පෙමාතුර -34

නදීරා විසින් අපේ ගෙදරට විසල් ව කැඳවන ලදී. සත්තකට ඒ වෙලාවේ මා හිටියේ ගිනි උඳුනක් ඇතුළේ යයි කිව හැක. විසල් ගේ ඇස් වල ප්‍රශ්නාර්ථයක් විය. නමුත් ඒවා යේ කිසිදු බියක් හෝ චකිතයක් නොවූ බව මට විශ්වාස ය. ඔහු ආවේ ඕනෑ ම තත්වයකට මුහුණ දෙන්නට බව මම හැඳින ගතිමි.

පරිසරයේ වූයේ වැහි සලකුණු ය. ඒ ශෝකී අඳුරු වටපිටාව මගේ හදවත තුළ වූ භයංකර ගැස්මට අලගු තැබුවේ ය. මම විසල් ගෙන් පිළිසරණ පතමින් සිටියෙමි. ඔහු ගේ ඇස් මට කීවේ සන්සුන් විය යුතු බවට කතාවකි.

“විසල්. ඉෂිනි තාම නිදි..ඊයෙ රෑ බියර් කෑන් තුනකට වග කියල. මං හිතන්නෙ මීට කලින් ඉෂිනිට එහෙම අත්දැකීමක් නෑ. කෙල්ල ඉන්නෙ කොච්චර අවුලෙන්ද කියන එකයි ඒකෙන් පේන්නෙ. මං හිතන්නෙ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියනවනං ඔයයි ඒක විසඳ ගන්න ඕන”

නදීරා විසල් ගේ පැත්තට වරද පටවා කතා කරනවාද යන ප්‍රශ්නය මා තුළ ඇති විය. සාමාන්‍යයෙන් උගත් අත්දැකීම් සහිත ගැහැනු ගෙදර ගැහැනුන් කිසි විටෙක කිසිවෙකුට වරදෙහි බර දෙන්නේ නැත. එය සෑම පාර්ශවයක් අත ම සම සේ බෙදා දෙන්නට සාධාරණ හේතු හොයනවා පමණි.

“කෙල්ල හුඟක් හිතේ අමාරුවෙන් ඉන්නෙ. එක්කො ඔයා එයාට හරියටම පැහැදිලි ව කියන්න විසල් ඉස්සරහට වෙන දේ. මේ මෝඩ කෙල්ල මීට වඩා දෙයක් කර ගත්තොත් එහෙම…”

ඒ සන්සුන් හඬ පුංචා ගේ ය. කෙතරම් සන්සුන් වී ද ඒ වචන ටික මගේ පපුව මැද්දේ බෝම්බ පිපිරීමක කම්පනය ඇති කරවන ලදී. 

මා වරදක් කළා ද කියා මා දන්නේ නැත. මහ වැස්සක බස් නැවතුමක ගාල් වී සිටියදී සිය රියෙහි ගොඩ වන්නට විසල් කළ ඇරයුම ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ මම ඔහු වෙත ඉතා සීඝ්‍ර ලෙස ආසක්ත වන්නට වීමි. ඔහු කවුද කාගේ කවුද කියා විමසන්නට හදවතට ඕනෑ වූයේ නැත. විසල් ඒ කාලයේ දී හැකි තාක් මා මග හැරියේ ඉෂිනි නිසා ද කියන්නට මම නොදනිමි. කෙසේ වෙතත් රබර් බෝලයක් වතුර යට ඔබා තැබිය නොහැකිවා සේ යම් කිසි මොහොතක එය මතුපිටට ආවේ ය. මහ වර්ෂා සමයෙක වාන් දමනා වැවක් සේ කිසිදු පාලනයකින් තොර ව දෙගොඩතලා ගියේ ය. සුළි සුළඟකට මකුළු දැල් කැඩී බිඳී යන එක ගැන ඉතින් පුදුම විය යුතු නැත.

ආදරය කිසිවකට යටපත් කළ නොහැකි බව මම අත්දැකීමෙන් පසක් කොට ගතිමි.

“සනෝජක්කා…මං ඒ ළමයට තේරෙන සිංහලෙන් කියල දීල තියෙන්නෙ. අපේ අම්මලටයි එයාගෙ ගෙදර අයටයි…හැමෝටම…ඇයි කවුරුවත් මගෙ පැත්තෙන් හිතන්නැත්තෙ…මාත් මනුස්සයෙක්නෙ දෙයියනේ…”

“ඔයාට වරදක් කියනව නෙවෙයි පුතා”

එතෙක් නිහඬ ව උන් අම්මා මඳ පවනක සුවය දනවමින් කතාවට එළඹුණා ය. අමමා ගේ පපුව බදා ගෙන තදින් ඇස් පියා නිසල වීමේ දැඩි ඕනකමක් මා තුළ ඇති ව තිබිණ. 

“නමුත් මේ ගර්ල් හරිම ළාමකයි. තමන් තනියම හිතල යමක් ගැන පැහැදිලි තීරණේකට එන්න එයාට බෑ. ඒ නිසාම මේ ප්‍රශ්නෙ නිසා එයාගෙ ජීවිතේ තියෙන්නෙ අවදානමක. එහෙමනං පුතාට තියෙන්නෙ මෙයාව ගෙදරට බාර දීල ඒ වගකීමෙන් නිදහස් වෙන්න”

“ආන්ටි එදා දැක්ක නේද…මගෙ උවමනාවටද එයා ආවෙ..”

“මට තේරෙනව. කෙනෙක් අනිත් අය ගැන සාධාරණව හිතන්න බැරි තරමට සෙල්ෆිශ් වුණාම ප්‍රශ්නයක් විසඳ ගන්න හරි අමාරුයි”

“ඉෂී කිසාට කිව්වලු විසල් කැමති වෙලා ඉන්නට ගෑනු ළමයට ගහන්න ඕන මරන්න ඕන කියල. සමහර වෙලාවට හැඟීම් වලින් ඇස් අන්ද වුණහම අපි පසුතැවිලි වෙන්න වෙන දේවල් කරනව. ඒකයි මං කියන්නෙ”

තවත් ටික වෙලාවක් කතා කරමින් සිටියදී ඉෂිනි අවදි වී පැමිණියා ය. ඇය සිනහ වූයේ හපන් කමක් කළ පොඩි දැරියක සේ ය. යමක් ඕනෑ කියා බිම වැටී එය ලැබෙන තෙක් ම හඬනා දරුවන් මම දැක ඇත්තෙමි. හඬා දොඩා හෝ අපට අවශ්‍ය කරන ඕනෑ ම දෙයක් ලබා ගත නො හැකි ය යන පාඩම ඒ අවස්ථාවේ ඔවුන් උගත නො ගත හොත් ඔවුන් ගේ අනාගතය මෙබඳු ඛේදනීය එකක් වනු ඇත. 

“කිසා පොඩ්ඩක් එන්න”

කියා ගෙන හදිසියේ ම විසල් මිදුලට බැස්සේ ය. කිසිවෙකු දෙස නො බලා අසීරුවෙන් මුත් මම මිදුලේ කොංක්‍රීට් මේසය වෙත ගෑටුවෙමි. විසල් ගේ තීරණාත්මක ඇස් ඍජු ව මා දෙස ට යොමු ව තිබිණ.

“විරංග මට කතා කළා”

මට බිම බැලිණ.

“මං ඕනම දේකට ලෑස්තියි කිසා. ඔයාට ආදරේ කළේ බය ගුල්ලෙක් වගේ අතරමගක අත් ඇරෙන්න නෙවෙයි. අපි අද හරි මැරි කරමු”

මා යළි ඔහු දෙස බැලුවේ ගැස්සී ගෙන ය.

“ඒක විහිළුවක් නෙවෙයි. ඔයාගෙ අම්මට කියන්න අපි බඳිනව කියල. දැනට අපේ ගෙදරට කියන්න ඕන නෑ. තාම ඒගොල්ලො එහෙම දෙයක් බාර ගන්න පුළුවන් තත්වෙක නෑ. ඒත් හෙමිහිට හිත හදා ගනී”

“ඒත් විසල්…”

“අපි දෙන්නම පොඩි ළමයි නෙවෙයිනෙ. වැඩිහිටියො. අපිට අයිතියක් තියනව අපේ ජීවිත තීරණය කරන්න. වෙන කාටවත් ඕන විදිහට නටන රූකඩයක් වෙන්න ඕන නෑ මට”

“ඒක…කරන්න බෑ විසල්…”

මා කොඳුරා ගත්තේ ඉතා දුර්වල ස්වරයකිනි. 

“එච්චර සෙල්ෆිශ් වෙන්නෙ කොහොමද මං…”

“අපිට තීරණයක් ගන්න වෙනව මැණික. කොච්චර කල් බලං ඉඳල හරි අපිට ඔතනට එන්න වෙනව.අපි දැන් ඒක කරමු. එතකොට ඉෂිනිට වුණත් හිත හදා ගන්න කල් තියනව”

මම යන්තම් හිස හරවා ගේ දෙස බැලුවෙමි. ඉෂිනි දොරකඩ සිට මට මහපට ඇඟිල්ල දිගු කළා ය. පපුව පිච්චී යනු මට දැනිණ. ඈ සිතන්නේ අප ඇය ගැන කතා කරනා බවකි. මා ඇය වෙනුවෙන් පෙනී සිටිතැයි ඇය අපේක්ෂා කරන්නී ය. ඒ සිහින කුඩු පට්ටම් කොට දමන නරුම ගැහැනිය වන්නේ කෙසේ ද? 

“මං ඔයාට ආදරේ කළා. ආදරෙයි. ඉස්සරහටත් එහෙම වෙයි. ඒත් මන්දා..මට මෙහෙම කරන්න පුළුවන් ද කියල තාම මං දන්නෑ. මං රූම් එකට යන්නෝන විසල්”

මම බංකුවෙන් නැගිට ගේ දෙසට ගියෙමි. ඔහු පිවිසුම් දොරටුවෙන් නික්ම ගියේ ය. 

“මොකද කියන්නෙ…”

ඉෂිනි ඇසුවා ය. මම මඳහසක් පෑවෙමි.

“වෙන්න පුළුවන් හොඳම විදිහට හැම දෙයක්ම වෙයි. හැබැයි හොඳම විදිහ මොකද්ද කියල තාම මං දන්නෑ”

එසේ කියා මම පිය ගැට පෙළ දෙස ට ගියෙමි. 

“මට තේරෙන්නෑ මොනාත්”

ඉෂිනි කෑගැසුවා ය. මම නෑසුණා සේ කාමරයට ගොස් දොර වසා ගතිමි. 

අතීතය නමැති තුවාලය අතැර පලා යාමේ ප්‍රබල අවශ්‍යතාවයක් මට දැනෙන්නට විය. මම ඉෂිනි නිදා ගත් යහනේ ඇතිරිලි ඉවත් කොට අලුත් ඒවා දැමුවෙමි. ලියන මේසය අස් කළෙමි. ඉන් පසු යහනට වැද ඇස් පියා ගතිමි. 

ඉක්මන් කෙටි හුස්ම වැටුණේ ය. පපුව මත තබා ගෙන උන් සුරත ගැහෙනවා මට දැනිණ. මම ඇස් වඩාත් තද කොට ගතිමි. දැඩි අන්ධකාර ලෝකයක් තුළ මා නිමග්න ව ගියේ ය. 

ඒ අන්ධකාර ලෝකයෙහි සුදු තුනී එළියක් ව අම්මා පෙනී සිටියා ය. නමුත් එහි අම්මා ගේ රුව නොවී ය. අම්මා ඉන්න බව මට දැනුණා පමණකි. ඒ අම්මා යි මම සිතුවෙමි. එතැන වූයේ සුදු ආලෝක පුංජයක් පමණක් විය යුතු ය. මම ටික වෙලාවක් ඒ ආලෝකය යට නතර වී සිටියෙමි. මට සුවයක් දැනුණේ ය. 

ඉන්පසු මම අන්ධකාරය තුළ තව තවත් ඈතට යන්නට වූයෙමි. තාත්තා මට හමු විය. ඔහු ව හැඳින ගන්නට මම සමත් වීමි.

මම තාත්තා ට ආදරය කළෙමි. නමුත් තාත්තා මට හැම දාමත් දුරින් සිටියේ ය. ඔහු කවදාවත් මා එක්ක සෙල්ලම් කළේ නැත. මාව හුරතල් කළේ නැත. සමහර තාත්තලා එළි පිට ආදරය කරන්නේ නැති බව මම පහු කාලයක දැන ගතිමි. නමුත් එතකොට ඔහු මතක හිරිකඩයක්  සේ මගෙන් දුරින් දුරට ගොස් සිටියේ ය.

අම්මා හා විවාහ වීමෙන් පස්සේ තාත්තා වෙනත් කාන්තාවක සමග ඇසුරක් පැවැත්වූවායි අම්මා ගෙන් දැන ගත් වේලේ අර හිරිපොදය මගෙන් තව තවත් ඈතකට ගියා දැනිණ. දැන් මට මේ හමු ව තිබෙන්නේ එම හිරිපොද වැස්ස ය. තාත්තා මහිස පිරිමදින සංස්පර්ශයක් මට දැනිණ. 

“මං ඔයාව පුළුවන් තරම් පිරිමි ළමයින්ගෙන් ඈත් කරල තියන්න බැලුවෙ ඒකයි. පිරිමි නිසා කවදාවක් ගෑනුන්ට සැනසීමක් නෑ පුතේ. උං දුක් දෙනවමයි. මං ඔයාව ප්‍රේම සම්බන්ධතා වලින් ඈත් කරල තියන්න හදනකොට ඔයා මාත් එක්ක තරහ වුණා කියල මන් දන්නව. ඔයා හිතුවෙ මං මහ නපුරු ඊරිසියාකාර මිනිහෙක් කියල. හැම තාත්ත කෙනෙකුගෙම පපුවෙ තමන්ගෙ දුවල ගැන එහෙම බයක් තියෙනව කිසා. ඒක හරියට තමන්ගෙ ඉතිහාසය තමන් ගෙ ඔළුව උඩ කඩං වැටෙනව වගේ බයක්. තමන් කරපු වැරදි තමන්ගෙ දුවල පිටින් යයි වගේ බයක්. මාත් ඒ බයත් එක්ක හැම වෙලාවකම හුස්ම ගත්ත. ඒක ඔයාවත් අම්මවත් දන්නෑ. හුඟක් පිරිමි මැරෙන්නෙ වැරදිකාර හෘද සාක්ෂියක් එක්ක. කිසා…දුව ඔයා මේක තේරුං ගන්න”

ඒ තාත්තා ගේ කටහඬ බව මට දැනිණ. නමුත් මට ඒ ඇසුණේ නැත. එහෙම තත්වයක් පැවතිය හැකි බවක් මා දැන සිටියේ නැති බව, නින්දත් නො නින්දත් අතර ඒ ගුප්ත අන්තර් අවධියේ දී මට සිහි විය. මා නිදි දැයි ඒ අතරේ මම සිතුවෙමි. මා සිහිනයක් දකිනවා දැයි මම සිතුවෙමි. නමුත් කිසි දෙයක් පැහැදිලි කර ගත හැකි වූයේ නැත. 

“තාත්තෙ මං දැං මොකද්ද කරන්න ඕනෙ…”

මම ප්‍රශ්න කළෙමි. නමුත් උත්තරයක් ලැබුණේ නැත. ඒ හිරිපොදය මා පසු කොට මගේ මතක ඉතිහාසයේ ඈතකට පා ව ගියේ ය. 

තාත්තා මගේ යෞවනය අවුරා ගෙන මුරකාවල් යෙදූ හැටි මට සිහි විය. බාලිකා පාසලක, බාලිකාවන් පමණක් වන උපකාරක පන්ති වල, බාලිකාවන් පමණක් යන පාසල් සේවා රිය වල මගේ හැඟුමන් හිර කළ හැටි මට මෙනෙහි විය. ඒවා ඒ මොහොත වල මට වදයක් වූයේ නැත. නමුත් ඒවා තුළ කෙතරම් වියරු දඬුවමක් නොකළ වරදකට පනවා තිබිණි දැයි සිහි වන්නේ දැන් ය. 

“හැම තාත්ත කෙනෙක්ම සුද්දෝදන රජ කෙනෙක් තමයි කිසා. තමන් ගෙ දරුව සසර කලකිරෙන එක වළක්වගන්න බලන සුද්දෝදන තාත්තල…”

ඉතා ඈතකින් ඒ හඬ ඇදී ආවේ ය. තාත්තා ගැන අති මහත් ස්නේහයකින් මගේ පපුව ගැහෙන්නට ගත්තේ ය. ඒ වූ කලී තාත්තා ජීවත් ව සිටියදී මට දැනී නොමැති විදිහේ ආදරයකි. 

මම තව බොහෝ වෙලාවක් ඒ ආදර ලෝකය තුළට වී සිටියෙමි. ඒ ආරක්ෂිත හැඟීම විශ්වයේ වෙන කිසි තැනකදී අත් විඳිය නොහැකි යයි මට දැනුණේ ද ඒ නිද්‍රවේදී ම ය. 

“කිසා”

මම සිහිනය තුළ අම්මා ව හෙව්වෙමි. ඒ අම්මා ගේ හඬ බව මම හැඳිනියෙමි. මට ඉක්මනට ඇය වෙත ළඟා වන්නට ඕනෑ විය. තාත්තා මට පිළිතුරක් නොම දී මාවත මවිසින් සොයා ගත යුතු යයි දැනෙන්නට හැර යන්න ගියේ ය. මම අම්මා ව හොයන්නට වූයෙමි. මගේ ඇස් තටු වේගයෙන් ගැහෙන බව මට දැනිණ. මම මොන මොනවාදෝ මුමුණන්නට වීමි. මට ම වුව ඒ කුමක් දැයි පැහැදිලි වූයේ නැත.

“කිසා..කිසා…කිසා…ඔයා හීනෙන් බය වෙලාද දරුවො…”

අම්මා ගේ ස්පර්ශය සිරුරට දැනුණ වේලේ මම වහා ඇස් ඇරියෙමි. ඊළඟට අම්මා කියන අපරිමිත ආදර පපුව වැළඳ ගෙන මහ හයියෙන් හඬන්නට පටන් ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content