ඉඩෝරයක මල් වැස්සක් 23

ඉසුරි දැන් සවස තේ සාදන්නේ අම්මාටත් එක්කය. උපකාරක පන්ති ගිය නංගි තවමත් නිවසට පැමිණ සිටියේ නැත. මල්ලි ක්‍රිකට් පුහුණුවීම් වලය. හන්දියේ වඩේ කරත්තයෙන් රුපියල් පනහකට ගෙන ආ වඩේ පාර්සලය කුඩා දීසියකට දැමූ ඈ රාජිනී සොයා ගියේ අත්තම්මාගේ තේ කෝප්පය ඇගේ අතටම දුන්නාට පසුවය.

ඉසුරි රාජිණීගේ කාමරයට ඇතුළු වූයේ ඇයට කතා නොකරමය. රාජිණී  අත වූයේ අම්මාගේත් තාත්තාගේත් මගුල් පින්තූරයය. ඒ දෙස බලාගෙන ඈ ලොකු කල්පනාවකය. ඈ මුලින්ම කළේ වඩේ පීරිසියත් තේ කෝප්පයත් පසෙක වූ කුඩා මේසය මතින් තැබීමය. අනතුරුව අම්මා අසලට ළං වී ඇගේ එක් උරයකින් තම දකුණත තැබුවාය. තිගැස්සුණු රාජිණීගේ අතින් මඟුල් පින්තූරය බිම වැටෙන්නට ගියත් ඉන් පෙර ඉස්සර වූ ඉසුරි එය තම දෝතින් අල්ලා ගත්තාය. 

“කතා කරලා කාමරේට එන්න දන්නේ නැද්ද ඉසුරි. ඕගොල්ලෝ දැන් කසාද බඳින්න ඉන්න  ළමයි. මීට වඩා සැලකිල්ලෙන් වැඩ කරන්න පුරුදු වෙන්න.”

ඉස්සර වූයේ ඇගේ කෝපය වුවත් යුවතියගේ දෑස් වලට අසූවූයේ  ඇගේ දෑස් වල පිරී තිබූ කඳුළුය. වෙනදානම් කිසිවක් නොකියා හැරී යන යුවතියට අද එසේ කරන්නට සිතුනේ නැත. ඕ මගුල් පින්තූරය පසෙක තබා ඇගේ දෙපා මුල දණ ගසා ගත්තේ එනිසාය. 

අතීතයේ දිනක තාත්තා විසින් මේ මගුල් පින්තූරය බිම දමා වීදුරු කටු, දසත විසිර යන අයුරින් සුණු විසුණු කළ අයුරු යුවතියගේ දෑස් වල මැවී නොපෙනී ගියේ එවේලෙහිය. පසුව අම්මා හඬා ගෙන කාමරයට යද්දී අතුගා පිරිසිදු කරමින් දසත විසුරුණු වීදුරු කටු එකතු කළේත් තාත්තාමය. පසු කලෙක මේසය  මත ඔහේ දමා තිබූ පින්තූරය යළි රාමුකරමින් අම්මා සිය ඇඳුම් අල්මාරියේ එක් පසෙක තබා තිබූ බව ඉසුරි  දුටුවේ බොහෝ කලකට පසුවය. 

“එයාට තිබුනනේ රණ්ඩු වෙන්නෙ නැතුව තාත්තා එක්ක ඉන්න..”

නංගීත් මල්ලිත් බොහෝ දිනවල අකාරුණික අයුරින් පවසනු ඉසුරිට ඇසී ඇත. එහෙත් කුඩා කල සිටම යමක් තේරුම් ගැනීමේ හැකියාව වූ යුවතිය දෙදෙනාගෙන් එක් අයෙකුටවත් දෝෂාරෝපණය කරන්නට නොගියාය. 

අම්මා දින කිහිපයකින් තමාගේ මුහුණු පොතවත් ටික්ටොක් ගිණුමවත් පරිහරණය කර නොමැති බව ඇය වටහා ගත්තේ සවස කාර්යාලයේ සිටියදීය. මුහුණු පොත ගිණුමක් වුවත් එහි උඩ පහළ යන්නට මිස දවස ගණනේ කුමක් හෝ ලියන්නට, ඡායාරූප එකතු කරන්නට උත්සාහ නොකළ ඉසුරි එවේලෙහි මුහුණු පොත ගිණුමට ඇතුළු වූයේ ඒ බව හරි හැටිම තහවුරු කරගන්නටය.

“ඉසුරි දැන්නේ  ආවේ ඇඟපත හෝදගන්න…..”

යළිත් රාජිනී පැවසූයේ උස් හඬින්ය. එහෙත් ඒ හඬ වෙවුලමින් තිබිණ. 

“අම්මේ….මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවානම්  මමත් එක්ක කතා කරන්න. මම දැන් ලොකුයි. මට දෙයක් තේරුම් ගන්න පුළුවන්. හරි වැරැද්ද මට තේරෙනවා. අම්ම මොකක් හරි ප්‍රශ්නෙක..ඒකත් මට දැනෙනවා”

“ප්‍රශ්නයක් නෑ ඉසුරි. ඔයා ඒවා ගැන හිතන්න අවශ්‍ය නෑ. ලොකු පුතත්  එක්ක කතා කරලා ලස්සනට චාමෙට මේ වැඩේ කරන්න සැලසුම් කරගන්න. ඉසුරිට තාත්තා කතා කළේ නැද්ද ළඟදි.”

“මං එදා මල්ලි ගැන තාත්තත් එක කතා කළානේ අම්මේ. තාත්තා ඇවිල්ලා කෝච් සර්ව හම්බවෙලා තිබුණා. ඒ ගැන කියන්න මට කතා කළා. කෝච් සර්  දැන් මල්ලි ගැන ටිකක් තදට හොයලා බලනවා.”

“ඒක හොඳයි…..”

“ඇයි අම්මා කවදාවත් නැතුව මේ පින්තූරෙ දිහා බලාගෙන කල්පනා කරන්නේ. විසඳ ගන්න බැරි ප්‍රශ්න මේ ලෝකෙ නෑ අම්මේ. අම්ම මේ වගේ ගමනක් යන්න තීරණය කළේ අකැමැත්තෙන්නම් ඒ ගමන නොයා ඉන්න. අපි කවුරුවත් සල්ලි ඉල්ලලා අම්මට බල කරන්නේ නෑ. මට මේ වෙලාවේ නංගිවයි මල්ලිවයි බලාගන්න පුළුවන්. ගෙදර කන බොන එකත් අපි මොනවා හරි කරගමු අම්මේ.”

“ඒ ගමන නොයා බෑ ඉසුරි.”

දිගු සුසුමක් මුදාහල රාජිණී එවර පැවසූයේ ඉසුරිගේ හිස කේ  මත තම දෑඟිලි යවනා අතරය. 

“ඉස්සර නොතේරුම්කමට ගොඩක් දේවල් උනා ඉසුරි. දුර දිග හිතන්නෙ නැතිකමයි ඉවසීමයි ගෑනියෙක්ට නැතිවුණාට පස්සේ ජීවිතේ  මොන මොන දේවල් වෙයිද කියලා කාටවත් කියන්න බෑ. අපේ ප්‍රශ්න ළඟදි තාත්ත යම් තරමකට ඉවසුව බව ඇත්ත. ඒත් මගේ ළඟ ඒ ඉවසීම තිබුනේ නෑ.”

“අම්මා අද ඒ ගැන පසුතැවෙනවද.”

“ජීවිතේ  හදිසි වෙලා තීරණ ගත්ත හැම ගෑනියෙකුටම වෙන්නේ නිදහසේ පසුතැවෙන්න ඉසුරි. තාත්තයි මමයි අතර කසාද බැන්දට පස්සේ විතරක් නෙමෙයි. කසාද බඳින්න කලිනුත් මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා.”

ඉසුරි දෑස් විසල් කර ගත්තේ තමා මෙතුවක් නොදැන සිටි ඒ කතාව අසන්නටය. ඇය දන්නා විදිහට අම්මාත් තාත්තාත් විවාහ වී තිබුණේ වසර හතරක ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙසය.

“ඉස්සරත් ගොඩක් තැන්වලදී මම තාත්තව සැක කළා ඉසුරි. හේතු ඇතුවත් නැතුවත් මට තාත්තා නැති වෙයි කියලා බයකින් මම ජීවත් වුණා. තාත්තට නිදහසේ යාළුවෙක් ඇසුරු කරන්න, නිදහසේ ඥාතියෙක්  ඇසුරු කරන්න, අඩු ගානේ එයාගේ ඥාති ගෙදරක යන්නවත් මම ඉඩ දුන්නේ නෑ. ඒ හැමෝටම වඩා තාත්තගෙ හිතේ ඉහලින්ම මම ඉන්න ඕනෙ කියලයි මම හිතුවේ. ඒ නිසාම සමහර අවස්ථාවල තාත්තයි මමයි අතර පුංචි පුංචි මත ගැටුම් ඇතිවුණා. හැබැයි ඒවා කසාදෙන් පස්සේ මේ තරම් දුරදිග යයි කියලා මං කීයටවත් හිතුවේ නෑ. මං පසුතැවීමෙන් තමයි ඉසුරි. ආපහු හැරිලා බලද්දි හදාගන්න බැරි ගොඩක් වැරදි මගේ අතින් සිද්ධවෙලා තිබුණා. ඔයාගේ තාත්තටත් මාව තේරුම් ගන්න බැරි වුණා. පුංචි කාලෙ ඉඳලම මං ටිකක් සැර පරුෂ චරිතයක්. මං ගැන ඕනවට වඩා හිතපු කෙනෙක්. ඒක තාත්තා නොදැන හිටිය නෙමෙයි…”

රාජිනීගේ කොපුල් දිගේ  කඳුළු වැල් දෙකක් බේරී යමින් තිබිණ. සුසුමක් හෙළුනේ ඉසුරිටය.

“ගෑනියෙක්ට ජීවිතයේ වරදින්න මහ ලොකු කාලයක් යන්නේ නෑ ඉසුරි. අන්තිමට තාත්තගෙයි නර්මදාගෙයි  සම්බන්ධේ මගේ අතටම අහුවෙද්දි ආපස්සට හැරෙන්න බැරි තරම් දුරක් තාත්තයි මමයි දෙන්නම ඇවිදගෙන ගිහින් තිබුණා. දවසක් මං අහම්බෙන් තාත්තගෙ ඩයරියක් කියෙව්වා. එක දිගට නැති උනත් තාත්තා ඒ ඩයරියේ  එයාගේ ජීවිතේ විඳවපු හැටි ගැන ලියලා තිබුණා. ඒ වගේම නර්මදා හම්බ වුණාට පස්සේ එයාගේ ජීවිතේ ඒ විඳවීමත් සතුටක් විදිහට  දැනෙන හැටි ලියල තිබුණා. ඇත්තටම නර්මදා කියන්නේ ජීවිතේ ලොකු ඉවසීමකින් දරා ගත්ත ගෑනියෙක්. දන්නවද ඉසුරි නර්මදාට ඔයාගේ තාත්තව අයිති කරගන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. ඒක මං හොඳටම දන්නවා. මේ උඩු හිත මොනවා කිව්වත්, කළත් යටි හිත දන්න ඇත්ත හංගන එක ලේසි නෑ. නර්මදා  කියන්නේ පවුලක් කඩලා දාලා ඔයාගේ තාත්තව අයිති කරගත්ත ගෑනියෙක් නෙමෙයි.”

ඉසුරි යළිත් තමදෑස් විසල් කර ගත්තේ විමතියෙන්ය.. ඊයේ පෙරේදා වනතුරුත් අම්මා නර්මදා පුංචි අම්මාට දෙස් දෙවොල් තබන අයුරු ඉසුරි අසාගෙනය. ඉසුරිගේ සිතෙහි මැදහත් සිතුවිල්ලක් වුවත් මල්ලීත් නංගිත් සිටියේ නර්මදා පුංචි අම්මා ගැන පුදුමාකාර වෛරයකින්ය. 

“නර්මදා  කවදාවත් ඔයාගේ තාත්තට බල කලේ  නෑ ඉසුරි අපිව දාලා එයා ගාවට එන්න කියලා. විශේෂයෙන් ඔයාල තුන් දෙනාව දාලා. එයා හැමදාම  ඔයාගේ තාත්තගේ හිතට ජීවත් වෙන්න හයියක් උනා. අදටත් මං දන්නවා තාත්තා ඔයා එක්ක කතා කරන තැනකවත් එයා රැඳිලා ඉන්නේ නෑ.

“අම්මේ එතකොට…..”

“මමයි දවසක්  තාත්තට මේ ගෙදරින් යන්න කියලා කිව්වේ. මං දන් නෑ මට ඒ කාලේ මොනව උනාද කියලා. මට බය හිතුණා තවදුරටත් අපි දෙන්නා එකට හිටියොත් මම හරි ඔයාගේ තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් අපි අතින් මැරුම් කයි කියලා. ඒ තරමට සමහර දවස්වලට අපේ ප්‍රශ්න දුර දිග ගියා. ඔයාගේ තාත්තා සමහර වෙලාවට මට කෑ ගහලා කියනවා මට සැනසීමෙන් ජීවත් වෙන්න දියං ගෑනියේ  කියලා. මං තාත්තගෙ කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා ආපහු මං ඔයාට කෑ ගහන්නෙ නෑ ඔයා එක්ක රණ්ඩු වෙන්නේ නෑ කියලා. දවසක් දෙකක් අපි දෙන්න කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉන්නවා.”

ඇය මේ පවසන්නේ මුසාවක් නොවේ. මහ රෑ වනතුරුත් එකිනෙකාට චෝදනා කරගන්නා, බැන ගන්නා ඔවුන් දෙදෙනා උදෑසන සිනහ  සෙමින් එක්ව සිටින අයුරු ඉසුරි ඕනෑ තරම් දැක තිබිණ. මිනිසුන්ට එසේ විය හැකිදැයි දෙවරක් සිතීමට තරම් එදවස ඈ මේරු සිත් ඇත්තියක නොවූවාය.

“දවසක් තාත්තා ඇහුවා අපි දෙන්නා තව දුරටත් මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑ වෙන් වෙමුද කියලා. එතකොට මං නර්මදා ගැන දැනගෙන හිටියේ නෑ. මං කිව්වා ‘ඔව් උඹටට යන්න පුළුවන්නම් මටත් තනියෙන් ඉන්න පුළුවන් කියලා.’  ඒත් දවස්වල දැනමුතුකම් කියල දීලා. ජීවිතය කියන්නෙ මේක නෙමෙයි කියලා, කියලා දීලා අඩුම තරමෙන් මනෝ වෛද්‍යවරයෙක් ගාවටවත් අපිව ගෙනිහිල්ලා උපදෙසක් දෙන්න කෙනෙක් හිටියේ නෑ. හැමෝම අපි දිහා බලන් හිටියා. අපිව රස වින්දා.”

“අනේ අම්මේ….”

“ඒක තමයි ඉසුරි ඇත්තම කතාව. එදා මීට වඩා චුට්ටක් දුර ටික හිතුවනං ඔයාගේ තාත්තයි මමයි දෙන්නම එකට ජීවත් වෙනවා. නර්මදා  තාත්තට එවපු ලියුමක් මට හම්බවුණේ අහම්බෙන්. ඉසුරි..ඔය අල්මරියේ ලාච්චුවක  ගුරු පාට ලියුම් කවරෙක ලියුමක් තියෙනවා. ඒක අරගෙන එන්නකෝ….”

ඉසුරි නැගී සිටියේ රාජිණි එසේ පැවසුවාට පසුවය. ඈ නැගිට ගොස් කිරි කිරි හඬ නංවන අල්මාරිය විවර කළේ ගැහෙන දෑත් වලින්ය. 

( යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles