ඉඩෝරයක මල් වැස්සක් – 14

0
1251

“මොකෝ අවුලෙන්”

ගයාන් පිට්ටනිය කෙළවරක නවතා තිබූ යතුරු පැදිය මත වාඩිවී උන් පාරින්දගෙන් ඇසුවේ බොහෝ වේලා ඔහු දෙස බලා සිටියාට පසුවය. එක් වරක් පමණක් සෙල්ලම් කළ ඔහු අනිත් වට වලදී ඉවත්ව ගියේ සිය කැමැත්තෙන්මය. මිතුරන්ට අනුව ඔහු වොලි  බෝල් ක්‍රීඩාවට දක්ෂයෙකි. මිතුරු සමාජ සමග පැවැත්වෙන තරග දිනා ගැනීමට ඔහුගෙන් ලැබෙන සහය අපමණය. 

“අරකි තවම ගෙදර ඇවිත් නෑ.”

ඔහු එසේ පැවසූයේ ජංගම දුරකථනයෙන් වේලාව පරීක්ෂා කරනා අතරතුරය. 

“බස් එකේනෙ බං එන්නේ. පරක්කු ඇති.”

“එතන ඉඳලා මෙතනට එන්න යන වෙලාව මං බලල තියෙන්නේ. ඔන්න ඔය හින්ද තමයි මං ඉසුරි ජොබ් එකකට යනවට මං කැමති වුණේ නැත්තේ.”

“ඒකිට තියෙන ප්‍රශ්නවල හැටියට ජොබ් එකක් නොකර බෑනේ බං. අනික ගෑනු ළමයෙකුට මොන මොන අවශ්‍යතා තියෙනවද.”

“ඒ වුනාට බං  රස්සාවල් වලට යන්න පටන් ගත්තට පස්සේ ගෑණු වෙනස් වෙනවා”

“ගෑනියෙක් වුණත් පිරිමියෙක් වුණත් කූඩුවක දාලා හිර කරගෙන හදන්න බෑ බං. උන් සත්තු නෙමෙයිනේ. කෙල්ලෙක් උනත් මේ සමාජ ගැටිලා තැලිලා පොඩිවෙලා ජීවිතේ තේරුම් ගන්න ඕනේ. අපේ නංගිලාට උනත් මං කියන්නෙ එච්චරයි. අනික ඉසුරි කියල කියන්නේ අපි හැමෝම දන්න කෙල්ල බං. දන්න දවසෙ ඉඳලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙච්ච කෙල්ලෙක්.”

“එහෙම එවුන් තමයි එළියට දැම්මට පස්සේ වෙනස් වෙන්නේ. අනිත් එක මං උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉසුරි ගැන තියෙන ලෝබකම නිසා තමයි මමත් ඉවසන්නේ.”

“ඉසුරි කියන්නේ ගෙදරකට හොඳ කෙල්ලෙක් බං. එහෙම අය හරි අඩුයි. උඹ ඉසුරි දිහා බලන්නේ ඒකිගේ අම්මව හිතේ තියාගෙනනං ඒක අදම නවත්තපන්. අනිත් එක මෙතන උඹලගේ මාමගෙ වැරදිත් තියනවා. මිනිහෙක් දාලා ගියාට පස්සේ ගෑණියෙක් අසරණ වෙන්නේ ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි.”

“ඒ උනාට ගෑනුන්ට වැඩිය බුරුල  දෙන්න නරකයි බං. ඊට පස්සෙ ටික දවසකින් උන් ගෝනි නැතුව කරේ නගින්න ලෑස්ති වෙනවා.” 

“මං දන්නෑ උඹලගෙ ප්‍රශ්න උඹලා සෙට්ල් කරගනින්. වරෙන් සෙල්ලම් කරන්න.”

“උඹ පලයං  මං ඉසුරිට කෝල් එකක් දීලම එන්නං”

යළිත් පාරින්ද  තම ජංගම දුරකථනය අතට ගත්තේ එසේ පවසමින්ය.

එහෙත් ගයාන් එතනම රැඳී සිටියේ ඔහු ඉසුරිට සිත රිදෙන්නට යමක් පවසාවියැයි සැකයෙන්ය.

“දැන් ගෙදරට ආවේ කියන්නේ මෙච්චර වෙලා මොන මගුලක් කලාද?”

එහා පසින් පැවසූ කිසිවක් ගයාන්ට ඇසුණේ නැත. එහෙත් මිතුරා කෝප ගෙන උන් බව ඔහු හොඳටම දැන සිටියේය. 

“බොරු කියන්න එපා! බස් වල සෙනඟ කියලා මෙච්චර පරක්කු වෙන්න  විදිහක් නෑනේ. ඉසුරි ඔයා  මාව නරක මිනිහෙක් කරගන්න එපා. මං ඔය ජොබ් එකට යද්දිම ඔයාට කිව්වා මෙහෙමයි වෙන්න ඕනේ කියලා.” 

එසේ පැවසූ ඔහු දුරකථනය විසන්ධි කලේ “ශික්…”යැයි පවසමින්ය. 

“ඉවසපං බං ටිකක්. ඔහොම කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බැහැ.”

ගයාන් යළිත් පැවසුවත් ඔහු මිතුරා දෙසට හැරුණේ නැත. 

“ලොකු දුව මට ටිකක් කතා කරන්න ඕනේ…”

අම්මා පැවසූයේ ඉසුරි නිවසට පැමිණ විනාඩි කිහිපයක් ඉක්ම යද්දීමය. 

යුවතිය දෑස් විසල් කර ඈ දෙස බැලුවේ පුදුමයෙන්ය. මේ බොහෝ කලකට පසුව ඇය යමක් විවෘතව ඉසුරි හා කතා කළාමය. 

“ඇයි අම්මේ… කියන්න.”

“ඔයා ඇඟපත හෝදගෙන එන්නකෝ. මං තේ එකක් හදන්නද.”

“ඕනෙ නෑ අම්මේ… ඔෆිස් එකේදි හවසට තේ දෙනවනේ. අම්මට මොනවද මමත් එක්ක කියන්න තියෙනවා කිව්වේ”

“වැඩ කරන තැන කරදරයක් නැද්ද ඉසුරි.”

“අනේ නෑ අම්මේ හරිම නිදහසේ වැඩ ටික කරගෙන යනවා. එතන වැඩ කරන අයගෙ කියන්න තරම් කිසිම වරදක් නෑ.”

“ඒක හොඳයි. කරදරයක් නැතුව ඉසුරිට කාලයක් යනකං ඔතන වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්නේ. මං දන්නවා ඉසුරි ජොබ් එකක් කරනවට පාරින්ද ඒ තරම් කැමති නෑ කියලා. ඒ උනාට කසාද බැන්දට පස්සෙත් ඉසුරි පුළුවන් තරම් උත්සහ කරන්න මේ රස්සාව කරගෙන යන්න. ගෑනියෙක්ට පිරිමියෙක්ට කියලා නෑ මුදලේ වටිනාකම හැමෝටම එකයි. අනිත් එක තමන්ට කියලා යමක් නැති උනහම ගෑණු යන තැන් වල උනත් අසරණ වෙනවා.” 

“ලොකු අයියා අකමැති වෙන එකක් නැහැ අම්මේ…” 

“මටත් රස්සාවෙ ටිකක් කරදරයි ඉසුරි.”

ඕ එසේ පැවසූයේ ඉවත බලාගෙනය.

“කරදරයි කියන්නේ.”

“කාලෙන් කාලෙට ඒවායේ පාලකයෝ වෙනස් වෙද්දි වෙනද වගේ නිදහසේ වැඩ කරගෙන ඉන්න අමාරුයි.”

“අම්ම නවතින්න. අපි පුළුවන් විදිහකට ජීවත් වෙමු. දැන් මටත් රස්සාව තියෙනවනේ.”

“ඉසුරි ගන්න පඩිය එහෙම නාස්ති කරලා වියදම් කරලා කොහොමද. තමන් යන එන තැනකට බඩු මුට්ටුවක්වත් හදාගන්න එපැයි. ඒක ගෙදරට වියදම් කරලා බෑ ඉසුරි. මං කල්පනා කරේ අවුරුදු තුනක්වත් පිටරටකට ගිහිල්ලා එන්න.” 

යුවතිය අම්මා දෙස බැලුවේ තිගැස්සීගෙනය. ඇය උන්නේ රූපවාහිනිය දෙස බලාගෙනය. එහි විකාශය වෙමින් තිබුණේ සවස තෙරුවන් නැමදීමේ වැඩසටහනකි. 

“දැන් ඉසුරිට නංගීයි මල්ලියි බලාගන්න පුළුවන්. බැරි වෙන අවස්ථාවකදී ඉසුරි කෝල් කරහම තාත්තා උදව් නොකර ඉන්න එකක් නැහැ. මට තවදුරටත් ලංකාවේ රස්සාව කරන්න අමාරුයි ඉසුරේ. ආයෙ මෙහේ රස්සාවල් හොය හොය තැවෙන්න කාලෙකුත් නැහැ. ඒක හින්දයි මං මේ තීරණය ගත්තේ. පාස්පෝට් ඔක්කොම ඒජන්සි එකකට බාර දීලා තියෙන්නේ.”

“ඒත් අම්මා…”

“වෙන කරන්න දෙයක් නෑ ඉසුරි. ඔයාව හිස් අතින් ඔයාගේ නැන්ද ගාවට උනත් පිටත් කරන්න මට බැහැ. මං දන්නවා ඔය මිනිස්සු ගමේ  හැම තැනම කියන කයි කතන්දර. ලොකු පුතා ඔයාට එදා ඉදලම ආදරෙයි. ඒ දරුවගෙන්  ඔයාට වැරැද්දක් වෙන්නෙ නැති බව මට විශ්වාසයි. ඒත් නැන්දලා එහෙම මිනිස්සු නෙමෙයි. මට වෙච්ච දේ ඔයාට වෙනවා බලන් ඉන්න මට බෑ ලොකු දුව. ඔයා විතරක් නෙමෙයි නංගිත්. එයාට වැඩිදුර ඉගෙන ගන්න ඕනේ කියලා කියනවනං ඒකට අපි වියදම් කරන්න ඕනේ. මල්ලිත් මේ යන විදිහට එයා හිතල මතල දෙයක් කරගන්න එකක් නැහැ. මගේ හිතේ තියෙනවා මෙතන ඉස්සරහින් පොඩි කඩ කාමර කෑල්ලක් හදලා කොල්ලට කඩයක් දාලා දෙන්න. මේ එකක්වත් කරගන්න මට මෙහේ හිටියොත් බැහැ ඉසුරි.” 

අන් කවරදාටත් වඩා ඇගේ හඬ පැහැදිලි එකක් විය. අම්මා මේ කතා කරන්නේ පිටරට ගමන ගැන ස්ථිර තීරණයක් ගත්තාට පසුව විය යුතුය. එනිසාම ඇයව නතර කරන්නට යමක් පැවසීම සුදුස්සක් නොවන බව යුවතිය වටහා ගත්තාය. 

“අම්ම එක පාරක් තාත්තත් එක්ක කතා කරලා හිටියොත් නරකද?”

“ඒක තේරුමක් නැති වැඩක්. අනිත් එක මේ ගෙදරින් ගියාට පස්සේ මම වචන දහයකට වඩා තාත්තත් එක්ක කතා කරලා නෑ. එහෙම එකේ තීරණයක් ගන්න එයා මට හයියක් වෙයි කියලා හිතන්න අමාරුයි. මට දැන් හිතෙනවා මේ තීරණය මං මීට කලින් ගන්න තිබුණ එකක් කියලා. ඔයාලට නොතේරුනාට හැමදාම මගේ හිතේ ඔයාලා ගැන තිබුනේ බයක්,  බරක්, දුකක් දික්කසාදෙකින් තනිවෙච්ච ගෑනියෙක් කියන්නේ අවලංගු කාසියක් කියලා ඉසුරිට තවම තේරෙන්නේ නෑ. වරදක් කළත් නොකරත් මිනිස්සු එහෙම අය දිහා බලන්නේ වපර ඇහෙන්. කිරි අම්මා මේ වෙලාවේ තනි නොතනියට හරි ඔයාලත් එක්ක ඉන්න එක මට ලොකු දෙයක්. අදටත් මට වඩා නංගී මල්ලි ගැන බලාගන්නේ ඔයා. එයාලට අම්මා කෙනෙක් වෙලා ඉන්නේ ඔයා. තව අවුරුදු දෙකක් අපි මෙහෙම දුක් විඳිමු.”

“අම්ම ගන්න තීරණයට මට විරුද්ධ වෙන්න බෑ. ඒ උනාට ඒ ගමනට මගේ හිතේ කැමැත්තක් නෑ අම්මේ.”

“අපි කැමති දේවල්ම අපිට කරන්න ලැබෙන්නෙ නෑ ඉසුරි. මෙතනදි මගේ අසරණකමට මට ගන්න තියෙන එකම තීරණය තමයි මේ. ඒත් ඊට කලින් ඉසුරියි  ලොකු පුතයි එන්ගේජ්මන්ට් එක ගන්න ඕනේ.”

“අනේ අම්මේ..මට එහෙම හදිසියක් නෑ.”

“ලොකු පුතා මේ ගෙදරට යනවා  එනවා. ඔයා එහේ යනව එනවා. මිනිස්සු දන්නවා කාලෙක ඉඳලා ඔයාලගේ අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා. කතන්දර හදාගන්න බෑ පුතේ. එහෙම වුණොත් ඔයාටත් ජීවිතයක් නැතිවෙයි. අනික පිරිමි කියන්නේ අවස්ථාවක් ලැබුණහම තමන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරගෙන අහක බලන ජාතියේ මිනිස්සු. එයාලගේ හිත එක තැනක නතර කරලා තියාගන්න හරි අමාරුයි. තමන්ට වටිනාකමක් දැනෙන දේවල් පරිස්සම් කරගන්න තමන් දැනගන්න ඕනේ. ඉසුරි තාත්තට කතා කරලා කියන්න නැන්දත් එක්ක මේ  ගැන කතා කරන්න කියලා. මං ළඟ ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. තාත්තත් කීයක් හරි දෙයි. ලොකුවට නැති උනත් පුංචි උත්සවයක් අරගෙන අපි මේ ගෙදරදි ඒ වැඩ කටයුතු ටික ඉවර කරමු. ඒක මගේ හිතට ලොකු හයියක්. එතකොට ඒ බැඳීමට හරි ලොකු පුතා ඔයාවයි, නංගිවයි, මල්ලිවයි බලා ගනියි. මං ඔයාව හිස් අතින් එතැනට යවන්නේ නෑ. අවුරුදු තුනකට පස්සේ අපි පුංචි මඟුල් ගෙයක් අරගෙන මේ වැඩ කටයුතු ඉවර කරමු. ලොකු පුතා ආවහම මං ටිකක් කතා කරන්නම්. මේ ඉඩමෙම  ඉස්සරහට වෙන්න පොඩි ගේ කෑල්ලක් හදාගන්න බලමු පුතේ. නැන්දලත් එක්ක ඉන්න ඔයාට ලේසි නෑ.”

“අම්මා දැන් මේ හැම තීරණයක්ම අරගෙනද ඉන්නේ.”

“ඔව් ආපස්සට හැරෙන්න මට බෑ. මගේ ජීවිතයේ ගොඩක් දේවල් මට නැති වුණේ උවමනා වෙලාවෙ උවමනා තීරණ නොගනිපු නිසා. මට එච්චරයි ඉසරි  කියන්න ඕනන උනේ. ඔයා අදම තාත්තට කතා කරන්න.”

අම්මා නැගී සිටියේ දිගු සුසුමක් මුදා හරිමින්ය. ඇය කාමරයට නික්ම යනතුරුත් ඉසුරි එතැනම සිටියේ  ගල් ගැසීගෙන සේය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here