“ලොකු දුව කතා කලා කෝසල”
නයනා පැවසූයේ තම සැමියා කන්නාඩියට එබී ගෙන හිස කේ සකසන ආකාරය දෙස තත්පර කිහිපයක් බලා සිටියාට පසුවය.
“ලොකු දුව ඔයා එක්ක හැමදාම කතා කරනවනේ. ඇයි අද ඔයා විශේෂයෙන් මමත් එක්ක එහෙම කිව්වේ. අම්මයි ලොකු දුවයි එකතුවෙලා ඒ පාර මොනවද මගෙන් ඉල්ලන්න හදන්නේ.”
කෝසල පිටුපස හැරුණේ සිනහසීගෙනය. ඔහු දැන් වෙනදාටත් වඩා නයනාට කරුණාවන්තය. තම ජීවිතයේ ධෛර්‍යය, සතුට ඈය. තමාගේ තෝරා ගැනීම පිළිබඳව එදාවත් අදවත් පසුතැවීමක් ඔහුගේ සිතෙහි වූයේ නැත. ඇය තම ජීවිතය පිළිවෙලකට සැකසුවාය. සැරසුවාය. එපමණක් නොව දරුවන් හදා වඩා උස්මහත් කළාය. මෙම නිවස සැණකෙළියක් සේ වර්ණවත් කළේත් පින් බිමක් සේ නිහඬ නිසංසල කළේත් ඈය. ඈ නිසාම කෝසල සියල්ලෙන්ම තෘප්තිමත් වූ මිනිසෙකු වූයේය.
“දුව කතා කළේ මල්ලි ගැන..”
“ඒ මොනවද..”
“දන්නවනේ ඉතින් එයා එදා ඉදලම මොන දේ උනත් මල්ලිගේ පැත්තනේ. එයා හරි ආදරෙයි මල්ලිට.”
“එයා විතරක් නෙමෙයි ඔයා උනත් චුට්ටක් ලොකු හැන්දකින් පුතාට බෙදනවා කියලා මම දන්නවා.”
“අනේ කෝසල ඔයා වැරදිලාවත් ඕවා චූටි දුවට එහෙම ඇහෙන්න කියන්න එපා.”
“ඉතින් කියන්නකො ලොකු දුව මොනවද කිව්වේ…”
“එයා කියනවා මල්ලිට කැමැත්තක් කරන්න ඉඩ දෙන්න කියලා. එයා කියන්නේ මල්ලි එදා ඉඳලම පොත පතත් එක්ක ගැවසෙන්න කැමති වෙච්ච කෙනෙක් නෙමෙයිනේ කියලා. ලොකු දුව කියන්නේ එයා කවදාවත් මේවයේ ෂෙයාර්ස් බලාපොරොත්තු වෙන්නෙ නැහැ කියලා. හැම දෙයක්ම නංගිට දෙන්න කියලා. නංගි පොඩි කාලේ ඉඳලම මේ ෆීල්ඩ් එකට ආස කරපු කෙනෙක් හින්දා තාත්තටයි සීය තාත්තටයි ඕන විදිහට එයා මේ බිස්නස් බලා ගනීවිලු. මල්ලිව මෙතනින් නිදහස් කරන්න කියලා තාත්තට කියන්නලු. එයා කැමති පැත්තකින් එයාට යන්න දෙන්නලු. එයත් සල්ලි ටිකක් දෙන්නම් කියලා කාර් සෙල් වැඩේ පටන් ගන්න කියන්නලු.”
කෝසල දිගු සුසුමක් මුදා හැරියේ තම බිරිඳගේ වදන් වලට සවන් දුන්නාට පසුවය. නයනා තිගැස්සී තම සැමියා දෙස බැලුවේ ඒ සුසුමෙහි බරටය. කිසිවක් නොකියූ ඔහු යළිත් කන්නාඩිය තිබූ පසට හැරුණේ ටයි පටිය සකසා ගන්නා ගමන්ය.
“ඒක ඔයා ඔලුවට වදයක් කරගන්න එපා කෝසල. ඔයා කියනවා වගේ සමහරවිට කාලයත් එක්ක පුතාට මේ ගැන හිතේ කැමැත්තක් ඇතිවෙයි. ලොකු දුව මට ඔයා එක්ක කතා කරන්න කියපු දේ තමයි මම කිව්වේ. උදේම මම ඔයාගේ හිත රිද්දුවනම් සමාවෙන්න කෝසල.”
“නෑ නයනා. මමත් මගේ හිතත් එක්ක තර්ක කරපු වතාවල් ඕන තරම් තිබුනා. පුතා අකමැත්තෙන් අපි කැමති දේ කරන්න ඕනෙ නෑ කියලා. මමත් විශ්වාස කරනවා. ඒත් තාත්තා කෙනෙක් විදිහට මමත් කැමතියි අපි දියුණු කරගෙන ආපු දේ එයා ඉස්සරහට ගෙනියනවා දකින්න. ඔයා කියන දේ හරි. හංසිකා මේ වැඩේ ගැන සෑහෙන්න උනන්දුයි. අපිට නොදැනෙන නොපෙනෙන ගොඩක් දේවල් එයාලට පේනවා. දකිනවා. එයා මේ බිස්නස් එක වෙනමම පැත්තකට අරගෙන යනවා. මට බය තියෙන්නේ කාර් සේල් එකකට සල්ලි යට කරලා මේ මිනිහා ඒ දේ හරියට කරයිද කියලා. අපි තව ටිකක් එයාට මිනිස්සුත් එක්ක ගැවසෙන්න ඉඩ දීලා අත්දැකීම් ලබාගන්න ඉඩදෙමු. කොහොමටත් අපි එයාල වෙනුවෙන් යමක් ඉතිරි කරල තියෙනවනේ. ඒක ලෝබ නැතුව අතාරින්න මට පුළුවන්. බිනර කියන්නේ අනිත් දෙන්නටම වඩා වෙනස් විදිහට හැදුනු ළමයෙක්. එයාට සල්ලි වල වටිනාකමක් තවමත් නෑ. මොකද පවුල එකම පිරිමි දරුවා විදිහට එයාට ඉල්ලන්න කලින් හැමදේම ලැබුණා. අදටත් එයා දන්නේ වියදම් කරන්න විතරයි. උපයන්න වෙන මහන්සිය ගැන එයාට අවබෝධයක් නෑ. ඒ වගේම සල්ලි නිසා මිනිස්සු මොනතරම් දුක් විඳිනවද කියලා අවබෝධයක් එයාට නෑ. තව ටික කාලයක් අකමැත්තෙන් උනත් බිනර ඔහොම හිටපුවාවේ නයනා.”
එවර නයනා හිස වැනුවේ තම සැමියාට එකඟවය. ඔහු පවසන්නේ සැබෑය. පවුලේ බාලම දරුවා ලෙසත් එකම පිරිමි දරුවා ලෙසත් ඔහුට වූයේ අන් කිසිවෙකුට නොවූ තැනකි. ආදරයකි. ඔහුට ජීවන අත්දැකීම් අල්පය. වසර තුනහමාරකට ආසන්න කාලයක් පිටරටක ජීවත් වූ තරුණයාට කොහොමටත් මිනිසුන්ගේ දුක්, වේදනා, කඳුළු දහඩිය ගැන ඇත්තේ අල්ප දැනීමකි.
කෝසල තම බිරිඳගේ නළලත සිප ගත්තේ දයාබරවය. රෝගී වූවාට පසුව ඇයට නිදහසේ කාලය ගත කරන්නයැයි කොපමණ පැවසුවත් අදටත් නිවසේ වැඩකටයුතු සියල්ල සිදුවන්නේ ඈ අතින්ය. රෝගී තත්ත්වයෙන් පසුව ඇය මානසිකව ඇද වැටේ යැයි සිතුවත් එය එසේ වූයේ නැත. ඕ වෙනදාටත් වඩා ශක්තිවන්ත ගැහැණියකව සිටියාය. සිතෙහි දරුණු වේදනාවක් ඇති බව විශ්වාසය. තමාට ජීවත් වන්නට ඇත්තේ කෙටි කාලයක් බව දැන ගත්තාට පසුව එය එසේ නොවේනම් පුදුමයකි. එහෙත් ඕ සියල්ල දරා සිටින්නේ තමනුත් දරුවනුත් වෙනුවෙන් බව කෝසල දැන සිටියේය. ඇගේ මානසික බිඳ වැටීම තුළින් ජයවර්ධන පවුලම එක තැන නතර වෙන බව නයනාට විශ්වාසය. තමාගේ එක කඳුළක් දුටුවහොත් කඳුළු ගංගාවක් පිට කරන්නට තරම් තම සැමියාත් දරුවනුත් සංවේදී අයවලුන්ය. එනිසාම ඕ ප්‍රවේශම්ය.
**************
වාසුලා නිවසට පැමිණියේ සවසය. දියණිය සවස පන්ති සඳහා සහභාගීවන බවත් ඉසුරු ක්‍රීඩා පුහුණුවීම් සඳහා නවතින බව පැවසූ බවත් ඇයට පැවසූයේ අම්මාය. බඩගිනියැයි පවසමින් මුළුතැන් ගෙයට එබුණු වාසුලා ඇතිලි ඇර බැලුවාය. උදෑසන ඉසුරි සකස් කර ගිය පරිප්පු හින්දුමක්, වම්බටු බැදුමක්, ඇඹුල් තියල් කළ කෙලවල්ලා මාළු කෑල්ලකුත් ඒවායේ ඉතිරිව තිබිණ. බඩගින්නක් වුවත් කෑමෙහි පිරියක් නොවූ ගැහැණිය කිරි තේ එකක් සාදාගෙන ක්‍රීම් කැකර් බිස්කට් දෙකක් අතට ගත්තාය.
“සම්බෝල ඩිංගක් හදල දෙන්නද බත් ටිකක් කන්න.”
අම්මා මුළුතැන් ගෙයට පැමිණ ඇසුවේ එවේලෙහිය. වාසුලා එපා යැයි හඟවමින් හිස වැනුවාය. අවසන ඇය කාමරයට ගොස් දොර වසාගත්තේ තනිවීමට අවැසි නිසාමය. අම්මාට පෙනෙන්නට සිටියොත් ප්‍රශ්න රැසකි. මේ නිවස තුළ ඕ හුදකලා වී ඇත. දිගු සුසුමක් මුදාහල ගැහැණිය තේ කෝප්පයත් බිස්කට් දෙකත් පසෙක තැබුවාය. අවසන නැගිට ගොස් අල්මාරියේ රෙදි අතර පරිස්සමට තැන්පත් කර තිබූ සැමියාගේ සේයාරුව අතට ගත්තේ දිගු සුසුමක් මුදා හරිමින්ය. ලැමිනේටින් කර තිබූ සේයාරුවේ එක් පසෙක ඔහුගේ තනි ඡායාරූපයකුත් අනිත් පස දෙදෙනා එක්ව උන් සේයා රුවකුත් විය. තත්පර කිහිපයක් ඒ දෙස බලා උන් වාසුලා අඩියක් දෙකක් පසුපසට තබා ඇඳ මතින් අසුන් ගත්තේ දෙපා අවසඟව ගිය රෝගියෙකු පරිද්දෙන්ය. අදටත් ඒ අහිමිවීම ඇය ලොවට රහසේ හඬා වැටෙන ගැහැණියක බවට පත්කර තිබුණාය. තමාට වැරදුනේ කොතනදැයි වාසුලාට අදටත් නොතේරේ. ඔහුට වෛර කළේ මේ උඩු සිත පමණි.
“ඔයාට තිබුණා තව ටිකක් ඉවසන්න. අන්තිමට ඔයා මාව අතර මං කලේ ගෑනියෙක්ට දරා ගන්න අමාරුම හැඟීමක. කාටවත් කියාගන්න බැරිවුනු මේ ඇත්ත මමත් එක්කම මැරිල යයි. අපි දෙන්න අතර නොහොඳ නෝක්කාඩු රණ්ඩු සරුවල් කොච්චර තිබුනත් මට ඔයාව එපා වෙලා හිටියත්. මේ ඇඳේ දෙපැත්ත හැරිලා නිදා ගත්තත්. සමහර දවසට සාලෙ සැටියට වෙලා එළි වෙනකල් කාලෙ ගතකලත් මට ඔයාව එපාම කියන තැනක මං ජීවත් වුනත් ඔයා වෙන හිතක් ලඟ නතර වෙලා කියලා දැනගත්ත දවසේ ඉඳලා මට ඔයාව ඕනෙ වුණා. ඒක තමයි මං හිතන්නේ මේ ලෝකෙ ගෑනියෙක්ට දරාගන්න අමාරුම හැඟීම. ඊට පස්සේ ගෙවෙන හැම තත්පරයක්ම මට ඔයාව මගේ ළඟ තියා ගන්න ඕන වුණා. අපිට නැතිවෙලා ගියපු ඒ ලස්සන අතීතෙ ආපහු ජීවත් වෙන්න ඕන වුණා. ඔයා දන්නවද ඊට පස්සේ මං රණ්ඩු කලේ අන්න ඒ ආදරේ පරිස්සම් කරගන්න. ඔයාව මං ළඟ නතර කරගන්න. මට ඔයාව ඕන උන තරමක් ඔයා දන්නවනම් ඔයා මාව දාලා යන්න හිතන්නෙවත් නෑ. හෙටත් මං කියාවි මට ඔයාව ඕනේ නෑ කියලා. මට ඔයා නැතුව තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඔයා ඉඳපු කාලේ මං සැනසීමෙන් ජීවත් වුණේ නෑ කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි.”
වාසුලා යළිත් දිගු සුසුමක් මුදා හැරියේ ඔහුගේ සේයාරුව තම පපුවට තද කරගෙනය. විශ්වාසය. ගැහැණියකට මුළු ජීවිත කාලය පුරාම ආදරය කළ හැක්කේ එකම එක පිරිමියෙකුට පමණි. ඉන් එහා ගිය බැඳීමක් ඇතිවන්නේනම් ඒ සිය හැඟීම් සන්තර්පනයකට පමණි.
“ඔයා හදා ගතපු අලුත් ජීවිතේ සතුටින් ජීවත් වෙන්න කියලා පතන්න තරම් පරාර්ථකාමී හිතක් මට නෑ. ඇත්ත මං ඔයාට වෛර කරනවා. මේ ජීවිතයේ මං අසරණ වෙන හැම තත්පරයකම මං ඔයාට වෛර කරනවා. ආදරයයි වෛරයයි කියන්නේ එකම කාසියක දෙපැත්තක්. අද මං හැමදේම නැති වෙච්ච මවාගතපු ලෝකෙක ජීවත් වෙන ගෑනියෙක් වෙලා. මට එහෙම කළේ ඔයා. ඉතින් ඔයාට විතරක් සතුට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ කොහොමද?
මාව අතෑරලා දාලා ගිහිල්ලා මොනවද ලැබෙන්නේ කියලා මං ඔයාගෙන් අහපු දවසේ ඔයා කිව්වේ මානසික සතුට කියලා. ඒක පිරිමියෙක්ට ඒ තරම්ම වැදගත්ද. ඒ හැම දේම බොරු. හැමදේම බොරු. ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. ඔයාව මේ ඇස් දෙකට දකිද්දිත් පෙන්නන්න බැරි වෙච්ච කාලයක් මට තිබුණා. ඒත් අද ඔයාගේ ඔෆිස් එක ළඟට ඇවිල්ලා ඔයා දිහා හොරෙන් බලන් ඉදලා යන්න තරම් ලෝබකමක් මගේ හිතේ පිරිලා. ඇයි මිනිස්සු තමන්ට නොලැබෙන දේවල් වලටම ආදරය කරන්නේ. මේක මහා කරුමයක්. ඇත්තටම මේක මහ පවක්.”
සේයාරුව ඇද මතට විසි කළ වාසුලා සිය දෑතින්ම හිස බදාගත්තේ දෑස් වලින් රූරා වැටෙන කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය. පසෙක වූ තේ කෝප්පය ඇල්වෙන බවට වගක් ඇයට වූයේ නැත.
(යළිත් හමු වෙමු ආදරයෙන්)
