හිමගිරි අරණ -37

අති සමීපතම බව හැඟෙන කෙනෙකු වේදනාවකින් සිටියදී එය තේරුම් ගැනීමට නොහැකි නම් එතැන බැඳීමක් නොවේ.හිමාෂාට ඇමතුමක් පැමිණි බවත් ඇය ඉන්පසු හිඳින්නේ මානසික වියවුලකින් බවත් රවිඳු දුරට වී උපකල්පනය කළේ ය.ඇය වෙත පැමිණ ඒ ඇයි දැයි විමසන්නට ඔහුට උවමනා වුවත් ඇයට මඳ වේලාවක් සන්සුන් වන්නට ඉඩ හරින්නට ඔහු තීරණය කළේ ය. 

එහෙත් හිමාෂා සිටියේ පත් මානසිකත්වයෙන් නොවේ.මේ රාජකාරි බහුල දිනයකි.එනිසාම නිවාඩුවක් ලබා ගෙන නිවසට යන්නටවත් නොහැකි ය.කිනම් හෝ මොහොතක සහන් නිවසට පැමිණ දියණිය රැගෙන යාදැයි හිමාෂා අනියත බියකින් කම්පිත වූවා ය.කරමින් සිටින රාජකාරියට අවධානය යොමු කිරීමට සැබෑවටම නොහැකි බව වැටහෙද්දී ඇය කාර්යාල කාමරයෙන් එපිට පටු සඳැල්ල වෙත ආවා ය.හිමාෂාගේ හදවත වේගයෙන් ගැහෙයි.ප්‍රාණසරි දියණිය සහන්ට ලබා දෙන්නට ඇයට තුන් හිතක හෝ හැඟීමක් නොවේ.ඒ හැඟීම නිසා පීඩාවට පත් වූ ඇය ඔබමොබ ඇවිදින්නට වූවා ය.

රවිඳු කාර්යාල කාමරයෙන් පිටතට ආවේ හිමාෂා සොයමිනි.ඇය සඳැල්ලේ කෙටි බිත්තියට බර වී කල්පනාවකට වැටී සිටියා ය.කහ පැහැති සාරියට ඇය ඉතා හැඩ බව කියන්නට ඔහුට මේ මොහොතේ පවා සිතෙයි.රජයේ ආයතනයක රාජකාරි කිරීම නිසා සාරියකින් සැරසීම අනිවාර්ය නීතියක් වීම ඇතැම්විට ඇයට හිරිහැරයක්  වන්නට ද හැකි ය.නමුත් හිමාෂාගේ සුරූපි බව මතු වී පෙනෙන්නේ සාරියට බව ද ඇයට දිනෙක පැවසිය යුතු බව රවිඳු සිතී ය.

“හිමා මොකුත් ප්‍රශ්නයක් ද?”

වැල්වටාරම් කියවෙන්නට නොදී ඇයව සෘජුව අමතන්නට අනතුරුව ඔහු කල්පනා කළේ ය.හිමාෂාගේ නෙත් කඳුළුවලින් බර ව ඇති බව රවිඳු දුටුවේ ඒ මොහොතේ ය.ඇය හිඳින්නේ හඬමිනි.හිමාෂා මෙතැනට වී හැඬීම කපුටු පිහාටුවක් වමනය කරන අන්දමේ වැඩක් බව රවිඳු හොඳින් දනියි.එනිසාම ඔහු ඇයට නාඬා හිඳින්නට බල කළේ ය.

“මට මගේ දුවව නැති කරගන්න බෑ රවිඳු.” 

ඇගේ හඬ අතිශය වේදනාකාරී එකකි.එවැන්නක් පවසන්නට හිමාෂාට හදිසියේ සිදු වූයේ කුමක්දැයි රවිඳු විමසිලිමත් වූයේ ය.සහන්ගේ ඇමතුම ගැන අකුරක්වත් නොසඟවා හිමාෂා රවිඳුට හෙළි කළේ ය.

“ඒ මනුස්සයා මාර මනුස්සයෙක්නෙ.මට නම් මහ අප්පිරියාවක් දැනෙන්නෙ.කිව්වට තරහ වෙන්න එපා.ඇත්තටම සහන් කියන්නේ තාත්තා කෙනෙක්ද?”

අප්‍රසන්න හැඟීම වචන නොකර ඉන්නට රවිඳු අපොහොසත් විය.හිමාෂා සාංකා සුසුමක් හෙළුවා ය.

“දෙමව්පියෝ සමහර දරුවන්ට වැඩියෙන් ආදරෙයි කියන එක කතා නොකරන ඇත්තක් තමයි.ඒ වුණාට හිතන්නකො, එයාට මේ හදිසියේ දරු සෙනෙහස මතු  වුණා කියන හේතුව.ඒක මහ කැත හේතුවක්.”

ඒ හේතුව මුල්කරගෙන ඔහුට කිසිසේත්ම දිනාරා ලබා ගන්නට ඉඩ තැබිය යුතු නොවේ.ඒ වෙනුවෙන් හිමාෂා සමග එක් වී සටන් කරන්නට රවිඳු තීරණයකට පැමිණියේ ය.

“නීතිය කියල දෙයක් තියෙනවානේ ඔයා බයවෙන්න එපා.අනිත් එක ඔයා මේක හොඳම විදියකට විසඳ ගන්නවා කියන එක මට විශ්වාසයි.”

තමන් ගැන ඒ තරමට විශ්වාස කරන්නට ඔහුට හැකි වුණේ කෙසේ දැයි අසන්නට තරම් හැඟීමක් හිමාෂාට ඇති විණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles