ළතෙත් ආදර හැඟුම් ගංගා – 33

*තාරානාත් දහම් වංශනායක*

අපි දෙන්නා අතරෙ තිබිච්ච සීතල යුද්දෙ අහස් වෙනුවෙන් එකතුවෙලා තිබිච්ච අපි දෙන්නගෙ හිත් අස්සෙ තිබ්බ උණුහුම එක්ක චුට්ට චුට්ට දියවෙලා යන්න පටන් ගත්ත එකම බිස්නස් එක මාස කීපයක් ඇතුළතදි අපි නොහිතුව විදියට උඩට අරගෙන එන්න අපිට සෑහෙන්න උදව් වුණා.

මිනිස්සු උපරිම විස්සකට විසි පහකට වගේ කෑම බෙද බෙද උන්න අපිට මාස හත අටක් වගේ කාලෙකදි දවසකට මිනිස්සු සීය පන්නලා කෑම දෙන්න පුළුවන් තැනකට අරගෙන එන්න අපිට පුළුවන් උනා. ඕනම කෙනෙක්ට කන්න පුළුවන් ජාතියේ එලවලු, පරිප්පු, මැල්ලුමක්, මස් මාළු එක්ක හදපු කෑම වගේම අපි එක්ක සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න අයගෙ විශේෂ පෝශණ අවශ්‍යතාවයන් අනුව හදපු කෑමත් දෙන්න වෙලා තිබුණ නිසාම අපිට තව අලුතෙන් කට්ටියව උයන කරන වැඩේට අරගන්න උනා. කොච්චර මම “ඔයා කිචන් එකට යන්නෝන නෑ ඔෆිස් එක වෙලා ඉන්න” කියලා කිව්වට නාද්‍යාට ඒක කරන්න පුළුවන්කමක් තිබ්බෙ නැත්තෙ කල් යද්දි එන්න එන්න අපිට තිබිච්ච ඕඩර්ස් ගාන වැඩිවෙච්ච හන්දා.

“කිචන් එක මැනේජ් කරන වැඩේ බලන්න, ඒකෙ ඉන්චාර්ජ් විදියට අපිට කාන්ති අක්කව දාන්න පුළුවන්ද?” කියන අයිඩියා එක මමමයි නාද්‍යට දුන්නේ. ඒ අනුව තමයි ගෙදරට වෙලා අහස් බබාව බලාගෙන උන්න කාන්ති අක්කව අපේ ක්ලවුඩ් කිචන් එකේ නෝමල් ෆුඩ් ප්‍රිපරේශන් පැත්තෙ ඉන්චාර්ජ් විදියටත්, ස්පෙශල් ෆුඩ් නීඩ්ස් පැත්තෙ ඉන්චාර්ජ් විදියට නාද්‍යාවත් අපි අපොයින්ට් කරේ.

“බබාව බලාගන්න ප්‍රශ්නෙ නම් ඔයාට තියෙන්නෙ ඔයාව එයාව මට භාර දෙන්නකො. මං එයාව බලාගන්නම්. දැන් තාත්තව බලන්න කෙනෙක් ගෙදර ඉන්න හන්ද මට ඒ පැත්තෙන් ප්‍රශ්නෙකුත් නෑනෙ. අනික මේ පොඩි බබෙක්වනෙ මට බලාගන්න තියෙන්නෙ” 

“බබාලා බලාගන්න ඔච්චර ආසද?”

“ඔව් ඉතින් කවුද අකමැති පොඩි ළමයින්ට?”

“ඉතින් එහෙනම් කසාද බැඳලා ළමේක්ව හදාගන්නකො”

“ඒ මොකටද?”

“එතකොට පුළුවන් නෙ ඉතින් තමන්ගෙම ළමේක්ව හුරතල් කරන්න”

“ඉතින් මොකටද එහෙම කරන්නේ?”

“ඇයි?”

“මට ඉන්නවනෙ දරුවෙක්”

“කවුද?”

“මේ ඉන්නේ. මේ ඉන්නෙ මගෙ රත්තරන් කොල්ලා නේද? නේද පුතේ. මට ආය වෙන බබාලා ඕන නෑ. ඔයාට ආයෙ වෙන තාත්තලා ඕනත් නෑ. ඔයා තමා මගේ රොබින්. මං තමා ඔයාගෙ බැට්මෑන් නේද?” කියලා මම අහස්ව අත් දෙකේ තියාගෙන උඩ දාද්දි අහස් හිනා උනාට නාද්‍යා උන්නේ මූණ පුම්බගෙන ඇස් දෙක ලොකු කරගෙන කියන එක මම දැක්කෙ තප්පර ගානකට පස්සෙ. නාද්‍යා එහෙම රියැක්ශන් එකක් දෙන්න තරම් වරදක් මගෙ අතෙන් කියවුණාද කියලා කල්පනා කරද්දි තමා නාද්‍යා ආයම මා එක්ක කතා කරේ.

“ඒ උනාට ඉතින් තමන්ගෙ දරුවෙක් උනා නම් සන්තෝසෙ ඔයිට වඩා වැඩිනෙ. මොක උනත් අනුන්ගෙ දරුවෙක් වගේ නෙවෙයිනෙ තමන්ගෙ දරුවෙක් කියන්නේ” කියලා නාද්‍යා කියද්දි එයාගෙ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා කියන එක මම දැක්කා. මගෙ හිතට බර වැඩි උනේ නාද්‍යාගෙ වචන නෙවෙයි අන්න ඒ කඳුළු. මං අහස්ව එක අතකින් වඩාගෙන මගෙ පපුවට හේත්තු කරගෙන, මං ඉස්සරහා කඳුළු වැටෙනවට බයේ ඒ කඳුලු බලෙන් ඇස් අස්සෙ හිරකරගෙන ඉන්න ලොකුම ලොකු ගේමක් ගහපු නාද්‍යාගෙ අතින් අල්ලගෙන එයාව එක්කරගෙන ගිහින් අපෙ ඔෆිස් රූම් එකේ තිබ්බ සෙටියෙ වාඩි කරා. කිචන් එක තියෙන්නෙ පල්ලෙහා තටුවෙ හන්දා අපි වාඩිවෙලා කරන කිසිම මගුලක් පල්ලෙහා ඉන්න එක්කෙනෙක්ටවත් පේන්නේ නෑ කියන එක වගේම, මනුස්සයෙක් නැතුව තනියෙන් හැම බරක්ම උහුලන නාද්‍යාට කාගෙන්වත් කතාවක් අහන්න දෙන්න හොඳ නෑ කියන හැඟීමකුත් මගෙ හිතේ තිබ්බා. අනික නාද්‍යාගෙ කඳුලු ඉස්සරහා මම උන්නේ පිරිමියෙක් විදියට මගෙ හිත දියකරගන්න පුලුවන් උපරිම ලෙවල් එකට දියකරගෙන. නාද්‍යාගෙ කඳුලු පිටිපස්සෙ තියෙන්නෙ “තමන්ට ඉන්නෙ තාත්තෙක් නැති දරුවෙක්” කියන කතාව බව හොඳාකාරවම දන්නවා උනත් මට ඇත්තටම උවමනා උනේ නෑ ඒ කතාව එහෙමමයි කියලා විශ්වාස කරන්න. මිනිස්සු වැරදි කරන බව ඇත්ත. හැබැයි ඒ අතීතෙ කරපු වැරදි මනුස්සයෙක්ගෙ වර්තමානෙටයි අනාගතේටයි පන්නගෙන පස්සෙන් ඇවිත් හිතිච්ච හිතිච්ච වෙලාවට මනුස්සයෙක්ට රිද්දන එක විය යුතු නෑ කියන එක මම කල්පනා කරා.මොකෝ මට උවමනා උනේ නෑ කවදාවත් සිංගල් පේරන්ට් කෙනෙක් ගෙ දරුවෙක් වෙච්ච මං වින්ද දුක් කරදර අහස් කවදාවත් විඳිනවා දකින්න.  තමන්ගේ ලේ නෙවෙයි මේ ඇඟේ දුවන්නෙ කියලා හොඳාකාරවම දැන දැන අපෙ තාත්තට පුළුවන් උනා නම් මං වෙනුවෙන් එයාගෙ මුලු ජීවිතේම කැපකරන්න ඇයි මට බැරි අහස් වෙනුවෙන් එහෙම දෙයක් කරන්න කියන තැනට වෙනකම් මගෙ හිත දියකරලා දාන්න නාද්‍යාගෙ කඳුළු වලට පුදුමාකාර මැජික් බලයක් එක්කාසු වෙලා තිබ්බා.

“දැන් ඔය ඔලුව කැක්කුමක් හදාගන්න තමයි” කියලා මං කිව්වේ නාද්‍යාව චුට්ටක් විතර නෝමල් රූට් එකට අරගෙන එන්න.

“ඇයි?”

“අඬන්නෙ නැතුව කඳුලු හිරකරගෙන උන්නම ඔලුව රිදෙන්නෙ ගන්නවා නේ නේද?”

“ඒක දන්නෙ කෙල්ලො කී දෙනෙක් ආශ්‍රය කරලද?” කියලා අහද්දි නම් නාද්‍යා ලාවට වගේ හිනාවක් දැම්ම බව ඇත්ත. හැබැයි ඒක කින්ඩි හිනාවක්.

“ඒක දැනගන්න ඉතින් කෙල්ලො ආශ්‍රය කරන්නෝන නෑනෙ. අඬන්නෙ නැතුව කඳුළු හිරකරගෙන උන්නම ඔලුව රිදෙන විත්තිය මම තේරුම්ගත්තෙ ජීවිතේ සමහර තැන්වලදි අඬන්න වුනාම. මුලින් මට හරි ලැජ්ජ හිතුනා කොල්ලෙක් වෙලා අඬන්න. පස්සෙ මම ඇඬුවා බාතෘම් එකට එහෙම ගිහින්. ඔලුව රිද්දගන්නවට වඩා ඒක හොඳයිනෙ, තාමත් අඬන්න ඕන උනාම මම ශවර් එක යටට ගිහින්  අඬනවා ඉතින්”

“තාම අඬන්න හේතු තියෙනවද ඔයාට?” කියලා නාද්‍යා ඇහුවෙ ඔලුවෙ ඇල කරලා මගේ මූණ දිහාවට පහත් වෙලා.

“ඔව් ඉතින් මනුස්සයෙක්ට අඬන්නෙ නැතුව ඉන්න කියලා කාලයක් නෑනේ. හිත රිදුනම දුක හිතුනම තාත්තා නැති දවසක මං තනිවෙනවා නේද කියලා හිතෙද්දි තාම ඇඬෙනවා” කියලා මම හිනා උනාට ඒක ඇත්ත හිනාවක් නෙවෙයි කියලා තේරිච්ච හන්දද මන්දා නාද්‍යා මා එක්ක ඒ හිනාවට එක්කහු උනේ නෑ.

නාද්‍යා හිනා නොවී උන්නට මට සතුටු හිතුනා. හිනා නොවී ඉන්න එක හොඳයිනෙ අඬනවට වඩා නේද කියලයි මං කල්පනා කරේ.

“ඉතින් විහින් තනිවෙන්නෝන නෑනෙ. දැන් උනත් පුළුවන් නෙ හොඳ කෙනෙක්ව හොයාගෙන කසාද බඳින්න,එතකොට තනිවෙන්නෙ නෑනෙ”

“මං මේ දවස්වල ඒක තමයි හිත හිත ඉන්නේ”

“මොකක් ද හිත හිත ඉන්නේ?” කියලා ආය ඔලුව ඇල කරලා අහද්දි මං ඉස්සරහ මෙතන මේ වාඩිවෙලා ඉන්නෙ මගෙ අතේ ඉඳන් උරහිසට ඔලුව තියාගෙන ඉන්න පුංචි කොලු පැටියගෙ අම්මා කියලා හිතන්න මගෙ හිත මට ඉඩ දුන්නෙ නෑ. මොකෝ මං ඒ වෙලාවෙ, කට උල් කරලා මගෙන් ඒ ප්‍රශ්නෙ අහපු නාද්‍යාව දැක්කෙ හරිම හුරුබුහුටි චූටි කෙල්ලෙක් විදියට මිසක්කා අම්මෙක් විදියට නෙවෙයි හන්දා.

“එයා කැමති වෙයිද කියලා මාව භාරගන්න” කියලා මං කියද්දි නාද්‍යාගෙ ඇස් ගැස්සිච්ච විදිය මම දැක්කා. ඒ ගැස්සිල්ල යට තියෙන්නෙ මට කිව්වෙ නැති එහෙම නැත්තම් මගෙන් හංගන්න හදන කතාවක් කියන එක මට තේරුම් ගියා.

නාද්‍යාගෙ කිසිම දෙයක් නොකිව්ව හන්දා මේ කතාව මෙතනින් ඉවර කරන වගකීම තියෙන්නෙ මගෙ අතේ කියන එක මට තේරුණා.

“මං නම් බලාගෙන ඉන්නෙ එයාලාව භාරගන්න”

“එයාලා කිව්වේ?”

“එයායි එයාගෙ බබයි” කියල මං කිව්වයින් පස්සෙ කලින්ටත් වඩා නාද්‍යාගෙ ඇස් ගැස්සුනා කියලා මම දැක්කා. එළියට දානවද නැද්ද කියලා හිත බරකරපු හිනාවක් දෙතොල් අස්සෙ ඇඳි ඇඳී යනවාත් එක්කම එයාගෙ ඇස් ආපහු කඳුලෙන් පිරෙනවා මම දැක්කා.

ඒ උනාට මේ වතාවෙ එයා කදුලු හිරකරගෙන ඉන්න හැදුවට එයාගෙ ඔලුව රිදෙන්න මම ඉඩ දෙන්නෙ නෑ.

රිදුණොත් මම එයාගෙ ඔලුව අතගානවා.

මගේ පපුවට තුරුළු කරගෙන නළලට කිස් එකකුත් දීලා.

නාද්‍යා මං ඔයාට ආදරෙයි.

ඊටත් වඩා මම අහස්ට ආදරෙයි.

ඔයා මගේ උනත් නැතත් අහස් හැමදාම මගේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles