දරුවන් දහනව දෙනෙකුට දිවි අහිමි කළ වෙඩි තැබීම.

“මගේ ලස්සන සහෝදරිය.අපි හැමෝටම මේක විනාශකාරී දවසක්.මගේ හදවත කැබලි මිලියනයකට කැඩිලා ගිහින්.”

Cristina Arizmendi Mireles ෆේස්බුක් සටහනක් තබමින් එසේ ලියා තිබෙන්නේ ඇගේ හදවත පමණක් නොව ලෝකයේම සංවේදි මිනිසුන්ගේ හදවත කම්පනය කළ සිදුවීමක් ගැන.මේ නිසා කුඩා ළමුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.මේ ෆේස්බුක් සටහන එසේ මිය ගිය ගුරුතුමියක වූ ඊවා මිරකල් වෙනුවෙන් ලියවුණු සටහනක්.

18 හැවිරිදි සැල්වදෝර් රමෝස් නම්  තුවක්කුකරුවෙකු විසින් උවාල්ඩේ නගරයේ පිහිටි රොබ් නම් ප්‍රාථමික පාසලට වෙඩි තැබූ බව පොලිස් නිලධාරීන් පවසනවා.BBC වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට සැකකරු අත් තුවක්කුවක්, AR-15 අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් සහ අධි ධාරිතා මැගසින් වලින් සන්නද්ධව හිඳ තිබෙනවා.ඔහු එම ප්‍රදේශයේ උසස් පාසල් සිසුවෙකු වන්නට ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ පාසලේ ඉගෙනුම ලබන්නේ අවුරුදු 7-10  අතර දරුවන්.එනිසාම මෙය ලෝ වැසියන් අතිශය කම්පනය කළ ඝාතනයක්.ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර නිසා රමෝස් ද මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පවසනවා.

ධවල මන්දිරයේ සහ අනෙකුත් එක්සත් ජනපද ෆෙඩරල් ගොඩනැගිලිවල කොඩි අඩකුඹු කර උවල්ඩේ හි විපතට පත් වූවන්ට ගෞරව කරන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉල්ලා තිබෙනවා.ඔහු ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් ඔහු අසනීපයෙන් සහ වෙහෙසට පත්ව සිටින බව ද බයිඩන් පවසා තිබෙනවා.මිය ගිය දරුවන් සම්බන්ධයෙන් මෙන්ම මිතුරන් මිය යන අන්දම සියැසින් දුටු කුඩා දරුවන් ගැන ද ජෝ බයිඩන් දැඩි ලෙස ශෝක වෙනවා.

2021 දෙසැම්බර් මාසයේ මුල් සතියේ ගිනි අවියකින් වෙඩි තබා තම පාසලේ සිසුන් මරා දැමූ ඊතන් නම් දරුවෙක් ගැන මිචිගන් ප්‍රාන්තයේදී වාර්තා වුණා.

ඇමරිකාව පුරා වාර්තා වෙන මෙවැනි සිදුවීම් නවතාලන්නට කාලය පැමිණ ඇති බව ජෝ බයිඩන් පවසනවා.මේ දරුණු මානසිකත්වයන්ට යෞවනයන් පිවිසෙන්නේ කෙසේදැයි සොයා බැලීම අතිශය වැදගත් බව නොකියාම බැහැ.

ලෝකයේ නපුර පැතිරී යාම නැවතීම මඳක් අසීරුයි.එහෙත් ඒ නපුරට කුඩා දරුවන් ගොදුරු වීම අතිශය ඛේදවාචකයක්.රොබ් පාසල තුළ තුවාල ලැබූ තවත් දරුවන් රෝහල් ගත කර ඇති අතර ඔබ මේ සටහන කියවන මොහොතේ පවා මරණ ලැයිස්තුව දිග වන්නට ඉඩ තිබෙනවා.රොබ් පාසලට දින නියමයක් නැතුව නිවාඩු ලබා දී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වන ඇන්ටෝනියෝ ගුටරෙස් ද මේ සම්බන්ධයෙන් අතිශය ශෝක වෙමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා.

මේ කාලය ලෝකයේ රටවල් බොහොමයක් අතිශය අසීරුවෙන් ගෙවා දමන වග නොරහසක්.ආර්ථික අර්බුද සහ වසංගත රෝග අතර මෙසේ නපුර පැතිර යාමෙන් සිදුවන යහපතක් නැහැ.ඒ නිසා මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ද ලෝකයේම ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව මේ ප්‍රවෘත්තිය අපට හෙළි කරනවා.

මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද යන්න ගැන තවමත් විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.

Related Articles

Don't Miss


Latest Articles