“සමහර දේවල් තියෙනවා ඒවා කළ යුතු වෙලාවට කරන්න ඕනේ. මගේ හිතටත් මහ වරදකාරී හැඟීමක් දැනෙනවා. ඔයාව අපි මේ විදිහට ටික දවසක් කම්පැනි එකට ගෙන්න ගත්තේ මිනිස්සුන්ගේ හොර අල්ලන්න නෙමෙයි. ඇත්තටම ඔයාට ඒ ගැන හැඟීමක් ඇති කරවන්න. සමහරවිට සේවකයෝ අපි ගැන වැරදි ආකල්පයක් ඇති කරගන්න පුළුවන්. එනිසා බිනර ඔයා කවුද කියන එක ස්ටාෆ් එකට අඳුන්වල දෙන්න තවත් පරක්කු වෙන්න ඕනෙ නෑ. ඔයාට පුළුවන් මැනේජ්මන්ට් එකේ කෙනෙක් විදිහට අලුතින් වැඩ පටන් ගන්න.
එවර ජයවර්ධන පැවසූයේ මදක් දැඩි හඬකින්ය. ඒ තීරණය වෙනස් නොවන බව හංසිකා මෙන්ම බිනරත් දැන සිටියේය. සීයා එක පයින්ම ඔහුව අනුමත කරද්දී දෙදෙනාම මුව වසා ගත්තේ එනිසාය.
“පොඩි අක්කේ මොනවා හරි කරලා තාත්තගෙ තීරණය වෙනස් කරන්න බලනවකෝ. ලොකු කාලයක් නෙමෙයි. තව මාසයක් මෙහෙම හිටියොත් ඇති.”
“ඒවා දැන් සම්මත වෙලා ඉවරයි හලෝ.”
“ඔයා කිව්වොත් තාත්තා අහන්නේ නැතුව ඉන්නෙ නෑ. ප්ලීස්….”
“මං කියලා බලන්නම්. මේ ඒක නෙමෙයි.. වෙනදා ඔෆිස් එක දකින්නවත් අකමැති වෙච්ච ඔයා ඇයි දැන් මේ සාමාන්‍ය සේවකයෙක් විදිහට වැඩ කරන්න මෙච්චර ට්‍රයි කරන්නේ.”
“ඒක පස්සෙ කියන්නම්.”
“මේ මල්ලි…අනවශ්‍ය ලෙඩනම් දා ගන්න ලෑස්ති වෙන්න එපා හරිද. දන්නවනේ තාත්තාගේ සීයගේ හැටි. අනිත් එක මේ ප්‍රශ්න වලට මැදිවෙලා අන්තිමට අසරණ වෙන්නේ අම්මා.”
“මං ඔයාලා කාටවත් වරදක් කරන්නේ නෑ.”
බිනර සොයුරියගේ කාමරයෙන් නික්මුණේ එසේ පවසමින්ය. ඒ යන මග දෙස මද වේලාවක් බලා සිටි හංසිකා සුලක්ෂාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ තමාට වඩා යමක් ඔහු ගැන ඈ දන්නා බව විශ්වාසයේ වූ නිසාය.
“මට ඇත්ත කියන්න… මේ පිස්සා මොනවද මේ කියන්නේ…”
“මල්ලිද?”
“ඔව් අනේ මටයි දැන් ඔයාගෙන් ට්‍රීට්මන්ට්ස් කරගන්න වෙලා තියෙන්නේ. මෙයාගේ වැඩ නිසා”
“ඒකත් නරකම නෑ එතකොට ජයවර්ධන පවුලෙන් මට පේෂන්ට්ස්ලා දෙන්නයි.”
“ඇත්තටම සුලා මොකක්ද මෙයාගෙ ප්‍රශ්නේ මට තේරෙන්නේ නෑ…”
“මාව විශ්වාස කරලා මම ළඟට එන කෙනෙක්ගෙ තොරතුරු මං එහෙම පිටට දෙන එක වැරදියි නේද?”
“මේ මගේ මල්ලි. මං දන්නෙ නෑ එයාට මොනවා හරි වරදක් වෙනවද කියලා.”
“නෑ එයා වරදක් වෙන්න යන තැනක් නිවැරදි කරන්න උත්සාහ කරනවා.”
“ප්ලීස් සුලා…ඔයා කියන දේවලුත් එයා කියන දේවලුත් මම මෙච්චර දවසක් අහගෙන හිටියා. දැන් මට හිතෙනවා මේ ප්‍රශ්නේ මම හිතනවට වඩා බරපතලයි කියලා.”
“එහෙම බරපතල කමක් නෑ. එයා මේ දවස්වල එයාගේ හොඳම යාළුවෙක් කියලා හිතන් ඉන්න කෙනෙකුට උදව් කරනවා. එයාගේ ජීවිතේ තීරණයක් ගන්න. ඒ ගැන ගොඩක් කලබල වෙන්න එපා. ඒක වැරදි දෙයක් නෙමෙයි. එයා වැරදි පාරක යනවානම් මට ඒක නිවැරදි කරන්න පුළුවන්.”
“ඒ ගර්ල් ඔෆිස් එකේ කෙනෙක්ද.?”
“ඔව්…”
“කොණ්ඩේ කපපු සුදු මහත ගර්ල් කෙනෙක් ද?”
“නෑ. කොණ්ඩෙ දිග, සුදු, උස මහත හරි ගානට තියෙන. දිග ඇස් පිහාටු තියෙන හිනා වෙනකොට කම්මුල් හීනියට වළ ගැහෙන. හැම තිස්සෙම හිනා වේගෙන ඉන්න ලස්සන කෙනෙක්.”
“ඉසුරි…”
“ඇයි ඔච්චර ගර්ල්ස්ලා ඉඳිද්දිත් එක පාරටම ඔයා ඉසුරි කියල කිව්වේ.”
“ඔයා ඔය කියන රූපෙ තියෙන්නේ එයාට. දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා.”
“අක්කට එහෙම හිතෙනවනං මල්ලිට එහෙම හිතෙන එක අරුමයක් නෙමෙයිනේ.”
“ඒ කියන්නේ මල්ලි ඉසුරිට ආදරේ කරනවද?”
“මං හිතන්නේ තවම නෑ. ඉසුරිගේ පවුල් පසුබිමෙන් ආපු ප්‍රශ්න ගොඩක් එක්ක ඒ ළමයා චුට්ටක් ජීවිතය ඇතුලෙ හිර වෙලා වගේ ඉන්නේ. එයා බොහොම බයෙන් සැකෙන් ජීවත් වෙන ළමයෙක්. බිනර උත්සාහ කරන්නේ ඉසුරිව අන්න එතනින් එළියට ගන්න.”
“ප්‍රශ්නයක් නෙමෙයිනේ….”
“ඔයාගේ මල්ලි ඔයාටයි ඔයාගේ අක්කටයි දෙන්නටම වඩා වෙනස් හංසි. එයා කවද හරි ලස්සනට ජීවත් වෙයි. අපි පිරිමියෙක්ගෙන් හොයන ගතිගුණ ඔක්කොම එකට එකතු වෙච්ච පැකේජ් එකක් තමයි එයා.”
“ඉසුරිගේ ෆැමිලි බ්‍රෑක්ග්‍රවුන්ඩ එක ගොඩක් අවුල්ද?”
“නෑ..එයාගේ අම්මයි තාත්තයි එකට ඉන්න බැරි හින්දා දෙපැත්තකට වෙන් වෙලා. ගහ මරාගෙන, රණ්ඩු සරුවල් ඇති කරගෙන එකිනෙකාට චෝදනා කරගෙන එක තැනක ඉන්නවට වඩා දෙන්නෙක් දෙපැත්තකට වෙන එක මනෝ විද්‍යානුකූලව හොඳයි කියන එක පිළිගන්න තරම් තවමත් අපේ මිනිස්සුන්ගේ මනස දියුණු වෙලා නැහැ. ඉසුරි ඉන්නේ අන්න එහෙම මිනිස්සු පිරිසක් මැද අසරණ වෙලා. තමන්ගෙ පවුල ගැන, තමන්ගේ අය ගැන ලොකු හීන මානෙකින්. ඒ නිසා එයා ඇස් දෙක උස්සලා වටපිට බලන්නෙත් හරිම බයෙන් සැකෙන්. පරිස්සමෙන්…”
“ඔයා දන්නවනේ තාත්තගෙයි සීය තාත්තගෙයි හැටි. මල්ලි නොගැලපෙන තැනක නතර වුනොත් කීයටවත් මෙයාලා ඒ එෆෙයා එකට ඉඩ දෙන්නෙ නෑ. අම්මගේ තත්ත්වෙ කොහොම වුණත් අපේ ගෙදර ප්‍රශ්න පටන් ගන්නේ ඊට පස්සේ. මොකද මං හොඳටම දන්නවා සීය තාත්තයි, තාත්තයි වගේම තීරණයක් ගත්තොත් මල්ලිත් ආපස්සට හැරෙන කෙනෙක් නෙමෙයි කියලා.”
“මට මෙතනදි හිතන්න පුළුවන් මල්ලිගෙ පැත්තෙන් විතරයි හංසී. ගැලපීම් නොගැලපීම් ගැන එයා තේරුම් ගන්න ඕනේ. මල්ලි ඉසුරිව මගේ ළඟට එක්කරගෙන ආවා. මං හිතනවා ජීවිතේ ගැන එයා යමක් තේරුම් ගන්න ඇති කියලා. මට හිතෙනවා මම ළඟට ආවට වඩා සැහැල්ලුවෙන් එයා නැගිටලා ගියේ කියලා. දැනට අපි ඔක්කොම එකතුවෙලා ඒ ළමයට උදව් කරමු.”
“ඔව් ඒක හොඳයි. ප්‍රශ්න ඔක්කොම එකට පටලවා ගන්නේ නැතුව අපි ඉස්සර වෙලා ඒ ප්‍රශ්නේ නිරවුල් කරගමු.”
හංසිකා අවසන එසේ පැවසූයේ මිතුරිය බොහෝ දේ පැවසුවාට පසුවය..බිනර දඟයෙකි. විටෙක හිතුවක්කාරයකි. විටෙක දඩබ්බරයෙකි. සීයා තාත්තා පවසන ලෙස විටෙක නාහෙට නාහන තරම් නහර කාරයෙකි. එහෙත් ඔහු තම ජීවිතයේ කොතැනකවත් ඒ හිතුවක්කාරකම්වලදී ගැහැණු චරිත පටලවා ගත් අයෙකු නොවේ. එනිසාම ඔහු ඉසුරිට ආදරය කරනවායැයි සිතන්නට තරම් හේතු කාරණා මිතුරිය සමග කළ සංවාදයේදී ඇයට හමු විය. තමාගේත් සොහොයුරියගේත් ප්‍රේම සම්බන්ධතාවලට නිවසින් ගැටලු මතු නොවූයේ ඒ දෙදෙනාම සමාජයේ යහපත් යැයි සිතන පවුල්වල දරුවන් වූ නිසාය. එහෙත් සුලක්ෂා පවසන පරිදි ඉසුරිගේ සම්බන්ධයේදී එය එසේ විය හැකි කමක් නොවේ. හංසිකාගේ සිතට බියක් ඇතිවූයේ එනිසාය.
****************
බිනර යුවතියට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ රාත්‍රියේදීය. ඇඳට වී කල්පනා කරමින් සිටි ඉසුරි ජංගම දුරකථනයත් රැගෙන ආලින්දයට පැමිණියේ එනිසාය. නැගණිය පාඩම් කරමින් සිටින නිසා ඇයට අවහිර වන ලෙස ඉසුරි කාමරයේදී දුරකථන ඇමතුමකටවත් පිළිතුරු ලබා දෙන්නේ නැත.
“කොහොමද ඔයාගේ ලොකු අයියට…”
“ඒ හැටි අමාරුවක් නෑ බිනර. එයා පාරේදි කාත් එක්ක හරි රණ්ඩු වෙලා. කිසිම තැනක කිසිම දේකදී මං එයාගේ ඉවසීමක් දැක්කේ නෑ. ඒ මිනිස්සු මෙයාට ගහලා.”
“එහෙම වෙන්න ඕනෙ ඉසුරි. සොරි මං මෙහෙම කියනවට. ඒ වගේ අයට දඩුවමක් ලැබෙන්න ඕනේ”
“නෑ…මගෙත් යටි හිත කියන්නෙත් එහෙම. සෙල්ලම් කරන්න ගියත් ගෙදර හිටියත් පන්සලකටට ගියත් එයාගේ ඒ පිළිවෙල වෙනසක් උනේ නෑ. දවසක් ඉස්කෝලේ පිරිමි ළමයෙකුට ගහන්න ගිහිල්ලා එයාව විනය පරීක්‍ෂණයක් කරන කල් ජොබ් එකෙනුත් නතර කළා. ලොකු අයියා හිතන් ඉන්නවා හැම තැනකදිම වැඩ සිද්ධ වෙන්න ඕනේ එයාට මුල් තැන දීලා කියලා. ඔයා දන්නවද එයා තරුණ සමිතියේ අයත් එක්ක ප්‍රශ්නයක් ඇති ඇතිකරගෙන දැන් පන්සලටවත් යන්නේ එන්නේ නෑ.”
“මට තේරෙනවා..එයා මානසික රෝගියෙක් ඇත්තටම”
“නැන්දා කියනවා මගේ අපලයක් කියලා.”
“අපලයක්..”
“ඔව්..හදහන් බැලුවට පස්සේ කියන්නේ අපල කාලේ කියලා.”
“ඔයාගේ අපලේ කොහොමද එයාට යන්නේ.”
“දෙන්නෙක්ගෙ මැරේජ් එකකට හදහන් ගලපනවා කියලා කියන්නේ ඒ දෙන්න කොච්චර ගැලපෙනවද කියලා බලන එක. ඒ දෙන්න එකතු වුණාට පස්සේ එක්කෙනෙක්ගේ අපල අනිත් කෙනාගේ පිටින් යන්න පුළුවන් බිනර. ජෝතිෂ්‍ය කියන්නේනේ එහෙම.”
“ඔයාලා දෙන්න තවම එකතුවෙලා නෑනේ. දෙපැත්තක ඉන්න දෙන්නෙක් නේ.”
“ඔව් ඒක හරි. ඒත් නැන්දා කියනවා එන්ගේජ්මන්ට් එකට දින නියම කරගතපු ගමන් එහෙම උනේ මගේ අපලයක් නිසාා කියලා.”
“අනවශ්‍ය දේවල් ඔලුවට දාගන්න එපා ඉසුරි. මිනිස්සුන්ට කරදර විපත් සිද්ධ වෙන්නේ තමන් ජීවත්වෙන ක්‍රමය අනුව. එහෙම නැත්නම් ඒක ඒ වෙලාවට වෙන්න තියෙන දෙයක්. අනුන්ගේ ජීවිතවල හැම දෙයක්ම ඔයාගේ එකවුන්ට් එකට දාගන්න එපා. මං අද ඔයාට කතා කලේ ඊට වඩා වැදගත් දේකට. හැබැයි ඉතින් මේ වෙලාවේ ඔයාට එන්න කියලා බල කරන්න මට බෑ.”
“ඒ මොකක්ද බිනර”
“මගේ යාළුවගේ බර්ත් ඩේ එකට හැම අවුරුද්දකම ළමා නිවාසෙකට දානයක් දෙනවා. ඒක හරි ලස්සන වැඩක්. ලංකාවෙ ඉඳිද්දි මම හැම අවුරුද්දකම ගියා. ඔයාට මේ අවුරුද්දේ මමත් එක්ක යන්න එන්න කියන්නයි කතා කළේ.”
“බිනර…”
“නෑ… නෑ.. මං ඔයාට බල කරන්නේ නෑ. මොකද මේ වෙලාවේ ඔයාගේ තත්ත්වය මට තේරෙනවා.”
“මම එන්නම්…ලොකු අයියා හොස්පිට්ල් එකේ හිටියට තවදුරටත් මට එයා ගාවට යන්න බෑ. එහෙම යනවට නැද්දා කැමති වෙයිද දන්නෙත් නෑ. ගිහිල්ලා හිත රිද්ද ගන්නත්බෑ. ඒ නිසා අපි ඒ වැඩේට යමු. මං මොනවද බිනර කරන්න ඕනේ එයාලා වෙනුවෙන් මට මොනවා හරි ගන්න පුළුවන්.”
“මොකුත් එපා..අනිද්ද ඉරිදා… අර මං අරන් දීපු ප්‍රොක් එක ඇඳලා ලස්සනට ලෑස්ති වෙලා එන්න . එයාලට දෙන්න තෑගි මං ගත්තා.”
“ඔයා හරි පුදුම කෙනෙක් බිනර. මං දැකපු ලස්සන හිතක් තියෙන කෙනෙක්. හරියට අහසක් වගේ.”
“ඒකනේ අපි දෙන්න හොඳ යාලුවො උනේ
දුරකථනය විසන්ධි වී ගියේ තවත් විනාඩි කිහිපයකට පසුවය. යුවතිය ජංගම දුරකථනය සිය පපුවට තබා තද කරගෙන ආලින්දයේ වන අඩ අඳුරටම වී සිටියේ තමා ගැන සිතමින්ය..ඔහු හා ගැවසෙන තත්පරයක්වත් අතහැර ගන්නට ඈ දැන් ලෝබය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)











