“ඔයාලට අපිව මිසක් අපිට ඔයාලව ප්‍රශ්නයක් නෑ” කියලා හිතාගෙන උන්නට අපිට උන්ව ලොකුම ලොකු ප්‍රශ්නයක් කියලා තේරෙන්න පටන් ගත්තෙ ෆේස්බුක් එකේ එහෙ මෙහෙ අපේ නම ගාවලා, අපේ කෑම පෙට්ටි වල ෆොටෝ දාලා යන්න ගියපු මඩ ප්‍රචාරයක් දැකලා. අපි ලොකුවටම බිස්නස් කරන්නෙ පික් මී ෆුඩ්ස් එකෙන් හන්දා “ඔය ෆේස්බුක් එකේ යන සීන් අපිට ලොකුවට කේස් වෙන එකක් නෑ” කියලා හිතුවට කැම ඕඩර් දාද්දි, ඒවා බෙදන්න යද්දි මිනිස්සු අහන් “ඔයාල කොහෙ ඉඳන්ද කෑම ගේන්නෙ?කවුද උයන්නේ? “කිචන් එකක් තියෙද?” වගේ ප්‍රශ්න වල තැවරිලා තිබ්බෙ ෆේස්බුක් පෝස්ට් වල පලවෙලා තිබ්බ ආරංචි විත්තිය මට නොතේරුණා නෙවෙයි.
“අපි හිතුවට වඩා මේක ලොකු පිළිලයක් වෙන්නයි යන්නෙ?” කියලා කතාව පටන් ගත්තෙ මමමයි. ඒ වෙලාවෙ අපි උන්නෙ කුස්සියට වෙලා එලෝලු කපන ගමන් හෙට ඕන කරන. කාන්ති අක්කා උන්නෙ හාල් ගරලා බත් උයන මුට්ටියට දාලා තියෙන එක.
“හැබෑටම නංගියෙ අපිට මොකද්ද දැන් ඕක වෙනුවෙන් කරන්න පුළුවන්?” කියලා කාන්ති අක්කා අහද්දිත් මං කල්පනා කරේ ඇත්තටම මොකද්ද අපිට මේක දෙන්න පුලුවන් උත්තරේ කියලා.
“මිනිස්සු දැන් අහනවලු අක්කේ අපි කොහොමද උයන්නේ? කවුද උයන්නෙ? කොහෙද උයන්නෙ කියලා. එදා ආපු අර කුසල් කාරයා කිව්ව කතාව හරි. උන් අපිට වඩා ලොකු හන්දායි සල්ලි බලේ තියෙන හන්දයි මේ වගේ ජාති කරන එක උන්ට ලේසියි. එතකොට තමා මට හිතෙන්නෙ එදා මං කලබල වෙලා මිනිහව පන්නගත්තෙ අපරාදෙ මිනිහා කියන්න ආවෙ මොකද්ද කියලා මට අහගෙන ඉන්න තිබ්බෙ කියලා”
“ඒ උනාට ඉතින් ඒ යකා කතා කරන් ආවෙ හරියට නිකන් උන් උයපුවා අපි බෙදනවා වගේනේ. අනේ මන්දන්නෙ නෑ. මංජු කිව්වා අර ගෝල්ෆේස් එකේ ඔෆිස් එකට කෑම යවන තැන වෙනදා අපෙන් ගත්ත කෙනෙක් අර මනුස්සයලා වෑන් එකෙන් ඇවිල්ලා බෙදන කෑම ගන්නවා කියලා”
“ඔව් ඒ මනුස්සයා මට කතාකරේ එයා වෙන ඔෆිස් එකකට යන හන්දා ආයෙ අපෙන් කෑම ගන්නෙ නෑ කියලා. ඒ උනාට මංජු පස්සෙ ඇවිල්ලා කිව්වම තමයි මටත් තේරුණේ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. අනිත් අය ඔය විදියට වෙනස් වෙන්න මහ කාලයක් යන එකක් නෑ අක්කෙ මේ යටෙන් යන ගේම නතර කරගත්තෙ නැත්තම්”
“අපිට බැරිවෙයිද නංගි වෑන් එකක් අරගෙන ඔය කෑම බෙදන වැඩේට යන්න? ඒ මිනිස්සු එන්නෙත් වෑන් එහෙකින් නෙ. අපිත් එහෙම වෑන් එහෙකින් ගෙනියලා කෑම බෙදන්න ගත්තොත් සමහරවිට අපෙන් මිනිස්සු තව වැඩිය කැම ගනීවි නේද? අපේ නම එහෙම ඉස්ටිකර් කරලා” කියල කාන්ති අක්කා කියද්දි මං කරේ අක්කා දිහාව බලලා යාන්තමට හිනාවෙන එක. මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ වෙන්නෝන එහෙම පිට ඔපෙන් දෙන තාවකාලික උත්තරයක් නෙවෙයි කියන එක මට තේරුණාට ඒක කාන්ති අක්කාගෙ ලෙවල් එකේ මනුස්සයෙක්ට නොතේරෙනවා කියලා දන්න හන්දම මම ඒක කාන්ති අක්කට එක්ස්ප්ලේන් කරන්න හැදුවෙ ඒ බී සී වල ඉඳලමයි.
“වෑන් එකක ගන්න බැරිකමක් නෙවි අක්කෙ තියෙන්නෙ, අපි වෑන් එකෙන් නෙවෙයි ප්ලේන් එකෙන් ගිහිල්ලා කෑම බෙදුවත් අපේ කෑම වල කොලිටියට මිනිස්සු කියන කතන්දර ඒකෙන් අඩුවෙන්නෙ නෑනෙ. ඉස්සෙල්ලා අපි බලන්නෝන අක්කේ මේ කෑම ප්‍රශ්නෙ විසඳගන්නෙ කොහොමද කියන එක?” කියලා එවෙලේ කාන්ති අක්කට කිව්වට ඇත්තටම ඒ වෙලාවෙ නම් මට ඒකට උත්තරයක් තිබ්බෙ නෑ.
අහස්ට එතකොට මාස හතරක් පහක් වගේ.බොරු කියන්නෝන නෑ මගේ ගැනයි, මං උහලපු, උහුලන දුක් කන්දරාව දැක්ක හන්දද මන්දා අහස් කවදාවත් මට කරදර කරේ නෑ. අපි උයන වෙලාවට ඇහැරලා ඇඬුවෙ නෑ. ඇහැරුණත් ඇඳට වෙලා උන්නා මිසක්කා කරදර කරේ නෑ. මං කිරි දෙද්දි අනං මනං නැතුව කිරි බිව්වා, නින්දට දැම්මම නිදාගත්තා. මං වැඩ කරල මහන්සි වෙලා ළඟට ආවම ඇස් දෙක ලොකු කරලා මං දිහා බල බල හිනා වෙන ගමන් අත් දෙක ගහ ගහා මොන මොනවද කිව්වා.
“අනේ මේ දරුවගෙ ලස්සන බලන්න අපි විතරනෙ ඉන්නෙ?” කියලා කාන්ති අක්කා අහස්ව වඩාගෙන කියද්දි ඇත්තටම ගයාන් මේ දරුවව දැක්කා නම් දරුවගෙ මූණ දැක්කනම් ඒත් දරුවව රිජෙක්ට් කරාවිද කියන එක මම හිතුවෙ නෑ. අහස් කියන්නෙ ගයාන්ගෙ දරුවා කියන එක කියන්න හොඳම සාක්කිය උනේ එච්චර පුංචි කාලෙ ඉඳලම අහස්ගෙ ඇහිබැම ගයාන්ගෙ වගෙම එකට හා වෙලා තිබ්බ එක. ඉස්සර ගයාන් එක්කල ඉද්දි, හැම දේකටම පස්සෙ එයාගෙ පපුව උඩ ඔලුව තියාගෙන මූණ දිහා බලාගෙන ඉද්දි මං මගේ ඇඟිල්ලෙන් එයාගෙ ඒ එකට යාවෙච්ච ඇහිබැම අතගාපු හැටි මට එතකොට මතක් වෙනවා. කිරි බීලා අහස් නිදාගනිද්දි මං ඕව කල්පනා කර කර ඉන්න ගමන් අහස්ගෙ ඇහි බැමත් ඒ විදියටම අතගානවා. ඉන්පස්සෙ “මේව හරිනම් මං අමතක කරන්නෝන මතක නේද?” කියලා ටක් ගාල මොලේ සිග්නල් එක දෙද්දි මං මගේ අත අහක් කරගන්නවා. මේ දරුවගෙ ඇඟ අස්සෙ ගයාන්ගෙ ලේ දිව්වත්, එයාගෙ පෙනුම ගොඩක් තැන් ගයාන් වගේම උනත්, මේ දරුවාව භාරගත්තෙ, දරාගත්තෙ මං තනි අතෙන්, හිතෙන් හන්දා මං මේ දරුවා මගේ දරුවා මිසක් ගයාන්ගෙ කියලා මම පිළිගත්තෙ නෑ.
“මට පුලුවන් අක්කෙ මේ දරුවට අම්මයි තාත්තයි ආච්චියි සීයයි ඔක්කොම වෙන්න. ඒකෙ නරක බලපෑමක් තියෙන්න බැරිකමක් නෑ කියලා මම කියන්නෙ නෑ. ඒ උනාට ලෝක සම්මතේට ජීවත් වෙන්න කියලා හිතාගෙන නොදන්න උන්ව ගේ අස්සටයි ජිවීතේ අස්සටයි දාගෙන කබලෙන් ලිපට වැටෙනවට වඩා හොඳයි ඔක්කොම මමම කරගන්න එක” කියලා මම කාන්ති අක්කට කිව්වෙ අන්න ඒ හන්දා.
ඒ විදියටම තමයි බිස්නස් එක කෙලවෙන්න කලින් ගොඩ දාගන්න ඕන නම් මම අඩියක් ඉස්සරහට තියන්නෝන කියන එක. මම කොච්චර උත්සහ කරත් එදා ආව කුසල් හාමි දුන්න නම්බර් එක වැඩ කරේ නෑ. මිනිහා නම්බරේ වෙනස් කරලද, මිනිහා එතනින් අස් වෙලාද කියලා දන්නෙ නැතිහන්දා තමයි මංජුට කිව්වේ “අපි නිකමට වගේ උන්ගෙ ඔෆිස් එක තියෙන තැනට ගිහින් බලමුද? මම ඇඩ්‍ර්ස් එක නම් හොයාගත්තා එදා මිනිහා දීලා ගියපු විසිටින් කාඩ් එකේ තිබිලා” කියලා.
ඒ විදියට තමයි මමයි මංජුයි ගුඩ් ෆුඩ්ස් එකේ ඔෆිස් එක හොයාගෙන යන්න ප්ලෑන් කරේ.ඇඩ්‍රස් එකේ තිබිච්ච කොළඹ හතේ ලොකේශන් එක හොයාගෙන යද්දි මට තිබිච්ච ලොකුම බය දන්න අඳුනන මූණක් මොන විදියකින් හරි මාව දකීවිද කියන එක. ගයාන් හරි, කැම්පස් එකේ යාලුවෙක් හරි වෙන කවුරුහරි මාව දැකලා ආය මම බොහොම අමාරුවෙන් යටපත් කරගෙන ඉන්න ප්‍රශ්න ටික උඩට ඒවි කියන බය මාව හොඳටම බයට පත් කරලා තමයි තිබ්බෙ. අනික හදිසියේ හරි අඳුරන කෙනෙක් හම්බුනොත් මං එයාලට මොකක් උනා කියලද කියන්නෙ කියන ප්‍රශ්නෙ මට ලොකුවටම තිබ්බා.
ඒ හැම කල්පනාවක් එක්කම ඇවිල්ලා අපි නතර කරේ බාන්ස් ප්ලේස් එකේ තැනක.
“මේක මේ කැම හදන තැනක් කිව්වට ගෙයක් වගේ නේද?” කියලා මංජු කිව්වේ වීල් එකේන් බැහැලා තාම වීල් එක ඇතුලෙ වාඩිවෙල ඉන්න මං දිහාව බලාගෙන. අපි වාහනෙ නතර කර තැන, අපි හොයාගෙන ආව අංකෙ ගහපු දුඹුරු පාට තාප්පෙට උඩින් විහිදිච්ච දම්බර්ජියා මල් වැල් හන්දා මේ ගෙයක්ද ඔෆිස් එකක්ද කියලා හිතාගන්න ලොකු පුළුවන්කමක් තිබ්බෙ නෑ.
මං ගෙදර තාප්පේ හයි කරලා තිබ්බ සීනුව නාද කරේ අන්න ඒ හන්දමයි.
ඒ සීනුව නාද කරලා “මං ආවා” කියලා දුන්න දැනුම් දීම මගෙ ජිවීතේ ඉස්සරහට තව සෑහෙන්න වෙනස් කරාවි කියලා මං කවදාකවත් බලාපොරොත්තු උනේ නෑ.