ඉඩෝරයක මල් වැස්සක් – 16

බිනර මිතුරා හා ඉසුරි ගැන පැවසූයේ ඉවසිල්ලේය.

“එයාගේ ජීවිතේ  මොනව උනත් මොකක්ද උඹට එයා ගැන ඒ තරම් වොරි වෙන්න තියෙන හේතුව.”

බිනර සිය දෙවුරහිස්  අකුළුවාලූයේ ඒ කුමන හේතුවක්දැයි තමාවත් නොදන්නා බව පවසන්නටය. 

“මට එයාට උදව් කරන්න ඕනේ.”

අවසන ඔහු පැවසූයේ සිතෙහි වන හැඟීම් සියල්ල එකට එක් කරමින්ය. 

“අපි එයාට උදව් කරන්නේ කොහොමද බං. කෙල්ලෙක්ට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අනික එයා එන්ගේජ්මන්ට්  එකකට ලෑස්ති වෙන කෙල්ලෙක්.”

“මං දන් නෑ බං මට එයාට උදව් කරන්න ඕනේ. එච්චරයි. එයා කියන සමහර බරසාර වචන මට තේරෙන්නේ නෑ. තේරුණත් ඒවා ඔලුවේ තියාගන්න බෑ. එයා කියනවා එයා හිනාවෙල ඉන්න ආසයි කියලා. අන්න ඒ හිනාව එයාට ගෙනල්ලා දෙන්නයි මට ඕනේ.”

සන්දේශ් තම මිතුරා දෙස බැලුවේ පුදුමයෙන්ය. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු කලක්ම සිටියේ විදේශගතවය. සැබවින්ම බිනර යනු සැහැල්ලුවෙන් ජීවත් වූ චරිතයකි. ඒ සැහැල්ලුව ඔහුට ලැබී තිබුණේ තමා වාසය කරන වටපිටාවෙන්මය. ඔහු සියල්ල ලැබූ අයෙකි. එහෙත් එදා සිටම  තව එකෙකුගේ දුක බලා “අනේ අපොයි..” කීමේ පුරුද්දක් මිතුරාට වූ බව සංදේශ් දනී. එහෙත් මේ ඒ අයුරේ ඕනෑකමක් නොවන බව විශ්වාසය. 

“ඒක උඹ ඉස්සර වෙලා එයා එක්ක  කතා කරන්න ඕනේ. අපි දන්නෙ නෑනෙ බං එයාට ප්‍රපෝසල් එකක් හරි බෝයිප්‍රෙන්ඩ්  කෙනෙක් හරි ඉන්නවනං ඒ ගර්ල්ට ලංවෙන්න පුළුවන් සීමාව මොකක්ද කියලා. එයාට තියෙන්නෙ සල්ලි ප්‍රශ්නයක්නම්, ජොබ් එකේ ප්‍රශ්නයක්නම් උඹට ඒක විසඳලා දෙන්න පුළුවන්. හැබැයි ඊට එහා ගිය පුද්ගලික ප්‍රශ්න විසඳන්න උඹට බෑ. ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා බං. සමහර තැන් තියෙනවා අම්මයි තාත්තයි දෙන්නම නැති උනහම ඒ ගෙදර ලොකු සහෝදරයා හරි සහෝදරී හරි තමයි අනිත් නංගිලා මල්ලිලට අම්මගේ තාත්තගෙයි ආදරේ දෙන්නේ. උඹ දන්නවනේ ඔය අපේ කසුන්ගේ  ලොකු නැන්ද මැරි කරලා නැත්තේ කසුන් නිසා. එදා ඉදලා කසුන් බලාගෙන තියෙන්නේ ඒ ලොකු නැන්දා.” 

“මිනිසුන්ගේ ජීවිතවල මාර දේවල් බං සිද්ධ වෙන්නේ..”

“කොහොම වුණත් උඹ ඉස්සර වෙලා කෙල්ලත් එක්ක කතා කරපන්. උඹට ඕවා ප්‍රශ්න වගේ දැනුනට එයාට ඒවා ප්‍රශ්න නොවෙන්න පුළුවන්.”

බිනර මිතුරාගෙන් සමුගත්තේ  සිතෙහි වූ යම් සැහැල්ලුවක් ද සමගය. එහෙත් ඔහුට යළි කාර්යාලයට යාමට තරම් සිතක් වූයේ නැත. කුලී රියක් ගෙන්වා ගත් බිනර යළි නිවසට ගියේ එනිසාය. 

                                          **********

පාරින්දගේ මව සුරංගට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ දහවලේය. ඇයට ඕනෑ වී තිබුණේ පෙරදා ඉසුරිගේ මවගෙන් ලැබුණු දුරකථන ඇමතුම ගැන සොහොයුරා හා කතා කරන්නටය. මෙවේලෙහි ඔහු සිටින්නේ කාර්යාලයෙහි බව විශ්වාසය. 

තත්පර කිහි කිපයක් යනතුරු ආගිය තොරතුරු සුවදුක් කතා කළ සරෝජනී අදාළ මාතෘකාවට පැමිණියේ සුරංග දරුවන් තිදෙනා ගැන සඳහන් කරද්දීය.

“මං මේ ගත්තෙත් වැදගත් දෙයක් මල්ලිත් එක්ක කියන්න. අරකි හදිසියේම කතා කරලා ඉසුරිගෙයි ලොකු පුතාගෙයි නම් රෙජිස්ටර් කරන්න ඕනි කියලා කිව්වේ.”

සරෝජනී  කිසිවිටකත් ඉසුරිගේ මවට  නංගි, නෑනා හෝ ඇගේ නම කියා අමතන්නේ නැත. ඇයට අනුව ඉසුරිගේ මව අරකි හෝ මේකිය.

“මමත් අක්කත් එක්ක ඒ ගැන කතා කරන්න හිටියේ.”

“ඒකි කියනවා ලොකු පුතා එහෙට යන්නේ එන්නේ ඉසුරි ගැන බලාපොරොත්තුවක් තියාගෙන කියල මුළු ගමම දන්නවලු. එයාට දැන් තමයි ඒක මතක් වෙලා තියෙන්නේ. නල්ල මලේ අම්මා”

“අක්කගේ  එයා එක්ක තියෙන තරහා දරුවන්ගේ පිටින් යවන්න ඕන නෑ. මේ වැඩ කෙරෙන පිළිවෙලක් ගැන අපි කතා කරගමු. ලොකු පුතා මොකද කියන්නේ.”

“ලොකු පුතා මොනවා කියන්නද මල්ලි. එයා ඉසුරිව ආශ්‍රය කරන්න පටන් ගත්තේ අද ඊයේක නෙමෙයි. අතෑරලා  දාන්න බලාගෙනත් නෙමෙයි. අර උඹ කියන්න වගේ අම්මා කෙසේ වෙතත් ඉසුරි කියන්නේ හොඳ කෙල්ල. ඒ උනාට මල්ලි මේ කොල්ලගේ සොච්චම් පඩියෙන් ගෑනියෙක්ව  නඩත්තු කරන්න පුළුවන්ද. අනික මේ  කෙල්ලො දෙන්න ඉඳිද්දි මට බෑ ඉසුරිව මෙහෙ නවත්ත ගන්න. මේ ගෙවල්වල තියෙන ඉඩකඩ ගැන මල්ලි නොදන්නවා නෙමෙයි නේ. මං දන්නෑ ලොකු පුතාට කවද පිළිවෙලක් වෙන්න පුළුවන් වෙයි කියලා.”

“ලොකු දුවත් දැන් ජොබ් එකක් කරනවනෙ අක්කේ.”

“ළමයි හම්බුනාට පස්සේ ගෑණුන්ට ජොබ් වලට යන්න පුළුවන්ද මල්ලි. අනිත් එක ඉසුරි කරන්නේ ඒ හැටි පඩියක් හම්බවෙන මහ ලොකු රස්සාවක් නෙමෙයි නේ.”

“දැන් අක්ක මොකක්ද මට කරන්න කියන්නේ.?”

“මොකක්ද කරන්න ඕනේ කියලා මට තේරෙනවානම් උඹෙන් අහන්නෙ නෑනේ මල්ලි. ඒකි කතා කරල “මේගොල්ලන්ගේ කසාදේ කරමු” කියපු පලියට මට ඒවට උත්තර දෙන්න බෑ. ඉස්සර වෙලා මේ ළමයින්ට ඉන්න හිටින්න තැනක් ගෙයක් දොරක් හදාගන්න එපැයි. කොහොමත් ඔය මහ ගෙදර අපේ පරම්පරාවේ මහ ගෙදර, උඹ වෙස්සන්තර වෙලා එයාට දීලා ආවට. එහෙමනම් ඔය මහ ගෙදර ඉසුරිගේ නමට ලියන්න කියලා කියමු. දෙන්නට එහෙයි මෙහෙයි මාරුවෙන් මාරුවට ඉන්න බැරිය. හූවෙ දුරනේ.” 

සරෝජිනී  කියවාගෙට ගියේ කටපාඩම් කරගෙන උන් පරිද්දෙන්ය. ඇයට දෙමව්පියන්ගෙන් දායාද ලෙස ලැබුණේ දැනට නිවස සාදා පදිංචිව සිටින මේ ඉඩමය. නිවස සාදා ගැනීම සඳහා තාත්තාගෙන් සේම සොහොයුරාගෙන්ද  යම් යම් උදව් උපකාර ලැබූ බව සැබෑය. එහෙත් වැඩි වටිනාකමකින් යුතු පාර අයිනේ වන මහ ගෙදරත් ඉඩමත් තාත්තා ලිව්වේ සොහොයුරාගේ නමටය. ඔහු දික්කසාදයෙන් පසුව වෙනම පදිංචියට පැමිණෙද්දී ඒ මහ ගෙදර ඉසුරිගේ මවගේ නමට පැවරූයේ දරුවන් තිදෙනාත් ඇයත් අනාථ නොවිය යුතුයැයි පවසමින්ය. එදා සිට සරෝජනීට මහ ගෙදර ගැන ඇති වූයේ තණ්හාවකට සමාන වූ හැඟීමකි. තමාගේත් සොහොයුරාගේත් ළමා කාලය ගෙවුණු නිවස යම් දිනක ඉසුරුටත් නොදන්නා  ගැහැණියකටත් අයිති වේයැයි සිතද්දී ඇයට ඉවසුම් නොදේ. තමාගේත් සොහොයුරාගේත් මහගෙදර වැඩි අයිතියක් ඇත්තේ පාරින්ද කසාද බැඳීමට උන් ඉසුරිටයැයි සරෝජනීය විශ්වාස කළාය.

“ඒක කරන්න බෑනෙ අක්කේ. එතන ලොකු පුතාටයි ඉසුරිටයි නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණයක් නෑ. මං ලොකු පුතත් එක්ක කතා කතා කරන්නම්.”

“එයා එක්ක මොනවා කතා කරන්නද? මේවා අපි අපි කතා කරලා තීරණය කරනවා මිසක්කා. මේ කාරණා කටයුතු ඉක්මනින් සිද්ධ වෙන්න ඕනනම් ඒවා වෙන පිළිවෙලක් ගැන මල්ලි මට තීරණය කරලා කියන්නකො. කොහොමටත් ඒකිත් එක්ක මගේ ඇයි හොඳයියක් නෑනේ. අම්මපා මං මේ අදත් කියන්නේ තමන්ගේ සහෝදරයාට ද්‍රෝහී වෙන්න බැරි කමටයි අර අහිංසක කෙල්ලගේ හිත රිද්දන්න බැරිකමටයි මිසක්කා අර ගෑනිට ගෑවුනු තැනකින් බළල් පැටියෙක්වත් ගේන්න මං කැමති නෑ. මං කොහොමද ලොකු පුතා හැදුවෙ කියලා මල්ලිත් නොදන්නවා නෙමෙයිනේ. අයියගේ පැත්තෙන් ලොකු පුතාට මංගල යෝජනා දෙකක්ම ආවා. එකක් එහෙ බින්න බහින්න යන්න. පාදුක්කේ මහ පාර අයිනෙම අක්කර එකහමාරක ඉඩමක් එක්ක ගෙයක්. අනිත් ගෑණු ළමයා ඉස්කෝල ගුරුවරියක්. ඒ උනාට දීපු පොරොන්දුවක් කඩන සිරිතක් මගේ ලොකු පුතාගෙයි දෙන්නගෙම නෑ…

සොහොයුරිය දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. සුරංග ඇය ගැන හොඳින්ම දනී. මෙවේලෙහි ඇය උත්සාහ කරන්නේ ඉසුරිත් ලොකු පුතාවත් ඉස්සරහට දමමින් තම ඕනෑ එපාකම් ඉටු කරගන්නටය. ඉසුරිගේ මවගේ නමට මහ ගේ  ලියද්දී වැඩිපුරම විරුද්ධ වූයේ ඇයය. 

“ඔව් ඉතින් උඹටත් කරන්න යුතුකමක් කියලා දෙයක් තියෙනවනේ. දැන් ඉතිං වෙච්ච වැරැද්ද හදා ගන්නන බෑ. මේ ළමයි තුන්දෙනාම උඹේ බව උඹ  සහසුද්දෙන් දන්නවා. ඒ නිසා උන්ව පාරට ඇදලා දාන්නේ නැතුව ඉන්න හිටින්න තැනක් උන්ට දෙන්න තීරණය කරපු එක වටිනවා.”

ඇගේ සැමියා පවා  පැවසූයේ ඒ අයුරින්ය. මෙවේලෙහි සොහොයුරිය උත්සහ කරන්නේ තමාට අහිමි වූ මහ ගෙදර යළිත් ඉසුරිගේ මාර්ගයෙන් පාරින්ද වෙත පවරා ගැනීමට බව විශ්වාසය. සුරංගගේ සිතට ඉසුරි පිළිබඳව දැනෙමින් තිබුණේ වේදනාවකි. ඔහු පුටුවෙන් නැගී සිටියේ ඒ වේදනාව එලෙසම තිබියදීය. 

“වරෙන් ප්ලේන්ටියක් ගහලා එමු…”

එහාපස  අසුනේ උන් මිතුරාට එසේ පැවසූ සුරංග ඉස්සර වූයේ කුමක් කරන්නේදැයි සිතමින්ය. සිය විවාහ ජීවිතය අමු සොහොන් පිටියක් සේ වූයේ ඇගේ වරදින්ම පමණක් නොවන බව විශ්වාසය. නිවස තුළ සැහැල්ලුවට හැදී වැඩුණු තමා විවාහ ජීවිතය තුළත් ඒ සැහැල්ලුව සෙවූ බව සුරංගට සිතෙන්නේ දැන්ය. වෙනසකට වන්නේ වර්තමානයේ තමාගේ බිරිඳ තුළ වන ඉවසීම දික්කසාද කළ ඈ තුල නොවීමය. එනිසාම විවාහ ජීවිතය නීරස වන්නට බොහෝ කල් ගත වූයේ නැත. 

“මොකක්ද අවුල…..”

රංජිත් ඇසුවේ සුරංග තමා ඉදිරිපස තැබූ ප්ලේන්ටිය සීනි දමා කවලම් කරනා අතරතුරය. 

“අක්ක කතා කරලා ඉසුරි වෙනුවෙන් මහ ගේ ඉල්ලනවා…

ඔහු සියල්ල පැවසූයේ කෙටි කරමින්ය. 

“ඒක හරි කතාවක්නෙ බං. එතකොට අනිත් ළමයි දෙන්නයි අර ගෑනී පාරට බහින්නද?”

ඔහු ඇසුවේත් සුරංගගේ හිතේ තිබූ ප්‍රශ්නයමය. 

“අපේ අක්ක ළඟ උනත් අර අහිංසක දරුවා පාච්චල් වෙන්න යන්න ඕනෙ නෑ රංජි. අකමැත්තෙන් වුණත් මට මේ ගැන ඉසුරුගේ අම්මත් එක්ක කතා කරන්න වෙනවා. මහ ගේ  වටිනාකමට පෑහෙන්නේ නැතිවුණත් ඒ දරුවට වටිනාකමක් හදල දෙන්න වෙනවා.”

සුරංග තම තීරණය පැවසූයේ විනාඩි කිහිපයක් නිහඬව සිටියාට පසුවය. 

“උඹට  ඉවසීමෙන් ඒ දේ කරගන්න පුළුවන් නම් හොඳයි.” 

රංජිත් එසේ පැවසූයේ මිතුරාගේ පිටට තට්ටුවක් ද යොදමින්ය. 

“අවුරුදු කීපයක කැපවීමෙන් හරි උඹ හොයපු සතුට සැනසීම පිරිච්ච ජීවිතේ  අද උඹ හදාගෙනන ඉවරයි. අන්න ඒක මතක තියාගෙන ඉවසීමෙන් මේ වැඩේ කරන්න. මොකද ඉසුරි වගේ දරුවෙක්ට අසාධාරණයක් කරලා උඹේ  හිතට නිවනක් නැතිවෙයි.”

සුරංග හිස වැනුවේ තම මිතුරාව අනුමත කරමින්ය.

( හමු වෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles