“ලස්සන තියෙන්න ඕන හිතේ මිසක් මූණෙ විතරක් නෙවෙයි” කියලා අපි කිව්වට, ඇත්තටම ගෑනු අයට නම් ඒක එහෙම නෑ.
ඉස්සර ඉඳන්ම කාන්තාවන්ට කියලා තියෙන්නේ ලස්සන කියන්නේ දිනාගන්න ඕන, මනින්න ඕන, හරියට නැත්තං මොනාහරි කරලා හරිගස්සන්න ඕන දෙයක් කියලානෙ. පුරාණ ග්‍රීක පිළිමවල ඉඳන් අද අපේ සෙල්ෆි ෆිල්ටර් වෙනකම්ම, ලස්සන කියන සාධකේට සැලකුවේ කොහොමහරි ලඟා කරගන්න ඕන දෙයක් විදියට.
අපි උනත් හිතන්නෙ ඔහොමනෙ. අපිට උනත් ඕන දැන් ඉන්නවට වඩා ලස්සන වෙන්නෙ. මොකද අපේ හිතේ තියෙනවා අදහසක් “මට වඩා ලස්සන කෙනෙක් තව කොහේ හරි ඇති.මටත් මීට වඩා ලස්සන වෙන්න පුළුවන්” කියලා.
ඒ නිසාම අපි ට්‍රයි කරනවා Perfect Beauty එකක් ලබාගන්න.හැබැයි, ඔයා ඇත්තටම ඒ Perfect Beauty එක තියෙන කෙනා වුණොත්? විද්‍යාවෙන් පවා ඔයාව ලෝකයේ ‘වඩාත්ම ලස්සනම කාන්තාව’ විදියට නම් කළොත් මොකද වෙන්නේ? ඔයා හිතනවද ඒත් ඔයාට ඕන වෙන එකක් නෑ කියලා තව ලස්සන වෙන්න?
අන්න ඒ ගැන අපි අද කතාකරන්න යන්නෙ ලෝකෙම ප්‍රසිද්ධ, මාරම ලස්සන චරිතයක් මුල් කරගෙන.
ඒක තමයි බෙලා හඩීඩ්ගේ කතාව.
2019 දී, ආචාර්ය ජූලියන් ද සිල්වා කියන ශල්‍ය වෛද්‍යවරයා අධ්‍යයනයක් කරනවා. ඒකෙදි එයා පැරණි ග්‍රීකයන්ගේ golden ratio (1.618:1) කියන ගණිතමය සූත්‍රය අනුව සෙලෙබ්රිටි මුහුණු මැනලා බැලුවා. මේ සූත්‍රය තමයි පුරාණයේ ඉඳන්ම පරිපූර්ණත්වයේ නිර්වචනය විදියට සැලකුවේ.
බෙලාගේ මුහුණ විශ්ලේෂණය කරද්දී, එයාගේ මුහුණේ තිබ්බ perfection details, මේ golden ratio එකට 94.35% ක පුදුමාකාර සමානකමක් පෙන්නුම් කරනවා. ඒ අනුව, විද්‍යාත්මකව කිව්වොත්, එයා තමයි ලෝකයේ වඩාත්ම රූමත් කාන්තාව වුණේ කියන නිගමනයට ආචාර්ය ජූලියන් ද සිල්වා එනවා .
බෙලාගෙ නිකට 99.7% ක perfection mark එකකට ලං වුණා. එයාගේ මුහුණේ සමමිතික බව නිසා බියොන්සේ, ඒරියානා ග්‍රාන්ඩේ වගේ “මාර ලස්සනයි” කියලා කට්ටිය කිව්ව celebrities ලා පවා පස්සට ගියා.
“ශරීරයේ පරිපූර්ණත්වය බලන්න මුහුණේ සියලු කොටස් මැනලා බලද්දි බෙලා හඩීඩ් තමයි ඒකෙ winner උනේ. එයා golden ratio එක ළඟටම ආවා 94.35% ක mark එකකින්” කියලා.
එහෙම දෙයක් ඇහුවම, තමන් ග්රීකයො තරම් ලස්සනයි කියල ඇහුවම අපිට නම් I was like over the moon උනාට මොකෝ බෙලාට නම්, ඒ පරිපූර්ණත්වයත් මදි වෙලා තියෙනවා.
වෝග් සඟරාව එක්ක කරපු interview එකකදි, බෙලා එයාගෙ ලස්සන ගැන එයා හිතුව, එයාගෙ හිතේ තිබ්බ හැමදේම එළි කළා. ඒක තමයි කාලාන්තරයක් තිස්සෙ එයාගෙ හිත රිද්දපු compare කිරීමේ වේදනාව. ලස්සන කියන දේ golden ratio එකෙන් මැන්නත් එයාගෙ මේ හිතේ වේදනාව එහෙම මනින්න පුලුවන් එකක් උනේ නෑ.
ලෝකේ සුපිරිම මොඩල් කෙනෙක් වුණ එයාගේ වැඩිමහල් අක්කා ජිජි හඩීඩ් එක්ක හැදී වැඩෙද්දී, බෙලාට හැමවිටම දැනුණේ තමන් ‘ලස්සනෙන් අඩු the other one” විදියට.
“මම තමයි අර ugly duckling. දුඹුරු පාට කෙල්ල. මම ජිජි තරම් cool නෑ, ඒ තරම් එළියට යන කෙනෙක් නෙවෙයි, මිනිස්සු ඇත්තටම මට ඒක මූණටම කිව්වා. අවාසනාවකට අපි දන්නවා, ඔයාට එකම දේ නැවත නැවතත් ඇහෙනකොට, ඔයා ඒක විශ්වාස කරන්න පටන් ගන්නවා කියලා.මට උනෙත් අන්න ඒක”
ඩයර්, වර්සාචේ වගේ ලෝකේ ලොකුම සන්නාම වෙනුවෙන් modeling කළාට පස්සේ වුණත්, බෙලාගෙ හිත තිබුනේ අර තරුණ කාලේ හිතේ ඇතිවෙච්ච trauma හන්දා හිත රිද්දගෙන.ඒ තමයි, I am not enough කියන feeling ගැන.
සමාජ භීතිකාව, මානසික අවපීඩනය, සහ තමන්ගේ ශරීරය ගැන තිබුණු අවිශ්වාසය තමන්ව සෑහෙන්න confidence අඩු කෙනෙක් කරන්න හේතු උනා කියලා බෙලා කියනවා. “අල්ලනවට අකමැති, දැඩි සමාජ භීතිකාවක් තියෙන කෙල්ලෙක් කොහොමද මේ වගේ modeling රස්සාවකට ආවේ? කියලා මම මගෙන්ම අහගෙන තියෙනවා”
ඒ අතරෙ තමයි බෙලා මිනිස්සු ඉස්සරහා රඟපාන්න ඉගෙන ගත්තෙ. “අවුරුදු ගාණක් තිස්සේ මම හොඳට රඟපෑවා, මම හරිම සන්තෝසෙන් ඉන්න, මාරම confidence character එකක් build කරා. ඒක නිසා මිනිස්සු දැනගෙන උන්නෙ නෑ මගෙ හිත අස්සෙ තියෙන වේදනාව කොච්චරද කියන එක”
ඔන්න ඔය හේතුව එක්ක “බෙලා සෑහෙන plastic surgeries කරලා තියෙනවා” කියලා අවුරුදු ගාණක් තිස්සේ ඉන්ටර්නෙට් එකේ කතා පැතිරෙන්න ගත්තා. එයා අන්තිමට ඒ කටකතාවලට උත්තර දෙන්න තීරණය කරලා තිබ්බා.
අවුරුදු 14 දී බෙලා නාහෙ plastic surgery එකක් කරගෙන තිබුණා.හැබැයි දැන් නම් එයා ඒ ගැන දුක්වෙනවා කියලලු කිව්වේ.
“මට මගේ පරම්පරාවෙන් ආව ඒ නාහෙ තියාගෙන ඉන්නයි තිබ්බෙ කියලා මට දැන් හිතෙනවා,ඒ කාලේ අර මිනිස්සු මාව ජිජී එක්ක compare කරන එක හිතලා නාහෙ වෙනස් කරගත්තට මම හිතන්නේ මම කාලෙත් එක්ක ඒකට හැඩගැහෙන්න තිබුණා.”
බෙලා හැබැයි කියනවා තමන් කවදාවත් ෆිලර්ස් (Fillers) පාවිච්චි කරේ නෑ කියන එක. එයාගෙ ඇස් උස්සලා තියෙනවා කියලා කියන ඕනෑම කෙනෙක්ට එයා කියන්නෙ එක දෙයයි. “ඒක Face Tape එකක් අනේ. ඉස්සර කාලෙ ඉඳම ඒ technique එක use කරලා තියෙනවා” කියලා.
හැබැයි, ඒ perfect වීම වෙනුවෙන් ඇතිවෙච්ච පීඩනය, නිරන්තර සංසන්දනය, එක එක බොරු කතා, ඩිජිටල් විවේචන, කිසිම සැත්කමකින් මකා දාන්න බැරි කැළැල් බෙලාගෙ හිත අස්සෙ ඉතිරි කළා. “මට ඉම්පොස්ටර් සින්ඩ්‍රෝම් (Impostor Syndrome) තිබුණා,” බෙලා කියන්නෙ අන්න ඒ හන්දා. “මම මේ modeling වත් වෙන කිසිම දෙයකටවත් සුදුසු නැහැ කියලා මිනිස්සු මට ඇඟෙව්වා.” කියලා එයා කියනවා.
බෙලා හඩීඩ්ගේ කතාව ඇත්තටම අපි හැමෝගෙම කතාව වගේ. ඒක නිරූපණ ක්ෂේත්රයට විතරක් නෙවෙයි, තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා කවදා හරි හිතුණු සෑම කාන්තාවකටම පොදු කතාවක්.
බෙලාව වචනාර්ථයෙන්ම ලෝකයේ වඩාත්ම රූමත් කාන්තාව විදියට මැනලා තිබුණාත්, එයාගෙ මුහුණ ගණිතමය වශයෙන් පරිපූර්ණ උනත් හිතට දැනිච්ච වේදනාව එක්ක එයාට තවමත් දැනෙන්නෙ තමන් අඩුපාඩු තියෙන කෙනෙක් වගේ. බෙලා තවමත් තමන්ව compare කරනවා. තවමත් කණ්ණාඩියෙන් බලලා Am I Enough කියලා කල්පනා කරනවා.
ඒක හරිම ඛේදවාචකයක්. අපි perfection කියන දේට කොච්චර ලං වුණත්, ඒක තව තවත් ඈත් වෙන එකයි වෙන්නෙ, එන එන beauty standards එක්ක.
අපි ජීවත් වෙන්නේ මුහුණු ෆිල්ටර් කරන, එඩිට් කරන, සහ imperfections වලට බය වෙන කාලෙක. ඒත් බෙලාගේ කතාව අපිට මතක් කරන්නේ අපි ‘කිසිම අවුලක් නැති මාර perfect’ කියලා හිතන මිනිස්සුන්ට පවා silent struggles තියෙනවා කියන එක.
ලස්සන කියන්නේ අංකයක් හෝ අනුපාතයක්ම නෙවෙයි. තමන් ලස්සනයි කියන හැඟිම එන්නෝන තමන්ගෙම හිත ඇතුළෙන්. තමන්ටයි තමන්ව ලස්සනටම පේන්නෝන. සමහරවිට කාන්තාවො තාමත් හොයන්නේ ඒ දේ වෙන්න ඇති. Perfection නෙවෙයි Peace කියන දේ.
මොකද, ලෝකයේ වඩාත්ම රූමත් කාන්තාව වුණු බෙලා හඩීඩ්ට වුණත්, ඒ ලස්සන කවදාවත් “I am perfect in my own way” කියලා හිතන්න උදව් උනේ නැති හන්දා.











