දෑත දරා – 52

තම පෙම්වතියගේ පියා හා උරණව වාද කිරීම පෙම්වතෙකු විසින් ඔහුගේ වල ඔහුම කපා ගැනීමක් බව මනුජ නොදැන උන්නා නොවේ. ඒ පියා ශ්‍රි ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයින් අතරටද වැටෙන විට මනුජ වැනි හිතුවක්කාර , මැදි වියට එලැඹෙමින් සිටින පෙම්වතෙකු එවන් ගැටිමකට මැදිවීම යන්නෙන්ම අදහස් වන්නේ ඒ පෙම්වතිය අහිමි කර ගැනීම යන්නය.

එහෙත්, මනුජ ඔහුට පවසන්නට අවැසි සියල්ල වඩා විශ්වසනීයව සහ දැඩිව පැවසුවේය. සින්දූපා ගේ තත්වය විමසීමට ආරෝග්‍යා රෝහලේ මිතුරු වෛද්‍යවරයෙකු ඇමතූ විශ්ව මනුජ සහ සින්දූපා ගේ දෙමාපියන් පැයක් තිස්සේ සින්දූපා ගේ කාමරය තුල බවත්, උස් හඬින් කතා බස් කරගන්නා බවත් දැනගෙන වහා ආරෝග්‍යා රෝහල වෙත පිටත්ව ආවේය.

විශ්ව සින්දූපා ගේ රෝහල් කාමරය වෙතට ඇතුලු වෙද්දී ඇසුණේ සින්දූපා ගේ ඉකි ගැසුම පමණි. අනෙක් තිදෙනාම අසුන් තුනක හිද උන් හ. විශ්ව පලමුව මනුජ වෙත ඇවිද ගියේය.

” යමං… එලියට යමං…”

එහෙත් සින්දූපා ගේ පියාගේ හඬින් විශ්වට කිසිත් කර කියා ගත නොහැකිව ගල් ගැසුනේය.

” ආහ්… එතකොට මේ නාටකේ…මේ මිනිහා විශ්ව අඳුනනවාද ?…”

“මාමේ.. මේ ..ඉස්කෝලේ දවස් වල ඉඳලම මගේ යාලුවෙක්…”

ඔහු ආයාසයෙන් පිළිතුරු දුන්නේය.

“ආහ්… දික්කසාද යාලුවාව නංගිගේ කරේ එල්ලන ප්ලෑන් එක උඹේද එතකොට? උඹේ නංගිට හරි හමං මිනිහෙක් හොයලා දෙන්න බැරි වෙච්ච තරහට මගේ දරුවාගේ ජීවිතෙත් විනාස කරලා දාන්නද සැලසුම ?? ආ… උඹේ අම්මද කිව්වේ ඕක කෙරෙන්න දීපං කියලා..ආහ්හ්… නංගිට කෙනෙක් බලලා තියෙන්නේ කියලා දැන දැනම .. මේකකට හිත පැටලෙව්වේ මගෙන් පළි ගන්නද විශ්ව ?? මට පොරොන්දු උනා නේද ? උඹ පොරොන්දු උනා නේද බං..?”

“මහත්තයා … ඒ දරුවාට කෑ ගහලා මොකක් කරන්නද ? ..”

“අනේ මේ…. ඔයත් මගෙන් අහගන්න එපා නෝනා…”

“විශ්ව උස්සලා ගෙනල්ලා මාව සින්දූපා ලඟින් ඉන්දවලා නෙවෙයි නේ…. අපි මුණ ගැහුනෙ කොහොමද කියලා මම පැහැදිළිව කිව්වනේ.. ඌව මේ කතා වලින් එලියෙන් තියමු ප්ලීස්…”

“එලියෙන් තියන්නේ මොකාද ඇතුලට ගන්නේ මොකාද කියලා මම බලාගන්නම් කමාන්ඩර් … ප්ලීස් .. ජස්ට් ලීව්…”

“යමංකෝ බං… යමංකෝ….”

මනුජ සින්දූපා දෙස බලා කාමරයෙන් පිටතට ආවේ ඇයට බියපත් නොවන ලෙස වන බැල්මක් හෙලමිනි. එහෙත් , සින්දූපා සියල්ල එතරම් පහසු නොවන බව දැන උන්නාය. පියා තමාට කෙතරම් ආදරේ කරනවාදැය් සින්දූපා දනී. ඒ ආදරයම වඩා විශාල පවුරක්ව තමා වටා නැගි පසු, මනුජට එය ඉක්මවමින් තමා කෙරෙහි ලඟා විය නොහැකි බවද, සින්දූපා දනී. එහෙම වෙලාවක ඒ පවුර බිඳ දමමින් තමා වෙත ලං වීමට මනුජ උත්සාහ කිරීම යනු,මනුජ සියතින් තම ගෙල සිඳ ගැනීමක් බවද ඕ දනි.

කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව සින්දූපා දෑතින්ම මුහුණ වසාගත්තාය. කඳුලු ගිලිහී වැටෙන්නට දුන්නාය. අම්මා සහ තාත්තා සමඟ කාමරය තුළ තනිවූවාට පසු දැනෙන්නේ ජීවිතය ගැන යම් හිස් බවක් බවද ඇයට හැඟුණි. එහෙත්, ඕ ඒ හිස් බවින් මිදෙමියි සිතමින් ඒ සඳහා වන සිතුවිල්ලක් හෝ සොයමින් උන්නාය.

” මනු..ජ… නිම්නෙත් … ප්‍රේමනාථ …”

ඒ සිතුවිල්ල බව යන්තමින් වැටහෙන්නට පටන් ගනිද්දීම ඇගේ හැඬුම ඇයට නවතාගන්නට නොහැකි තරමේ විය.

“හරි.. හරි… එහෙම තමයි පුතේ… ජීවිතේ අපිට වැරදි සම්බන්ධතා ඇති වෙනවා… ඒවගෙන් අපි සාමකාමීව අයින් වෙලා අපේ ජීවිතේ පිලිවෙලට හදාගන්න පාරකට යන්න ඕනි… ජීවිතවල නිවැරදි දේ විතරක්ම වෙනවානම් ඒ ජීවිත හරි ඒකාකාරී වෙනවානේ පුතේ… නේද? ඒ ළමයා නරක කෙනෙක් නොවෙන්න පුලුවන් …තාත්තාට ඒ ළමයා එක්ක කිසිම තරහක් නෑ… ඒත් ඒ මගේ පුතාට ගැලපෙන කෙනා නෙවෙයි… තාත්තා ඒ ළමයාට, ඒ දරුවාට ඕනි උදව්වක් වුනත් කරනවා පුතේ… පුතා දන්නවානේ තාත්තා ගැන… ම්ම්ම්… තාත්තාට තරහ ගිය නිසා කෑ ගැහුවේ…. විශ්ව අය්යටත් කෑ ගැහුවේ ඒකනේ පුතේ….”

සින්දූපා ගේ හදවත මත කඩු තුඩු ඇනෙන්නට ගත්තේය. තාත්තා.., ඔහු ඉක්මවා යන්නේ කෙලෙසද ?

එහෙත්, මනුජ… ඔහු අතැර යන්නේ කෙලෙසද ? ඔහුව මේ කලබලයට ඇද ගත්තේ තමාය ඔහුව මේ බැඳියාවේ සිර කලේද තමාමය.

අවසානයේ සින්දූපා ට තාවකාලිකව සියල්ල අමතක කර මෙන් ඉන්නට සිදුවූයේය.

එහෙත් පසුදින උදෑසන කිංග්ස් රෝහලෙන් පැමිණි ගිලන් රථයට ඇයව නංවන මොහොතේ ඇයට නිහඬව සිටින්නට හැකිවූයේ නැත.

“අනේ ඇයි තාත්තේ මේ….. අනේ … මාව මෙහෙ ඉන්න දෙන්න තාත්තේ…….. අනේ … මම මෙහෙම ඉන්නම්කෝ.. “

“හරි හරි පුතේ… සනීප වුනාම ආයේ එන්න පුලුවන් නේ… දැන් ඔය දඟලලා කකුල පාරගන්නේ නැතුව ඉන්නකෝ…”

සින්දූපා ගේ පියා විශ්ව මුණ ගැසෙන්නට ආපසු වාහනයෙන් බැස්සේය.

” මාමේ …”

“කරපු පවු කමාවෙන්න නම්, නංගිගේ මෙහෙ ඩොකියුමන්ට් වැඩ ටික මට කරලා දෙන්න විශ්ව… මම ආයේ මොනයම්ම හේතුවක් නිසාවත් සින්දූව මෙහෙ එවන්නේ නෑ… වාසනාවට මේ ඇක්සිඩන්ට් එක වුනේ.. එහෙම නොවෙන්න, දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක පැටලිලා, අපිට පාරේ බැහැලා යන්න බැරි තැනට මේ දේවල් සිද්ද වෙනකල් මම මුකුත්ම දන්නේ නෑ… උඹ පුතේ… මට පොරොන්දු උනා සින්දූපව බලාගන්නවා කියලා.. බලාගන්නවා කියන එකෙන් මම අදහස් කලේ මොකක්ද කියලත් උඹ දන්නවා… ඒක දැන දැනම .., මේ සම්බන්ධේ දැන දැනම ඇස් කන් පියන් උන්න එකටයි මට වේදනාවා… විශ්වනීගේ ජීවිතේ විනාස වෙන්න නොදි මම බේරගත්ත කියලා මතක නම් , මෙවෙලේ සින්දූපා ව ගොඩ දාන්න විශ්ව…”

“මාමේ…”

විශ්ව උන්නේ සියොළඟ වේවිලීම දරාගන්නට නොහැකිවය. තමා කල දේ බරපතලකම විශ්වට සැබැවින්ම වැටහුණේය.

“මම යනවා.. අර කමාන්ඩර් ට සින්දූපා ගැන කිසිම අප්ඩේට් එකක් නොදී ඉන්න වග බලාගන්න …”

“මාමේ… මාමේ… මට සමාවෙන්න… මේක.. මේක මම හදන්නම්… මේක මම හදන්නම්.. නංගී ඌ එක්ක සතුටින් උන්න නිසයි මම..ඒක … එහෙම තියෙන්ම දුන්නේ… ඒම නොවෙන්න … මම … නරකක් අඩුවක් කරන්න නෙවෙයි… මගේ තුන් හිතකවත් එහෙම නරකක් තිබුනේ නෑ… මම මුලින් දෙන්නාටම කිව්වා… “

“හරි.. උඹට කෝල් එකක් දෙන්නම්..”

සින්දූපා ගේ පියා ආපසු හැරුනේය.

විශ්ව එතැනම වූ බිත්තියට මදක් වාරු වූයේය. මනුජගේ හඬ හා බැඳි ඈති දෝංකාර දී ඇසුනේය.

“මං මගෙ දරුවා අතාරින්නේ නෑ කියනෙක කොච්චරක් ඇත්තද ? මම සින්දූව අතාරින්නේ නෑ බං…”

“විකාර කියන්නේ නැතුව හිටහං මනුජ… ඒකි තාම උඹේ ජීවිතෙ ට ඇවිල්ලා මාස කීයද.. අවුරුදු ගානක් උඹේ වෙලා උන්න දරුවා එක්ක සසඳන්නේ…. උඹට කොච්චරක් පිස්සුද හිතපං… උඹට මැරුනමවත් දෝණිව අතාරින්න බෑ මචං…. ඒත්, සින්දූපා කියන්නේ එහෙම කතාවක් නෙවෙයි බං…”

“ඒ උඹට බං… මට ඒකි දැන් වටින කතාවක්…”

විශ්ව මෝටර් රියට නැග්ගේය. ඔහු මෝටර් රිය ධාවනය කලේ සෙමිනි, කල්පනාවෙනි

මනුජ උන්නේ සින්දූපා ගේ සිහියෙනි. ඇය රැය තිස්සේම උන්නේ ජංගම දුරකතනය ට පිළිතුරු නොදීම උන්නාය. උදෑසනම රෝහලට ගොස් ඇය දැකීම හැර අන් විකල්පයක් නැත. විශ්වගේ මෙන්ම ඔහුගේ බිරිඳගේ ජංගම දුරකතනය ද්ස් ඔහුට පිළිතුරු නොදීම නිසා ඔහුගේ කලබලට තව වැඩි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles