ළතෙත් ආදර හැඟුම් ගංගා – 25

*තාරානාත් දහම් වංශනායක*

“තාරා එතකොට හිතාගෙන ඉන්නේ ආයෙ තාත්තව එක්කරගෙන වෙන රටක පදිංචි වෙන්න යන්නද?” කියලා රොෂාන් ඇහුවෙ තාත්තගෙ වැඩ ඔක්කොම ඉවර කරලා තාත්තව නින්දටත් දාලා මට ලැබිච්ච පොඩි ඉන්ටර්වල් එකකදි සෙට් උනාම. උදේ ඉඳන් හවස් වෙනකම් තාත්තගෙ වැඩ එක්ක හෙම්බත් වෙන එක මං හරිම ආසාවෙන් කරාට මගෙ ඔලුවයි ඇඟයි තිබ්බෙ ඇත්තටම වැඩ කන්දක මහන්සිය දරාගන්න බැරි තරම් අමාරුවක. ඒ වගේ අමාරුකම් දියකරලා අරින්න මට පුළුවන් උනේ යාලුවො එක්ක මේ වගේ සෙට්වෙච්ච වෙලාවක විතරයි. යාලුවො කිව්වට ඉතින් රොෂාන් තමයි.

“මට ඇත්තටම තේරෙන්නෙ නෑ බං මං මොකද්ද කරන්නෝන කියන එක. හැමදේම මට පේන්නෙ නිකන් තාවකාලික උත්තර විදියට විතරයි. ඉන්ග්ලන්ඩ් වල ඉන්න ලොකු නැන්දා කතාකර හන්දා තමයි මමත් හිතුවෙ පොඩි කාලෙකට හරි එහෙම ගිහින් එන එක හොඳයි කියලා. අනික අපි සිංගපූ වල ඉඳලා ටක් ගාලා අයෙ ලංකාවට ආවෙ බිස්නස් වැඩ හන්දා මිසක්කා, වෙන හේතුවක් හින්දා නෙවෙයිනෙ. දැන් ඉතින් ඒ බිස්නසුත් නැති එකේ වෙන කරන්න දෙයක් ලංකාවෙ මටයි තාත්තටයි නෑ. ගේ බලාගන්න සිරිල් ඉන්න හන්දා ඉතින් ලොකු අවුලක් නෑ’ කියලා මං කියද්දිත් රොෂාන් කරේ බියර් වීදුරුව දිහා බලාගෙන කල්පනා කර කර උන්න එක.

“උඹ වගේ මෙච්චර තරුණ, ජිවිතේ හොඳටම එන්ජෝයි කරපු කොල්ලෙක් ඔය වගේ තමන්ගෙ තාත්තා ගැන හිතන එක මට මාර සන්තෝසයක් මචං. ඒ උනාට උඹ මේ ගෙවන්නෙ මචං කොල්ලෙක්ගෙ ප්‍රයිම් ටයිම් එක. එහෙම එකේ උඹ මේ කාලෙ කරන්නෝන උඹේ තාත්තා වෙනුවෙන් එහෙට මෙහෙට යන එකවත්, හොස්පිටල් ගානෙ යන එකවත් නෙවෙයි නේද? යූ ඕල්සෝ හෑව් අ ලයිෆ් මචං. යූ ශුඩ් එන්ජෝයි යුවර් ලයිෆ්” කියලා රොෂාන් කිව්වට හින්දි ෆිල්ම් එකක වගේ “මගේ තාත්තා ගැන එහෙම කියන්න එපා. මගේ තාත්තා තමයි අංක එක. උඹලා වගේ උන්ට යාලුවො කියන්න පුළුවන්ද?” වගේ ටෝක්ස් මම දාන්න හිතුවෙ නෑ. මොකද රොෂාන් කිව්වෙ බොරුවක් නෙවෙයි. ඌ කිව්වෙ ඇත්ත. මම මේ ගෙවන්නෙ පිරිමියෙක්ගෙ ප්‍රයිම් ටයිම් එක. එහෙම එකේ මං මේ එක්තරා විදියකින් කරන්නෙ ඒක නාස්ති කරලා දාන එක උනත් මට පුළුවන්කමක් තිබ්බෙ නෑ තාත්තගෙ සන්තෝසෙ දෙවනියට දාලා මං ගැන හිතන්න. මගෙ සන්තෝසෙ පළවෙනි තැන තියන්න.

“බිස්නසුත් වැටිලා එකේ මට ඇත්තටම තේරෙන්නෙ නෑ මචං මං මොකද්ද කරන්නෝන කියලා. මං වෙනසකටත් එක්ක හිතුවෙ ආයෙ යූකේ ගිහින් එනවා කියලා” 

“මට නම් හිතෙන්නෙ හොදම දේ උඹ ලංකාවෙ ඉන්න එක. මොක උනත් මේ උඹේ රට. තාත්තා උනත් කරගන්න දෙයක් නැති හන්දා යූකේ යන්න කැමති උනාට මට හිතෙනවා එයත් කැමති ඇති කියලා ලංකාවෙ ඉන්න. අනික බිස්නස් වැටුණා කියන එකේ අදහස ආයෙ උඹට ඒව පටන් ගන්න බෑ කියන එක නෙවෙයිනෙ මචං. උඹ ඔය හිත අස්සෙන් හැමදේම නැති උනා කියලා හිතලා, නයා මැරිච්ච නයි නටවන්නා වගේ ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ නැතුව තාත්තා දාස් ගාණක් වියදම් කරලා උඹට ඉගෙනගන්න චාන්ස් අරගෙන දුන්න මාස්ටර්ස් එකේ පිහිටෙන් හරි බලපං මොකද්ද කරන්න පුළුවන් කියන එක” කියලා රොෂාන් කිව්වට, ඒක එහෙම කරන්න පුලුවන් නම්, ඒ කිව්වෙ බිස්නස් එක ආය ගොඩගන්න පුළුවන් නම් තාත්තා උනත් මීට වඩා සන්තෝසෙන් ඉන්න තිබුණ නේද කියන එක මම කල්පනා කරා. ඒත් මට පාරක් පෙනුනෙ නෑ කොහොමද ඒක කරන්නෙ කියන එක ගැන. අපේ බාන්ස් ප්ලේස් එකේ ගෙදර එක කොටසක් සම්පූර්ණෙන්ම වගේ වෙන් කරලා තිබුනෙ තාත්තල පටන් ගත්ත ඔය කෑම බිස්නස් එකේ ඔෆිස් එක වෙනුවෙන්. කෑම හදන තැන්වලට ගත්ත වෙනම ලොකු ගෙයක් ක්ලවුඩ් කිචන් එකක් කරලා, නුගේගොඩ තිබුණ හන්දා කොළඹ හතේ ඉඳලා එතනට යන එක අපිට මහ දෙයක් උනේ නෑ. ඒ ක්ලවුඩ් කිචන් එකේ පොල් ගාන එකේ ඉඳලා පොල් මිරිකන, මැල්ලුම් ලියන, එළෝලු කපන දේ වෙනකම්ම මැශිනරි තිබුණට, පණ තියෙන මැශින් වැඩ කරවන්න අපිට මිනිස්සු ඕන උනා. අන්තිමේ ඒ ගත්ත මිනිස්සු අපිට කෙලවලා යනකම්ම අපි ඉඳලා තියෙන්නෙ පණ නැති බෝනික්කො වගේ කියලා තේරෙද්දි අපි හොඳටම “පමා වැඩී”

“සම්පූර්ණ මැශින්ස් එක්ක ක්ලවුඩ් කිචන් එකක් වහලා දාන එක අපරාදෙ සනා” කියලා තාත්තා වෙච්ච දේවල් දැනගෙන මට කියද්දි තාත්තගෙ වොයිස් එකේ තිබිච්ච දුක වේදනාව මට නොතේරුණා නෙවෙයි. ඒත් තනි මනුස්සයෙක් වෙලා, සර්පයෝ වගෙ අපෙන් දේවල් කඩා බිඳගන්න බලාගෙන ඉන්න නෑයො රොත්තක් මැද්දෙ මේ හැමදේම තනියෙක් කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඒ හැමදෙයක්ම ඉස්සරහින් තිබ්බා.

“රෙන්ට් අවුට් කරන්නෙ හෝ විකුණන්නෙ නැතුව ඉන්න නම් අපිට කරන්න පුළුවන් එකම දේ තාත්තා ආය බිස්නස් පටන් ගන්න එක විතරයි. ඒ උනාට තාත්තගෙ කන්ඩිශන් එකත් එක්ක මං කොහොමද තාත්තෙ බිස්නස් වලට ෆෝකස් එක දෙන්නෙ? තාත්තව බලාගන්නෙ කවුද?”

“ඇත්තෙන්ම පුතේ, මේක ඔයා තේරුම් ගන්න ඕන ජීවිතේ ලොකුම පාඩමක්.

“පුතේ, මට දැන් වයසයි, මම දුර්වලයි තමයි. මගේ මේ ඇඟ බලාගන්න එක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ලේසි වැඩක්. කාට හරි මට කන්න දෙන්න, බෙහෙත් දෙන්න, උදව් කරන්න පුළුවන්. ඒත් හීනයක්  බලාගන්න කාටවත් බෑ. මේ බිස්නස් එක කියන්නෙ නිකම්ම ගොඩනැගිල්ලක් නෙවෙයි.ඒකට ආත්මයක් තියෙනවා. සියලගෙ මහන්සිය, මගේ හීනෙ, ඔයාගෙ අනාගතේ කියන හැමදේම එක්කහුවෙලා තමයි මේ හැමදේම ගොඩනැගිලා තියෙන්නෙ. අද මේක ඔයාගෙ අනාගතෙ වෙද්දි තව අවුරුදු ගාණකින් ඒක ඔයාගෙ මහන්සිය, තව කෙනෙක්ගෙ හීනෙ, තව කෙනෙක්ගෙ අනාගතේ වෙන්න පුළුවන්. අද ඔයා පස්සට තියන එක අඩිය ඒ ඉස්සරහ දවසක ඉන්න වෙන කෙනෙක්ගෙ හීනේ, අනාගතේ අඩියක් නෙවෙයි අඩි දාහක් පස්සට යන්න හේතුවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගෙ තරුණ කාලෙ මගේ ළඟ නාස්ති කරන්න එපා. මාව බලාගන්න හොඳම විදිය මගේ ඇඳ ළඟ ඉන්න එක නෙවෙයි, මම ඔයාට හදපු මේ හීනය ජීවත් කරවන එක සහ ඉදිරියට අරගෙන යන එක. මම තමයි ඔයාගෙ අතීතය. ඒත් මේ බිස්නස් එක තමයි ඔයාගෙ අනාගතය”

තාත්තා කොහොම කිව්වත් වචනවලින් විතරක් මේ ගේම් එක ගහන්න බෑ කියන එක මම දැනගෙන උන්න හන්දා මට කරන්න පුළුවන් වෙච්ච එකම දේ කල්පනා කරන එක විතරයි. කල්පනාව ඕනවටත් වඩා මගෙ ඔලුවට බරයි කියලා දැනෙද්දි තමයි මම හිතුවෙ “ටික දවසකට හරි පිටරටකට ගියා නම් හොඳයි” කියන එක. 

ඒක එක්තරා විදියකට ප්‍රශ්න වලින් පැනලා යනවා වගෙ දෙයක් උනත් සමහර වෙලාවට සමහර ප්‍රශ්නවලින් පැනලා යන එක තමයි ඒ වෙලාවෙ කරන්න තියෙන හොඳම දේ කියන එක මං හිතුවා.

අන්න එහෙම වෙලාවක තමයි ගෙදර බෙල් එක රින්ග් උනේ.

ඒත් දොර ඉස්සරහා උන්නෙ මං කිසිසේත්ම බලන්න, දකින්න බලාපොරොත්තු උන කෙනෙක් නෙවෙයි. 

“මේ වෙලාවෙ ඇයි?” කියලා මං අහද්දි නාද්‍යා කරේ අර හයිය බැල්මෙන් මං දිහා බලාගෙන ඉන්න ගමන් හීනියට හිනාවෙච්ච එක. ඒ හිනාව ඇවිත් වැදුණෙ මගෙ ඇස්වල නෙවෙයි මගේ හිත අස්සෙ. හිත කීරිගස්සගෙන.

“මං ආවෙ ඔයාව මීට් වෙන්න. කොහෙ හරි යන්නද රෙඩි වෙලා ඉන්නේ?” කියන අතරෙත් එයාගෙ ඇස් තිබ්බේ රට යන්න ලෑස්තිකරලා පල්ලෙහට ගෙනත් තිබ්බ සූට්කේස් දෙක උඩ.

“ටික දවසකට යූකේ ගිහින් එන්න කියලා හිතුවෙ. ඔලුවටත් කරදර හන්දා” කියලා කිව්වත් මට හිතාගන්න බැරි උනා ඇයි මං ඒ දේවල් එයාට කියන්නෙ කියලා.

“ඔයා ඇයි ආවේ?” 

“මං ඔයාව දන්න හන්දා ආවේ” 

අන්න ඒ වචන වලට මම ඇත්තටම ගැස්සුණා. ඒ කියන්නෙ මට වගේම එයාටත් මාව මතකද? මං උන්නෙ ඒ ප්‍රශ්නෙට උත්තර හොයන ගමන් උනත්, ප්‍රශ්නෙ අහන්න කිසිම කන්ෆිඩන්ඩ් එකක් නැතුව.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles