වැරදීම් සහ ඉගෙනීම්.

දුලාරි ෆේස්බුක් තීරයේ ඉහළ පහල යමින් ඉන්න ගමන් එක තැනක නැවතුණා.ඊටත් පස්සේ ඒ දිහා බලා හිටියේ ඇස් ලොකු කරගෙන.සමීර ලැප්ටොප් තිරයට ඇහැ අලවාගෙන ලොකු වැඩක්.ඒ වුණාට සමීරට බාධා කරන්න දුලාරි දෙපාරක් නොහිතන තරම්.

“මේ බලන්නකෝ අනේ,මේ ෆැෂන් වර්ල්ඩ් එකේ ඇඳුම්වල දැන් ගණන්..”

ඇය එහෙම කියනකොට සමීර ඒ දිහා බැලුවේ නොසැලකිලිමත්ව.

“මගේ කාඩ් එකෙන් ඕඩර් කරන්න ඉතින්.”

සමීරට විකාර කියලා දුලාරි හිතුවා.දුලාරි මේ කියන්න හැදුවේ ඇඳුම් ගැනිල්ලක් ගැන නෙවෙයි.ඇඳුම් ගන්න සමීරගේ අවසරේ දුලාරිට ඕන නෑ.දුලාරි කියන්න හදපු දේ නොකියා ටික වෙලාවක් හිටියෙත් ඒ නිසාමයි.

“මෙයාලගෙ පේජ් එකක් විතරක් තිබ්බ කාලෙ ඇඳුම් කොච්චර ලාබද අපි ඒ දවස්වල ගත්තෙම ඒකෙන්..”

සුළු පරිමාණ ව්‍යාපාරයක් මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්වෙලා දැන් ඇවිත් තියෙන දුර ගැන දුලාරි ඒ විදියට කියද්දි සමීර ඒ දිහා බලාගෙන හිටියේ විමසිලිමත් දෑසකින්.

“ඔයාටත් පුළුවන් දුලාරි ඔයාගේ බිස්නස් එකත් ඉක්මනින් දියුණු වෙයි”

දුලාරි ට එන්න උවමනා වුණු මාතෘකාවට සමීර ඒ විදිහට ආවා.තමන්ගේ පුංචි ව්‍යාපාරය දියුණු කරගන්න කළ හැකි දේවල් ගැන දුලාරි ඊට පස්සේ බොහෝ වෙලාවක් කතා කළා.සමීර ඒවා අහගෙන හිටිය ඉවසිලිවන්ත දෑසකින්.ඊට පස්සේ සමීර දුලාරිට කතා කරේ ඔහුට හිතුනු දේ කියන්න.

“ඔය ෂොප් එකට ඔය ගමනෙන් හුඟක් කල් ගියා දීලා ද ඔයා තාම මේ වැඩේ පටන් අරගෙන බොහොම පොඩි කාලයක්.ඒ නිසා ඉවසිලිවන්තව පරිස්සමින් ඔයාගේ ගමන යන්න…”

ඒ කතාව දුලාරි ට එතරම් හොඳ කතාවක් විදිහට හිතුණේ නැහැ.හොඳ ව්‍යවසායිකාවක් විදිහට ඉතා ඉක්මනින් දියුණු වෙන හීනයක හිටිය ඇය ඉක්මනින් දියුණු වෙන පාරවල් ගැන දිගින් දිගටම හිතමින් තමයි හිටියෙ.

“ඔයා කියන විදිහට නම් බෑ දියුණු වෙන්න.මං හිතන්නේ මම මීට වඩා මහන්සි වෙන්න වෙනවා..”

ඒ අදහස කටින් නොකිව්වත් හිතින් හිතා ගත්තා.ඇගේ පළවෙනි කාර්යය වුණේ ඇය ඔන්ලයින් බිස්නස් එක කරගෙන යන ෆේස්බුක් පේජ් එක ටිකක් අලුත් කරන එක.

“ප්‍රමෝෂන් වලට ලොකුවට වියදම් කරන්න එපා දුලා..ඔයා කලත් නොකලත් ඔයාගෙන් ඇඳුම් ගන්න පුරුදු වුණු පිරිසක් ඉන්නවනේ.ඒ අයත් එක්ක වැඩේ කරගෙන යන්න..”

සමීර එහෙම කිව්වට දුලාරි ඒ ගැන අහන්න සූදානම් වුණේ නැහැ.

“අනේ ඇයි හදිස්සියේම ඔයා ඇඳුම්වල ගණන් ඉහල දැම්මේ?” ඇගේ හුරුපුරුදු පරිභෝගිකයන් දුලාරිගෙන් එහෙම ඇහුවේ වෙනදට වඩා වල මිල ගොඩක් ඉහල ගිහින් නිසා.

“හැමදෙයක්ම ගණන් යන ලෝකයක් මේ.”

දුලාරි ඔවුන්ට ඔවුන්ට ප්‍රතිචාර දැක්වූවේ විදියට.තමන් යන්නේ ඒ තරම් හොඳ ගමනක් නෙමෙයි කියලා ඒ වෙනකොට දුලාරිට වැටහීමක් තිබුණේ නෑ.

“මම හිතාගෙන ඉන්නවා සමීර මහන්න තව කීප දෙනෙක් වැඩට ගන්න..”

දුලාරි එහෙම කියනකොට සමීර දුලාරි දිහා බැළුවෙ පුදුමයෙන්.ඇය දැනටමත් කාන්තාවන් පස් දෙනෙකුගෙන් ඇගේ ඔන්ලයින් බිස්නස් එකට ඇඳුම් ගන්නවා.ඒ හොඳටම ප්‍රමාණවත් කියලා සමීර දැනගෙන හිටියා.

“මෙහෙමයි දුලා, අපි රිස්ක් ගන්න ඕන.රිස්ක් නොගන්න අයට කවදාවත්ම දියුණුවක් නෑ.හැබැයි අපි රිස්ක් ගන්න එකයි වැරදි තීරණ ගන්න එකයි කතන්දර දෙකක්.මම හිතන්නේ ඔයා ඇඳුම්වල ගාණත් වැඩි කරලා ඇඳුම් ප්‍රමාණෙත් වැඩි කරලා ලොකු රිස්ක් දෙකක් ගන්න එපා.කරන්න පුලුවන් හරිම දේ කරන්න බලන්න..”

ඒත් දුලාරි ඒ කතාව ඇහුවේ නෑ.ඇය ඒ වෙනුවට තවත් කිහිප දෙනෙක්ම සේවයට බඳවා ගත්තා.

“මං ටවුන් එකේ ෂොප් එකක් බැලුවා.මම එතන ෂොප් එකක් දාන්න යන්නේ..”

දුලාරිගේ ඔන්ලයින් බිස්නස් එක තව සාර්ථක වෙනවානම් හොඳ බවත් ඉන්පස්සේ ඒ පියවරට යාම සුවදායක බවත් සමීරට හිතුණා.ඒත් දුලාරි හිටියේ තමන්ගේ අලුත් හීනය ගැන ආසාවෙන් මත් වෙලා.

“මේ පේජ් එකේ ඇඳුම් නම් අන්තිමයි..”

පළමුවැනි වෙඩි මුරය නිකුත් වුණේ එහෙම.දුලාරිට ඒ ෆේස්බුක් රිවිව් එක ගැන ලොකු බියක් තිබුණේ නෑ.ඒ වගේ කතා කියන මිනිස්සු කොහොමත් නිතර දෙවේලේ මුණ ගැහෙනවා.ඒවා හරි සාමාන්‍ය දේවල්.

“මගේ ඇඳුම මෙච්චර ලේට් ඇයි?”

ඊළඟට ගලා ආවේ එහෙම පණිවිඩ.දුලාරි ඒ ගැන ටිකක් සසැලුණා.ඇත්ත තමයි.ඇණවුම අරන් දවස් කීයක්ද? ඒත් මැහුම් ශිල්පිනියෝ ප්‍රමාදයි.දුලාරිට දැනුණේ දරා ගත නොහැකි කෝපයක්.ප්‍රමාද වූ ඇණවුම් මහලා ඒවා යවන්න හදනකොට සමහරු ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා.

“අපි පහුගිය කාලෙ මහපු ඔක්කොම ෂොප් එකට දැම්මනෙ..ඒකයි මේ ප්‍රශ්නෙට හේතුව.” ඒ කාරණාව තේරුම් යනකොට දුලාරිගේ කාලාන්තරයක් තිස්සේ පාරිභෝගිකයන් ඇයගෙන් දුරස් වෙන්න පටන් අරන්.

“ඔන්ලයින් බිස්නස් එකකට සෑහෙන්න ඇඳුම් තිබුණට ෂොප් එකකට ඇති වෙන තරම් ඇඳුම් අපිට නෑ සමීර.එන අය හැරිලා යනවා..”

දුලාරි තව අඩුපාඩුවක් හොයා ගන්නකොට තමන් ව්‍යාපාරිකාවක් විදියට අසාර්ථක වෙමින් ඉන්න බව ඇයට තේරුම් යමින් තිබුණා.

“මං මගේ ළඟ ඉන්න අයට නිකං බොරු ටාගට්ස් දුන්නා සමීර.වෙනදා ඕඩර්ස් ආවම මම ඒ ඕඩර් එක අදාළ කෙනාට දෙනවා.එයාලා පුදුම ලස්සනට ඇඳුම මහලා යවනවා.මට ඕඩර්ස් ආවෙම එහෙමයි.හැමෝම හරියට මගේ ඇඳුම් ගැන සැටිස් වුණා.ඒත් මං ෂොප් එකක් දාලා ඒකට අවධානේ දීලා ඔන්ලයින් බිස්නස් එක එහෙමම නාස්ති කරගත්තා.”

දුලාරි සමීරට කිව්වේ පසුතැවීමෙන්.බිරිඳට හිනා නොවී ඔහු ඇය දිහා ඉවසීමෙන් බලාගෙන හිටියා.

“ඔයාට මොනවද හිතෙන්නේ දුලාරි? මිනිස්සුන්ට වැරදෙන තරමට තමයි නිවැරදි වෙන්නත් පුලුවන්..”

සමීර එහෙම කියනකොට දුලාරි ඇයට වැරදුණු තැන හිතන්න ගත්තා.

“හීන තියෙන්න ඕන තමයි සමීර.ඒත් මං ආයේ ටාගට්ස් සම්පූර්ණ කරගන්නේ හෙමින්.හෙමින් අරමුණු වලට යනකොට කොතනවත් මඟ ඇරෙන්නේ නෑ.දැන් මගේ මහන අය ඔක්කොම ඉල්ලන තරමට ඕඩර්ස් සම්පූර්ණ කරනව මිසක් ඉස්සර වගේ ලස්සන ඇඳුම් මහන්නේ නෑනෙ.එහෙම නොවෙන්න මං එයාලට කරන්න පුලුවන් තරමේ ටාගට්ස් දෙනවා..”

සමීර තමන්ගේ බිරිඳ දිහා බලාගෙන හිටියේ සතුටින්.වැරදි කරාට තමන්ට වැරදුණ තැන හොයා ගන්නත් දක්ෂ දුලාරි ලේසියෙන් ආයේ දිනන බව ඔහු දන්නවා.ඒ අරමුණට තමන් උදව් නොකළත් ඇය යන බව දන්න නිසාම සමීරට දැනුණේ සැනසීමක්.

“වැරදෙන තරමට තමයි දුලා දිනන්නත් ලේසි..”

අත්දැකීම් එකතු කරමින් යන ගමන මොනතරම් ලස්සනද කියලා දුලාරි හිතුවේ ඒ කතාව අහන ගමන්.

More Stories

Don't Miss


Latest Articles