්, සැනින් සියල්ල වෙනස් විය දැන් දියණිය ජීවිතයේ අඩකටත් වැඩිපුරම අරක් ගෙන ඉන්නීය. ඇය වෙනුවෙන් තමාගේ දවසේ සැලසුම් පවා එහෙ මෙහෙ වන බව මනුජ දනී.
එලෙසින්ම, සින්දූපා …. ඇයද ජීවිතෙන් යම් ඉඩකට පැන ඇත. ඇයට දියණිය සමඟ කිසිඳු ගැටුමක් නැති වග ඕ පෙන්වන්නීය. දියණියගේ ජීවිතයේ වන ඇතැම් හිස් තැනකට එන්නට ඕ රිසි බව පෙන්වන්නීය.
මනුජ සුසුමක් හෙලුවේය. කිසිවක් සැලසුම් කරන තාලයෙන් සිදු නොවන බව ඔහු සිතන්නට උත්සාහ කලේය. නිර්ධා තමා හැර යාවි යැයි සිහිනෙන්වත් සිතුවේ නැත. දියණියගේ බර දරන පියෙකු ලෙසින් මෙතරම් අඩු වයසකින් තනි වන්නට සිතුවේද නැත. අම්මා අසනීප වීම සිහිනෙන්වත් දැක තිබූ යමක් නොවේය. එහෙත්,, ඒ සියල්ල සිදු විය.
” බබා.. එන්න කුක්කු බොන්න….”
මනුජට බනිමින්ම සාරතී දියණියට කිරි පෙව්වාය.
” මේ වෙලාවට කිරි බොන්න පුරුදු කරගන්නෙපා මහත්තයා බබාට.. ඊළඟ ට රෑට කන්නේ නෑ..”
ඒවා මනුජ වැනි තාත්තලාට නොවැටහෙන මවුවත්කමේ කෑලිය.