ළතෙත් ආදර හැඟුම් ගංගා – 29

*තාරානාත් දහම් වංශනායක*

“ක්ලබ් වල නට නට ඉඳලා අන්තිමේ මෙතන වත්තකට වැටුණ ඔයා වගේ කෙනෙක්ව මං වගේ උසස් සමාජෙ කොල්ලෙක් තමන්ගෙ බිස්නස් පාට්නර් කෙනෙක්ව කරගත්ත එක ගැනවත් තමුන් අඩුම ගානෙ ස්තුතිවන්ත වෙනවා. අමනුස්ස විදියට හැසිරෙන්නෙ නැතුව. මං මෙච්චර දවසක් මේ වගක් කියන්නෙ නැතුව හිටියෙ මම හිතුවෙ අඩුම තමන් ක්ලාසි කෙල්ලෙක් කියලා. දැන් නෙ මට තේරෙන්නෙ” කියලා මගේ කටෙන් කිව්වා නෙවෙයි ඇත්තටම කියවුනා. මං ඒ කිව්ව වචන එක්ක නාද්‍යාගෙ මූන වෙනස් වෙන විදිය දැක්කම මම එහෙම කිව්වෙ අපරාදෙ කියන ගිල්ට් එක හිතට ආවත් දැන් මොකෝ ආයෙ ඒ වචන ටික අරගෙන කටට දාගන්නද? 

නාද්‍යා මං දිහාව බලාගෙන උන්නෙ ගල්ගැහිලා වගේ. එයා කීයටවත් මම එයා වැඩකරපු ක්ලබ් එකේ විස්තර දන්නවා ඇති කියලා දැනගෙන උන්නෙ නෑ කියන එක මට ඒත්තු ගන්වන්න වගේ තමයි එයාගෙ ඇස්වලින් හෝ ගාලා කඳුලු වැක්කෙරෙන්න ගත්තෙ. මට ඕන උනාට අත දික් කරලා ඒ කම්මුල් දිගේ ගලාගෙන යන කඳුලු බිංදු පිහිදලා දාන්න මට ඒක කරන්න පුලුවන්කමක්වත්, වටපිටාවක්වත් එතන තිබ්බෙ නෑ.

මං නාද්‍යව මුලින්ම දැක්කෙ කිස් බාර් එකේදි. මං එයාව මුලින්ම දකිද්දි එයා අද ඉන්නවට වඩා සෑහෙන්න වෙනස් හරිම නොටෝරියස් කේස් එකක් වගේ දැක්කට එයාගෙ තිබිච්ච ඇස් කඩාගෙන යන ලස්සන ලඟදි මට කීයටවත් පුලුවන්කමක් තිබ්බෙ නෑ එයා දිහා නොබලා ඉන්න. මං විතරක් නෙවෙයි මාත් එක්ක ඔය වීකෙන්ඩ් එකේ දවසක පොඩි ශොට් එකක් දාලා එන්න කිස් බාර් එකට ගිය යාලුවො හැමෝම නාද්‍යාව නෝටිස් කරලා තිබ්බ කියන එක මට මතක් උනේ මුලින්ම උන් “ඒ කෙල්ල මාර ගති නේද?” කියලා පස්සෙ ආයෙ දවසක ක්ලබ් එකට යද්දි “අර ස්වීට් ගර්ල් අදත් ඉඳීවිද දන්නෙ නෑ” කියලා කිව්ව හන්දා.

“ඕකුන් ඔය කැම්පස් වල ඉගෙන ගන්න බඩු බං” කියලා අපේ සෙට් එකේ උන්න සුදම් කියද්දි අපි හැමෝම ඌ දිහා බැලුවෙ “උඹ මොකද එහෙම කියන්නේ?” කියන ප්‍රශ්නෙ අපේ ඇස්වල ලියාගෙන.

“මමත් මුලින් හිතුවෙ ඔය මොකක් හරි ගමකින් කොළඹ ආව කෙල්ලො මේ වෙන රස්සාවක් හොයාගන්න බැරිකමට ලේසියට මේක කරනවා කියලා. පස්සෙ තමයි මම දැනගත්තෙ සමහර යුනිවර්සිටි යන කෙල්ලො ඊසි මනී කියලා ස්පා වල ක්ලබ් වල එහෙම වැඩ කරන්න යනවලු. මේ කිස් බාර් එකට කෙල්ලො සප්ලයි කරන්නෙ අර මොඩ්ල් ට්‍රේනර් කෙනෙක් ඉන්නේ මන්දාරා කියලා අන්න ඒකි”

“ඒකි අර බ්ලීචින් ක්‍රීම් සීන් එකකටත් කේස් එකක් දාගත්තා නේද සෝශල් මීඩියා වල? අපේ ඒජන්සි එකට තමා පි ආර් කැම්පේන් එක ආවෙ?”

“ඔව් ඔව් ඒකි තමයි ඒ. පේන්නෙ නැද්ද ක්‍රීම් උලලම වෙන්නැති තැම්බිච්ච පාටට ඉන්නෙ. ඒකි ඔය ක්‍රීම් බිස්නස් එක පටන් ගන්නෙ මේ වගේ පොඩි කෙල්ලො අන්දලා හොයාගන්න බ්ලැක් මනී සුදු කරගන්න. මේ කැම්පස් එක හරිහමං ආදායමක් නැති කෙල්ලො විතරක් නෙවෙයි ඔය මොඩ්ලින් උණ ඔලුවට ගහලා තියෙන සමහර මැටි එලදෙන්නුවත් ගානට අන්දගෙන ඕකි ඕකිගෙ ගාන හොයාගන්න එක තමා කරන්නෙ. මන්දාරා දන්නවලු කෙල්ල දැක්කම ඇත්තටම මොඩ්ලින් කරන්නද එන්නෙ එහෙම නැත්තම් ඕන දෙයක් කරන ලෙවල් එකකින්ද එන්නෙ කියලා. හැමෝවම ස්පා වලටවත් ක්ලබ් වලටවත් දාන්නෙ නෑලු. මුලින් වචනෙ දාලා බලනවලු. එහෙම ගිහින් වැඩ වරද්දගත්ත එවුන්ට ඇබෝශන් කරන්න පවා තැන් ඒකිම හොයලා දෙනවලු. මට හොඳටම ශුවර් මේ කෙල්ලත් එහෙම මෝඩ ගහක් වෙන්නැති. පොත්තෙ සුද විතරයි ඉතින්  ඇතුල පුස්. අනික ඉතින් බලපංකො කැම්පස් කියන්නෙ මචං ඩෙෆා අවුරුදු විසි පහට අඩුයිනෙ. ඒ උනාට ඇඟ නිකන් බලපංකො අවුරුදු තිහක ගෑනියෙක්ගෙ වගෙ හැදිලා ඇවිත්. කීදෙනෙක් එක්ක ඉන්නවාද කියලා කවුද දන්නේ?” කියලා සුදම් තමන්ගෙ රස්තියාදුකාර වචන සෙට් එකෙන් ඒ ලස්සන කෙල්ලගෙ මුලු ආත්මෙම කෑලි කෑලිවලට ඉරලා ඉරලා දාද්දි මම කරේ හෙමින් සැරේ මගේ වොඩ්කා ශොට් එක තොල ගාන ගමක් ඒ ගර්ල් කවුරුහරි මම දන්නෙ නැති මනුස්සයෙක් ගෙ උකුලට හේත්තුව දාගෙන කතා කර කර ඉන්න එක බලන් උන්න එක.

“ඔය දැන් ඒකි හේත්තුව දාන් ඉන්නෙත් රට කාපර් කෙනෙක්ට හොඳේ. ඔය යකාට ගෑනු රට වටේම. ටෙලි ඩ්‍රාමා වල රඟපාන්න චාන්ස් එක අරගෙන දෙන්නම් කියලා පොඩි කෙල්ලො රවට්ටගෙන හෙනට කේස් ගිහින් තියෙනවා. සල්ලි වල බලෙන් පත්තරවල ටීවි එකේ නිව්ස් එක යන්නෙ නැතිවෙන්න හදාගත්ත හන්දා තව මෝඩ කෙල්ලො එන්න එන්න අහුවෙනවා.” කියලා සුදම් කියද්දිත් මං කරේ ඒ කෙල්ල දිහාවම බලගෙන උන්න එක. ලංකාවෙ ඒලෙවල්ස් වගේ අමාරු එක්සෑම් එකක් පාස් කරලා කැම්පස් සිලෙක්ට් වෙච්ච ගෑනු ළමයි වෙලත් එයාලා මෙච්චර මෝඩ විදියට හැසිරෙන්නෙ ඇයි කියලා හිත හිත මං එයා දිහාවම බලාගෙන ඉද්දි එකම එක පාරකට විතරක් එයා ලඟ උන්න මනුස්සයගෙන් ගලවගත්ත ඇස් මං දිහාවට හැරෙව්ව ඒ කෙල්ල මං බලාගෙන ඉන්නවා කියලා දැකලාද කොහෙද ගස්සලා අහක බලාගත්තෙ. සමහර විට ඒ එයාලා වී අයි පී ලෞන්ජ් එකෙත් අපි නිකන් බාර් ස්ටුල්ස්වලත් වාඩිවෙලා උන්න හන්දා වෙන්නැති. ක්ලබ් වලත් එක එක ලෙවල් එකේ අය එක එක ක්ලාස් එකේ අය එන විත්තිය, ඒ ක්ලාස් එකට එතන ඉන්න මිනිස්සුත් සලකන්නෙ වෙන වෙන විදියට කියන එක තේරුම් අරගෙන උන්න හන්දා මං ඊටපස්සෙ එයා දිහාව බැලුවෙ නෑ.

එදා ඒ විදියට මට ගස්සපු කෙල්ල අද නාද්‍යා සල්වතුර විදියට මගෙ ඉස්සරහා, මගෙ බිස්නස් පාට්නර් විදියට ඉද්දි මට තිබිච්ච එකම ප්‍රශ්නෙ “එයා අද මෙහෙම තැනක ඉන්නෙ ඇයි?” කියන එක. 

මං එහෙම කිව්වට පස්සෙ එක දිගටම මං දිහාව බලාගෙන උන්න නාද්‍යාගෙ ඇස්වලින් කඳුලු වැක්කෙරෙනවා බලාගෙන ඉන්න බැරිම තැන මම අහක බලාගත්තා. වීදුරු දාපු ඔෆිස් රූම් එකෙන් පහල පේන කිචන් එකේ මිනිස්සු දිහා බලාගෙන “මං මොනාද මේ කිව්වෙ?” කියලා වොරි වෙවී උන්න මම ආයෙ හැරුණෙ දොර ඇරිලා වැහෙන සද්දෙට. මං එහෙම හැරිලා බලද්දි නාද්‍යා උන්නේ නෑ. 

එයා හෑන්ඩ් බෑග් එකත් අරගෙන දොරෙන් එලියට යනවා දකිද්දි පස්සෙන් දුවගෙන දුවගෙන ගිහින් “අයෑම් සොරි” කියලා කියන්න මට කොච්චර ඕන උනත් මට ඒක කරන්න හයියක් තිබ්බෙ නෑ. එහෙම දෙයක් කරන්න පිරිමිකමක් තිබ්බෙත් නෑ.

නාද්‍යාට ඇස්වල කඳුළු පුරවගෙන එහෙම යන්න ඇරපු මම එදා මුළු දවසම ඉඳියෙ මැරෙන්න හිතෙන ලෙවල් එකේ දුකකින්. මට ඇත්තටම කිව්වොත් එදා රෑ නින්ද ගියෙත් නෑ. මං මුලු රෑම කල්පනා කරේ මං ඊටපස්සෙන්දා උදේට නාද්‍යාට ෆේස් කරන්නෙ කොහොමද කියලා.

මට ඕන උනා එයාට සොරි කියන්න. මං කිව්ව දේ වැරදි කියන්න. මම කවදාවත් ක්ලබ් එකේදි එයාව වැරදි විදියට ඇප්‍රෝච් කලේ නෑ කියලා කියන්න.

මං උන්නෙ ඊටපස්සෙ දවසෙ උදේ වෙනකම්. රෑ කොච්චර හිතුවත් “මං කොහොමහරි ගට හදාගෙන එයාට සොරි කියනවා” කියලා මට එහෙම කරන්න උනේ නෑ.

මොකද නාද්‍යා වැඩට ආවෙ නෑ!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles