දියණියට සාරතී සමඟ සෙල්ලම් කරමින් සිටින්න යැයි පවසා මනුජ මිදුලට බැස්සේය. ගේට්ටුවෙන් පිටතටද ආවේය. විශ්වගේ මෝටර් රියය.
ඉදිරිපස දොර විවෘත විය. විශ්ව ඉන් බැස්සේය. පිටුපස එක් දොරක්ද විවෘත විය. ඉන් බැස්සේ විශ්වගේ බිරිඳය.
විශ්ව මනුජ දෙස බැලුවෙය. මනුජ උන්නේ කුමක්දයි සිතාගන්නට නොහැකිවය.
” මොකෝ බං මේ වෙලාවේ ?”
විශ්ව ගේට්ටුවෙන් ඇතුලට යන්නට බිරිඳට සන් කලේය ඔහුද ඇතුලට ඇවිද යන අතරේ ආපසු හැරුනේය.
” මේක අන්තිම වතාව… උඹ මේ වතාවෙත් අතාරිනවා නම්, පින්සිද්ද වෙයි…. මගේ ඔලුව කන්නේ නැතුව ඉඳහං ඉන් පස්සේ… ඔන්න ඇතුලේ….”
විශ්ව ගේට්ටුවෙන් ඇතුල් වූයේය. මනුජ වහා පිටුපස අසුනේ දොර විවෘත කර එබුණෙය. මෝටර් රථය තුළ ආලෝකය තිබුණි. හඬා ඉදිමී තිබූ සින්දූපා ගේ මුහුණ ඉන් වඩා පැහැදිළි ව පෙනුණි
මනුජ වහා මෝටර් රිය තුල හිඳගත්තේය. සින්දූපා උන් ඉරියව්වේම උන්නාය.
මනුජ සින්දූපා ගේ පාදය දෙස බලන්නට උත්සාහ කලාය. සින්දූපා කලේ ඔහු දෙස බලා හිඳිමය
” ඩිස්චාර්ජ් කලාද ?”
මනුජ එක්වරම විමසුවේ ඇය දෙස වඩා විමසිලිමත්ව බලමිනි.
සින්දූපා හිස සැලුවේ නැතැයි කියන්නටය.
” එහෙනම් ?”
“ආරෝග්‍යා ඇඩ්මිට් වෙන්න කියලා තාත්තා කිව්වා… යන ගමන් ….”
“ඉතින්.. මෙහෙට හැරෙව්වේ මොන එකකටද? ආරෝග්‍යා තියෙන්නේ එහාට නේ…. ?”
මනුජ දැඩි වෙමින් විමසුවේය. හදවතට ඉලිප්පෙන්නට නොදීම උන්නේය. සින්දූපා සරදම් සිනහවක් නැඟුවේ තෙත් කම්මුල් එක් අතකින් පිස දමමිනි.
” සොරි… බහින්න… විශ්ව අය්යට එන්න කියන්න…”
සින්දූපා ද කියා දැම්මාය. ඔහු වටහා ගන්නේම නැතිනම් කුමක් කරන්නදැයි සිතුවාය ඔහු හිතුවාට වඩා සුවෙනි. රැයේ වූ ඔහුගේ කතාබහේ වූ වේදනාව හෝ බලාපොරොත්තු නැති සෙයකි.
මනුජ මදක් පසුබැස්සේය. ඇයට යන්නට දිය යුතුය. එහෙත් තමාට මෙතරම් රිදෙන්නේ මන්ද ?
“ඇයි ඇඬුවේ ?”
මනුජ ඉන් පසුව විමසුවේය. සින්දූපා යලි සරදම් සිනහවක්ම නඟා ගත්තාය.
” අදාල නෑනේ කමාන්ඩර් ඔයාට… මට යන්න දෙන්න..ප්ලීස්… “
මනුජ සුසුමක් හෙලුවේය. තමන් දෙදෙනාම මේ යලි පුණරූපනය කරන්නේ අතීතයේ තමා අත් දැකි යමක් ය. නිර්ධා සමඟින් තමා ගැටුණු විදියය. දෙදෙනාගෙන් කිසිවෙකු අවස්ථාව වටහාගෙන නම්‍යශීලී නොවීමය. ආත්මාභිමානයේ ව්‍යාජ කොටසක්ද ? මනුජ යලි සින්දූපා දෙස බැලුවේය. තමා ආයාසයෙන් දරා සිටිනා සියලු හැඟීම් දියවී යන්නට හැරියේය. හදවත උණුසුම් ව යන බව ඔහුටම දැනෙන්නට දුන්නේය. ඇඟිලි අග්ගිස්සෙන් කාන්දු වන උණුහුම නිරුවත් බාහු වලට දැනෙද්දී, මනුජ ළැම වටා බැඳී තිබූ දෑත් නිදහස් කලේය. දෑතින්ම සින්දූපා ගේ සුරතේ අත්ල මැදි වන සේ අල්ලා ගත්තේය. සින්දූපා තිගැස්සුණාය.
” සින්දූ… ඔයාට හොඳටම විශ්වාසයිද? … මම තමා කෙනා කියලා…”
සින්දූපා ට වචන ගැලපුනේ නැත. ඇය හැඬුවාය. මනුජ ඔහේ බලා උන්නේය. ඇගේ අනෙක් අතද අල්ලාගෙන දෑත්ලම මැදි කරගත්තේය.
” මේක ලේසි වෙන්නේ නෑ… මගේ මුලු හදවතම ඔයාට ලැබෙන්නේ නෑ.. මගේ දරුවාට සෑහෙන්නම ඉඩක් වෙන් වෙනවා… මට .. මට… මොනය්යම් විදියකින් වත් දරුවාව අයින් කරන්න බෑ…. එහෙම වෙන එක… ඔයාට දරාගන්න පුලුවන් වේවිද දරුවෝ ? ම්ම්ම්… මේ ඔයාගේ කීවෙනි සම්බන්ධතාවයද මම දන්නේ නෑ.. ඒත්… මේක ඔයා බලාපොරොත්තු වුන විදියේ එකක් නෙවෙයි බව මට හිතෙනවා… අප්පච්චී කෙනෙක්ට ආදරේ කරන එක… අප්පච්චී කෙනෙක්ව බඳින එක… අනුන්ගේ දරුවෙක්ට … අම්මෙක් වෙන්න තීරණය කරන එක….. මුලදි ලේසිවුනාට මේවා අමාරුම අමාරුයි දරුවෝ…. මං ඔය දෙන්නා අතටමැද්දේ ඉන්න කෙනා…. දෙන්නවම සමානව දරාගන්න බලන් ඉන්න කෙනා…”
“ඔයා… ඔයා… කමාන්ඩර් … දරුවාගෙයි මගෙයි මැදින් ඉන්න ඕනි නෑ… දරුවා ඉන්නේ මගේ පැත්තේ…. ඔයා මැද හිර වෙන්නේ නෑ…. මම චයිල්ඩ් වෝර්ඩ් එකකට ආවේ ඇයිද දන්නවාද ? මම කවදාවත්ම දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් නැති නිසා…. කවදාවත්ම …. සමහරවෙලාවට .. මම… හරි…. ඒ දේවල් මම පස්සේ කියන්නම් .. ඒත්… මට විශ්වාසයි.. විශ්වාසෙන් කියන්නේ මනුජ…. ඔය දෙන්නාවම බලාගන්නම් මැරෙනකල්… මට පුලුවන් උපරිම ආදරෙන්….. මගෙන් දරුවට අඩුවක්, වරදක් , වෙනස්කමක් වුනොත්… එවෙලෙම මාව එලවන්න…”
“ස්ශ්…ශ්…”
මනුජ සින්දූපා ගේ කොපුලක් පිරිමැද්ද්දේය. ඒවා අයිස් සීතලය.
” ඉස්සෙල්ලම සනීප වෙලා ඉමු…”
“බෑ.. මට සැනසීමක් ඕනි…”
“මොකක්ද මම කරන්න ඕනි ?”
සින්දූපා කිසිත් නොපවසා මනුජ දෙස බලා උන්නාය. මනුජ ඇගෙන් ඉවත බලන්නට උත්සාහ කලද, තරුඇස් උන්නේ මනුජව ඉතා තදින් අල්ලාගෙනය.
” සින්දූ …. එහෙනම් අපි දෙන්නාව ඔයාගේ පපුවෙන් තියාගන්න…. මොන දේ වුනත්, මම… මෙහෙමම ඉන්නවා… ඔයාගේ අප්පච්චී ලා….ඒක… ඒක… ..”
“ඒක මම බලාගන්නම්…”
“එපා සින්දූ … මට ඉඩ දෙන්න… බැරිවෙලාවත් අප්පච්චී ලා ඔයාව මට දෙන්න බැහැ කිව්වොත්, දුරින් ඉන්නම්… බලාගෙන….. “
සින්දූපා මදක් ඉදිරියට නැවී මනුජගේ කොපුලක් ඉම්බාය. යළි එතැනම ඉම්බාය. එක් අතක් මුදවාගෙන මනුජගේ හිසකේ අතරින් අතැඟිලි යැව්වාය.
” ඇත්තටම කියන්නේ වස්තුවේ…. මම … ජීවිතේට ආදරේ එපා හිතන් උන්න කෙනෙක්… එහෙම හිස් තැනක් පුරවන්ම නොඋන්න කෙනෙක්.. ඒත් ඔයා ඒ හිස් තැනට පැනලා, බලෙන්ම නතර වුනා.. එතකොට මට … ඒ හිස් තැන හිස් වෙන එක දරාගන්න බැරුව ගියා…. සත්තයි…. මං ආදරෙයි මනුජ….. මං මහ ගොඩක් ආදරෙයි….. “
මනුජ ඇගේ අත අතැර ඇය වටා දෑතම යවා වැළඳගත්තේය. හිස් මුදුනේ නිකට තබාගෙන දෙතුන් වතාවක් මදක් එසවී යලි නැවී හිස් මුදුන ඉම්බේය.
කිසිවක් නොපවසාම උන්නේය.
” ආදරෙයු…”
ඉතා වේගයෙන් ගැහෙන මනුජගේ හදවත මත දෙතොල් තද කරමින්ද සින්දූපා කීවාය.
” මට තේර්‍ර්න්නේ නෑ මම මොනවාද කියන්න ඕනි කියලා…”
” මුකුත්ම කියන්නෙපා… ඔක්කොම කිව්වා ඔයා…”
එක්වරන ඉදිරිපස දොර විවෘත විය. ඉන්පසුව විශ්ව අසුනෙන් මතු විය. ඔහු උන්නේ පිටුපස අසුනෙට එබීගෙනය
” දෙය්යනේ කියලා තොපි දෙන්නාගේ අලි ඔලු ගැලවිලා ගියාද ? හරිද දැන් ?”
ඔහු කෝපය තවරාගෙනම ඇසුවේය.
සින්දූපා මනුජගෙන් ඉවත් නොවීම හිස මදක් පසෙකට කර මනුජගේ දෑස් පාදා ගත්තාය
” එනකල්.. මඟ දිගටම විශ්ව අය්යා මට බැන්නා.. මම පූරුවෙ කරුමයක් කිව්වා… ඔයාටත් බැන්නා.. නිදාගන්න දෙන්නේ නෑ කිව්වා ..කෝල් කරකර වද දෙනවා කිව්ව…”
මනුජ අප්පච්චී ස්වරූපය මවා ගත්තේය.
” මගේ ගෑණි ගේ හිත රිදෙන වචනයක් කියලා තිබ්බොත් එල්ලලා ගහන්නේ මතක තියාගනින්… කොස් වටුවා…”
සින්දූපා මුව ඇද කර විශ්වට සරදම් කලාය.
” අනේ තොගේ එල්ලලා ගැහිල්ල… ආරෝග්‍යා යනවා නම් ඇඳුමක් දාං වරෙං….”
” මෙහෙම අවුලක් නෑ.. ඉඳහං.. මම ෆෝන් එක අරන්, සාරතී නැන්දා ට කියලා එන්නන්…”
“හ්ම්… යමං ඉක්මනට.. අරහෙං දැන් කෝල් එක ඒවි…”
මනුජ සින්දූපා අතැර බැස්සේය. විශ්වගේ බිරිඳ ඉදිරි අසුනේ හිඳගත්තාය.
” ලේසි වෙන්නේ නැති බව මතක තියාගන්න නංගී…. උඹ ඉන්නේ මැද…එක පැත්තක මාමයි නැන්දයි … අනෙක් පැත්තේ අරුයි .. දරුවයි…. බැලන්ස් කරන එක ලේසි වෙන්නේ නෑ…”
“ලේසිනේ නැත්තේ අය්යේ.? කරන්න බැරිනෑනේ ? ඒ නිසා පුලුවන් වෙයි .. මට..”
“හ්ම්…”
මනුජ මෝටර් රිය ට ගොඩ වූයේය.