මල් තුහින – 34

එක් වහලක් යට එසේ සිදු වෙමින් තිබියදී තුහින ද තීරණයක් ගත්තේ ය. උත්පලාට ඕනෑනම් වෙන්ව යාම ගැන ඔහුගේ කිසිම අකමැත්තක් නොවේ. නමුත් ඔහුට නොනවත්වාම මඩ ගැසීම පල රහිත බව ඇයට අවබෝධ කර දෙන්නට ඔහුට ඕනෑ විය.

“වඳින්න වඳින්න ගහන එකා මෝඩයා තමා. ඒත් ගහන්න ගහන වඳින එකා ඊට වඩා මෝඩයා.” 

ඔහු ඔහුටම කියා ගත්තේ ඒ නිසා ය.

ඇමතුම එද්දී උත්පලා පුදුම වූවා ය. ඔහු මේ රාත්‍රියේ ඇමතීම පුදුමයකි. ඇය ඒ පුදුමයෙන්ම ඇමතුමට සම්බන්ධ වූවා ය.

“මං ඩිවෝස් එක ෆයිල් කරනව කියන්න කතා කරේ.”

උත්පලා සැබෑවටම දික්කසාදය ගැන සිතා තිබුණේ නැත. මත්ද්‍රව්‍ය ලෝලි සැමියෙකු වඩා යහපත් බව ලෝකයට කියන්නට ගත් වෙහෙස සහ තමන්ගේ රඟපෑම ගැන කම්පා වෙමින් සමාජ මාධ්‍ය හරහා අනුකම්පාව ඉල්ලන්නට ඇයට ඕනෑ වී තිබිණ. ඇය දක්ෂ ගෘහණියක ලෙස කාලයක් රඟපෑමේ යෙදුණා ය. දැන් සමාජ ජාලා පුරා දක්ෂ ගෘහනියන් වැසි වසින්නට පටන් ගෙන තිබේ. දැන් උත්පලාට උවමනා වෙනම තලයකට ඇගේ ජීවිතය රැගෙන යන්නට ය. එයට ඈ දික්කසාදය අපේක්ෂා නොකළා ය.ඇයට උවමනා වූයේ අසාධාරණයකට සහ නොසලකා හැරීමට ලක් වූ බිරිඳකගේ චරිතයට පණ පොවන්නට ය.එහෙත් එය එතරම් පහසු නැති බව දැන් පැහැදිලි ය. තුහින සෘජු තීරණයක් ගෙන තිබේ.

“මට වෙච්ච අසාධාරණකම් මෙහෙම නඩු දාල ඉවර කරන්න කරන්න බෑ.”

ඇය කියද්දී තුහින ඉවසන්නට තීරණය කළේ ය.

“තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න රටට ලෝකෙට  ඇහෙන්න කෑ ගහල කිව්ව කියලත් විසඳෙන් නෑ. ඒක විසඳගන්න පිළිවෙලක් තියනව. එහෙම නැතුව හැමෝටම තමන්ගේ ප්‍රශ්න කිය කිය කියා ගියාට ඒවා විසඳෙනවද?”

තුහින එසේ අසද්දී උත්පලා එරෙහි වූවා ය. ඇය ප්‍රශ්න කියන්නේ ඇගේ රසිකයන් ට ය. ඇය ජීවිතය බෙදා ගත්තේ ඔවුන් සමඟ ය.

“කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලවත් දන්නේ නැති මිනිස්සු එක්ක මොන වගේ අසහනකාරයොද මොනවගේ ආශාවල්  තියෙනවද කියල දන්නෙත් නැති මිනිස්සුත් එක්ක ඔයා අපේ පවුල් ජීවිතේ හැම දෙයක්ම ඕනවටත් වඩා බෙදා ගත්තා. මායි දුවයි ඔයාට ජනප්‍රිය වෙන්න රූකඩ කරගත්ත. දරුව වෙනුවෙන් මේ දේවල් මං ඉවසගෙන හිටියා තමයි. අඩුම තරමේ ඒ මවල පෙන්නුවෙ ලස්සන ජීවිතයක්. ඒත් දැන් කරන්නෙ දරුවගෙ මූණෙත් දැලි අහුරු අහුරු අතුල්ලන එක.”

තුහින මෙසේ කතා කරන්නට ඉඩ ඇති බව උත්පලා සිතා තිබුණේම නැත. ඇය ඕනෑවටත් වඩා කලබල වූවා ය.

“මං ඩ්‍රග් ඇඩික්ටඩ් නම් ඔයාට මාත් එක්ක ඉන්න බැරිනම් මම කැමති ඩිවෝස් එක දෙන්න. දරුවා ඕන නම් ඔයාට ගන්න පුලුවන්.”

එය හදවත ගලවා දීමක් බව තුහින දනියි. නමුත් දියණිය වෙනුවෙන් වඩාත් යහපත් තීරණය ගන්නට ඔහුට ඕනෑ ය. ඇගේ අනතුර මොහොතේ උදව්වට ආ අයගෙන් සාක්ෂි ඉල්ලමින් උත්පලා නටන නාඩගම ඔහුව කෝපයෙන් පුරවන්නට සමත් ය.

“මට බබා එපා.”

ඒ අම්මා කෙනෙකුට කියන්නට අපහසු වාක්‍ය ඛණ්ඩයකි. උත්පලා ගැන තුහිනට දැනුණේ පුදුමයකි.

“මොකක්”

ඔහු ඒ පුදුමයෙන් ඇසුවේ ය. ශෝකි ස්වරයක් ද ඒ හඬේ දැවටී තිබිණ.

“ඔව් මට බබා එපා.”

ඇය එසේ කියද්දී තුහින සුසුමක් හෙළී ය.

“මං එයාව එනකොට ගෙදරින් ගෙනාවේ නෑනෙ. ඔයාගෙ ජීවිතේ මෙලෝම වගකීමක් ගන්න ඔයා අකමැති එකේ අඩුම දරුවව හරියට බලාගන්නවත් පටන් ගන්න.”

හිතක් පපුවක් නැති මේ ගැහැනිය සොයා ගොස් ඇගේ මුහුණ හරහා පහරක් දෙන්නට තරම් කෝපයක් තුහිනට ඇති විය.නමුත් ඔහු දුරකතනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කර දමා මොහොතක් ගෙවා දැම්මේ ය.

“ඔයා මට අවුරුදු ගානකට කලින් මඟ ඇරුණා. අවුරුදු ගානකට කලින් ඔයා මාව ප්‍රතික්ෂේප කරපු විදිය අන්තිම කැතයි කියන එක මට ඇත්තටම හිතින් මකා ගන්න ගොඩක් කල් ගියා. ඒත් ඔයාටත් ඔයාට ඕන වුණු ආදරේ ලැබුණේ නෑ නේද? නුවන් ඔයාගේ ආදරේ බාරගත්තේ නෑ. ඔයා නවීන් එක්ක ඉන්නෙත් සතුටින් නෙවෙයිනෙ.

මට ඔයාගේ හැඟීම් තේරෙනවා. ඔයා කැමතිද මගෙ දරුවට අම්මෙක් වෙන්න?”

ඒ පණිවිඩය මලිතිට ලැබුණේ පාන්දර දෙකට ය. නවීන් සමඟ ඇති කරගත් දරුණු මත ගැටුම හන්දා නිදි නොමැති රැයක් ගෙවමින් සිටි ඇය ඒ පණිවිඩයට පුදුම වූවා ය.

ඒ ආදරය ප්‍රකාශ කිරීමක් නොවේ! හිස්තැනක් පුරවාගන්නට කරන ආරාධනයකි. ඇය ඒ පණිවිඩය නැවත නැවත කියවූවා ය. ඒ හැඟීම නැවත නැවත ඇතිවීම වළක්වා ගන්නට ඇයට අසීරු ය.

මලිතිට මේ මහා පාන්දර රුවිනි අවදි කරවන තරම් සිතක් ඇති විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles