කඩුගන්නාව ප්‍රපාතයෙන් සොයාගත් තරුණියගේ මළසිරුර

ඒ 2002 ජුලි මාසෙ 2වනිදා. 

කඩුගන්නාව ගනේතැන්නෙදි තමයි මේ සිද්දිය වෙන්නෙ.

එක මනුස්සයෙක් උදේම එයාගෙ වත්තෙ වැඩපල ටික බලන්න වත්තට යනවා. එහෙම ඇවිදගෙන යද්දි එයා දකිනවා වත්තෙ කෙලවරක මොකක් හරි දෙයක් වැටිලා තියෙනවා. මොකද්ද මේ වැටිලා තියෙන්නෙ කියලා බලන්න ළංවෙන මේ මනුස්සයා දකින දෙයින් හරියට කලබල වෙනවා.

මොකද මේ වත්තෙ වැටිලා තියෙන්නෙ නාදුනන කාන්තා මලසිරුරක්. මේ වත්ත අයිති මනුස්සයට හරි ප්‍රශ්නයක් කවුද මේ කියන එක සහ කොහොමද මෙහෙම මල සිරුරක් තමන්ගෙ වත්තට ආවෙ කියන එක.

මේක අනිවාර්‍යෙන්ම වෙන තැනක මරලා මෙතනට ගෙනත් දාපු මල සිරුරක් වෙන්නැති කියලා තේරුම්ගන්න මේ මනුස්සයා, ගනේතැන්න අයිතිවෙන මාවනැල්ල පොලිස් වසමට කතාකරලා විස්තරේ දැනුම් දෙනවා. ඒ අනුව ඒ කාලෙ පොලිස් පරික්ෂකවරයෙක් විදියට සේවය කරපු සමන් සිගේර කියන පොලිස් නිළධාරියා තව කණ්ඩායමක් එක්ක මේ වත්තට එනවා. එහෙම ඇවිත් පරීක්ෂණ පටන් ගත්තත් කාන්තා මල සිරුර ඇරෙන්න වෙන කිසිම දෙයක් ඒ මල සිරුර තිබ්බ තැනින් හොයාගන්න එයාලට පුළුවන්වෙන්නෙ නෑ. මේ 2002 අවුරුද්ද හන්දා දැන් වගේ තාක්ෂණය දියුණු නැති උනත් පොලිසිය විමර්ශනය කරගෙන යන එක නතර කරන්නෙ නෑ.

පත්තරවලත් මේ කතාව යනවා. ඒත් මේ කාන්තාවගෙ අනන්‍යතාවය හොයාගන්න හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. කාන්තාව කවුද කියල හොයාගන්න ඕන හන්දා පත්තරවල විස්තරේ දාද්දි මේ මල සිරුර ඇඳන් උන්න ඇඳුම, පෙනුම ගැන විස්තර, වයස ආසන්න වශයෙන් වගේ දානවා. ඕන්න ඔය විස්තරේ දකින කොළඹ මාළඹේ පැත්තෙ සුසිල් සහ කාන්ති කියන ජෝඩුව කලබල වෙනවා. ඒකට හේතුව තමයි මේ පත්තරේ පලකරලා තියෙන විස්තර කාන්තිගෙ නංගිගෙ විස්තර එක්ක ගැලපෙනවා වගේම නංගි දැන් දවස් කීපයක් තිස්සෙ අතුරුදහන් වෙලා ඉන්නේ. ඒ අනුව තමයි කාන්ති සුසිල් එක්ක කැගල්ල පොලිසියට යන්නේ. කැගල්ල පොලිසියෙන් මෙයාලව එක්කරගෙන යනවා කාන්තිගෙ මල සිරුර මරණ පරීක්ෂණය සඳහා තියලා තියෙන රෝහලට.

මල සිරුර දකින කාන්ති අඬන්න පටන් ගන්නවා. මොකද මේ ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි තමන්ගෙ නංගි වෙච්ච දීපානි හන්දා.

“එයාට පහුගිය කාලෙ සෑහෙන ප්‍රශ්න තිබ්බා. ඒක වෙන්නැති එයා මෙහෙම දෙයක් කරගන්න ඇත්තෙ” කියලා කාන්ති පොලිසියට කිව්වට කාන්ති හිතනවා වගේ මේක සියදිවි හානි කරගැනීමක් නෙවෙයි කියන එක දන්නෙ පොලිසිය. මේක ඇත්තටම සැලසුම් සහගත මිනීමැරුමක් බවත් දීපානි ගැන තව විස්තර හොයාගත්තොත් මේ මිනීමැරුවට සම්බන්ධ කෙනා හෝ කීපදෙනා කවුද කියන එක හොයාගන්න අපහසු වෙන්නෙ නෑ කියන එක පොලිසියට තේරුම් යනවා. ඒ අනුව තමයි පොලිසිය ඉදිරි විමර්ෂන වැඩ කටයුතු ටික කරගෙන යන්නෙ.

දීපානි ජීවත්වෙන්නෙ එයාලගෙ අක්කලගෙ ගෙවල් ළඟම වෙන ගෙදරක. ඒ කිව්වෙ එකම වත්තෙ තියෙන ගෙවල් දෙකක තමයි මේ දෙගොල්ලො ජීවත් වෙන්නේ. කොහොමහරි පොලිසිය මේ විදියට විමර්ශන වැඩ කරගෙන යද්දි තමයි මරණ පරීක්ෂණය එන්නෙ. ඒ වාර්තාවෙ සඳහන් වෙනවා දීපානි සියදිවි හානි කරගෙන නෙවෙයි එයාගෙ ඔලුව පිටිපස්සට පහර දීලා මරලා මෙහෙම ගෙනත් වෙන වත්තකට දාලා කියන එක.

විමර්ෂනයට දීපානි උන්න ගෙදරට යන පොලිසිය දැනගන්නවා දීපානි විවාහ වෙලා තියෙන්නෙ ළඟදි කියන එක සහ එයාගෙ හස්බන්ඩ් ගෙ නම රුවන් කියන එක. කොහොමහරි පොලිසිය දීපානිලගෙ ගෙදර ඉද්දි තමයි රුවන් කාන්තිට කතාකරන්නෙ පත්තරේ ගියපු මේ විස්තරේ දැකලා. කෝල් එකට මුලින් ආන්ස්වර් කරේ කාන්ති උනත් පස්සෙ පොලිසියත් ඒ කෝල් එකට සම්බන්ධ වෙනවා.  පොලිසිය ඉන්පස්සෙ ලොකුවටම රුවන් ගැනත් හොයන්න පටන් ගන්නවා.

මොකද එයාලට සැක හිතෙනවා දීපානිව මරලා දැම්මෙ රුවන් වෙන්න පුලුවන් කියන එක. පොලිසිය දිගටම රුවන්ගෙන් ප්‍රශ්න කරන්න ගනිද්දි රුවන්ට පුලුවන් වෙන්නෙ නෑ තවදුරටත් දේවල් හංගගෙන ඉන්න. ඒ අනුව තමයි එයා පාපොච්චාරණය කරන්නෙ.

දීපානි කියන්නෙ වයස අවුරුදු 38ක අවිවාහක කෙනෙක් උනාට එයාට තියෙන්නෙ හරිම ලාබාලා පෙනුමක්. දකින කවුරුවත් පිළිගන්නෙ නෑ දීපානිට 38ක් කියන එක. අවිවාහකව වෙනම ගෙදරක පදිංචිවෙලා ඉන්න දීපානි දවසක් මැතිවරණ වැඩකට ගෙදරින් ගියාම එතනදි තමයි එයාට මේ රුවන්ව හම්බෙන්නෙ. රුවන්ගෙ වයස අවුරුදු 22ක්. හැබැයි ආදරේට වයස බාධාවක් නෑ කියන්න වගේ මේ දෙන්නගෙ දැන හැඳුනුම්කම කාලය එක්ක ආදරේකට මුහුකුරා යනවා. රුවන්ගෙ ගෙවල් කෑගල්ලෙ වගේම එයා හොඳට සල්ලි තිබ්බ කොල්ලෙක්. ඒ හන්දම රුවන් තමන්ට වඩා අවුරුදු 16 වැඩිමල් වෙච්ච දීපානිට වටින තෑගි, රත්තරන් බඩු එහෙම අරගෙන දෙනවා. ඒ වගේම දීපානි සහ රුවන් විවාහ වෙලා නැතත් මේ දෙන්නා දෙන්නගෙ ගෙවල් වලට ගිහින් නතර වෙලා එහෙමත් ඉන්නවා. හැබැයි මේක ගැන කිසිම දෙයක් කාන්ති දීපානිගෙන් අහන්නෙ නෑ. ඒත් තමන් තාම රුවන්ව බැඳලත් නැති එකේ, බැඳපු නැති කොල්ලෙක්ව ගෙදෙට්ට ගෙන්න ගන්න එක ප්‍රශ්නයක් වෙලා අක්කා ඕක අහන දවසක් එනවා කියලා දන්න හන්දා දීපානි රුවන්ට කියනවා “අපි කසාද බඳිමු” කියලා.

කොහොමත් මේ සම්බන්ධෙ පටන් ගන්නෙම රුවන් දීපානිට “මං ඔයාව කවදහරි කසාද බඳිනවා” කියලා කිව්ව හන්දා රුවනුත් මේ අදහසට කැමති වෙනවා වගේම දීපානිටත් රුවන් ගැන සැකයක් තියෙන්නෙ නෑ.

කොහොමහරි මෙහෙම ඉන්න දවසක තමයි දීපානිගෙ අක්කා කාන්ති ඇවිත් අහන්නේ “කවුද මේ කොල්ලා, මොකද්ද මේ ඔයා පොඩි කොල්ලෙක් අල්ලගෙන කරන දේ?” කියල. ඒකට දීපානි කාන්තිට දෙන්නෙ හරිම සැර උත්තරයක්.

“අක්කෙ ඔයාට මං කරන දේවල් වැඩක් නෑනෙ. මගේ ජිවීතේ ගැන මං බලාගන්නම්” කියලා දීපානි කිව්වට පස්සෙ කාන්තිට වෙන්නෙ සද්ද නැතුව එතනින් පිටවෙලා යන්න. ඉන්පස්සෙ තමයි දීපානි රුවන්ව කසාද බඳින්නෙ. හැබැයි අක්කා එක්ක වුණ හිත් අමනාපෙ හන්දා දීපානි සහ රුවන්ගෙ කසාදෙට අත්සන් කරන්න එන්නෙත් රුවන්ගෙ යාලුවෙක් වෙච්ච ප්‍රියන්ත සහ ප්‍රියන්තගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්. කාන්තිලවත් මේ රුවන් කවුද, එයා මොනාද කරන්නෙ, කොහේ කෙනෙක්ද වගෙ කිසිම දෙයක් දන්නෙ නෑ. දීපානි කියන්නෙත් නෑ. කොහොමහරි කසාදෙන් පස්සෙත් රුවන් නතරවෙන්නෙ දීපානිගෙ ගෙදර. හැබැයි අලුත කසාද බැන්ද කොල්ලෙක්ගෙ සතුට රුවන්ගෙ මූණෙන් පේන්නෙ නෑ. ඒ වගේම තමන්ගෙ නංගි කරගත්ත මේ දේට කාන්තිලත් දීපානි එක්කලා ඉන්න හිතේ කැමැත්තෙන් නෙවෙයි. ඔය ඔක්කොම එක්ක රුවන් දවසක් දීපානිට කියනවා “අපි මේ ඔක්කොම විකුණලා දාලා නුවර පැත්තෙන් ගෙයක් ගමු” කියලා. ඒ උනාට දීපානි මුලදි නම් ඕකට එච්චර කැමති වෙන්නෙ නෑ.

ඔය ප්‍රශ්නෙ එක්ක මේ දෙන්නා අතර පොඩි හිත් අමනාපකම් එහෙමත් ඇතිවෙනවා. ඔය අතරෙ තමයි රුවන් ප්‍රියන්තව හම්බෙන්න යන්නෙ. එහෙම යන දවසක රුවන් ප්‍රියන්තට කියනවා “මට දීපානි එක්ක ජීවත්වෙලා ඇතිවෙලා තියෙන්නෙ. මට දීපානිව ඉවරයක් කරලා දාන්නෝන” කියලා. පුදුමෙ කියන්නෙ ප්‍රියන්ත කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව වැඩේට කැමති වෙනවා. මේ දෙන්නා කතාකරගන්නවා කොහොමද දීපානිව ඉවරයක් කරන්නෙ කියලා. ඒකට උදව්වක් විදියට දෙන්න අතර ප්‍රශ්නයක් ඇති කරගන්න හිතාගෙන රුවන් නිතර නිතර දීපානිට ඔය ගේ විකුණමු කියන අදහස දානවා. හැබැයි දීපානි ඒකට බෑ කිව්වම රුවන් මූණ එල්ලගෙන ඉන්නවා. දීපානි රුවන්ට හරිම ආදරෙයි. ඒ හන්දා අන්තිමේ රුවන් මූණ එල්ලන් ඉන්නවා දකින්න අකමැති නිසාම දීපානි වැඩේට කැමති වෙනවා.

“ගේ විකුණන්න කලින් අපි නුවර පැත්තෙන් ගෙයක් බලමු” කියලා දීපානි කියන්නෙ ඒ අනුව.

“නෑ අපි ඉස්සෙල්ලා මේ ගේ විකුණමු. එතකොට අතේ සල්ලිත් තියෙන හන්දා සල්ලිත් අරගෙනම අපිට අලුත් ගෙයක් බලන්න යන්න පුලුවන්” කියලා කියන්නෙ රුවන්. දීපානිව ඒකට කැමති කරගත්තට පස්සෙ රුවන් එදා හවසම මේ ගේ ගන්න ගැනුම් කාරයො දෙන්නෙක්වත් අරගෙන එනවා. රුවන් මේ මාළඹේ තියෙන දීපානිගෙ ගේ දෙන්න ඉන්නෙ ලක්ශ පහලවකට. ඒත් 2002 දි උනත් මාළඹේ පැත්තෙන් ගෙයක් ඊට වඩා ලොකු ගාණකට විකුණන් පුලුවන් උනත් රුවන් ඉන්නෙ පුදුමාකාර සල්ලි හදිස්සියක.දීපානි නම් ඇත්තටම දන්නෙ නෑ මේ ගේ කීයකට දෙන්න පුලුවන්ද කියන එක. කොහොමහරි රුවන්ගෙ කීමට ගේ විකිණුවට දීපානි ඇත්තටම දැනන් හිටියෙ නෑ මේ තමන්ව මරණ රුවන්ගෙ ප්ලෑන් එකෙ පලවෙනි පියවරට තමයි තමන් මෙහෙම කැමැත්ත දුන්නෙ කියලා.

ගේ විකුණුවට පස්සෙ රුවන් යනවා ප්‍රියන්තව හම්බෙන්න. එහෙම ගිහින් දෙන්න අප්ලෑන් කරනවා දීපානිව මරන්නෙ කොහොමද කියලා. මේ අතරෙ දීපානි ගිහින් කාන්ති අක්කට කියනවා “අක්කෙ අපි මේ ගේ විකිණුවා. අපි නුවර පැත්තෙන් ගෙයක් ගන්න යන්නෙ” කියලා. කරපු දේවල් හන්ද හිත කොච්චර රිදිලා තිබ්බත් කාන්ති දීපානිට ආදරෙයි. ඒ හන්දම එයා දීපානිට කියනවා “තව පොඩ්ඩක් මේ කරන්න යන දේ ගැන හිතුවොත් හොඳ නැද්ද?” කියලා. ඒත් ඒ වෙද්දිත් දීපානි ඉන්නේ රුවන් කියනවනම් මකර කටට උනත් යනවා කියන මානසිකත්වයය. ප්‍රියන්තව හම්බෙලා එන ගමන් රුවන් ආපහු එන්නෙ තමන්ගෙ යාලුවෙකුත් එක්ක. එහෙම ඇවිත් යාලුවව දීපානිට අඳුන්නලා දීලා රුවන් කියනවා “අපි ගෙයක් හොයාගත්තා, ඊටකලින් මේ බඩු ටික අපෙ යාලුවගෙ කෑගල්ලෙ ගෙදර තියලා යන්” කියලා. රුවන් කියන ඕන දෙයක් දේව වාක්‍ය විදියට පිළිගන්න කාන්තිත් ඒ වැඩේට කැමතිවෙලා ගෙයින් යන්න බඩු අස්කරනවා. මේ දේවල් දකිද්දිත් කාන්තිගෙ හිතට නිකන් අමුත්තක් දැනුනට දීපානි කවදාවත් තමන් කියන දෙයක් පිළීගන්නෙ නෑ කියල දන්න හන්දා කාන්තිට කරන්න වෙන්නෙ හිත අස්සෙන් සුසුම් හෙලන එක විතරයි.

කොහොමහරි රුවන් සහ දීපානි ගෙදරින් පිට වෙලා යනවා කෑගල්ලට. දීපානි හිතන් ඉන්නෙ දැන් රුවන් එයාලා ගත්ත ගෙදර පෙන්නන්න තමන්ව එක්කරගෙන යාවි කියලා.

රුවන් කියනවා දීපානිට “ගේ ගන්න හැබැයි තව සල්ලි ටිකක් ඕන” කියලා. මොකද එයා දන්නවා දීපානිගෙ අකවුන්ට් එකේ තව සල්ලි තියෙනවා කියලා. ඒ ටික ගන්න තමයි රුවන් දැන් ප්ලෑන් කරන්නෙ.ඒ වගේම එයා දන්නව තමන් ඉල්ලුවොත් දීපානි සල්ලි නොදී ඉන්නෙත් නෑ කියලා. 

කොහොමහරි ඒ සල්ලිත් ගන්න රුවන් දීපානිව convince කරගන්නව හවස් වරුවෙ මේ අලුත් ගෙදර බලන්න යන්න. රුවන් දීපානිට කියනවා තමන් දන්න තව දෙන්නෙක් දැනටම ඒ ගෙදරට ඇවිල්ලා ඉන්නෙ කියලා. රුවන්ගෙ වචන විශ්වාස කරන දීපානි රුවන් එක්ක යනවා. රුවන් එක්ක දීපානි යන්නෙ හිතේ ලොකු බලාපොරොත්තු තියාගෙන. 

ඒත් දීපානි දන්නෙ නෑ තමන් මේ ගෙවන්නෙ තමන්ගෙ ජීවිතේ අවසාන පැය කීපය කියලා. දීපානිව මරන්න බලාගෙන ප්‍රියන්ත සහ තව කෙනෙක් පාලු පාරක් ළඟ බලාගෙන ඉන්නවා. දීපානි රුවන් එක්ක ඒ ඉරණම් ගමන යනවා. රුවන් සහ දීපානි මෙතනට එන්නෙ බයික් එකේ. දීපානිව මෙතනින් බස්සන රුවන් කියනවා “මං බයික් එක අරහෙන් දාලා එන්නම් ඔයා ඉන්න” කියලා. එහෙම බයික් එක දාලා “ගේ තියෙන්නෙ මේ පල්ලෙහා. අපි මෙහෙමම යන්” කියලා රුවන් කිව්වට පස්සෙ දීපානි ඉස්සර වෙලා යනවා. රුවන්, ප්‍රියන්ත සහ අනික් කෙනා පස්සෙන් එනවා.

අන්න ඒ ගමනෙ තැනකදි තමයි මේ තුන්දෙනා එක්කහු වෙලා දීපානිව මරලා දාන්නෙ. මැරෙන අන්තිම මොහොත වෙනකම්ම දීපානි හිතන්නෙ “රුවන් මේ හැමදේම කරන්නෙ ආදරේට” කියලා.

රුවන් මේ හැමදේම පාපොච්චාරණය කරනවා. පොලිසිය රුවන්ගෙන් අහන්නෙ “ඇයි තමුන් මෙහෙම කරේ අච්චර තමන්ට ආදරේ කර ගෑනිට?” කියලා.

රුවන් එතකොට කියනවා.

“මම කසාද බැන්ද මිනිහෙක්. මට දරුවොත් ඉන්නවා. ඒත් මගෙ කසාදෙ හරියට සල්ලි ප්‍රශ්න තියෙනවා සර්. සල්ලි නිසා තමයි මං මෙහෙම කරේ” කියලා.

මේ කතාවෙන් අපිට හොඳටම තේරෙන දෙයක් තමයි, කොච්චර වයසින් වැඩි වුණත්, කොච්චර ලෝකෙ දැකලා තිබුණත්, ගෑණියෙක් ආදරේ ඉස්සරහා පුදුම විදියට අසරණ වෙනවා, රැවටෙනවා කියන එක. දීපානි හිතුවා රුවන්ගෙ ආදරේ තමයි එයාට මේ ලෝකේ ලබන්න පුළුවන් ලොකුම දේ කියලා. හැබැයි රුවන්ට ඕන වෙලා තිබ්බේ සල්ලි විතරයි. අන්තිම මොහොත වෙනකම්ම දීපානි හිතුවේ රුවන් එයාට ආදරේට තමයි මේ හැමදේම කරන්නෙ කියලා. අහිංසක ආදරේ කියන දේ කෲර මුදල් අවශ්‍යතාවයක් ඉස්සරහා කොච්චර පහසුවෙන් බිඳිලා යනවාද කියලා මේ කතාවෙන් පේනවා. ඇත්ත ආදරේ කියන මායාව ඉස්සරහා දීපානි වගේ ගෑනු ළමයි හැමදාම රැවටෙනවා.

ඉතින් පරිස්සම් වෙන්න කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද නේද?

Related Articles

Don't Miss


Latest Articles