ඔබ දකින තුරා – 15

දිසත් ගේ මංගල මුදුව කණ්ණාඩි මේසය මතින් ගත් කේෂි, එය විසි කොට දැමුවා ය. මුදුව පෙරලී ඇඳ යටට ගොස් අඳුරු මුල්ලක නතර විය. ඇය කෙතරම් කෝපයකින් වියරු වැටී සිටියේ ද යත් ගෙදර බඩු මුට්ටු බොහොමයක් බිම පෙරලී, කැඩී, බිඳී, කුඩු වී ගියේ ය. පරාක්‍රම සමග වසන්ති සේනානායක දියණිය ගේ ගෙදරට පැමිණියේ දිසත් ගේ අතැර ගිය දා ට පසු දා දහවල ය.

“අරූව මරන්න ඕන තාත්ති. ඔය දිසත්ට තවත් ජීවත් වෙන්න දෙන්න බෑ”

රතු වූ කේෂි ගේ ඇස් වලින් වෛරයේ ගිනි දලු පිට වෙමින් තිබිණි. ඇය වෙව්ළුවා ය. දත් මිටි කෑවා ය. ඇගේ සිරුර දිගේ දහදිය ගලා ගියේ ය. ඊර්ෂ්‍යාව කියනා විනාශකාරී හැඟීම විසින් කේෂි ව විනාශ කරමින් තිබිණි.

“කේෂි. ඉවසීමෙන් වැඩ කරන්න”

පරාක්‍රම ඇගේ උරහිසක් වටා අතක් දමමින් කේෂි ව සමීප කර ගන්නට උත්සාහ කළේ ය. නමුත් ඇය පරල වූවා සේ ඔහු ගේ අත ගසා දැමුවා ය.

“ඉවසන්නෙ මොකටද තවත්…මං යන්න එපා කියද්දි ඒ මිනිහ මුද්දත් ගලෝල තියල ඩිවෝස් වෙනව කියල යන්න ගියා. ඉතිං මොකටද තවත් ඉවසන්නෙ. තාත්තිට සල්ලි තියනවනෙ. සල්ලි තියනවනං කරන්න බැරි දෙයක් නෑ කියලනෙ තාත්ති කියන්නෙ. එහෙනං ඔය මිනිහව මරල දාන්න”

“කේෂි. දිසත්ව මැරුව කියල අපි කාටවත් ලැබෙන දෙයක් නෑ. ඔයාට එයාව ඔච්චර ඕනනං එයාට ඒ වටිනකම දෙන්න තිබුණෙ එයා ඔයා ළඟ ඉන්නකොට”

“අනේ මට ඔය බණ වලින් වැඩක් නෑ. ශුවර් එකටම ඔය මිනිහට වෙන ගෑනියෙක් ඇති. ඒකයි මගෙං නිදහස් වෙන්න ඕන වුණේ. හැබැයි මං එයාට ඒක කරන්න දෙන්නෙනං නෑ”

“කේෂි”

එවර කතා කළේ වසන්ති ය. දිසත් වාගේ සාමාන්‍ය පවුලක තරුණයෙක් හා කේෂි විවාහ වනවාට වසන්ති තුළ කැමැත්තක් වූයේ නැත. නමුත් දියණිය ඔහු ව ම ඉල්ලා සිටියෙන් ඇය කර බා ගත්තා ය.

“මං ඔයාට මුලදිම කිව්ව නේද දිසත් වගේ කෙනෙක් ඔයාට ගැලපෙන්නෙ නෑ කියල…දැන් මෙතන බොරුවට දඟලන්න එපා. ඒ මිනිහ ඔයාව බැන්දෙ අපේ සල්ලි නිසා”

“නිකං බොරු චෝදනා කරන්න එපා වසන්ති. දිසත්ට අපේ සල්ලි තියා අපේ කම්පනි වල ජොබ් එකක්වත් ඕන වුණේ නෑ. ඒක නෙවෙයි මෙතන තිබුණ ප්‍රශ්නෙ. ඔයා ඔයාගෙ දුවව හරියට හදපු නැති එක. මේ ළමයට ජීවිතේ කියන්නෙ මොකද්ද කසාද ජීවිතේ කියන්නෙ මොකද්ද කියල කවදාවත් අවබෝද කරල දුන්නෙ නෑ. අම්මට ඒව ගැන අවබෝදයක් තියෙන්නත් එපැයි ඉතිං ඒකට”

වසන්ති ගස්සා ඉවත බැලුවා ය. දිසත්  මේ විදිහට හෝ කේෂි ව අත් හළ එක ගැන ඇයට නම් දැනෙන්නේ කැමැත්තකි. නමුත් පරාක්‍රම ඉදිරියේ කෙලින් ම ඒ කැමැත්ත ප්‍රකාශ කළ නො හැකි ය.

“ගිය එක්කෙනා ගියා. එයාට ඔයාව ඕන නැති නිසානෙ ගියේ. අනේ..මුහුදෙ ඔයිට වැඩිය හොඳ මාළු නැතුවයැ. ඔයාට මැච් වෙන විදිහෙ කෙනෙක්ව හොයා ගන්න. අර මිනිස්ටගෙ පුතාට මං කැමතියි. අර ගොඩේ මනුස්සයටනං මං  කැමතිම නෑ”

“මරු අම්ම කෙනෙක්ගෙ අවවාදෙ. කේෂි. මේ අහනව. දිසත් කීප සැරයක් ම මාත් එක්ක කතා කරල තියෙනව ඔයාගෙ කල්ක්‍රියාව ගැන. මගෙ කටේ බලේටයි මේ තරං හරි කාලයක් ඒ කොල්ලා තමුං එක්ක හිටියෙ. පිරිමියෙක් කියන්නෙ පඹයෙක් කියලනෙ ඔයාට ඔයාගෙ අම්ම කියල දීල තියෙන්නෙ. හැබැයි දිසත් පඹයෙක් නෙවෙයි. ඒක නිසා ඩිවෝස් එකට ලෑස්ති වෙනව මිසක් අපිට වෙන කරන්න දෙයක් නෑ”

“මට ඩිවෝස් වෙන්න ඕන නෑ තාත්ති”

“ඒත් දිසත්ට ඕනනෙ. එක්කෙනෙකුට හරි ඕනනං ඩිවෝස් වෙන්න…ඒ මැරේජ් එක කන්ටිනිව් කරන්න ලේසි නෑ කේෂි. ඔයා ට පුළුවන්නං ඔයාගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කර ගෙන දිසත් එක්ක ෆැමිලි ලයිෆ් එකක් ගෙවනව කියල පොරොන්දු වෙන්න…මට පුළුවන් තව එක සැරයක් දිසත් එක්ක මේ ගැන කතා කරන්න”

“කේෂි මොකටද එහෙම වෙනස් වෙන්නෙ..දිසත් ට වෙනස් වෙන්න බැරි නං කේෂි ඔයාට මැච් වෙන විදිහෙ කෙනෙක් හොයා ගන්න”

වසන්ති එරෙහි වූවා ය. හැමදාමත් සේ ඇත්ත කුමක් දැයි දැන ගෙන වුණත් නිහඬ වන්නට පරාක්‍රම ට සිදු විය.

ඇය ට ඕනෑ කුමක් දැයි කේෂිට ම වුව වැටහුණේ නැත. දිසත් ගේ ජීවන ක්‍රමය ඈ තුළ උද්‍යෝගයක් ඇති කරවන්නේ නැත. නමුත් ඔහු ඇගෙන් මිදී වෙනකෙකු සතු වෙනවා බලන්නට තරම් ශක්තියක් ඇය ට නැත. ඒ ගැන සිතත්දීත් ඇය ඊර්ෂ්‍යාවෙන් පිරී වෙව්ලන්නට පටන් ගනී.

අමාරසී ව කැටිව යන්නට එදාත් අජිත් කාර්යාලය ළඟට ආවේ ය. ඇය ට ම නො දැනෙන විදිහේ පාළුවක් හැන්දෑ වරුවේ ම අමා ට දැනෙමින් තිබිණි. ඈ හිටියේ කොයි වෙලේ හවස පහ වේදැයි ඔරලෝසුව දෙස බලමිනි.

“අදත් මිස්ට දිසත් අපිට ලිෆ්ට් එකක් දෙයිද…”

ගුරු පාරේ පයින් යන ගමන් අජිත් දියණිය විචාළේ සිනහ වෙමිනි.

“ම්හු. අද මිස්ට දිසත් කලින් ම ඕෆ් වුණා”

ඒ ඇයි දැයි දැන සිටියත් අමා ඒ පියාට නො කියා සිටියා ය. පෙර දා සැඳෑවේ ඔහු ඇගේ ගෙදර ගත කළ හෝරාවක කාලය සසරේ පුරුදු ව තිබි මතකයක් සේ ඇයට දැනේ. තාත්තා ගේ බීමත් බවට හැම දා එරෙහි වුණත්, ඊයේ ඇය ඔහු වෙනුවෙන් කටගැස්ම සැරසිලි කළේ සතුටෙනි. තාත්තා එක්ක ඔහු ඒ තරම් මිත්‍රශීලී වෙත්දී ඇය වින්දේ වචන වලින් විග්‍රහ කරන්නට බැරි විදිහේ උණුහුම් හැඟීමකි. සමු ගන්නා මොහොතේ ඔහු ළඟ දැනුණ මී විත පුසුඹ වුව වෙනදා සේ ඈ තුළ ඔක්කාරය දනවන අප්පිරියාවක් ඇති කළේ නැත. ඒ මොහොතේ දිසත් ගේ ඇස් වල වූ කතාව කියවා ගන්නට ඈ පසු බෑව ද, ඒ මොහොත මේ දැනුත් ඇය මිහිරියාවෙන් නහවාලයි.

“යොහාන් ආයෙ එන එකක් නෑ වගේ මේ පැත්ත පලාතෙ. සල්ලි ගැන කියවන්නවත් ආවෙ නෑනෙ”

තේ බොන ගමන් අමා කීවා ය.

“ඒ කියන්නෙ හැන්දෑවට…මං චුට්ටක් ගත්තට අවුලක් වෙන එකක් නෑනෙ නේ…”

අජිත් ගේ කතාවට නිර්මලා වහා මැදින් පැන්නා ය.

“ආ…අපි දන්නවද ඔහොම දවසක් දෙකක් සද්ද නැතුව ඉඳල දන්නෙම නැතුව කඩං පාත් වෙයිද කියල”

ඇය එහෙම කීවේ යොහාන් ඇත්තට ම පැමිණේවි යයි හිතේ ඇති වූ අදහසකට ම නොව අජිත් ව මේ විදිහට ම පවත්වා ගැනීම වෙනුවෙනි. ගැහැනු හිතක පිළිසිඳිය හැකි එ් වාගේ අයිහිංසක ආශාවක් යනු ලෝක පුදුමයක් නොවේ. අමාරසී අම්මා දෙස බැලුවේ ආදරයක් ද අනුකම්පාවක් ද තැවරි ඇසකිනි. ඇය වූ කලී පවුලක් ඇතුළේ අපමණ දුක් වැළඳූ අම්මා කෙනෙකි. තාත්තා රැකියාව අකුරට  කළා ට හැන්දෑවේ ගෙදර පැමිණි පසු සිහි කල්පනාව පවත්වා ගන්නට අකමැති වීම මත ඕ සිය සනුහරේ ඉදිරියේ අපමණ නින්දා වින්දා ය. දරුවන් ද දොස් කීවේ ඇයට ම ය. ඒ හින්දා ම බීමත් ව සිටිනා වෙලාවට අජිත් එක්ක කට ගහගෙන ගිහින් ඔහු ගෙන් ගුටි කෑවා ය.

ඇතැම් විට ගෙදර අපමණ අග හිඟ කම් තිබිණි. අජිත් කළේ වැටුප් ලබනා දා ට ඉන් යම් මුදලක් ගෙදර වියදමට ය කියා නිරිමලා අතට පත් කිරීම ය. එයින් වියදම් පිරිමසා ගන්නට ඕ උපරිම වෙහෙසුණා ය. නමුත් බඩු භාණ්ඩ වල මිල හැම දා ඉහළ ගියේ ය. මේ මාසේ කෑම බීම වියදම් වලට වඩා සැලකිය යුතු වියදම් වැඩි වීමක් ඊළඟ මාසයේ දී අත් විඳින්නට සිදු වේ. නමුත් අජිත් ගෙදර විය හියදම් ගැන ගොළු බිහිරි ප්‍රතිපත්තිය රැක්කේ ය. ඔහු අත ඉතිරි වන මුදල සුරාමේරය වෙනුවෙන් ම දිය විය. ගෙදර වියදම් ඔහු දෙන මුදලින් පියවා ගත නො හැකි වෙත්දීත් නිර්මලා වඩ වඩාත් අසහනයට පත් වූ අතර ඒ හින්දා ම ගෙදර ප්‍රශ්න තවත් උග්‍ර විය. අමාරසී රැකියාව කරන්නට ගෙන අම්මා ට ගෙදර වියදම් සඳහා මුදල් දෙන තුරු ම මේ බර නිර්මලා ගේ හිස මත පැටවී තිබිණ.

දරුවන් උස් මහත් වන විට දෙමව්පියන් ගේ හිස් මත පැටවී ඇති බර සැහැල්ලු වීම ලෝක ස්වභාවය වේ. නමුත් රුක්ෂාන් හා පබසරා යන දෙදෙනා ම තාත්තා එක්ක අරෝවට ම හිටි හින්දා නිර්මලා ට ඒ සැනසීම ද අහිමි විණි. අනිත් ළමයින්ට වඩා ගෙදර ගැනත් පවුල ගැනත් හිතුවේ අමාරසී ය.

“තාත්ත මෙහෙම හොඳට ඉන්නකොට අම්මයි මායි කොච්චර ආසද…එතකොට අපිට හිතට කොච්චර හයියද…”

අවුරුදු ගාණක් හදවත තුළ හිර කර ගෙන උන් ඉකිළුම වචන කිහිපයකින් අමාරසී ගේ මුවින් පිට වූ ප්‍රථම වතාව මේ ය. ඒ වචනත් එක්ක උගුරත් බිඳී ගිය බවක් ඇය ට දැනිණ. නිර්මලා ට සේ ම අජිත් ට ද ඒ කම්පනය දැනුණේ ය.

“මොකට කියනවද ඉතිං ඒ ගැන”

නිර්මලා ද පපුව ගැඹුරේ තිබි පරණ හුස්මක් එළියට දැම්මා ය.

“කන්න නැතත් මොකද මෙහෙම සැනසීමෙන් ඉන්න තියෙනවනං…දැං ඉතිං ජීවිතේ අග්ගිස්සෙ ඉන්න එකේ…මැරෙන ටිකටවත් සැනසීමක් තිබුණනං මොන තරං දෙයක්ද…මං කියන්නෙ ඕක එක පාරටම නතර කරල දාන්න බැරිනං අර රසීගෙ බොස් එක්ක වගේ චුට්ටක් බිව්වනං ඉවරනෙ”

එදා අජිත් වැඩියෙන් දොඩමළු වූ බවත් නිතර ම සිනහ වූ බවත් නිරිමලා ට අමතක නොවන සේ මතක හිටියේ ය.

“අපේ ඔෆිස් එකේ එකෙක් කියනව ඔය යොහාන් කාරයගෙන් දිගටම කරදරයිනං පොලීසියෙ පැමිනිල්ලක් දාල තියන්නලු”

අජිත් ට ඕනෑ වූයේ වහා ම මාතෘකාව වෙනස් කරන්නට ය. නමුත් යම් කිසිවක්, අම්මා හෝ දූ සමග කියන්නට ඕනෑ නැති යම් කිසිවක් ඔහු ගේ හිත තුළ වැඩ කරමින් තිබිණ.

“ඕකගෙ චණ්ඩි පාට් වලට පනිශ්මන්ට් එකක් දෙන්න පුළුවන් තමයි. ඒත් රසීව පොලීසි උසාවි ගෙනියන්න වෙන නිසා මං කැමති නෑ”

පෙර දා දිසත් ගෙන දී තිබූ මිලාධික මත් පැන් බෝතලයෙන් අඩකට වඩා ඉතිරි ව තිබිණි ද අජිත් යන්තම් ටිකේ බීවා පමණකි.  අමාරසී ගේ වචන වල තිබූ කම්පනයට බොහෝ රෑ වන තුරු ම ඔහු ගේ හදවතේ දෙදරීමක් ඇති විය. කවදාවත් නැති ව නිර්මලා ගැන ද ඔහු ට දුක සිතුණේ ය.

“ඔයා පව් නිර්මලා”

නිදන්නට යහනට වට හෙතෙම සිවිලිම දෙස බලා ගෙන කොඳුළේ ය. නිර්මලා ට වචනයක් හෝ කියා ගත හැකි වූයේ නැත. සැබවින් ඇගේ හුස්ම හිර වී තිබුණා සේ ය. අජිත් ගේ ගොරෝසු අතක් නිර්මලා ගේ හිසත් නළලත් අතරේ රැඳිණි. ඇගේ ඇසින් වට කඳුළක් කන් පෙති අතරින් රිංගා ගොස් කොට්ටයට වැටී නො පෙනී ගියේ ය.

“දැන් යොහාන් එන එකක් නෑ මං හිතන්නෙ. නිකං අපරාදෙ රවුමක් කැරකෙන්නෙ නැතුව තාත්ත ඔෆිස් යන්න”

පසු දා උදේ කාර්යාලයට යන ගමන්, ගුරු පාරේ දී අමාරසී කීවා ය. උදේ හවස මේ විදිහට අතිරේක ගමනක් යන එන එක තාත්තා ට අමතර වෙහෙසකැයි ඇය ට සිතී තිබිණ.

“හාපෝ…එහෙනං හවසට වැඩ ඇරිල ගෙදර යන්න වෙන්නෑ ගාණට වෙරි වෙලා මිසක්…අරුන්දගෙං කනක් ඇහිල ඉන්න කියලයැ…”

අමාරසී හඬ නගා හිනැහුණා ය. ඒ ගමන් ම ඇය අජිත් ගේ අතක එල්ලී ගෙන ද සිටියා ය. යොහාන් වාගේ ගල් ආඳෙකුට කිසි දාක මේ කෙල්ල සතුටෙන් තැබිය නොහැකැයි අජිත් තුළ සිතිවිල්ලක් පා ව ගියේ ය.

“හිනා…ව…”

පාරේ ගිය කොල්ලන් දෙදෙනෙකු ගෙන් කෙනෙක් අමාරසී පහු කරනා ගමන් ඇගේ මූණට එබී කීවේ ය. පිටු පස ද හැරී ඇය ඔහුට රැව්වා ය. කොල්ලන් ගේ සිනහ හඬ උස්ව ඇසිණ. යුවතිය තාත්තා ට නෝක්කාඩු කීවා ය.

“වැඩක් නෑ ඔයා හිටියට. උන්ට බණින්නෙවත් නෑ”

“වැඩක් නෑ ඉතිං ඒ අසරණයන්ට බැනල…කෙල්ලො මෙහෙම හිනා වෙනකොට…”

“ඔයා නං තාත්තේ…”

දිසත් ගේ රිය ඔවුන් පහු කර ගෙන ගියේ තාත්තාත් දුවත් එකට සිනහ වන විට ය.

“මිස්ට දිසත්”

“අඩේ…හවසට සෙට් වෙමුද අහන්නත් තිබුණා”

“මේ තාත්තනං ඇත්තමයි…”

ඇය ගිනුම් අංශයට යන විටත් එහි වෙනත් කිසිවෙකු පැමිණ සිටියේ නැත. දිසත් සිය කුටියේ විදුලි පහන් දල්වමින් සිටියේ ය. අමාරසී ගේ මේසය මත කුඩා පෙට්ටියක් විය. ඈ එදෙස හොඳින් බැලුවා ය. ඊයේ හවස ඇය යන විටත් මේසය මත කිසිත් වූයේ නැත. ඉන් පසු මෙය මෙතැනට ආවේ කොයිබෙන් ද? එහි වන්නේ කුමක් ද?

අමා දිසත් ගේ කුටිය දෙස බැලුවා ය. මුවග මඳහසකින් ඔහු ද සිටියේ ඇදෙස බලා ගෙන ය.

“ඔයාට”

යයි ඔහු ඉඟියෙන් කීවේ ය. අමාරසී හෙමිහිට සුදු පාට පෙට්ටිය හැර බැලුවා ය. එහි වූයේ පළතුරු වලින් හැඩ දැමූ ලස්සන කේක් කැබැල්ලකි.

“සැන්ඩ්විච් එකක් ගන්න ගිය වෙලාවෙ දැක්කෙ. මට හිතුණා ඔයා ආස වෙයි කියල”

යනුවෙන් ඔහු කෙටි පණිවිඩයක් එව්වේ ය. සිය ස්ත්‍රී හදවත හිම වැස්සකට හසු වූවා බඳු මිහිරියාවක් යුවතියට දැනිණ. ඒ හැඟීම ට වචන දෙන්නට කවමදාකවත් ඇය ට හැකි නොවනු ඇත. ඇස් දෙක තෙත් වී ගෙන එත්දී අමා අසුනට බර වූවා ය.

ඔහු වෙත යන තෙක් ඇයට ඉවසිල්ලක් වූයේ නැත. කියන්නට කේළමක් තිබිණ.

“මිස්ට දිසත් අපිව පහු කර ගෙන යනකොට තාත්ත කියනව.. අපරාදෙ හවසට සෙට් වෙමුද අහන්න තිබුණ.. කියල”

දිසත් උස් හඬින් හිනැහුණේ ය. ඒ සිනහව තුනී ව යන තෙක් කිසියම් වශීයකට නතු වූවා සේ ඕ බලා සිටියා ය. තාත්තා ගැන දැනෙන විදිහේ යමක්, කුමක් දැයි හරියට ම කියන්නට නො තේරෙන හදවතට බෙහෙවින් සමීප වූ යමක් මේ මිනිසා ළඟදීත් දැනෙන්නේ කෙසේ දැයි, එසේ බලා සිටින අතරේ ඇය ට සිතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles