අම්මා කෙනෙක්ට තමන්ගේම දුවට මෙහෙම කරන්න පුලුවන්ද?

මේක සිද්ධ වෙන්නේ 2015 අවුරුද්දේ ජූනි 14 වෙනිදා උදේ පාන්දර. 

පොලිසිය උන්නෙ මිසුරි වල Springfield වල තිබුණ පොඩි, රෝස පාට ගෙදරකට පරීක්ෂණේකට යන ගමන්. මේ ගේ හැමෝම දැනගෙන හිටියේ “හොඳ කට්ටියක්” ජීවත්වෙන ගෙයක් විදියට. මොකද, මේක පුණ්‍යායතනයකින් හදපු ගෙදරක්. වීල්චෙයාර් එකකට යන්න පුළුවන් රැම්ප් එකක්, රෝස පාට බිත්ති, හැඩට තියෙන වත්තක් එක්ක ලස්සනට පෙනිච්ච ශෝක් ගෙයක්. අවුරුදු ගාණක් තිස්සේ මේ ගෙදර උන්නේ, ආදරණීය අම්මා කෙනෙකුයි, එයාගේ අසනීප නිසා, වීල්චෙයාර් එකට වෙලා ඉන්න දුවෙකුයි.

ඒත් ඒ නිස්කලංක ඉරිදා උදේ, ඒ ‘සුරංගනා කතාව’ එකපාරටම කඩා වැටෙනවා. මොකද ගේ ඇතුළේදී පොලිසියට හම්බ වෙන්නෙ අවුරුදු 48ක් වයස Dee Dee Blanchard ගේ පණ නැති සිරුර. එයාගේ  නිදන ඇඳේදීම එයාට පිහියෙන් ඇනලා මරලා දාලා තිබුණා. හැබැයි එයාගේ දුව, Gypsy Rose නම් කොහේවත් හිටියේ නැහැ.

Gypsy ට එහෙ මෙහෙ යන්න උදව් වෙච්ච වීල්චෙයාර් එක ඒ විදිහටම තිබුණා. වීල් චෙයා එක තියෙද්දි කෙල්ල කොහෙද ගියේ? කොහොමද ගියේ කියන ප්‍රශ්නෙ හැමෝටම තිබ්බා. Gypsy අන්තිමට දකිද්දි පවා එයා අසනීපෙන් ඉන්නේ කියලා විශ්වාස කරපු අසල්වැසියන්ට මේ විස්තරේ හරිම බය හිතෙන දෙයක් වුණා. එයාලා හිතුවේ මේ කෙල්ලව කවුරු හරි පැහැරගෙන ගිහින්, නැත්නම් එයාවත් මරලා දාලා කියලා.

ඒත් ඇත්ත එළිවුනේ හරිම අඳුරු, සහ පැටලිලි සහගත විදියට.

Clauddine “Dee Dee” Blanchard කියන මේ අම්මා ඉපදිලා තියෙන්නේ 1967 ලුයිසියානාවේ දි. එයාගේ ළමා කාලයේදී පවා, පවුලේ අය එයාව විස්තර කළේ පුදුම manipulative, බොරු කියන, අවධානය ගන්න පොඩි පොඩි දේවල් හොරකම් කරන කෙනෙක් විදිහට. එයා තමන්ගේ කුඩම්මට වස දීලා මැරුවා, තමන්ගේම අම්මව කුසගින්නේ තියලා මැරුවා කියන කටකතා අවුරුදු ගාණක් තිස්සේ තිබිලා තියෙනවා උනත් ඒ කිසිම දෙයක් ඔප්පු වෙලා නැහැ.

අවුරුදු විස්ස වෙද්දී, එයාට තමන්ගේ පෙම්වතාගෙන් දරුවෙක් හම්බ වෙලා තියෙනවා. එයාලා ටික කාලෙකට විවාහ වෙලා ඉද්දි, 1991 දී තමයි Gypsy Rose ඉපදෙන්නෙ. බබාට මාස කීපයක් වෙද්දී, Dee Dee කියලා තියෙනවා  බබාගේ හුස්ම ගැනීම නැවතුණා කියලා. අන්න එතනින් තමයි මේ දිග, ඛේදජනක බොරුව පටන් ගන්නේ.

Gypsy ටික ටික ලොකු වෙද්දී, Dee Dee ගේ බොරු වැඩි වෙනවා. එයා ඩොක්ටර්ලට කිව්වා දුවට ලියුකේමියාව, මාංශපේශී දුර්වලතාව, අපස්මාරය, අන්තිමට මොළයට හානි වෙලා තියෙනවා කියලා පවා. Gypsy ට අවුරුදු අටක් වෙද්දී, එයාව වීල්චෙයාර් එකටයි, කෑම දෙන ටියුබ්වලටයි සීමා කරලා තියන තරමට මේ බොරු දුර දිග ගිහින් තියෙනවා. එයාගේ ඛේට ග්‍රන්ථි සහ දත් ගලවලා, අනවශ්‍ය සැත්කම් සහ ටෙස්ට් මහ ගොඩක් කරලා, හැමදාම බෙහෙත් බොන තැනකට තමන්ගෙ දරුවව අරගෙන එන්න තරම් මේ අම්මා හරිම නරක විදියට හැසිරිලා තියෙනවා.

Dee Dee නිතරම Gypsy ගේ ඔළුව තට්ටේ ගෑවේ එයාට පිළිකා රෝගී පෙනුමක් දෙන්න. එයාව රෝස තොප්පිවලින්, Disney ඇඳුම්වලින් සරසලා, පොදු තැන්වලදී එයා වෙනුවෙන් කතා කරලා, එයාගේ මනස අවුරුදු හතක දරුවෙක්ගේ වගේ කියලා අනිත් අයට අඟවන්න මේ අම්මා ගොඩක් උත්සහ කරලා තියෙනවා.

ලෝකයට, Dee Dee කියන්නේ සාන්තුවරියක් වගේ පේන කෙනෙක්, තමන්ගේ අසනීප දරුවා ගැන බලන අම්මෙක්. එයාලට පරිත්‍යාග, Disney World වලට නොමිලේ ගමන්, අන්තිමට පුණ්‍යායතනයකින් හදපු ගෙයක් පවා ලැබෙන්න ඒවා හේතු වෙනවා. ඒත් ඒ හුරුබුහුටි හිනාවල් සහ රෝස පාට ඇඳුම් පිටිපස්සෙ, Gypsy හිර වෙලා හිටියේ බොරු වලින් හදපු හිරගෙදරක.

වෛද්‍යවරු සහ අසල්වැසියෝ Dee Dee ට ගොඩක් ආදරය කළා. එයා හෙදියක් විදිහට වැඩ කරලා තිබුණ නිසා, එයා දැනගෙන උන්නා කොහොමද කියලා ඩොක්ටර්ස්ලව convince කරන්න කතා කරන්නෙ කියලා. කවුරු හරි ඩොක්ටර් කෙනෙක් සැක හිතිලා ප්‍රශ්න කළොත්, එයා නිකම්ම වෙන හොස්පිට්ල් එකකට, නැත්නම් වෙන ප්‍රාන්තයකට යනවා.

ඒත් හැමෝම රවට්ටන්න නම් මේ අම්මට ලේසි වෙන්නෙ නැහැ.

මිසූරි වලදී, ස්නායු විශේෂඥ වෛද්‍ය Dr. Bernardo Flasterstein දැක්කා, Gypsy ගේ රෝග ලක්ෂණ එයාගේ අම්මා කියන දේවල් එක්ක ගැලපෙන්නේ නැහැ කියලා. එයා ටෙස්ට් කරා, ඒ හැම රිපෝට් එකක්ම ආවේ සාමාන්‍යයි කියලා. එයා තමන්ගේ නෝට්ස් වල ලියලා තිබුණා “මට හිතෙනවා Munchausen syndrome by proxy තියෙනවා කියලා.” මේක තමයි ලෙඩෙක්ව බලාගන්න කෙනෙක්, අනුකම්පාව ලබාගන්න, තමන් බලාගන්න කෙනාට බොරුවට අසනීප හදන හෝ අසනීප කරන මානසික රෝගී තත්ත්වය. ඒත් සැක තිබුණත්, Dr. Flasterstein ඒක පොලිසියට කිව්වේ නැහැ. මොකද ඒකට ප්‍රමාණවත් සාක්ෂි තිබුණේ නැහැ, වගේම Dee Dee ව හැමෝම දැක්කේ ආදරණීය අම්මා කෙනෙක් වගේ හන්දා.

මේ අතරේ, Gypsy ගේ ප්‍රශ්නකාරී බව වැඩිවෙනවා. එයා අම්මා කියපු හැමදේම විශ්වාස කරා උනත් ටික ටික මේ දෙන්නා අතරෙ ප්‍රශ්න ඇති වෙනවා. එයාට අවුරුදු දහනවයේදී, එයාට එයාගේ ඇත්ත වයස තිබුණ පේපර්ස්  හම්බ වෙනවා. Dee Dee හැමෝටම කියලා තිබුණේ එයාට අවුරුදු දහහතරයි කියලා උනත් ඒක බොරු බව වගේම Gypsy තව ලොකු බොරුවක් අනාවරණය කරගන්නවා. ඒ තමයි “ඔයාට ඇවිදින්න බෑ” කියලා අම්මා කිව්ව කතාව තඩි බොරුවක් කියන එක. මේ ඔක්කොම බොරු බව දැනගෙන උන්නත් Gypsy දැනගෙන උන්නේ නැහැ කොහොමද මේ හිරගෙදරින් පැනලා යන්නේ කියලා.

රෑට Dee Dee නිදා ගත්තට පස්සේ, Gypsy හොරෙන් කොම්පියුටරේ තියෙන තැනට යනවා. එයා කතා කරන්න කෙනෙක්ව හොයමින් ඔන්ලයින් ෆෝරම්ස් සහ චැට් රූම්ස්වලට සම්බන්ධ වෙනවා.තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ව එයා හොයනවා.

අන්න එතැනදී තමයි එයාට Nicholas Godejohn හම්බ වුණේ. අවුරුදු විසිතුනක් වුණ, මානසික රෝග ඉතිහාසයක් තිබුණ මේ කෙනා විස්කොන්සින් වල තමයි ඉන්නේ. Gypsy ට, Nicholas  තමයි අම්මගේ පාලනයෙන් එළියේ හම්බ වුණ පළමු සැබෑ සම්බන්ධය. අවුරුදු ගාණක් එයාලා ඔන්ලයින් කතා කළා, එයාලගේ ෆැන්ටසි සහ රහස් බෙදාගත්තා.

අන්තිමට, එයාලගේ කතාබහ භයානක පැත්තකට හැරෙනවා. Gypsy Nicholas ට කිව්වා, එයාගේ අම්මා එයාට වධ දෙනවා, පාලනය කරනවා, ගහනවා, එයා අකීකරු වුණාම ඇඳට දම්වැල් දාලා බඳිනවා කියලා. එයාලා දෙන්නා එකතු වෙලා පැනලා යන්න ප්ලෑන් කරන්න පටන් ගන්නෙ අන්න ඒ කතාවෙන් පස්සෙ.

2015 ජූනි 14 වෙනිදා වෙද්දි ප්ලෑන් එක සූදානම් කරගන්න මෙයාලට පුළුවන් වෙනවා. Dee Dee නිදාගන්න යනකල් Gypsy බලාගෙන ඉන්නවා. එයා ළඟ ඉඳපු Nicholas ට මැසේජ් එකක් දානවා. Nicholas නිශ්ශබ්දව ගේ ඇතුළට එනවා. Gypsy එයාට අත්වැසුම්, ඩක්ට් ටේප්, සහ පිහියක් දුන්නා. ඊට පස්සේ එයා බාත්රූම් එකේ හැංගිලා කන් දෙක වහගත්තා.

විනාඩි කීපෙකට පස්සෙ ගෙදර නිශ්ශබ්දතාව කැඩුණේ Dee Dee ගේ කෑගැසීම්වලින්. ඉන්පස්සෙ හැමදේම සයිලන්ට් වෙනවා.  

Dee Dee Blanchard ට තමන්ගේම ඇඳේදී පිහියෙන් ඇනලා මරලා දාලා තිබුණා.

Gypsy සහ Nicholas ගේ ඇතුළේ තිබුණ ඩොලර් 4,000ක් අරගෙන, බඩු ටිකක් ඇසුරුම් කරගෙන, විස්කොන්සින්වලට බස් එකේ යනවා. පළමු වතාවට, Gypsy නිදහසේ ඇවිදගෙන යනවා.වීල්චෙයාර් එකක් නෑ, ඔක්සිජන් ටැංකියක් නෑ, ටියුබ් නෑ.

ඊළඟ දවසේ තමයි අසල්වාසියො පොලිසියට කතා කරන්නෙ. මොකද Dee Dee ගේ ෆේස්බුක් එකෙන් පුදුම පෝස්ට් එකක් දාලා තිබුණා “ඒ බැල්ලි මැරිලා” කියලා. Dee Dee කියන්නෙ ඔය වගේ පෝස්ට් දාන කෙනෙක් නෙවෙයි හන්දා මිනිස්සු කලබල වෙනවා.

පොලිසිය ඉක්මනින්ම Dee Dee ගේ සිරුර සොයාගෙන, Gypsy ව රට පුරා හොයන්න පටන් ගන්නවා. හැමෝම හිතුවේ අසනීප දරුවාව පැහැරගෙන ගිහින් කියලා. ඒත් පරීක්ෂකවරු ෆේස්බුක් පෝස්ට් එක පරීක්ශා කරලා Nicholas Godejohn ගේ විස්කොන්සින් වල ගෙදරට trace කරගෙන ගියාම, එයාලා පුදුම වෙනවා.ඒ Gypsy ජීවතුන් අතර, හොඳින් ඉන්නවා කියන එකටත් වඩා ඇවිදිනවා, කතා කරනවා කියලා දැක්කයින් පස්සෙ. 

Gypsy ගේ පළමු ප්‍රශ්න කිරීමේදී, එයා රහස් පරීක්ෂකයන්ට හැමදේම කියනවා. වධ හිංසා විඳපු අවුරුදු ගණන, බොරු, සහ අවසානයේදී ඒක නවත්වන්න හයියක් හොයාගත්ත විදිහ ගැන. “මට එයා මරන්න ඕනේ වුණේ නැහැ. ඒත් මට නිදහස් වෙන්න පුලුවන් වෙන විදිහක් මම දැනගෙන හිටියේ නැහැ.” කියලා එයා  කියනවා.

2016 දී, Gypsy Rose Blanchard දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනාවට වරදකාරිය බව පිළිගන්නවා. එයාට අවුරුදු දහයක සිර දඬුවමක් නියම වෙනවා. Nicholas Godejohn ට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා

2023 දෙසැම්බර් මාසයේදී, දඬුවමෙන් 85%ක් විඳලා ඉවර වුණාට පස්සේ, Gypsy ට නිදහස් වෙන්න පුළුවන් වෙනවා. දැන් අවුරුදු තිස් ගණන්වල ඉන්න එයා, සමාව දීම, මානසික කම්පනය, සහ ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද කියන එක ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා.

“මට දැනුණේ මගේම ඇඟ ඇතුළේ මම හිරකාරියක්  වෙලා උන්නා කියලා වගේ. දැන් මට අවසානයේදී මම විදිහටම ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.”

Dee Dee සහ Gypsy Blanchard ගේ කතාව නූතන ඇමරිකාවේ වුණ, කම්පන සහගතම සිද්ධීන්ගෙන් එකක් බවට පත් වෙනවා. ඒක වින්දිතයා සහ අපරාධකරු අතරේ තියෙන සීමාව බොඳ කරපු කතාවක් කියලා හැමෝම කියනවා.

Gypsy නිදහස් වෙලා ආවත් Nicholas ට නිදහස ලැබෙන්නෙ නෑ. අන්තිමේ බැලුවම Gypsy නිදහස් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ගෙ ජීවිතේ හිර කරලා නේද කියලත් මට හිතෙනවා!

Related Articles

Don't Miss


Latest Articles